‘පනාමුරේ ඇත් රාජා’ අලියෙක් ද? කෙණෙරක් ද? | සිළුමිණ

‘පනාමුරේ ඇත් රාජා’ අලියෙක් ද? කෙණෙරක් ද?

2017 ඔක්තෝබර් 29 දා සිළුමිණ පුවත්පතේ ‘ලොවම හඬවා අලි නිදහස රැක දුන් පනාමුරේ ඇත් රැජන’ හිසින් පළ වූ ලිපියට යම් පිරිසකගේ සිත බිඳී ගිය බව ප්‍රතිචාරවලින් පෙනී ගියේය. ඊට හේතුව වූයේ ‘පනාමුරේ ඇත් රාජා’ යනු පිරිමි සතකු බවට වසර 67ක් තිස්සේ පැවති මතය ඉන් අභියෝගයට ලක් වීමයි. පනාමුරයේ ස්වාභාවික ලකුණු අද අප හඳුනාගන්නේ ‘නළියන දිය බුබුළ’ නිසා පමණි. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් රත්නායක මහතා දැඩි පරිශ්‍රමයෙන් ඉදි කළ අලි වැටේ සහ අලියාගේ ආකෘතිය පමණි අපට ඒ ඉතිහාසයේ මතක රැක දෙන්නේ. ඔහු කළ ආරාධනයකට අනුව අපි යළිත් පනාමුරය සහ කොළොන්න බලා පිටත් වූයේ ඇත්ගාල සියැසින් දුටුවකු සහ අලි බැඳීමට සහභාගි වූ අයකු හමු වීමටය. මේ ලිපියේ අරමුණ ඔවුන්ගේ ප්‍රකාශ කිසිදු සංස්කරණයකින් තොරව ඒ අයුරින්ම සටහන් කිරීමය. ඉතිහාස කරුණු ඉදිරිපත් කිරීමක් බැවින් පාඨකයන්ගේ අවධානයට 2011 මෑන් බුකර් සම්මානය හිමි කරගත් ජුලියන් බාන්ස් නම් ලේඛකයාගේ The sense of an ending කෘතියේ සඳහන් යම් කරුණක් සිහිපත් කිරීමට කැමැත්තෙමි. ‘ඉතිහාසය යනු ජයග්‍රාහකයන්ගේ මුසාවක් හෝ පරාජිතයන්ගේ මුළාවක් හෝ නොව, දිවි ගලවාගත්තන්ගේ මතකයන්ය... ඉතිහාසයේ නියත බව ඉදිරිපත් වන්නේ මතකයේ අඩු-ලුහුඬුකම් හා ලේඛනගත කිරීම්වල අසම්පූර්ණතා හමු වන මොහොතේදීය... යමකුට මතක සිටින්නේ අතීත සිදුවීම්වල තමන්ගේ සංස්කරණය පමණි...’

