සයිටම් අහෝසිය හා මැද පන්තියේ වරදාන | සිළුමිණ

සයිටම් අහෝසිය හා මැද පන්තියේ වරදාන

 සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි බල කරමින් දෙමව්පියන් පිරිසක් විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් විය. ඊට හේතුව වූයේ සයිටම් විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නියෝජිතයන් පිරිසක් සමග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවත්වූ සාකච්ඡාවයි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ ස්ථාවරය එම නියෝජිතයන්ට දැනුම් දුනි. ආචාර්ය හර්ෂ ද සිල්වා එම නියෝජිතයන්ට දැනුම් දුන් සයිටම් සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ තීරණය පසුගිය ඔක්තෝබර් 29 වැනි දා ප්‍රකාශයට පත් කළ ස්ථාවරයම වන්නේ ය. කෙසේවෙතත් විරෝධතාකරුවන් එදා නොපිළිගත් එම ස්ථාවරය පසුගිය බදාදා පිළිගැනීම සතුටට කරුණකි.

සයිටම් අධ්‍යාපන ආයතනයට එරෙහිව විරෝධතාව පටන් ගත් මොහොතේ සිටම එම විරෝධතාකරුවන්ගෙන් බහුතරය ප්‍රකාශ කළේ පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය අහෝසි කරන ලෙස ය. එසේ නොවී විරෝධය සයිටම් අධ්‍යාපන ආයතනයට එරෙහිව පමණක් ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණි. ආණ්ඩුවේ ස්ථාවරය සමබන්ධයෙන් අරගලකරුවන් එකග වී ඇතත් පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයට තමන් එරෙහි බවක් හෝ පෞද්ගලික අධ්‍යාපන ක්‍රම අහෝසි කරන බවක් හෝ රජය ප්‍රකාශයට පත් කර නොමැත.

අප එකඟ වූවා හෝ නොවූවා හෝ අද පවතින්නේ ගෝලීය වෙළෙද පළ ආර්ථිකයකි. එහි නිදහස් බව විවිධ හේතු මත වෙනස් වුවත් පවතින්නේ කිසිසේත්ම සමාජවාදී හෝ අර්ධ සමාජවාදී හෝ ලෝක වෙළෙඳපළක් නොවේ. එනිසා පවතින වාතාවරණය තුළ යථාර්තයන් ආපසු හැරවීමට නොහැක. යමෙක් හෝ යම් දේශපාලන ව්‍යාපාරයක් හෝ පවතින යථාර්තයන් තුළ ආංශික තත්ත්වයන් වෙනස් කිරීමට යන්නේ නම් සිදුවන්නේ ක්‍රමය විකෘතියක් වීම පමණක් නොවේ. එම පුද්ගලයා හෝ දේශපාලන ව්‍යාපාරය හෝ මහජන අවකාශය තුළ අවලංගු වෙමින් විහිළුවක් බවට පත් වන්නේ ය.

පවතින ධනේශ්වර ගෝලීය ව්‍යුහය තුළ පීඩිතයා වෙනුවෙන් සටන් කිරීම අනිවාර්ය කරුණකි. එහිදී එම ධනේශ්වර ක්‍රමය පෙරලා දමා අලුත් සමාජ ක්‍රමයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අරගල කිරීමත් තවදුරටත් වලංගු ය. එහෙත් පවතින සමාජ ක්‍රමයේ යම් යම් අංග පමණක් සංශෝධනය කිරීම අදාළ වන්නේ ක්‍රමය විකෘති නොවන්නේ නම් පමණි. ක්‍රමය විකෘති කිරීමට ක්‍රමය විසින්ම ඉඩ ලබා නොදෙන අතර යම් හෙයකින් එසේ විකෘති වුවහොත් එය සමාජ ක්‍රමය වෙනස් කරන ක්‍රියාවලියට යම් දායකත්වයක් දරන්නේ ද නැත.

පවතින වෙළෙඳපළ ආර්ථික අවකාශය තුළ පීඩිතයා තවදුරත් පීඩනයට පත්වන බව ඇත්තකි. එහෙත් යම් සමාජ තීරුවක් මැද පන්තිය ලෙස නිර්ණය වන බව ද ඇත්තකි. පවතින ක්‍රමය විසින් අලුතින් නිර්මාණය වන මැද පන්තිය සමග ගනුදෙනු කිරීමට යෑමේදී පැරණි සමහර වෙළෙඳපළ තුල්‍යතාවන් ඉවත් කිරීම තාර්කිකය. උදාහරණයකට මැද පන්තිය මේ තරම් ශක්තිමත් නොවූ එමෙන්ම ධනවත් හා පීඩිත සමාජ පන්තීන් පමණක් කැපී පෙනුන හතළිහේ දශකයේ දී වෙළෙද පළ තුල්‍යතාවන් ලෙස නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය හඳුන්වා දුනි. ඒවා හුදු පක්ෂ දේශපාලන අරමුණකින් බිහි නොවූ අතර ලෝක පරිමාණව ධනේශ්වර ක්‍රමයේ ඇතිවූ වෙළෙදපළ තුල්‍යතා ගිලිහී යෑම් වලට පිළිතුරු ලෙස බිහිවූ උපක්‍රමයන් ය.

