දේශීය ආයතනයක් විදියට වොලිබෝලයට අත දෙන්න හිතුවා | සිළුමිණ

දේශීය ආයතනයක් විදියට වොලිබෝලයට අත දෙන්න හිතුවා

නලින් කරුණාරත්න

 

බන්දුල ජයමාන්න

 

පොළොව යට වැළලී තිබෙන මැණිකක අගය දැනෙන්නේ එය සොයා ගෙන ඔප මට්ටම් කළ විටය. එසේම යමකු තුළ සැඟව පවත්නා සහජ ක්‍රීඩා කෞශල්‍යය රටට ලෝකයට පෙනෙන්නේද, එය වැර වෑයමෙන් ඉස්මතු කරගත් තරමටමය. එලෙස මතුකරගත් ක්‍රීඩා කෞශල්‍යයන් රටක් - ජාතියක් නියෝජනය කිරීමට නම් ඊට හයිය හත්තිය තිබිය යුතුය. අප රටේ පමණක් නොව මුළු මහත් ලෝකයාගේම කතාබහට ලක්වන ලෝක පුජිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිව ඇත්තේ එකී කී‍්‍රඩක ක්‍රීඩිකාවන්ට සවිය සහ ශක්තිය දෙන අනුග්‍රාහකයන් මේ දැවැන්ත කාර්යය පසුපස සිටින බැවිනි. මෙයින් පළමුව ක්‍රීඩාවත්, දෙවැනුව ඊට දායක වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, තෙවැනුව මෙකී කාර්යයට හයියක් වූ අනුග්‍රාහකයන්ද, බැබලෙන්නට මඟ හසර පෑදෙනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් අප බොහෝ විට හඳුනා ගන්නේ අපට පෙනෙන ක්‍රීඩාව සහ එහි නිරත වන්නන් මිස ඊට සවිය බලය සපයන අනුග්‍රාහකයා නොවේ. ඒ නිසාම අද පවතින ආර්ථික වට පිටාව තුළ ගහට පොත්ත මෙන් බැඳී පවතින ක්‍රීඩාවේ අනුග්‍රහකත්වය පිළිබඳ ලාංකේය වොලිබෝල් ක්‍රීඩා පිටියේ ප්‍රධානම තරගවලියක් වන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අනුග්‍රහකයාවන ඛ්ඕඹ් ඉන්ටර්නැෂනල් ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නලින් කරුණාරත්න ගේ හඬට මේ ඉඩකඩ වෙන් කළෙමු.

 

මන්චි ආයතනය වොලිබෝල් ක්‍රීඩාව තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණද?

ක්‍රීඩා කිව්ව ම ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය ක්‍රිකට් සහ රග්බි කියන එක රහසක් නොවෙයි. මේක සාමාන්‍ය දෙයක්. අපි මන්චි පවුලක් විදියටත් දේශීය ආයතනයක් විදියටත්, දේශීය සන්නාමයක් විදියටත් අපේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට අත දෙන්න හිතුවා.

අපි දේශීය වශයෙන් අත දෙන අංශ ගොඩක් තිබෙනවා. ඒ අතරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝලයට අත දෙන්න කල්පනා කළා. අපි ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් එතරම් ම ඉහළ ස්ථානයක නෑ. මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා තමයි, අත දෙන්න හිතුවේ. මේ වටා එකතුවන වානිජ අරමුණු අපට තිබුණා. අපි ඒ අරමුණු බැහැර කරන්නේ නෑ.

මේ කරන ආයෝජනයම ඔබ සඳහන් කරන විදියට ක්‍රිකට් සහ රග්බි සඳහා යෙදව්වානම් මීට වඩා ගමනක් මන්චි ආයතනයට තියෙනවා.?

