පොට්ටුවක් තිබ්බා නම් සර් නියම ඉන්දියානුවෙක්! | සිළුමිණ

පොට්ටුවක් තිබ්බා නම් සර් නියම ඉන්දියානුවෙක්!

දුෂ්කර වූ ගුවන් ගමන නිමා කරමින් අහස් යානය හුරු පුරුදු උස් පහත්වීම්, දෙදරුම් කැවීම්, චලනයන් මැද දිල්ලි ගුවන් තොටුපළ බිම සිප ගත්තේ සියලු මගීන් අවදි කරවමිනි.

යම් රාජතාන්ත්‍රික ස්වාභාවයකින් මේ ගමන ආවා නම් සෙසු මගීන් නොලබන යම් යම් වරප්‍රසාද ඇතිව තොටුපළ භූමියෙන් පිටව යා හැකිව තිබීම නරේන්ද්‍රගේ මතකයට ආවේ ය.

“නෑ... නෑ... මේ තමා හොඳම ක්‍රමය.”

ඔහු රාජකාරිමය සෝදිසි කිරීම්වලට ඉඩ දී අවසන පිටතට ආවේ සැනසිලි සිතකින් වුවත් දහස් ගණනකට වැඩි මිනිසුන් අතරේ හුෙදකලා මිනිසෙකු වී ඇතැයි මඳක් සසල විය. අහසේ පියාසර කරන්නට බලා සිටිනා මිනිස්සු බොහෝ ය. පොළොවේ පය ගසන්නට බලා සිටිනා මිනිස්සු? බොහෝ ය.

නරේන්ද්‍ර ප්‍රියදෝණි මහමායා සමඟ ඒක පාක්ෂික සංවාදයක යෙදෙමින් කුලී රථයක් සොයා ආවේ සිතට පීඩා දුන් ප්‍රශ්න හා ගැටලුවලින් හරි අඩක් විසඳී අවසාන යයි ද සිතමිනි.

අවසන ඔහු මහාමන්දිර් හෝටල් සංකීර්ණය වෙත යෑමට කුලී රථයක් සොයා ගත්තේ ය. රථය දුටු ඔහුට සිතුණේ ඉන්දියානුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිස අනවශ්‍ය භාණ්ඩවලට අත තබන්නට තවමත් පුරුදු නැති බවකි.

රථ ගාලෙන් රථය පිටතට ගැනීම රියැදුරාට පහසු වූයේ නැත. කුලී රථ සොයන දෙස් විදෙස් ජනයා බොහෝ ය. ඉන්දියානුවන්ට වඩා විදේශිකයෝ ය.

ඉන්දියානු දේශපාලන සංස්කෘතිය ලංකාවේ දේශපාලනයට කළ සංක්‍රමණික බලපෑම් පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක් කිරීම සඳහා ප්‍රියදෝණි මහමායා මෙහි පැමිණ සිටී. ඉන්දියානු ශිෂ්‍යත්වය ආකර්ෂණීය කර ගැනීමට ඔවුන්ගේ විදේශීය ප්‍රතිපත්තියේ සොඳුරු බව ගැන ප්‍රියදෝණි මහමායා සටහන් තැබිය යුතුමය.

ඉතා සියුම්ව ක්‍රියාකාරී වන එවන් සැඟවුණු වරදානයක සැබෑව තේරුම් ගැනීමට තරම් දැනුමක් මේ නිහඬ හිතුවක්කාර ගැහැනියට නැතුවා නොවේ. ඇය පිළිබඳ තම සිත මෙතරම් ළෙන්ගතුකමක් ඇත්තේ ඇගේ ඒ අදීන හිතුවක්කාරකමට ‍ෙනාවේද?

කුලී රථය මහා මන්දීර් හෝටල් භූමියට ප්‍රවිෂ්ට වනවා නරේන්ද්‍රට දැනුණේ නැත.

“සර්... අපි හොටෙල් එකට ආවා...”

රියැදුරා කීවේ ය. නරේන්ද්‍ර දෙනෙත් හැර වට පිට බැලුවේ ලේකම්වරයා අන්තර්ජාලයට පිවිස පෙන්නා දුන් මහා මන්දිර් සැකහැර හඳුනා ගැනීමට ය.

