කඩදාසි කැටයමින් ලොව දිනූ සමන්ති | සිළුමිණ

කඩදාසි කැටයමින් ලොව දිනූ සමන්ති

පුංචි කාලේ සෙල්ලමට විනෝදයට කරන දෙයක් වැඩිහිටි කාලෙ තමන්ගේ ජිවිකා වෘත්තිය බවට පත් කරගන්නට ලැබෙනවා නම් ඒකත් එක්තරා භාග්‍යයක්. සතුටක්. ඒ භාග්‍යයට උරුමකම් කියන උත්සාහවන්ත දිරිය තරුණියක් පසුගියදා අපට හමුවුණා. අනුරාධපුරයේ සිට තම අත්කම් නිර්මාණ රැගෙන පසුගියදා කොළඹදී පැවැත්වුණු අන්තර්ජාතික අත්කම් හා මෝස්තර ප්‍රදර්ශනයට සහභාගිවීමට පැමිණි ඇය එම්.ජී‍. සමන්ති ප්‍රියදර්ශනී.

සමන්ති මෙම අත්කම් දැක්මට එකතු වුණේ තම දෑතින් නිමවන ලද අපූරු කඩදාසි නිර්මාණ රාශියක් සමඟ. ඇගේ නිමැවුම් සියල්ලම නිපදවීමට යොදගත් ප්‍රධාන අමුද්‍රව්‍ය කඩදාසි. විවිධ හැඩයට කපා සුරුවමට ඔතන ලද කඩදාසි තීරුවලින් මෙන් ම කඩදාසි පල්පවලින් තනන ලද අලංකාර ආභරණ, තෑගි ඇසුරුම්, ආභරණ පෙට්ටි, මංගල කේක් පෙට්ටි, සුභ පැතුම්පත් යතුරු රඳවන හා බිත්ති සැරැසිලි රැසකින් ඇගේ අලෙවි කුටිය සැරැසී තිබුණා. සමන්ති ගේ නිර්මාණ දකින්නෙකු ගේ නෙත් එක් පැහැර වසඟ කරගන්නේ ඒවායෙහි අලංකාර වර්ණ රටාවලියයි. අතිශය සියුම් සුන්දර රටා මවමින් කඩදාසි පටිවලින් නිමවන ලද ඒ සුරුබුහුටි නිමැවුම් සැබැවින් ම නෙත්කළුයි. විශ්මිතයි‍.‍ ඉතා සියුම් ලෙස මැනැවින් සංයෝජනය කරගත් වර්ණ රටාවන්ගෙන් යුතු ඇසුරුම් පෙට්ටි, ආභරණ පමණක් නොවෙයි සුභ පැතුම්පත්වලින් ද දිස්වන්නේ සමන්තිගේ සියුමැලි දෑඟිලිවල දස්කම් මෙන් ම ඇයට කලාත්මක හදවතක් ද ඇති බවයි.

අනුරාධපුරයට නුදුරු කලාඔය උපන් සමන්ති මූලික අධ්‍යාපනය ලැබූයේ කලාඔය මහසෙන් මහා විද්‍යාලයෙන්. අනතුරුව රාජාංගනය යාය 13 – 14 විද්‍යාලයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය දක්වා ඉගෙනුම ලැබුවා. වෙනත් දැරිවියන් තමන්ගේ ළමාවිය බෝනික්කන් නළවමින්, වැලිබත් ‍උයමින් ගත කරන කල සමන්ති හැමවිටම අතට අසුවෙන පුංචි පුංචි කඩදාසි තීරුවලට කපා විවිධ නිර්මාණ කරන්නට උත්සාහ කළා.‍ අවුරුදු හත වෙන විට ඇගේ අතට අසුවුණු ටොෆි කොළයක් බස් ටිකට් එකක් පවා අවසන ලස්සන මලක්, මෝස්තරයක් බවට පත්වුණා. ඇගේ සියුම් හැකියාවන් හොඳින් හඳුනාගත් පියා එම්.ජී‍. වික්‍රමදාස සමන්තිගේ හැකියාව වර්ධනය කරගන්නට උපකාර කළා. ඇගේ අත්කම් භාණ්ඩ සහ සුබපැතුම් පත් දුටු බොහෝ දෙනෙකු ඒවා අගය කළා. වයස අවුරුදු 16 – 17 වනවිට සමන්ති තමන්ගේ නිර්මාණ තාත්තා දන්නා හඳුනන වෙළෙඳසල්වල අලෙවිය සඳහා තැබුවා.

