වයස 69 යි තවමත් පාසල් යන සීයා | සිළුමිණ

වයස 69 යි තවමත් පාසල් යන සීයා

අවුරුදු 14-15 වයසේ පසුවන පන්ති මිතුරු මිතුරියන් සමඟ ඔහු ඉමහත් සතුටකින් සිය ඉගෙනීමේ කටයුතු කරගෙන යයි. ඊට අමතරව ඔහු ඔවුන් සමඟ ක්‍රීඩාද කරයි.

වයස අවුරුදු හැට ඉක්මවූ අපේ රටේ කීප දෙනෙකු සාමාන්‍ය සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි අවස්ථා කිහිපයක් පිළිබඳ පසුගිය කාලයේ අපට අසන්නට ලැබිණි. අප මේ කියන්නට යන්නේ ද එවැනි තවමත් පාසල් යන වයස්ගත පුද්ගලයකු ගැනය. වයස අවුරුදු 69ක් වන ඔහු දුර්ගා කාමී ය. දුර්ගා කාමී ඉගෙන ගන්නේ පාසලේ 10වැනි ශ්‍රේණියේය.

නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයේ සිට සැතපුම් 155 ක් දුරින් පිහිටි සියැංගි ගම්මානයේ පදිංචි දුර්ගා සීයා කෙනෙකි. කාමී කුඩා කාලයේ ගමේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබා ඇති අතර පවුලේ දුගී බව නිසාම ඔහුගේ පාසල් ගමන අතරමඟ නතරවී ඇත. කුඩා කල සිටම ඔහුගේ සිහිනය වූයේ ගුරුවරයකු වීමය.

කාමී සය දරු පියෙකි. ඔහුගේ බිරිය මීට වසර පහළොවකට පමණ පෙර මියගොස් ඇති අතර දරුවෝ විවාහවී වෙනම ජීවත් වෙති. හුදෙකලා ජිවිතයක් ගත කරද්දී දැනෙන පාළුව කාන්සිය මෙන්ම දුක්ඛ දෝමනස්සයන්ගෙන් මදකුදු හෝ අස්වැසිල්ලක් ලැබීම සඳහා කාමී යළිත් වරක් පාසල් යෑමට තීරණය කළේය. සැමියකු හා පියකු ලෙස ඉටු කිරීමට තිබූ යුතුකම් නිසා කාමිට යොවුන් වියේදී මෙන්ම මැදි වියේදීද අධ්‍යාපනය සඳහා ප්‍රමුඛත්වය දීමට නොහැකි විය.

මහලු වයසේදී පාසල් යෑමට තීරණය කළ කාමී සිය අදහස ශ්‍රී කලා බයිරැබ් උසස් ද්වීතියක පාසලේ බලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව පාසල් බලධාරීන් ඔහුට ඒ සඳහා අවස්ථාව සලසා දී තිබේ. එපමණක් නොව පාසලෙන් ඔහුට අධ්‍යාපන ශිෂ්‍යත්වයක්ද පිරිනමනු ලැබිණ. ඒ සමගම ඔහුට පාසල් නිල ඇඳුම් කට්ටලයක්ද ලැබිණි. අළු පැහැති දිග කලිසමක් සුදු කමිසයක් සහ ටයි පටියක් එම නිල ඇඳුමට අයත්ය. එසේම ඔහුට පොත් පත් හා ලිපිද්‍රව්‍ය ද පාසලෙන් ලැබේ.

කාමී වෙසෙනුයේ කඳු මුදුනක පිහිටි දිරාපත් වූ කුඩා නිවෙසකය. එසේම ඔහු වසන ගම්මානයේ නිතර දෙවේලේ විදුලිය ඇනහිටීම්ද සිදුවේ. එවැනි අවස්ථාවලදී විදුලිය පන්දමක ආධාරයෙන් පොත පත කියවීමට ඔහු පුරුදුව සිටී.

අවුරුදු 14-15 වයසේ පසුවන පන්ති මිතුරු මිතුරියන් සමඟ ඔහු ඉමහත් සතුටකින් සිය ඉගෙනීමේ කටයුතු කරගෙන යයි. ඊට අමතරව ඔහු ඔවුන් සමඟ ක්‍රීඩාද කරයි. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව වොලිබෝල්ය. අවුරුදු 69 ක් වයසැති මේ සීයා සමඟ පන්තියේ එකට වාඩිවී සිටි සිසුන්ට මුලදී කාමී නිසා ඇතිවී ඇත්තේ මහත් අසහනකාරී හැගීමකි. එහෙත් ටික දිනක් ගතවෙද්දී ඔව්හූ කාමීට, 'බා' යනුවෙන් අමතන්නට පුරුදු වූහ. නේපාල භාෂාවෙන් 'බා' යන වදනේ අරුත 'තාත්තා' යන්නයි.

කාමී ඉගෙනීමට තරමක් දුර්වල වුවත් ඔහුට හැකි පමණින් උදව් කරන බව පන්තියේ මිතුරෝ හැමවිටම පවසති. උසස් අධ්‍යාපනයට මඟ පාදන පාසල් හැරයෑමේ සහතික පත්‍ර විභාගයට පෙනී සිටීමටත්, සිය ජීවිතාන්තය දක්වාම අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත් අදහස් කරන බව මේ අපූරු මිනිසා රොයිටර් පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පසුගියදා පවසා ඇත්තේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.