පී. කිරිගෝරිස් අප්පුහාමි (83)
මෝලෙගෙදර, පනාමුරේ

මම ඉපදුණේ කෑල්ල ගමේ. මෙහාට 1946 ඇත්ගාල හදනවා බලන්න ආපු ගමන බාප්පා ළඟ නතර වුණා. බාප්පා උසාවියේ මුරකරුවා. ගාල ඉවර කළේ 1950. අක්කර පහක් වට කරන්න, අඩි දෙකහමාරක් විතර පළල බුරුත ගස් ගෙනාවේ ඈතින් කපලා. අගොස්තු 8 වැඩ ඉවර කරලා, හරියට 9 වැනිදා තමයි අලි බැන්දේ. එකෙක් බඳින්න බැරි වුණා: දාහත් දෙනෙක්ගේ රැළේ නායක ඇතා. හැබැයි දළේ පොඩ්ඩයි. අඩි නවයක් විතර උසයි. පොඩි පැටව් දෙන්නෙකුත් හිටියා. රංචුවේ නායකයා තමයි ඉදිරියෙන් ගියේ. කවුරුත් කීවේ නෑ නේ මොලමුරේ උන්නැහේට මේ නායකයා අල්ලගෙන හිටියා නම් හරි කියලා. අපි බලාගෙන ඉද්දි වෙඩි තිබ්බ, අලි ඇතුළු වෙන දොරටුව, දැන් අර ඇතා හදලා තියෙන තැනදි රත්නපුරේ පොලීසියේ සුද්දෙක් වගේ මහත්තයෙක්. ගාලට දොරටු දෙකයි. එකක් නැඟෙනහිරින්. අලියා ඇතුළු වුණේ දකුණෙන්. අලි බඳින්න ආවේ ඔක්කොම අවුරුදු තිහ-හතළිහෙන් උඩ අය. වලල්ගොඩ මහ රාලහාමි තමයි අලින්ට මන්ද දාලා දුන්නේ. මොලමුරේ මහත්තයා රාලහාමිගේ පුතාට ගැහුව තරහට මන්තරයක් කරලා කුලප්පු කළාට පස්සේ කාට වත් සතා මෙල්ල කරන්න බැරුව ගියා. මහ රාලහාමිට ඕන විදිහටයි වැඩ. අලියා වැටෙනකොටම සේරම වට වෙලා කෙඳි කඩන්න ගත්තා. එතකොට මොලමුරේ හැමෝටම ගැහුවා. ඒ අලියා පිච්චුවා. මට එතකොට දාසයයි නේ. බලන්න විතරයි දුන්නේ. මම ගාලේ චිත්‍රයකුත් ඇන්දා ළමයින්ට බලන්න.

හේවාගම ආරච්චිගේ පැන්ටිස් (89)
කොළොන්න

මම 1949 දී කොළොන්නට ආවේ මාතර ඉඳන්. තාත්තා ගොවිතැන් කළේ. ඉස්කොලේ දෙකේ පන්තියේදී මම ගෙදරින් පැනලා අලි බාසුන්නැහේලත් එක්ක ගියා. යක්කලමුල්ලේ ඇඩ්ඩින් මුදලාලිගේ ‘කදිරා’ බලාගත්තා 1948දි. ඒ අලියා විකුණ්ණා මාතර කේ.ජී.ජේ. වීරසිංහ මහත්තයාට. මමත් ආවා එතන්ට. ඒ වැඩ කරද්දි තමයි මට මඩුවන්වෙල කෝරලේ ළඟට එන්න සිදු වුණේ. අලි ගාලට එන හින්දා බලන්න ආසාවට ආවේ. මාතර-දෙණියාය බස්-එකෙන් ඇවිත් සූරියකන්දෙන් බැහැලා බැමිණියාමුල්ල රාලහාමිගේ වෑන්-එකේ ආවා කොළොන්නට. කෝරලේ හාමුදුරුවන් හිටියේ නෑ. ජෝන් අප්පුහාමි හිටියා. කොරලේ හාන්දුරුවො මට ලියමනක් එවලා තිබෙනවා ඒකට ආවේ කියලා මම ලියුම දුන්නා. සතියක් යද්දි ජෝඩුව නුවර ඉඳන් ආවා. ඩිංගිරි හාමුදුරුවෝ කියලා කියන්නේ සිරිමාවෝ මැතිනියගේ නෑනා.

කෝරලේ උන්නාන්සේ ආපු ගමන් මගෙන් ඇහුවා ‘උඹ මොකද?’ කියලා. මම විස්තරේ කීවාම ‘ආ... උඹද මිනිහා?’ කියලා මට ‘කදිරා’ බාර දුන්නා. වටපිටාවේ අය ‘මේ ළමයාට මේ අලියා බලන්න පුළුවන්ද?’ කියලා ඇවිත් මම නිඳාගෙන ඉන්න තැන ජනේලෙන් බලනවා. අලියා හිටියේ කොළඹගෙආරෙ කැලේක ගස් අදිමින්. මම පුංචි මිනිහා වුණාට දක්ෂයා. මම හිතාගත්තා ‘උඹලට පෙන්නන්නංකො අලි බලන හැටි!’ කියලා. මොකද: බණ්ඩයියාට මෙල්ල නූණට, මට මෙල්ලයි. ඔහොම සීලවතී වලව්වේ ‘කදිරා’ ළඟ කාලයක් වැඩ කරද්දි, ‘අලි බඳින්න යන්න පුළුවන්ද?’ ඇහුවා.