“සර්. බෑග් කාමරේට ගෙනියන්න උදව් කරන්නද?” රියැදුරා ඇසුවේ මිත්‍රශීලී ළෙන්ගතු හඬකිනි. නරේන්ද්‍ර කල්පනාකාරී විය.

“සර්”

රියැදුරා නැවතත් කතා කළේ ය.

“මං ලංකාවෙ. මගේ තාත්තා වැඩ කළේ ඇමැතිතුමාගේ වත්තක”

“ඇමැතිතුමා කිව්වෙ?”

“සර්ගෙ තාත්තා”

“ඇත්තද? සතුටුයි අහන්න ලැබුණාට. මොකක්ද නම?”

“කුමාරවේල්. තාත්තා දෙමළ. අම්මා සිංහල. අපි ලංකාවෙ හිටියෙ සතුටෙන්. දැන් දුකෙන් ඉන්නවා නෙමේ. මගෙ නෝනා ඉන්දියාවෙ නිසා කරදර නැහැ. ඒත් හිත යට මහා වේදනාවක් තියෙනවා. දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ තමා. යමු... යමු... කාමරේට. මට තව ටිකකින් හයර් එකක් තියෙනවා.

රියැදුරා නරේන්ද්‍රට අවශ්‍ය සියලු උපකාර කොට ආපසු ගියේ නම සහ දුරකථන අංක ඇති නම් පතක්ද? දෙමිනි.

“සර්, මට කතා කරන්න ගමන් බිමන් යන්න. කමක් නෑ වෙන කෙනෙක් එක්ක ගියත්. හැබැයි හුඟක් පරෙස්සමෙන්.”

“මට දිල්ලි යුනිවර්සිටි එකේ හිස්ට්‍රි පැකල්ටි එකට යන්න ඕනෑ. පැකල්ටි එකකට නෙමේ හොස්ටල් එකට.”

“සර් ඉතිහාසෙ ඉගනගන්න ආවා?”

“අපොයි නෑ. මගෙ නංගි ඇවිත් ඉන්නෙ”

රියැදුරා කුටියෙන් පිටව ගිය පසු නරේන්ද්‍ර කුටිය සිසාරා බැල්මක් හෙළුවේ ය.

යුගල ඇඳ විශාල ය. මෙතරම් විශාල යහනක් සහිත කුටියක් වෙන් කිරීමට සිරිමෙවන් ලේකම්වරයා පියවර ගත්තේ මන්දැයි නරේන්ද්‍ර සිතුවේ සිහින් සිනාවක් පැතිරෙන මුහුණ කැඩපත දෙසට යොමු කරමිනි. ඉන්දියානු කැටයමින් අලංකාර ටෙලිෆෝනය තමා එවෙත නිහඬව කැඳවන්නාසේ ඔහු දුටුවේ ය.

නරේන්ද්‍ර කණ්ණාඩි මේසය පසක වූ ඔර්ලෝසුව දෙස බැලුවේ ය.

මහාමායාව මේ වනවිට නේවාසිකාගාරයේ වීමට පුළුවන. ඔහු දුරකථනය අතට ගත්තේ ය. ඇය වසන කාමරයේ දුරකථන අංකයට සෙමෙන් සෙමෙන් අතැඟිල්ලක් තැබුවේ ය.

ඇමතුමට ප්‍රතිචාර ලැබිණි.

“හලෝ”

ඇය ඒ වදනින් ඔහු ඇමතූ පළමු අවස්ථාව එය විය. නරේන්ද්‍ර මොහොතක් නිහඬව සිටියේය. දෙවැනි වරටත් ඇය “හලෝ” කියන විට ඔහු දුරකථනය විසන්ධි කළේ ය.

මේ නිහඬ නාටකය තෙවරක් රඟපෑමෙන් පසු ඔහු ඇය සොයා නේවාසිකාගාරයට යෑමේ තීරණය ගත්තේ ය‍. ඒ සඳහා කුමාරවේල් රියැදුරා කැඳවිය යුතුද නැද්ද දෙගිඩියාව තුළ දෝලනය වෙමින් ඔහු නාන කාමරයට ගියේ ය. එවිටම කුටියේ දුරකථනය ඇමතුම් හඬක් පතුරුවන්නට විය.

නරේන්ද්‍ර ආපසු හැරුණේ ය. ඇමතුම් අංකය ප්‍රියදෝණි මහාමායාවගේ නේවාසිකාගාර කුටියේ ය. ඔහු දුරකථනයට අත තැබුවේ නැත.