හදිසියේම සිදුවූ සිය පියාගේ අභාවයත් සමඟම සමන්තිට සිය අධ්‍යාපනය අතරමග නතර කරන්නට සිදුවුණා. පවුලේ ආර්ථික දුෂ්කරතාවන් සමඟ පොරබදන එම්.ඒ. විමලාවතී සිය මෑණියන්ට සහය වෙන්නට සිතා රැකියාවක් සොයාගෙන ඇය අගනුවරට පැමිණියා. බම්බලපිටියේ පිහිටි බෙවර්ලි ස්ට්‍රීට් රෙදි සාප්පුවේ වෙළෙඳ සේවිකාවක ලෙස ඇය රැකියාව ඇරැඹුවා. වෙනත් සේවිකාවනට වඩා සුවිශේෂී දස්කම්පාන රජරට යුවතිය කෙරෙහි සාප්පුවේ හිමිකාරිනී දුෂිල් මහත්මිය ගේ අවධානය යොමුවුණා. සාප්පුවේ වැඩ කරන අතර මැහුම් ගෙතුම් කරන්නන්, උසස් සමාජයේ ඉල්ලුමට සරිලන පරිදි වර්ණ සංකලණය හා මෝස්තර නිර්මාණය කරන්නත් සමන්තිට දැනුම හා වැඩිදුර පුහුණුව ලබාගන්නට දුෂිල් මහත්මිය ඇයට උදව් කළා. සමන්ති විසින් ම නිමවන ලද සුබ පැතුම්පත් බෙවර්ලි හිල් සාප්පුවේ අලෙවියට තැබීමටත් ඇයට හැකිවුණා.

ගෙදරදොර කම්කටොලු වැඩිවෙන විට අගනුවර රැකියාවෙන් ඉවත්වී සමන්ති යළිත් ගම්බලා ආවා. රාජාංගනයේ දන්නා හඳුනන කඩ සාප්පුවලට ඇගේ අත්කම් තනා දුන්නා. 2011 වසරේ පටන් ඈ ජාතික ශිල්ප සභාවෙන් පවත්වන ලද අත්කම් හා මෝස්තර නිර්මාණ තරග සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කළා. 2011 ප්‍රථම වතාවට රජරට විස්කම් තරගයේ දී ආධුනික අංශයෙන් ඉදිරිපත්වූ සමන්ති ඉදිරිපත් කළ එම්බ්‍රොයිඩර් අත්කම් නිර්මාණ දෙකකට පළාත් සම්මානය හිමි වුණා. 2012 දී ඇය ඉදිරිපත් කළ එම්බ්‍රොයිඩරි නිර්මාණයට ජාතික සම්මානය හිමි වුණා. 2013 දී විවිධ නිර්මාණ අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබුණා. 2014 දී අහම්බෙන් හමුවූ ගුරුතුමියක් ඇගේ එම්බ්‍රොයිඩරි මැහුම් දස්කම් වර්ධනය කරගන්නට උපකාර වුණා. 2015 දී කඩදාසි නිර්මාණ අංශයෙන් ඉදිරිපත් වූ සමන්තිගේ නිර්මාණයකට ප්‍රථම ස්ථානය හිමිවූ අතරම උතුරු මැද පළාතේ 1, 2, 3 යන ස්ථාන තුනම හිමි වුණේ ඇගේ ජයග්‍රාහී මාවතේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින්.