තංකැටියේ ඉඳන් පනාමුරේට රැක්ම දාලා අලි පැන්නුවා. රතිඤ්ඤා දැම්මා. සුමානයක් දෙකක් තිස්සේ එනවා රැවුල් වැට දිගේ. එක දොරටුවයි ඇත්ගාලට තිබුණේ, උල්පතට එහා පැත්තේ, රත්නායක මහත්තයා ඇතා හදලා තියෙන තැනට ඩිංගක් එහා. අලි ගාල් කළාම ලොකු කණු දාලා තේඩාවලින් බඳිනවා, දොරටුව හොයන්න බැරි වෙන්න.

ඒ සැරේ අපිට අහු වුණේ දහඅටයි. හතළිහක් විතර රංචුවේ ඉතිරි ටික අල්ලන්න බැරි වුණා. මාසයක් විතර අලි ටික ඔහේ හිටියා. කෑම තියෙන තැනට ඇවිත් පෝලිමේ කනවා. බඳින්නේ දවසට අලි එකයි දෙන්නයි. මිනිසුන්ට බලන්න ඕන හින්දා.

මම කීවා ‘ඇඩ්වකට් හාමුදුරුවනේ, නායක අලියා බැඳලා ඉන්න’ කියලා. ‘උඹ දන්න කෙහෙල්මලක් නෑ මෙච්චර වයසක මිනිස්සු ඉද්දි!’ කීවා. එතකොට මට 22යි. මම විතරයි තරුණ කොල්ලෙක්ට හිටියේ. අනිත් අය ඔක්කොම අවුරුදු පනහ-හැට-හැත්තෑව වුණු අය.

මම ඇහුවා ‘ඒ වයසක මිනිස්සු එක වල් අලියෙක් අල්ලලා තියෙනවාද? මම ඕන තරම් හොරෙන් අලි අල්ලලා ලොරියට පටවලා දීල තියෙන නිසායි කියන්නේ’ කියලා. ඉස්සර මම අතට මන්තරේ මතුරලා අත දික්කළාම වල් අලි එහෙම්ම දණගහනවා. ඊට පස්සේ නළලට අත තියලා මැදැඟිල්ලයි මහපටැඟිල්ලයි එකතු කරලා ටික් ගාලා අත හැසුවාම හැරිලා දුවනවා. එච්චර දන්න මම එහෙම කීවේ ළමයි ටික බැන්දාම දෙමවුපියන්ට කේන්ති යනවා වගේ නිසා. මාව ගණන් ගත්තෙ නෑ. ලේසි ටික බැන්දා. කණ්ඩායමෙ නායකයා ලොකුයි, කාට හරි කරදරයක් වගේ ඇහුණාම දුවගෙන, සේරටම ඉස්සරහට එනවා. වල් අලියාට දළ තිබුණට ඇතෙක් නෙවේ. මේකා ගැහුවා වේරගම වලව්වේ දළ ඇතා වැටේ හිර වෙලා බිම වැටෙන්න. අලිකාරයා එළියට විසි වුණා. මම දන්නේ නෑ ඒක කොහොම වුණාද කියලා නම්. මම හිටියේ ඒ අලියාට අඩි දෙකක් විතර එහායින්. අලියා වැටිච්ච බව විතරයි දන්නේ. නම් ගම් මතක නෑ. මට ඒවායින් වැඩකුත් නෑ නේ. වල් අලියා අපේ අලි ළඟට ආවේ නෑ. අපේ දෙන්නට විතරයි ගැහුවෙ නැත්තේ. එයාට හැපෙන්න බෑ අපේ අලිත් එක්ක. අපේ පොඩි අලියා - රාමා, එම්.ජී. පැටි මහත්තයා බලාගත්තෙ. හොඬෙන් පටලවලා අල්ලගත්තාම වල් අලියාගේ තල්ලට ගහන්නේ අලියාගේ අතේ නියපොත්තෙන්. මම බලාගත්තු කදිරා ලේසි නෑ. එයාව අවුරුදු තිහක් බලපු කෙනාටත් බේරන්න බැරුව ලිහාගෙන ගමට ගැහුවා. වෙඩි විසිනවයක් තිබ්බා. නළලට තිබ්බ වෙඩිල්ලට මොළේ කෑලි විසි වුණා, හොඬේට වතුර ගත්තාම වෙඩි වැදිච්ච හිලෙන් එළියට විදිනවා. ඒත් සනීප වුණා. මම කොහොම හරි බෝගහක ඉඳන් කරට පැනලා එයා මෙල්ල කළේ. එයා දළෙන් ගහන නිසා අර වල් අලියා ආවෙ නෑ, බයයි.