“හොයනවා ඇති කවුද කියලා.”

ඔහුගේ සිතෙහි සැනසුම් සහගත ප්‍රහර්ෂයක් උපන්නේ ය. ඔහු වහ වහා ගමනට සූදානම් විය.

සැන්දෑ අහස මඳක් කළුවර ය. ගමනට කුමාරවේල් කැඳවා ගැනීමේ කැමැත්ත ජය ගත්තේ ය. ඔහු කුමාරවේල් සොයන්නට විය.

“කුමාරවේල් හයර් එක ගියාද? කොහෙද ඉන්නෙ?”

“ඒ හයර් එක කැන්සල් වුණා සර්. මං වැඩ කරන්නෙ මහා මන්දිර් හොටෙල් එකට. කාර් පාක් එකේ ඉන්නෙ.”

“එහෙම නම් මං එක්ක පැකල්ටියට යමු ද?”

“යමු...සර්. මං ඔය කියන හරිය ගැන තොරතුරු ටිකක් හොයා ගත්තා. මැප් එකකුත් මං ළඟ තියෙනවා.”

කුමාරවේල් වාහනයේ සුක්කානම කරකවන්නෙකු පමණක් නොවේ යැයි හැඟීම නරේන්ද්‍රට තවත් සහනයක් විය. සාමාන්‍ය ගමනකට යන්න සේ කමිසයක් සරමක් හැඳ ගත් නරේන්ද්‍ර දෙස කුමාරවේල් බැලුවේ පුදුමයෙනි.

“ඇයි පුදුම වෙලා...?”

නරේන්ද්‍ර ඇසුවේද පුදුමයෙනි.

“සර් නළලට පොට්ටුවක් තිබ්බා නම් නියම ඉන්දියානුවෙක්.”

නළලට පොට්ටුවක් නොව හිසට අං තට්ටුවක් තබා හෝ තම රට උඩු යටිකු‍රු කරන්නට ඉන්දියානුවන් ගන්නා වෙහෙස ගැන කුමාරවේල් වැනි අහිංසක මිනිසෙකුට කීමෙන් ඇති ඵලය කුමක්ද?

සරසවි භූමිය මැදින් කුමාරවේල් වාහනය ගෙන ගියේ නිතර එහි යන එන පුරුදුකාරයෙකු මෙනි.

ප්‍රියදෝණි මහමායාගේ සොඳුරු, සංක්‍රමණික, ඉන්දියානු දේශපාලන සංස්කෘතිය, පිළිබඳ ගවේෂණය ඉන්දියානු මතවාදයන්ට ආවැඩීමේ ප්‍රයත්නයක එක් අංශුවක් වීමට පුළුවන. ඇගේ ශිෂ්‍යත්වය ගැන නොසිතා සිටීමට නරෙන්ද්‍ර අසමත් විය.

“නමක් හදාගෙන ආවා. එයා ඒක නැති කර ගන්නයි හදන්නෙ. බලමු වෙන දේ‍. මං ඉන්නවනෙ‍. එයාට බැහැ දවසින් දවසට එක එක කතා කියන්න.

නරේන්ද්‍ර දීර්ඝ කල්පනාවක නියැළී සිටිනා සැටියක් කුමාරවේල් දුටුවේය. කුඩා කල නම මතකයන්ට අනුව මේ ඇමැති පුත්‍රයා ඔහුගේ පියාට බොහෝ සමානකම් ඇත්තෙකි. ඔහු නිහතමානී ස්වාමියෙකු වුවත් කිසිවෙකුගේ අනවශ්‍ය ප්‍රශ්නවලට උත්තර නොදෙන්නෙකැයි මතයක් වත්තේ සුළු නිලධාරීන් අතර විය. එය ඔහු කෝප කරවන්නට සමත් විය. පුත්‍රයා ද පියා සේම ප්‍රශ්න කිරීම්වලින් කිපෙන්නෙක් විය හැක.

“මහ අහංකාර පාටයි‍. ලොකු සර් නම් සැර නැහැ. මං මොකටද මට වැඩකට නැති ප්‍රශ්න අහලා හිත් රිදවා ගන්නෙ‍. ලංකාවෙ කතාවක් තියෙනවා මොරටුවේදී ගහට ගහක් මුණ ගැහෙනවා කියලා. මේත් ඒ වගේ සිද්ධියක්.”