2014 ස්වාධීන රූපවාහිනී සේවය මඟින් පවත්වන ලද තරගය සඳහා ඇය ඩොලරයේ වටිනාකමට (රු. 135) සමාන නිර්මාණ පහක් ඉදිරිපත් කළා. ඒ තරගයෙන් සමස්ත ලංකාවෙන් ම ප්‍රථම ස්ථානය දිනාගන්නට ඇය සමත්වුණා. 2014 කාර්මික සංවර්ධන මණ්ඩල‍ය මඟින් පවත්වන ලද තරගයෙන් උතුරු මැද පළාතේ හොඳම කාන්තා ව්‍යවසායකයාට හිමි සම්මානය දිනාගන්නට සමත් වූ ඇය 2016 වසරේ රජරට විස්කම් තරගයේ විවිධ ආභරණ අංශයෙන් ප්‍රථම ස්ථානය සහ කුසලතා සම්මානයට හිමිකම් ලැබුවා. එම තරගයේ කඩදාසි නිර්මාණ අංශයෙන් 1,2,3 ස්ථාන මෙන් ම කුසලතා සම්මානය දිනා ගන්නටත් ඇය සමත් වුණා.

සමන්ති සිය නිර්මාණ කෞෂල්‍යයේ කූඨ ප්‍රාප්තිය සනිටුහන් කළේ 2015 ජාතික හස්ත කර්මාන්ත නිර්මාණ තරගයේදී කඩදාසි අංශයේ හොඳම නිර්මාණයට හිමි සම්මානය දිනාගනිමින්. එමෙන් ම 2016 වසරේදී අනුරාධපුර වාණිජ මණ්ඩලය මඟින් සමන්ති හොඳම තරුණ කාන්තා ව්‍යවසායිකාවට හිමි සම්මානයෙන් පුදනු ලැබුවා. මේ වන විට උතුරුමැද මහ ඇමැති පේශල ජයරත්න මහතාගේ සහ ඇමැති ලේකම් වෛද්‍ය ධම්මික සල්ගාදු යන මහත්වරුන්ගේ සහයෙන් අනුරාධපුර නගරයේ කඩ පනහෙන් වෙළෙඳ කුටියක් ලබාගන්නට ඇයට හැකිවී තිබෙනවා. උතුරු මැද කර්මාන්ත අධිකාරියේ සභාපතිතුමා ඇගේ ගමනට නිතර දිරිදෙමින් විවිධ තරග හා ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් වීමට සහය දෙන බව සමන්ති තුති පූර්වකව සිහිපත් කරනවා.

මේ වනවිට සිය දස්කම් තුළින් උපන් රටෙහි නමක් තබා ඇති සමන්තිගේ අරමුණ කෙසේ හෝ අන්තර්ජාතික අත්කම් දැක්මකින් සිය දස්කම් දක්වා ලක්දූවරුන්ගේ හැකියාව ලොවට හඬගා කියමින් සම්මානයට පාත්‍ර වීමයි. මේ වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැති සුරාජ්, කුණ්ඩා, ක්‍රාෆ්ට් මේලා අත්කම් දැක්මට සහභාගි වූ සමන්තිට පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මග පෙන්වීමෙන් චීනයේ පැවැත්වුණු අන්තර්ජාතික අත්කම් හා මෝස්තර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙන්නට අවස්ථාව උදාවුණා. මේ වනවිට ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය හා ඉතාලිය වැනි රටවලට අත්කම් භාණ්ඩ හා විසිතුරු ආභරණ සපයන අලෙවිකරුවන් කිහිප දෙනෙකු සමන්තිගේ නිර්මාණ අලෙවි කර දෙන්නට කැමැත්ත පළ කර ඇතත් ඉල්ලුමේ තරමට භාණ්ඩ සපයන්නට යම් යම් දුෂ්කරතා පවතින බවයි ඇය පවසන්නේ.