අන්තිමේ වල් අලියට ටෝරෝප්-එකක් තිබ්බා. ඒක විලුඹෙන් පැනලා නියපොත්තේ පැටලිලා නියපොත්ත කැඩුණා. ඊට පස්සේ සතා සම්පූර්ණයෙන් පිස්සු වැටුණා; ගාල කඩන්න හැදුවා. දැම්මා හිරගාලට. අඩි තුනක් විතර මහත බුරුත කොටන්වලින් හදපු ඒ වැට අස්සෙන් ඔළුව දාලා ඉස්සුවාම බුරුත කොටේ බිඳුණා. මහ ගාලෙත් කණු හෙල්ලුණා. ඒකාට අවුරුදු විසිපහක් විතර ඇති ඕනෙ නම්. තනි අලියෙක් වත් මද කිපුණු එකෙක් වත් නෙවේ. මොන බොරුද ඒක! තනියෙක් නම් රංචුවකට යන්නේ නෑ. ඒත් කොහොමහරි ඇතින්නක් හොයාගත්තාම පැටියෙක් හම්බෙලා තුන්පත් රෑන වෙනවා. ඒ අය හරි සැරයි.

මේ නායකයාගේ අතපය හරිම මහතයි. අඩි අටයි අඟල් අටක් උසයි. හොඬේ මුල අඩි තුනක් විතර ලොකුයි. පිටේ වාහනේ හරිම පළලයි: අපට වාඩි වෙලා ඉන්න බෑ. ගාල කඩාගෙන පිට පැන්නොත් මුළු ටවුමම ඉවරයි. ලක්ෂයක් විතර සෙනග. වලල්ගොඩ රාලහාමි බැලුවෙත් නෑ හිත් අමනාපයක් නිසා. එයාගේ මන්තර ඇහුවේත් නෑ, කම්බියක් කකුලේ තිබුණු නිසා.

වෙඩිල්ල තිබ්බා විතරයි, මැරුණා. සද්දයක්, මල-මූත්‍ර මුකුත් පිට වුණෙත් නෑ. හැමෝම ඇඬුවා. මටත් ඇඬුණා අලියා මැරුණාම. මමත් අලින්ගෙන් බත් කන මිනිහෙක් නේ. අලියයි ඇතින්නයි නිකම්ම අඳුරන්න බෑ. මම දැක්කා මැරෙන කොට කෝෂෙ එළියට එනවා. කුල දහයෙන් එකක වෙන්න ඕන. අපට අංග ලක්ෂණ බලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. වැටුණට පස්සේ කුලේ කියන්නත් බෑ නේ. මම දත ගන්න හිතාගෙන කට ගාව කැපුවත් ගලවන්න ලෝබ හිතුණා. ඒ නිසා තියෙන්න ඇරියා. අලියා නුග ගහ ළඟට ඇදලා පිච්චුවා. බාගෙට පිච්චුණේ. මම දවසක් එද්දි ඒ ඇට-කටු දැක්කා. රුපියල් 12000ක් ගන්න තිබිච්ච අලියා නිසයි මොලමුරේ මහත්තයාට කණගාටු.