කුමාරවේල් විශාල සරසවි භූමියේ පළල් වූ මාවතකට රථය හැර වූයේ ය.

නරේන්ද්‍රගේ සිතට කරුණාරත්න දිවුල්ගනේ ගායකයාගේ ගැයුමක ගී පද කිහිපයක් පිවිසුණේ යටි සිත නිධන්ගතව තිබී මතුව එන්නාසේ ය.

“ගසක මල් පිපී ඇත‍. පිපුණේ කිම්ද දන්නේ නැත. සිත බැඳී ඇත. ඒ කුමක් නිසා දැයි තවමත් සොයමිනි. මේ බැඳීම කිසිවෙකුට තහනම් කළ නොහැකි ය. මේ සොඳුරු මනරම් ප්‍රේමය ලොවට පෙනෙන්නේ නැත‍. ඇයට පෙනෙන්නේ ද නැත. ඇයට එය පුදුමයක්ම ය.”

“කවුරු වුණත් මටම ලිව්වා වගේ ගීතයක්. මං ගැන දන්නා කෙනෙක් ලියලා වගේ. අපි ගීත කලාවටත් හරියට අගයක් දෙන්නෙ නැති මිනිස්සු. ගායකයා ගැන දන්නවා. පද රචකයා ගැන දන්නෙ නැහැ. ගීය හොඳට හිතට වැදුණාම අපේ කරගන්නවා. ගී පද රචකයා සමහර විට හූල්ලනවත් ඇති.”

නරේන්ද්‍ර තුළ නැඟී සිටි පෙම්වත් මිනිසා;‍ සාධාරණය අසාධාරණය අතර ඇති දුරස්ථභාවය ගැන සිතන්නට වූයේ තමා ප්‍රියදෝණි මහමායා කෙරෙහි කෙතෙක් දුරට සාධාරණ වී දැයි සිතින් මතුව එන ප්‍රශ්නයට සිතටත් රහසින් පිළිතුරු සොයමිනි.

“සිරිමෙවන් හරි. අපි දෙන්නා අතර තියෙන්නෙ මගේ පෞද්ගලික සංස්කෘතිය ගැන එයා තේරුම් නොගන්න ගැටලු ටිකක්. මං මනුෂ්‍යයෙක් නෙමේද? මං සංචාරයකට බ්‍රහ්ම ලෝකෙන් මනුස්ස ලෝකෙට ඇවිත්ද? හෙට අනිද්දා ආපසු බ්‍රහ්ම ලෝකෙටම යන්නද ඉන්නෙ?

කුමාරවේල් විශාල ගොඩනැඟිල්ලක් ඉදිරිපිට රථය නවතා පිටුපසට හැරුණේ ය.

“මේ තමා සර්ට යන්න ඕන නැත.”

නරේන්ද්‍ර දැන්වීම් පුවරු දෙස බැලුවේ ය. ඒ ඉතිහාස අධ්‍යයන මණ්ඩපයයි.

“මට යන්න ඕන හොස්ටල් එකට”

“මෙතන ආරක්ෂක අංශයට දැනුම් දීලා අර පුංචි පාරෙන් ඉස්සරහට මීටර් දෙසීයයක් විතර ගියාම හොස්ටල් එක.”

නරේන්ද්‍ර ආරක්ෂක අංශය වෙත ගියේ කුමාරවේල් ද සමඟ ය. ඔහුට අවසර පතක් ලැබුණේ ය. එය නිකුත් කළ නිලධාරිනිය කුමාරවේල් හා හින්දි බසින් කළ සංවාදයට නරේන්ද්‍ර සවන් දුන්නේ මඳ සිනාවක් මුහුණේ ඇතිවය.

“කුමාරවේල් මොනවද මේ මිස් ඇහුවෙ?”

“සර් ලංකාවේ අගමැතිද ඇහුවා.”

“ඇයි ඒ? මොකක්ද ඒකෙ තේරුම?”

“ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝඩි?”

“ආ. එයා හිතනවා ඇති ලංකාව ඉන්දියාවෙ කාබන් කොපියක් කියලා.”

නරේන්ද්‍ර සුරතල් උරණ ස්වභාවයක් දෙනෙතට නංවා ගනිමින් කීවේ ය.

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.