ඔබේ පැනයට අපෙන් පිළිතුරු | සිළුමිණ

ඔබේ පැනයට අපෙන් පිළිතුරු

අමා

ඉබ්බාගමුවේ නිකිණි

ප්‍රශ්නය :-

අමා, මම ඉතා වැදගත් පවුලක උපන් පවුලේ එකම දියණිය. මගේ මව රජයේ රෝහලක හෙද පාලිකාව වශයෙන් සේවය කළා. මගේ ප්‍රශ්න නිසාම සමාජයට මුහුණ දීමට නොහැකිව ඇය වයසට කලින් විශ්‍රාම ගත්තා. මගේ පියා සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවය කළා. දැන් ඔහු මිය ගිහින්. මම වයස අවුරුදු 14 දී පමණ මගේ නිවසට අතිරේකව උගන්වන්නට පැමිණි ගණිත ගුරුවරයා අතින් අනාථ වුණා. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. ඊට පසු උසස් පෙළ සඳහා මට ඔහු උගන්වන්නට පැමිණියේ නැහැ. මම වෙනත් පිරිමි පාසලක රගර් ක්‍රීඩකයෙකු සමඟ ප්‍රේමයෙන් බැඳුණා. අපි හැම වෙලාවෙම නගරයේ ලැගුම් හල්වලට ගියා. ඔහු පාසලින් ඉවත්ව ප්‍රසිද්ධ සමාගමක සේවයට ගියා. ඒ වන විට මම ගැබ් අරගෙන. ම‍ෙග් පියා මිය ගියේ මෙම දුක දරාගන්න බැරුව. ඉතා රහසිගත ලෙස මගේ දරු උපත සිදුවුණා. දැන් ඔහුට අවුරුදු 6 යි. මගේ මව තමයි දරුවා බලාගන්නේ. මම නගරයේ උසස් අධ්‍යාපනයට ආවා. ඒ නවාතැනේදි උදේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කර රාත්‍රියට කැරෝකේ නැටුම් හලක රඟන අක්කා කෙනෙක් හමුවුණා. මමත් මුලදි ඈ සමඟ ගියා. පසුව එම ආයතනයට සම්බන්ධ සම්බාහන ආයතනයක සේවයට ගියා. එහිදී හඳුනාගත් තරුණයකු සමඟ එකට ජීවත් වෙනවා. තවමත් මම සම්බාහන ආයතනයට යනවා. මා සමඟ ජීවත් වන කෙනා තදින් ම මත් පැන්වලට වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්. මම ඔහු සමඟ කුඩු බිව්වා. මත්පෙති ගත්තා. හැමදාම සවස 2 ට සම්බාහන මධ්‍යස්ථානයට යනවා. රෑ 10 වෙනකං වැඩ කරනවා. ඉතා උසස් පුද්ගලයන් එතනට එනවා. මම සම්බාහන මධ්‍යස්ථානයට එන කිසිවකු සමඟ සම්බාහන කටයුතු හැර ලිංගික සම්බන්ධකම්වල යෙදෙන්නෙ නැහැ. එහෙත් බොහෝ විට ඔවුන්ගේ අතපත ගෑම් වැනි හිරිහැරවලට මට ලක්වන්නට සිදුවෙනවා. ඒ වගේ ම මුදල් නිසාත්... සැමියාගේ බල කිරීම නිසාත් කළාට මම කැමැත්තෙන් මේ රැකියාව කරන්නෙ නැහැ. මට කියන්න අමා, තවදුරටත් මම මේ ජීවිතයේ රැඳී සිටිය යුතුද?