මම අලි අටක්-නවයක් බලාගෙන තියෙනවා. වල් අලි දහයක් විතර ගස් බැන්දා. ඇතින්න සැර වුණොත් අලියට වැඩිය සැරයි. අවුරුදු 15ක් විතර හිටියා වලව්වේ. පස්සේ තඹගමුවේ වලව්වේ ‘මැණිකේ’ ඇතින්නත් බලලා අලියාගෙන් අස් වෙලා ඉඩමක්-කඩමක් අරගෙන රස්සාවක් නොකරම නිකම්ම හිටියා. අවුරුදු 45ක් රස්සාව කළා මදැයි? ගිරිඋල්ලේ ඇතින්නක් හිටියා, ඔළුවමයි කන්නෙ. මම දවසට 2.50 ගානේ මාතර කච්චේරිය වලව්වෙ අලියා බැලුවේ. දවසට රුපියල් 10ටත් අලි බැලු-එක්කෙනාට දුන්නා. දැන් වැඩක් නෑ නේ ඒවා. අවුරුදු විස්සකට විතර උඩදි කුණු කකා ඉන්න එකෙකුට මතුරලා බැලුවා. එකා පන්නගෙන ආවා නේ! දැන් අලි මන්තර අහන්නේ නෑ.

මහින්ද මීදෙණිය (87) ඇඩ්ලින් මොලමුරේ ආර්යාවගේ බෑනා
අඟුරුවැල්ලේ මීදෙණිය වලව්ව

අපේ වාසනා අලියාත් වල් අලි අල්ලන්න ගෙනිච්චා. මොලමුරේ මහත්මයා නෑකමට මගේ මාමා වෙන්නේ. ඔය සතාට වෙඩි තියපු අපරාධය බලන්න අපි ගියේ නෑ. නායකයා ඉස්සරහට ඇවිත් අරියාදු කළාලු. පත්තරේ නම් කීවේ ඇතෙක් කියලා. රංචුවක ඉදිරියට යන්නේ පිරිමි සතා නිසා. සතාගේ ගෑනු පිරිමි බව නෙවෙයි වැදගත්. මනුස්සකමක් තිබ්බා නම් කරන්න තිබුණේ නායකයා නොමරා අලි 27 දෙනාම නිදහස් කිරීමයි. මුදලයි නම්බුවයි බේරගන්න නේ ඒක කළේ. පාඩුව වින්දා නම් ප්‍රශ්නයක් නෑ. ලංකාවම සාප කළා. පත්තරවලින් අවුරුද්දක් විතර සිහි කර-කර බැන්නා.

වෛද්‍ය නන්දන අතපත්තු (66)
හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ

අලි පලවා-හැරීමකදී තැනින් තැන සිටින අලි පවා එකම දිසාවකට දුවන නිසා කොටුවට තනි අලින්ද ඇතුළත් වන්න පුළුවන්. ඒ පිරිමි සතුන්. මුළු පිරිසටම නායකත්වය දෙන්න එකකු එතැන මතු වී සිටියා නම් අනිවාර්යයෙන් නායකත්වය ලැබෙන්නේ ඒ සමූහය අතරේ විශාලම රංචුවේ නායකත්වය දරන ගැහැනු සතාටයි. එහෙත් පනාමුරේ සිද්ධියේදී එහෙම ඇතින්නක් සිටියායැයි සිතන්න බෑ. ඒ නිසා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ තනි අලියෙක්. පණු දළ යුගලකට හිමිකම් පෑ ඌ ඇතෙක් නොවේ; සාමාන්‍ය අලියෙක්. පණු දළ ගෑනු සතුන්ටත් එනවා. ඒත් මේ ඇතින්නියක් නොවේ. එසේ වන්න නම් කිරි බොන දළ ඇත් පැටවකුගේ මවක් විය යුතුයි. ඒ සතා ඇත් රැළේ නායකයා කීම බොරුවක්. සතා පිරිමි සතෙක් බව පිළිගන්නවා නම් කවදාවත් ඒ නායකයා වෙන්න බෑ. මොකද: වන ඇත් රැළක නායිකාව හැමතිස්සෙම ගැහැනු සතෙක්. පිරිමි සතා රැළකට එකතු වන්නේ ප්‍රජනන කටයුතුවලට පමණයි. තුන්පත් රෑනක මව පියා සහ පැටවා ඉන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්. පළමු මුරේ ලොකු පැටවා සහ දෙවැනි මුරේ පොඩි පැටවා තමයි තුන්පත් රෑන කියන්නේ. ලොකු පැටියා පිරිමි සතෙක් නම්, වයස දහයට වඩා වැඩි නම් අම්මට වඩා විශාල වෙන්න පුළුවන්. ඒත් ඒ කීයට වත් තාත්තා නෙවෙයි. අලින්ගේ තාත්තාකම් නෑ; පෙම්වතුන් පමණයි ඉන්නේ. මීට අවුරුදු 35කට පමණ කලින් මම මේ දේවල් කියද්දි වනජීවි අයත් වැරැදියටයි හිතාගෙන හිටියේ.

