ගුරු සේවයේ රස කතා | සිළුමිණ

ගුරු සේවයේ රස කතා

නූලෙන් බේරුණු මුල් ගුරු මහතා

අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ගම් කිහිපයකට එක පුංචි ඉස්කෝලයක් තිබුණා. ගම්බද ඉස්කෝලවල ගුරුවරුන් හුඟක් අඩුයි. ගමේ ඉස්කෝලෙක හිටියේ ගුරුවරු එක්කෙනයි නැත්නම් දෙන්නයි. සුද්දන්ගේ කාලේ හින්දා කොළඹින් පාලනය වුණත් වැඩ හරියට අකුරට වෙලාවට ඉෂ්ට වුණා.

හුඟක් ඉස්කෝලවල හිටියේ මුල් ගුරුන්නාන්සේ විතරයි. හුඟක් ඈත සමහර වෙලාවල පහත රට ඈත ගම් පළාත්වල ඉඳලා ඇවිත් මුල් ගුරුනාන්සේ පුංචි ගුරු නිවාසේ පදිංචි වෙලා හිටියා. දෙවැනි මහත්තුරු හිටියේ හුඟක් අඩුවෙන් මුළු ඉස්කෝලෙම වගකීම ඉගැන්වීම කළේ මුල් ගුරුන්නාන්සේ. ඒ අය ඉස්කෝලේ විතරක් නෙවෙයි. හාමුදුරුවෝ ළඟට ගමෙත් නායකයා වෙදකම - නක්ෂත්‍රය දැනගෙන හිටියා. ඒ අයගේ උදව්වට එදා අටේ පන්තිය පාස් කරපු මොනිටර්ලා කියලා ශිෂ්‍ය ගුරු වගේ ගුරුවරු පිරිසක් ඉස්කෝලවල හිටියා. ඒ මොනිටර්ලා තමා පහළ පන්තිවල ඉගැන්නුවේ. කාලයක් ගියාම මොනිටර්ලා ස්ථිර කරනවා.

මේ කියන කතාව 1915 සිංහල - මුස්ලිම් කලබල කාලේ සිද්ධ වුණු කතාවක්. එයාගේ නම අප්පුහාමි. වැඩ කළේ ගලගෙදර කිට්ටුව ඉස්කෝලෙක මුල් ගුරු විදිහට. අද වගේ යන්න එන්න බස් නෑ. පයින් ම තමා ගියේ ආවේ. ගුරු නිවාසේ පදිංචි වෙලා හිටියේ. ගමට ආවේ පඩි ගත්තම මාසෙකට සැරයක්. ඒ ආවම දවස් දෙක තුනක් නැවතිලා හාල් - පොල් - තුනපහ බැඳගෙන ගොනා, දක්කගෙන ඉස්කෝලෙ යන එක එයාගේ පුරුද්ද. ආපහු නිවාඩුවට එනකල් කරත්තෙයි ගොනයි ඉස්කෝ‍ල වත්තේ ගාල් කරලා තියෙනවා.‍

1915 කලබල කාලේ කලබල පැතිරිලා යන කොට ‘මාර්ෂල් ලෝ’ කියලා යුද්ධ නීතිය සුද්දෝ පැනෙව්වා. අඳුරු වැටෙන කොට තුවක්කු අරගෙන මැරෑටි කියන ඉන්දියාවෙන් ආපු හමුදාවයි - කාපිරි හමුදාවයි පාරවල් දිගේ ඇවිදිනවා. හයෙන් පස්සේ පාරවල්වල ඇවිදීම තහනම්. ගෙවල්වල එළිය පාරට වැටෙන එකත් තහනම්. අඳුරු වැටෙන්න ඉස්සර කවුරුත් කාලා බීලා දොරවල් වහගන්න එක පුරුද්දක් වුණා. එදා ගමට ඇවිත් හිටපු අප්පුහාමි මුල් ගුරුන්නාන්සේ බරබාගේ බැඳගෙන පිටත් වෙනකොට ටිකක් වෙලා ගියා. අඳුර වැටෙන්න ඉස්සර ගලගෙදරට යන්නත් ඕනෑ. ගලගෙදරට තව හැතැප්ම හතරක් විතර තියෙද්දී වටින් පිටින් කළුවර වැට‍ුණා. බෙල්ලේ ගෙජ්ජි බැඳලා ගොනා බරබාගේ අදිනවා. ගුරුන්නාන්සේ වේගයෙන් කරත්තේ දක්කනවා.