ඇත්ත. සමහර තරගවලට ටීම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විතරයි එකතු වෙන්නේ. හැබැයි අපේ අරමුණ දිගුකාලීනව ජාතික ක්‍රීඩාවට අත දෙන්නයි. අපි මේක මීට අවුරුදු 10 කට කලින් පටන් ගත්තේ. අපි අවුරුදු 10 කට කලින් වොලිබෝලයට අත ගහනකොට වොලිබෝල් ක්‍රීඩාව වැළලිලා තිබුණේ. අපි ඒ ගැනත් හොයලා බැලුවා. පිටතින් බලනකොට පේන්නේ අපේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් වගේ. හැබැයි ගමේ ගොඩේ මේ කියන හැම තැනම වොලිබෝල් ක්‍රීඩාවට උනන්දුවක්, පෙළඹීමක් තිබුණා. හැබැයි මේ දේත් විශේෂයෙන් කියන්න ඕනා. උනන්දුව, පෙළඹීම තිබුණට පිළිගැනීම අතින් සමාජයෙන් පහළට වැටිලයි තිබුණේ. අනුග්‍රාහකයන් පවා අපි අත ගහනකොට හිටියේ නෑ. ඒ අතින් ගත්තත් වැටිලා තිබුණේ.

මේ හැම දෙයක් ඇතුළේම අපිට හිතුණ දැනුණ දේ තමයි අපේ ජාතික ක්‍රීඩාවට හොඳ අත්වැලක් ඕනා කියන දේ. එතැනදි තමයි අපි පවුලක් විදියටම කල්පනා කළේ, මන්චි සන්නාමය යටතේ ඊට අත දෙන්න ඕනා කියලා. මෙතැන අපි කල්පනා කළේ මේක අපේ සමාජ වගකීමක් කියලයි.

මන්චි ආයතනය සමාජ වගකීමක් කියලා වොලිබෝලයට අත තියෙනකොට ඊට ලැබෙන ප්‍රතිචාර ගැන උනන්දු වෙනවාද?

වොලිබෝල් ක්‍රීඩාවට අතදීමේ දී හුදු වානිජ අනුග්‍රහකත්වයට එහා ගිය අරමුණක් අපට තියෙනවා. ඒ තමයි මූලිකම දේ විදියට සමාජ වගකීමක් කියන දේ අවබෝධ කර ගැනීම. ජනතාව අතරට ගෙනයාම වගේම ජනතාවගේ සහාය ලබා ගැනීමට කටයුතු කිරීම. ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිපාලකයන් දිරිමත් කරමින් ජාතික ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබීමට අත දෙන එක.

 

අපි ඛ්ඕඹ් සමාගම විදියට වොලිබෝල් ක්‍රීඩාවට විතරක් නෙවෙයි තවත් තෝරාගත් ක්‍රීඩා කිහිපයකටම අනුග්‍රහයකත්වය දක්වන දේශීය ආයතනයක්. ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය වාණිජ අනුග්‍රහකත්වයට එහා ගිය පුළුල් දැක්මක් විදියට ක්‍රීඩාවකට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතියට උපරිම දායකත්වය දැක්වීම විශේෂ කරුණක් විදියට දකිනවා.

ගතවූ දශකයක කාලය තුළ වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ ඔබේ තක්සේරුව මොනවගේද?

අපිටත් ප්‍රගති සමාලෝචනයක යෙදෙන්න කාලය ඇවිත් කියලා හිතනවා. විශේෂයෙන් ගෙවුණු කාලය තුළ මන්චි අනුග්‍රහය යටතේ ජාතික ශූරතාවලිය හරහා වොලිබෝල් ක්‍රීඩාවේ පිබිදීමක් අපි දකිනවා. අපි ජාතික ශූරතාවලියට අත තියනකොට ආධුනික කණ්ඩායම් 800 ක් විතර තමයි මේ වටා එකතු වුණේ. ඒත් අද වන කොට ඒ වගේ පස් ගුණයක් විතර මේ තරගාවලිය වටා එකතු වෙනවා. අපිටත් යම්තාක් දුරකට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුළ වොලිබෝල් ක්‍රීඩාවේ විශාල ප්‍රගතියක් දකින්න තියෙනවා. මේවා ධනාත්මක ලක්ෂණ විදියට දකිනවා.