ජවයෙන් වැඩි පිරිමි සත්තුයි. ස්වකීය වර්ගයාගේ අයට ගැහැටක් වන විට උන්ට කේන්ති යන්න පුළුවන්. ඇතුන්ගේ ලිංගික අවයව පිහිටා ඇත්තේ අපර පාදවල මැදින් සැඟවෙන ලෙස නිසා සමීප දසුනකදී හැර හඳුනන්න බෑ. එහෙත් මද කිපී සිටියා නම් ලිංගිකව උත්තේජනය වීම නිසා හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. වෙඩි වැදුණාම එන මරණීය වේදනාවකදී ලිංගේන්ද්‍රිය පිටතට නෙරා ආවත් ක්ෂණික මරණයකදී එයට අවස්ථාවක් නැහැ. මගේ නිර්ණය අනුව නම් මේ සතා අවුරුදු 18ක පමණ ස්වාධීන තරුණයෙක්. ඌට පලා යන්න ඉඩ දුන්නත් ඒ බව තේරුණේ නැහැ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව සහ නිදහස වෙනුවෙන් සටන් කළා මිස වෙන නායකත්වයක් හෝ රංචුව බේරාගැනීම පිළිබඳ විශේෂිත අරගලයක් කළා කියා මම සිතන්නේ නෑ.

පනාමුරේ අලියා ගැන බොහෝ දෙනා අතිශයෝක්තියෙන් විස්තර කළත් සාමාන්‍ය සතෙකුට වඩා විශාල වගේම වැඩි ජවයක් තිබුණු සතකු බව පිළිගන්න පුළුවන්. අලි හාම්පුතුන් සහ ඇත්ගොව්වන් වගේම විද්‍යාව නොදන්නා අය විද්‍යාත්මකයි කියලා කියන කුල මම පිළිගන්නේ නෑ. සතා විශාල බව කියන්නයි මේ උපහැරණ ගේන්නේ. සටන් වැදුණු ජවය ඇති සතෙක් නිසා සද්දන්ත කුලේ කියනවා. හීලෑ අලියා පිටේ මිනිහෙක් ඉන්නවා නම් මිනිහාටත් වල් අලියා ගහනවා. අලියකුගේ ඉස්සරහ කකුල වල් අලියාගේ තල්ලේ වදින්න තරම් උස්සන්න බෑ. පිටිපස්සේ කකුලත් ඔසවන්න පුළුවන් යම් උසකට පමණයි.

