අපූරු හිනාව | සිළුමිණ

අපූරු හිනාව

ඉස්සර එක රටක කුමාරයෙක් හිටියා. මේ කුමාරයා හිනාවෙනකොට වහිනවලු. අවුරුදු ගණනක් වැස්ස නැතිව දුක් විඳපු රටක රජෙක් මේ කුමාරයා ගැන ආරංචි‍ වෙලා ගෙන්න ගන්න දූතයෝ යැව්වා. ඒත් කුමාරයා වෙන රටකට යන එක ගැන කුමාරයාගේ කුමාරි දුක් වුණා. ඒ පාර කුමාරයා කළේ වඩුවො ලවා තමාගේ රූපයට සමාන රූපයක් ලී කොටේකින් කප්පලා කුමාරිගේ යහන් ගබඩාවේ තබා යෑමයි.

කුමාරයා අර රටට යන්න ගියේ නැවෙන්. ඒත් මුහුද සැර නිසා නියමිත දින කුමාරයාට යන්න බැරිව ආපසු රජ මාලිගාවට ආවා. ඒ ඇවිත් කුමාරි මොකද කරන්නේ කියා බලන්න හොරෙන්ම කුමාරිගේ යහන් ගබඩාවට ගියා. යනකොට කුමාරි කුමාරයාගේ රූපෙට සමාන ලී කොටේ උඩ ඉන්දවාගෙන වෙනත් කෙනෙකුට කවනවා. කුමාරයා තමා ආ බවක් නොඅඟවා ආපහු යන්න ගියා.

වැහි නැති රටට ගියත් කුමාරයාට හිනා යන්නේ නැහැ. මොකද කුමාරයා ඉන්නේ දුකෙන්. රටේ රජුත් කුමාරයා හිනස්සන්න පුළුවන් තරම් උත්සාහ ගෙන බැරිම තැන එළවා දැමුවා. එදා රෑ කුමාරයා නතර වුණේ පාරක් අයිනේ තිබූ අම්බලමක. එතැන පාර අනිත් පැත්තේ අත් පා කොට හිඟන්නෙක් නොඉවසිල්ලෙන් තරහින් බලා ඉන්නවා කුමාරයා දැක්කා. ටිකකින් එතැනට ලස්සන කුමාරිකාවක් ආවා.

“මොකද මෙච්චර පමා වුණේ ”හිඟන්නා කුමාරිකාවගෙන් ඇහුවේ තරහින්.

“අපේ රටට වැස්ස දෙන්න ආ බොරු කාරයෙක් දිහා බලා හිටියා ” කියා කුමාරි පිළිතුරු දුන්නා. ඒත් තරහින් සිටි කොට හිඟන්නා කුමාරිට ගහන්ඩ පටන් ගත්තා. ඒ ගහද්දි කුමාරිගේ ගෙල පලඳා තිබූ රන් පෙති මාලය කැඩී පෙති ඉහිරුණා. මින් එක මාල පෙත්තක් වැටුණේ කුමාරයාගේ දෙපා ළඟටයි. ඒ මාල පෙත්ත කුමාරයා හංගා ගත්තා.

අර කුමාරි ගුටි කන ගමන්ම, “අප මහ රජුගේ සළුවෙන් දෙන පවන රිදේ - නුඹගේ කොට අතින් දෙන පහර මට සැපදේ” කියා කියද්දීම ඒ ඇසුණු කුමාරයාට මහ හයියෙන් හිනා ගියා.

එතකොටම රටේ නියඟය ඉවරවෙලා මහා හයියෙන් වහින්න පටන් ගත්තා.

රජ්ජුරුවෝ සේවකයන් යවා කුමාරයා ගෙන්වා ගෙන සමාව ඉල්ලා කලින් හිනා නොවී සිටීමටත් පසුව හිනා වීමටත් හේතු විමසුවා.

කුමාරයා නොකියා බැරි තැන සියලු විස්තර රජතුමාට පවසා ඇහිඳූ මාල පෙත්ත රජු අතට දුන්නා. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.