එහෙත් ධනේශවර ක්‍රමයේ ප්‍රසාරණය සමග අද වනවිට සමාජය පවතින්නේ පැරණි ව්‍යුහයන් බිඳ දමා අලුත් ව්‍යුහයන් සකස් කරගෙන ය. සමාජයේ පන්ති ධ්‍රැවීකරණය වෙනස් වී අලුතින් මැද පන්තියක් බිහිවී ඇති අතර එය සමාජ තුළ විශාල පංගුවක් ප්‍රමාණාත්මකව හිමිකරගෙන ඇත. ඒ තත්ත්වය තුළ වෙළෙද පළ තුල්‍යතාවන් පැරණි අර්ථයෙන් පවත්වාගෙන යෑමට ධනේශ්වර ක්‍රමය තවදුරටත් නොපෙළෙඹෙන අතර ඔවුහු වෙළෙඳපළ කළමනාකරණය සඳහා අලුත් උපක්‍රම ක්‍රියාත්මක කරති. ඒ අර්ථයෙන් සමාජයේ පැවැති පැරණි නීති රීති, සම්ප්‍රදායන් හා චාරිත්‍ර වෙනස් කරමින් නව ක්‍රමෝපායන් කරා යොමු වේ.

පෞද්ගලික පාසැල් රජයට පවරා ගැනීම සඳහා ගෙන ආ නීති රීති අනුව ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ස්වභාෂාවෙන් සිදුවිය යුතුය. එහෙත් කාලය විසින් එම තත්ත්වය වෙනස් කර ඇති අතර විය යුතු පරිද්දෙන්ම ස්වභාෂාවන් නොවන භාෂාවන්ගෙන් ද පාසැල් අධ්‍යාපනය ලබා දේ. ඒ ගැන සමාජය කිසිම උනන්දුවක් නොදක්වන්නේ එය සමාජ අවශ්‍යතාවක් බැවිනි. ඒ අන්දමින්ම අධ්‍යාපනය ලබාදීම තවදුරටත් රජයේ වගකීමක් පමණක් නොවන්නේ ය. එනිසා උසස් අධ්‍යාපනය සඳහා මේ වනවිට විශාල අවකාශයක් නිර්මාණය වී ඇති අතර එය සම්පූර්ණ වන්නේ ජාතික මෙන්ම පාර ජාතික පෞද්ගලික අධ්‍යාපන ආයතන මගිනි. එය අද පවතින යතාර්තයයි.

උසස් අධ්‍යාපන අවස්ථා සඳහා විශාල රාජ්‍ය නොවන ආයතන සංඛ්‍යාවක් දැනටමත් ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක වෙද්දී වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් රාජ්‍ය නොවන අධ්‍යාපන අවස්ථා නොතිබිය යුතු යැයි කීම විහිළුවකි. ප්‍රතිපත්තියක් ලෙස සියලුම අධ්‍යාපනික විෂයයන් සඳහා රාජ්‍ය නොවන අංශයන්ට ද අවස්ථාව පුළුල් කිරීම පවතින ක්‍රමයේ තාර්කිකයයි. ඊට අකුල් හෙළීම පසුගාමී හා ග්‍රාම්‍ය දේශපාලන උපක්‍රමයකි. ආචාර්ය හර්ෂ ද සිල්වා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනෙන් ද පැහැදිලි වන්නේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන පිහිටුවීම අත්හැර නොමැති බවයි.

සමාජ ක්‍රමය කෙසේ වෙනස් වුවද පීඩිත සමාජ තීරුවක් සමාජයේ ආන්තීකරණයට ලක්වෙමින් පවතින බව තවදුරටත් වලංගු කරුණකි. මැද පාන්තික වරප්‍රසාදයන් තහවුරු කර ගැනීම සඳහා දේශපාලන කල්ලි කණ්ඩායම් කෙතරම් බිහිව සිටියත් මේ ආන්තිකරණයට ලක්වන සමාජ තීරුවේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාර නොපවතී. කොළඹ කේන්ද්‍රීයව නිදහස් අධයාපනය වෙනුවෙන් අරගල කරන සටන්කරුවන් පෙනී සිටින්නේ මැද පන්තියේ වරප්‍රසාදයන් රැක ගැනීම වෙනුවෙනි. එහෙත් ආන්තික සමාජ තීරුවේ අවම අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් හෝ කරන අරගලයක් නොපවතී. උදාහරණයකට වැලිඔය, වැලිකන්ද, මහඔය හා ලාහුගල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පාසැල් අධ්‍යාපනය පවතින්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයකය. එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කිරීම ඊනියා නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගල කරනවා තරම් ආකර්ශනීය හා දේශපාලන වටිනාකමක් සහිත ක්‍රියාවක් නොවිය හැකිය. එහෙත් සැබෑ සමාජ අරගලයට පදනම විය යුත්තේ ආන්තික සමාජ කොටසේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීමය.

අබරන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.