අලි බඳින්න ඒ කාලේ යොදා ගත්තේ වර මන්ද. මීමින්නු සොයාගන්න බැරි වුණාම ගෝණ හම් වගේම ඔය කාලේ වෙද්දි මීහරක් හම් භාවිත කරලා තිබුණා. දැන් නැව්කඹ යොදා ගන්නේ. ජීවග්‍රහයෙන් අල්ලගන්න හිතන සතෙකුට ටෝරෝප්ප දාන්නේ නෑ, කකුල් කැපී මැරෙන නිසා. මේකා මැරුණත් කමක් නැති නිසා ඒ තීරණය ගන්න ඇති. ටෝරෝප්ප යකඩ කම්බිවලින් හදන්නේ. එය අතට අරන් ගුළි කරලා විසි කරන්න බෑ. ඒ නිසා මම තෑග්ගක් දෙනවා එය දාපු කෙනා හොයාගත්තොත්. මොකද: උගේ කකුලට ටෝරෝප්පයක් දාන්න පුළුවන් ජගතා ගැන මට හිතාගන්න බෑ! අලි වැට කඩන්න උත්සාහ කරද්දී පිටින් සිටි අය උල් හෙල්ලයකින් ඇනීම නිසා නියපොත්තට හානි විය හැකියි.

උදය ඇමටියගොඩ (52) අම්මඩුව කුඩා
කතරගම දේවාලයේ බස්නායක නිලමේ

මම මේ නින්දගමේ වසර විස්සක් රාජකාරි කරනවා. මේ සතා අයත් වුණේ තිඹොල්කැටිය නින්දගම් පෙදෙසට. අපේ තාත්තා මේ අවස්ථාවට ප්‍රභූවරයකු ලෙස සහභාගි වුණා. සතාට වෙඩි වැදුණට පස්සේ බොහෝ දෙනා අලි කෙඳි ගලවන්න ගිහින් තිබෙනවා. පස්සේ ගිනි තැබුවට සම්පූර්ණයෙන්ම පිච්චිලා නෑ. හකු දත් මතක සටහනක් ලෙස අපේ වලව්වටත් පල්ලේබැද්දේ තඹගමුවේ වලව්වටත් ගෙන-ගියා. පණු දළ දෙක රන් කොපුවල බහා මාකඳුර වලව්වේ තබාගත්තා.

මේ කතා කරන බෙහෝ දෙනාට නැති අවස්ථාවක් මට පුංචි කාලේ ඉඳන් ලැබුණා. ඒ තමයි වලව් පැලැන්තියේ පිරිස් සමඟ ඒ උත්සව ආදියට සහභාගි වීම. ඒ කාලේ වලව්වල කතා-බහ වන දේවල් සාමාන්‍ය මිනිසුන් දැනගත්තේ නෑ; දැනගත්තත් දඬුවමට බයේ වචනයක් පිට කරන්නේ නෑ. ඒ කාලේ ඇතිනි බංගලාව කීවේ ඇත්ගාල ළඟ හදන තාවකාලික ගොඩනැඟිල්ලට. එහෙම කියන්නේ යටි අර්ථයක් සමඟ. මොකද: සියලු සැප-පහසුකම් ඒ බංගලාවට එන අයට ලැබෙනවා. මම එක රහසක් දැන් හෙළි කරන්නම්. ඒ කාලේ අපි නෑගම් ගියාම, උත්සවවලට සහභාගි වුණාම, මේ සතා ගැන කතාවට කියන්නේ ‘ඇතිනියන්ගේ බංගලාවට ආව ඇතින්නටත් මොලමුරේ වෙඩි තිබ්බා!’ කියලයි. හැබැයි ඒක වලව් පැලැන්තිය අතරේ මිස පිටට යන්න දුන්නේ නෑ. හේතුව ගෑනු සතෙක්ට දෙවෙනි වෙලා මේ තීරණය ගන්න සිදු වුණා කියන-එක ඒ අයට මදිකමක් වෙයි කියා හිතූ නිසා. අනෙක බොහෝ වෙලාවට ඒ කාලේ කාන්තාවන් අරගල කළේ නෑ; පිරිමි තමයි ඉදිරියට ගියේ. ඒ නිසා අලින්ගෙත් එහෙම විය යුතුයි කියන සම්මතයක සිට මිනිස් සමාජයට ආදේශ කිරීමක් මෙතන සිදු වූ නිසයි පනාමුරේ ඇත්ත කතාව වසර හැටහතක් තිස්සේ වසන් වුණේ. ඒ සඳහා අවශ්‍ය හැම කතාවක්ම ජනතාව අතර ප්‍රචලිත කළා වගේම තිබුණු සමාජ පසුබිම නිසාත්, ඇසින් දුටුවන් සිදුවීමෙන් තැතිගෙන සිටි නිසා ගැහැනු පිරිමි භේදය ගැන වගක් නොවූ නිසාත් එය වඩාත් තහවුරු වුණා කියලයි මම දකින්නේ. අනෙක පනාමුරේ සමඟ බැඳුණු සාහිත්‍යය වඩා විචිත්‍රවත් වුණේ ‘පනාමුරේ ඇත් රාජා’ කියන යෙදුමත් සමඟයි.