පිළිතුර :-

නිකිණි, ඔබේ සංවේදී කතාව පුවත්පතක පළ කළ නොහැකි තරම්. මේ පිළුණු සමාජය ක්‍රමය තුළ ඔබ වැනි අය බොහෝ දෙනෙකු මට මුණගැසී තිබෙනවා. උදේට පිරිත් කියාගන නැගිටින රෑට පිරිත් කියාගන නිදියන රටක මේවා වෙන්නේ කොහොමද? හැම කපුටු බෝ ගහක් වටේම රන් වැටවල් බඳින නායකයෝ ඉන්න රටක්. සීගිරියටත් විදුලි සෝපාන හයි කරන්න හදන රටක්. ඒත් තාමත් මිලියනයක් විතර මිනිස්සු කුසගින්නේ මිය යන රටක්. වතුර හොයාගන කිලෝ මීටර ගාණක් ඈතට ඇවිදින මිනිසුන් ඉන්න රටක්. ඔයා වගේ අය දහස් ගාණක් අඬ අඬා ජීවත් වෙන රටක්. ඔබේ දෙමවුපියන් ඔවුන්ගේ වගකීම හරියට කරලා නැහැ කියලයි මට හිතෙන්නේ. ගින්දර සහ පුළුං ළං කළ විට ගිනි ගන්නා බව ඔබේ දෙමවුපියන් දැන ගන්නට තිබුණා. ඇය නූගත් කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඔබේ දෙමවුපියන් කළ වැරැද්දට ඔවුන්ට දුන් දඬුවම් ඕනෑවටත් වැඩිය කියලයි මට හිතෙන්නෙ. ගෑනු ළමයෙක් ‍ගෙදර ඉන්නවා කියන්නේ ගෙදර මල් පාත්තියේ ලස්සන මලක් පිපුණා වගේ. ඒත් ඔබ හැම දෙනාගේම හිත් රිදවපු මලක්. මට හිතෙනවා සමහර තැන්වල ස්වභාව ධර්මයාටත් වැරදුණා කියලා. රෝස මලේ නටුවෙ කටු කියන්නේ නටුව දිගේ එන දළඹුවන්ට මල් පොට්ටුවට හානි නොකරන්න. ඒත් මලට හානි කරන්නේ නටුව දිගේ එන දළඹුවො විතරක් නෙමෙයි. මලට උඩින් පියාඹලා එන දෙබරු, සමනල්ලු නිසත් මල විනාශ වෙනවා. ඉතා සිනිඳු සහ සංවේදී පෙති සහිත මල් සුවඳ විහිදවන්නට පෙර විනාශ වෙන්නේ ඒකයි. ඔබත් ඒ වගේ. හිත හීලෑ කරගන්න අපහසු වෙලා. දැන් ඉතිං ගිය දේ ගියානේ. අපි අලුතෙන් ජීවිතය පටන් ගනිමු. ඔබ වහාම ඔය සම්බාහන මධ්‍යස්ථානයෙන් ඉවත් විය යුතුයි. ඔබට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි රැකියාවක් හොයා ගන්න උත්සාහ කරන්න. මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලින් ඔබව මුදවා ගන්නත් මට පුළුවන්. මම ඔබෙන් මුදල් අය කරන්නේ නැහැ. චර්යාත්මක වෙනසක් සඳහා ඔබට චර්යා තෙරපුම් (behavior theropy) ප්‍රතිකාර කිරීමට අවශ්‍යයයි. ඔබේ සැමියා හෝ ලිංගික සහකරුවා වැනි අය නිසා ඔබ ජීවිතය අනතුරේ හෙළාගන්න එපා. ඒ වගේම ඔබට නොපෙනෙන භයානක පැත්තක් මට පේනවා. ඔබට ලිංගික රෝගයක් සම්ප්‍රේෂණය විය හැකියි. දිවි නසා ගන්නට නම් අවශ්‍ය නැහැ. ජීවිතය කියන්නේ එසේ හැර යා යුතු දෙයක් නෙමෙයි.

සිය දිවි නසා ගත් විට ඔබ මෙතෙක් කලක් පවුලකට කරන ලද අවනම්බුවලට වඩා තවත් මකන්න බැරි කැළලක් ඉතිරි වෙනවා නේද නිකිණි. ඒ නිසා මාව විශ්වාස කරන්න. මට ඔබව පුනරුත්ථාපනය කළ හැකියි. අපි ආපහු ජීවිතේ අලුතෙන් පටන් ගනිමු. ඒක එච්චර අමාරු නැහැ නිකිණි. අතීතය එහෙම පිටින්ම වළලා දමන්න. ඔබේ ලිංගික සහකරු සමඟ නීතියෙන් විවාහ විය නොහැකි නම් වහාම ඔහුගෙන් මිදෙන්න. ඔබ දෙදෙනා අතර ආශාව සහ ආර්ථික බැඳීමක් මිස ආදරයක් නැහැ. ඒ නිසා එය එතරම් අපහසු වන එකක් නැහැ. ඔබ වහාම ඔබේ ගමට යන්න. මේ වන විටත් ඔබට ප්‍රවාහන පහසුකම් සැපයෙන ජාත්‍යන්තර ආයතනයක මම ඔබට රැකියාවක් සූදානම් කරලා තියෙනවා. තමන්ගේ ම ශක්තියෙන් නැඟී සිටින්නට වෙර දරන දිරිය කාන්තාවන්ට ගැළපෙන සේවාවන් ලංකාවේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා හිත අධෛර්ය කරගන්න එපා. ඔබට යහපත් අනාගතයක් තියෙනවා. ජීවිතය ජයගත් මිනිසුන්ගේ කතා කියවා බලන්න. ජීවිතයට පාඩම් ඒ කතාවල තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.