මන්චි සුපර් ලීග් තරගාවලිය පසුගිය වසරේ ශූරයන්ට හෝ ශූරීයන්ට - අනුශූරයන්ට හෝ අනුශූරීයන්ට මෙවර අවසන් මහා තරග අහිමි වෙයි | සිළුමිණ

මන්චි සුපර් ලීග් තරගාවලිය පසුගිය වසරේ ශූරයන්ට හෝ ශූරීයන්ට - අනුශූරයන්ට හෝ අනුශූරීයන්ට මෙවර අවසන් මහා තරග අහිමි වෙයි

බන්දුල ජයමාන්න

 

දහවැනි මන්චි ජාතික ශූරතා වොලිබෝල් සුපර් ලීග් වටයේදී පසුගිය වසරේ ශූරයන් වූ වරාය අධිකාරි කණ්ඩායමට හෝ අනුශූරයන් වූ ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමට අවසන් පූර්ව තරගයෙන් නතරවීමට සිදුවන විට, එකී කාණ්ඩයේ ශූරියන් වූ ගුවන් හමුදා කණ්ඩායමට හෝ අනුශූරියන් වූ මාස් කැෂුවලයින් කණ්ඩායමට ද අවසන් පූර්ව තරගයෙන් නතරවීමට මෙවර සිදුවී තිබීම විශේෂත්වයකි. මන්ද යත් නවවැනි මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් වටයේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරගවලට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරම මෙවර අවසන් පූර්ව තරගවලදීම මුණ ගැසෙන බැවිනි.

ඒ අනුව පිරිමි පළමු අවසන් පූර්ව තරගයට වරාය අධිකාරි කණ්ඩායම සහ ලංකා විදුලිබල මණ්ඩලය තරග කරන අතර දෙවැනි අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තරග කරයි. කාන්තා පළමු අවසන් පූර්ව තරගයට ගුවන් හමුදා කණ්ඩායම සමඟ මාස් කැෂුවලයින් තරග කරන අතර දෙවැනි අවසන් පූර්ව තරගයට වරාය අධිකාරි කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරග කරයි. අවසන් පූර්ව තරග කොටවිල පැවැත්වෙන අතර අවසන් මහා තරග මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 18 දා පැවැත්වෙයි.

ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය දශක හතරක පහක ඉතිහාසයකට උරුකම් කියන අතර වත්මන් අනුග්‍රහකයන් වන මන්චි ආයතනය මීට දශකයකට පෙර මෙම තරගාවලියට සිය ශක්තිය එක් කරන ලදී.

සුපර් ලීග් තරගාවලිය ක්‍රීඩා සමාජ නොවන ආයතනවලට සීමාවන අතර ආධුනික තරගාවලිය ක්‍රීඩා සමාජවලට සීමා වෙයි.

පසුගිය වසරේ සුපර් ලීග් පිරිමි අවසන් තරගයේදී ජාතික කණ්ඩායමේ වැඩි ක්‍රීඩකයන් පිරිසක් වරාය අධිකාරි කණ්ඩායමට සහ ලංකා විදුලිබල මණ්ඩලය කණ්ඩායමට තරග කළ අතර, එහිදී අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ වරාය අධිකාරි කණ්ඩායම තරග වට 3 - 1 ක් ලෙස ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම පරාජය කරන ලදී. එහිදී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් වලට වඩා තම අත්දැකීම් ප්‍රබල බව පසක් කරමින් වරාය අධිකාරි කණ්ඩායම නවවැනි මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ශූරතාව නැවත වතාවක් වරාය වෙත ගෙන යාමට සමත්විය. අවසන් තරගයේ පිරිනැමූ සම්මාන හතෙන් පහක්ම වරාය ක්‍රීඩකයන් සතු විය.

තම කණ්ඩායම අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටීම මේ ජයග්‍රහණයට ප්‍රබලම හේතුව වූ බව ජනිත් සුරත් තරගයෙන් අනතුරුව පැවැසීය. ජනිත් සුරත් අවසන් තරගයේ දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙස ද සම්මානයට පාත්‍ර විය. වරාය අධිකාරි කණ්ඩායමේ ලසිඳු මෙත්මාල් සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තේය.

පසුගිය වසරේ සුපර් ලීග් කාන්තා අවසන් තරගයට පිවිසි ගුවන් හමුදාව සහ මාස් කැෂුවලයින් අතර තරගයෙන් 3 - 0 ක් ලෙස පහසුවෙන්ම ගුවන් හමුදා කණ්ඩායම ජය ගත්තේය. ඒ ඊට පෙර වසරේ ඔවුන් අතින් ගිළිහී ගිය ශූරතාව හිමිකර ගනිමිනි. අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් සමන්විත වූ ගුවන් හමුදා කණ්ඩායම, ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් සිවු දෙනකු සමඟ මේ තරගයට ඉදිරිපත් විය.අවසන් තරගයේ පිරිනැමූ සම්මාන හයෙන් පහක්ම ගුවන් හමුදාව සතු වූ අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායමේ චතුරිකා රණසිංහ සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය.

පිරිමි

01 අවසන් පූර්ව තරගය

වාරාය අධිකාරිය

ලංකා විදුලි බල මණ්ඩලය

 

02 අවසන් පූර්ව තරගය -

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ශ්‍රී ලංකා යුද හමුදාව

 

 

කාන්තා

01 අවසන් පූර්ව තරගය -

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

මාස් කැෂුවලයින්

 

02 අවසන් පූර්ව තරගය -

වාරාය අධිකාරිය

ශ්‍රී ලංකා යුද හමුදාව

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.