බොහෝ දෙනා අදටත් මේ සතා නායක ඇතෙක් කියා හඳුන්වන්න කැමතියි. ඒත් ඇත්ත කතාව ඌ මහා දළ ඇතෙක් නොවේ. ඒ වගේම ගීත-කවි කිසිවක මේ සතා කෙණෙරක් තියා අලියෙක් කියන්නත් කැමති නෑ, ප්‍රබන්ධයේ වටිනාකම අඩු වන නිසා. අපේ වලව්වෙත් අලින්ට අඬගැහුවේ ගෑනු-පිරිමි භේදයකින් තොරවයි.

මේ සියලු කතා කියන අයට යම් අභියෝගයක් කරන්න මම කැමතියි. ඇත්තෙන්ම මේ සතා කෙණෙරක් බව විශ්වාස නොකරන අයට සහතිකයෙන්ම එය හඳුනාගන්න අවශ්‍ය නම් මා ළඟ තිබෙන හකු කොටසක් ගෙන ගිහින් DNA පරීක්ෂණයක් කරන්න. ඒ සමඟම තඹගමුව වලව්වේ හකු කොටසකුත්, මාකඳුරේ තිබූ පණු දළ කොටසකුත් පරීක්ෂණයට භාජනය කරන්න. එතකොට මෙතෙක් වැසුණු සත්‍යය හෙළි වේවි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් රත්නායක

ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ නිර්මාතෘ

මට 2010දී අහම්බෙන් වගේ යන්න හිතුණා පනාමුරය බලන්න. අලින්ගේ නිදහස ලැබුණු මේ ඓතිහාසික ස්ථානයේ කිසිම සිහිවටනයක් තිබුණෙ නෑ. ජාතික උරුමයක් වූ මේ ඇත්ගාල විනාශයට යනවා. ඒ නිසා ‘ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනම’ පිහිටුවා, කෞතුකාගාරය ඉදි කරන්න කටයුතු කළා; හස්තියාගේ ජීවමාන පිළිරුවක් අඹා ඒ ස්ථානය ජනතාවට නරඹන්න යමක් ඇති තැනක් බවට පත් කිරීමට කටයුතු කළා. පැන්ටිස් මාමා තමයි අපට ඒ සියලු ස්ථාන පෙන්වා දුන්නේ. හස්තියා පිළිබඳ විස්තර ලබාගත්තේ පියසේන කහඳගමගේ මහතාගේ ‘පනාමුරේ ඇත් රාජා’ පොතෙන් සහ ලියෝ අමරනන්ද වෙද මහත්මයාගෙන්. ඒ ගමට යන මාර්ගය සංවර්ධනය කරන්න මඟනැඟුමේ එකල අධ්‍යක්ෂතුමිය බොහෝ උදවු කළා. මට අවශ්‍ය වුණේ ඇත් ගාල් ක්‍රමය තහනම් කළ ඒ සිදුවීම අනාගත පරපුරට දැකගන්න අවස්ථාව සලසන්නයි.

විශේෂ ස්තුතිය - ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ ලේකම් විජේමුනිගේ පියදාස මහතාට

ඡායාරූප - රුවන් ද සිල්වා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.