මම ළඟදීම වොලිබෝල් සම්මේලනයේ සභාපතිතුමා හම්බවෙලා අහනවා අපේ දායකත්වය ඇතුළේ වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය මොනවගේද කියලා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හම්බවෙලා කතාබහ කරනකොට අපට තේරෙනවා අපේ දායකත්වයේ ප්‍රගතියක් තියෙනවා කියලා. ඒක අපේ සතුටට වගේ මේ දායකත්වය ගැන අපටත් ආඩම්බරයක් දැනෙනවා. හැබැයි මේ හැම දෙයක් ඇතුළේ ම තවත් හුඟක් දේ කරන්න ඉඩ තියෙනවා. කරන්න පුළුවන් කියන තැන අපි ඉන්නවා. මේ හැම දෙයක්ම කතාබහ කරලා කරන්න ඕනෙ දේවල්.

මන්චි ආයතනය ජාතික ක්‍රීඩාව විදියට සලකලා වොලිබෝලයට අත දුන්නද නැත්නම් එහාට ගිය අරමුණක් ආයතනයට තියෙනවද?

මේ සඳහා යොදවන මුදල අපි වෙනත් අරමුණු පෙරදැරි කරගෙන යෙදෙව්වා නම් ක්ෂණික ප්‍රතිඵල තියෙනවා. හැබැයි දේශීය සමාගමක් විදියට ඊට එහා ගිය වැඩක් අපට තියෙනවා කියලා හැම වෙලාවෙම හිතනවා. කල්පනා කරනවා. ඒ වගේම විශ්වාස කරනවා. මන්චි නාමය මේ හරහා හැම තැනම බැබලෙනවා. ජනතාව අතරට යනවා. හැබැයි මේ ගමනේ ක්ෂණික ප්‍රතිඵල නෑ. දිගුකාලීන ගමනක්, ඒ වගේ දිගුකාලීන ව්‍යාපෘතියක්. අපි මේ කිසිම තැනකදී වානිජ අරමුණුවලට කොටු වෙලා නෑ. එතැනින් එහාට ගිය අරමුණක් තියෙනවා.

අපි දැනට වොලිබෝලයට අවුරුදු 10 ක් අතගහලා තියෙනවා. තව අවුරුදු 10 කට අත ගන්න පුළුවන් තැනකට ක්‍රීඩාව ගේන්න ඕනා.

ජාත්‍යන්තරයේ අපේ වොලිබෝල් ක්‍රීඩාව තියෙන තැන ගැන ඔබේ තක්සේරුව?

අපි මේ ගැන උනන්දුයි. අපිත් මේ ගැන ප්‍රශ්න කරනවා. ඔවුන් කියන්නේ පුහුණුකරුවන්ගේ ගැටලු. පුහුණුකරුවන් අඩුයි. මේ වගේ ගැටලු තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. අපිට ජාත්‍යන්තරයට යන්න, ජය ගන්න ශක්තිමත් වැඩ පිළිවෙළක් ඕනා. අපි පියවරෙන් පියවර යා යුතු ගමනක් මෙතැන තියෙනවා කියලා හිතනවා. අපි මේවා බෙදා ගත යුතුයි. මේ ගැන පුළුල් කතිකාවක් ඇති වෙන්න ඕනෑ. මේවා සෝඩා බෝතලය කැඩුවා වගේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

වොලිබෝල් සම්මේලනයේ සහයෝගය කොහොමද?

වත්මන් සභාපතිතුමා ලොකු වෙහෙසක් ගන්නවා, වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන්. සම්මේලනය පැත්තෙන් ගත්තත් විශාල කැප කිරීමක් කරනවා. ඒවා අගය කළ යුතුයි.

ජාතික ශූරතාවලිය සම්බන්ධයෙන් මන්චි ආයතනයේ අනාගත සැලසුම්?

අපි දැනට අවුරුදු 10 ක් ජාතික ක්‍රීඩාව එක්ක ඉන්නවා. සංධිෂ්ඨානයකට ඇවිත් ඉන්නේ. දැන් අපි හැරිලා බලන්න ඕනා මේ අපේ අතදීම තුළින් ක්‍රීඩාවට, රටට, අපට තියෙන, තිබුණු වාසි අවාසි මොනවද කියලා තීරණය කරන්න ඕනා. තව කොච්චර කාලයක් ඉදිරියට යනවද කියලා. අපට එතනදී නිගමනයකට එන්න පුළුවන්.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.