ඒ කිට්ටුව කඩයක් තියෙනවා. පයින් යන එන කරත්තවල යන අය එතැන නැවතිලා තේ එකක් බීලා යන එක පුරුද්ද. මුල් ගුරුන්නාන්සේ මෙතැන නතර නොවී යන්නයි හිතුවේ.

“අද රෑ වුණා. මම යන්නම්” කියලා මුල් ගුරුන්නාන්සේ මුදලාලිට කිව්වා.

“මේ වෙලාවේ මැරෑටි යනවා. එනවා. පාරේ යන එක අවදානම්. කරත්තේ මෙහේ නවත්තලා පාන්දර පිටත්වෙන්න” මුදලාලි කිව්වා.

ඒ කිව්වේ හිතවත්කමට. කරත්තේ නවත්තලා, තේ බොන්න සුනංගු වෙන්නේ නැතුව මුල් ගුරුන්නාන්සේ ලන්තෑරුමක් පත්තු කරලා කරත්තේ ඉස්සරහින් එල්ලුවා. ඉක්මනින් පිටත්වුණා. වැඩිදුරටත් එයාට යන්න ලැබුණේ නෑ. ඈතින් මැරෑටි එන එළිය පාරේ පෙනුණා. පාරේ හිටියොත් වචන දෙකක් නෑ වෙඩි තියනවා. මුල් ගුරුන්නාන්සේ කළේ ඒ ළඟ හරස් පාරක තිබුණු ගෙවල් දෙක තුනක් මැද්දට කරත්තේ දක්කගෙන ගිහින් ලන්තෑරුම් ගලවලා ගොනා ළඟ තිබුණු ගහක බැඳපු එක. මුල් ගුරුනාන්සේ ළඟ ගෙදරක හැංගුණා. මැරෑටි හමුදාවයි කාපිරියි ඇවිත් පාරේ හැමතැනම සද්ද බද්දකර කරත්තේ හොයනවා. පාර කිට්ටුව හැම තැනම බලනවා. පැය බාගයක් විතර යනකල් හමුදාවේ කලබලේ. සද්ද බද්ද ඇහුණා. මුල් ගුරුන්නාන්සේ හැලහොල්මනක් නැතුව ගෙට වෙලා හිටියා පාරෙන් ඈත හින්දා කරත්තේ පේන්නෙත් නෑ. ගොනා ගහේ බැඳලා සද්ද බද්ද අඩු වුණා. මැරෑටි පාර දිගේ ඉස්සරහට යන සද්දේ ඇහුණා.

“මේ වෙලාවේ එළියට බහින්න එපා. උන් තර‍ෙහන් පුපුර පුපුර ගියේ. දැක්කොත් වෙඩි තියෙනවා. දැන් මේ රෑ නැවතිලා පාන්දර ඉස්කෝලෙට යන්න ගෙදර අය කිව්වා. මුල් ගුරුන්නාන්සේ ඒකට කැමති වුණා. ටික වෙලාවකින් එයා ගිහින් ගොනාට පිදුරු කට්ට දෙක තුනක් කෑමට දැම්මා. පාන්දර එළිය වැටෙන කොට මුණ හෝදගෙන ගොනා බැඳගෙන ආයෙත් ඉස්කෝලෙට කරත්තෙන් පිටත් වුණා. එදා රෑ හැංගුණේ නැත්නම් එයා වෙඩි කාලා මැරෙනවා.”

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන
ගුන්නෑපාන 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.