කඩදාසි වර්ණ ආලේපන හා පබලු ඇතුළු අමුද්‍රව්‍ය ඇය අගනුවරට පැමිණ මිලදී ගන්නවා. අනුරාධපුරය කඩ පනහ ඇතුළත ඇයට වෙළෙඳ කුටියක් තිබුණත් ඇගේ භාණ්ඩ ප්‍රිය කරන විදේශීය අමුත්තන් එහි එන්නේ කලාතුරකින්. කලාඔය සිට දිනපතා උදේ සවස බස් රියෙන් පැමිණ තම වෙළෙඳකුටිය විවෘත කළ ද ඇතැම් දිනෙක කඩ කුලිය ගෙවාගන්නට තරම් ප්‍රමාණවත් මුදලකටවත් භාණ්ඩ අලෙවි කර ගැනීමට නොහැකි වන අවස්ථා බහුලයි. ඇයට උදව් කරන ගැහැනු ළමුන් කිහිප දෙනාට මුදල් දෙන්නටත් උපයන මුදල මදි බවයි ඇය කියන්නේ‍. අගනුවර හෝ වෙනත් පෙදෙසක අත්කම් දැක්මකට හෝ අමුද්‍රව්‍ය ගැනීමට කොළඹට පැමිණි කල ඇයට සාප්පුව වසා දමන්නට සිදුවෙනවා. අමතර සේවකයන් යොදවා ගන්නට තරම් ඇගේ අතමිට සරු නෑ.

අන්තර්ජාතික තරග හා ප්‍රදර්ශන සඳහා අවස්ථාවන් උදා වුණත් ඒවාට සහභාගි වෙන්නට අවශ්‍ය මිල මුදල් සපයා ගැනීම ඇයට බලවත් අසීරු කාරියක්. චීන සංචාරය සඳහා රු. ලක්ෂ තුනක් වැය වුණු අතර ඒ සඳහා ඇය මුදල් සපයා ගත්තේ රජරට සංවර්ධන බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගත් ණය මුදලකින්. ණයට මුදල් සපයාගෙන හෝ විදෙස් ගත වීමෙන් සිය භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළ අවස්ථාවක් උදා කර ගැනීම සිය අරමුණ වන බව ඇය පවසනවා‍‍. අතරමැදියන්ගෙන් තොරවම සිය භාණ්ඩ අලෙවි කර ගන්නට අවස්ථාවක් ලැබෙනවා නම් එයින් ඇගේ ‍ගැටලු බොහොමයක් විසඳා ගන්නට අවැසි ආර්ථික ශක්තියක් ලැබෙන බවයි ඇ‍ෙග් විශ්වාසය.

කොපමණ බාධා සහ අභියෝග එල්ල වුවත් දෑතේ මෙන් ම සිතේ ශක්තියත් මුසුවූ කල ඒවා ජය ගැනීම එතරම් ලොකු වැඩක් නොවේ යැයි මේ රජරට දියණිය පවසන්නේ බලවත් ආත්ම විශ්වාසයෙන් යුතුවයි. ඇරැඹුමේ පටන් මේ දක්වාම ඇයට දිරිය, සහයෝගය දුන් මව සොයුරිය ගුරුවරුන් මැති ඇමැතිවරුන් ඇතුළු සියලු දෙනාම කෘතවේදීව සිහිපත් කරන්නටත් ඇය අමතක කළේ නෑ.

ගැනුම් කරුවන්ගේ ඇහැට පෙනෙන හොඳම තැනකින් පුංචි අලෙවි කුටියක් ලබාගෙන තමන් දෑතේ - හිතේ සවියෙන් නිමවන ඇගේ සොඳුරු නිමැවුම් අලෙවි කර ගැනීමයි ඇගේ අහිංසක ආශාව. දැනට උතුරු මැද පළාත් සභාවේ කර්මාන්ත අධිකාරියේ අත්කම් උපදේශිකාවක ලෙස කටයුතු කරන සමන්ති අත්කම් ශිල්පය හදාරන්නට කැමති දැරියන්ට සිය දැනුම ලබා දෙන්නටත් කැමැත්තෙන් සිටිනවා.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න
සිරිපාල හල්වල

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.