තෙල් බිල්ලෙක් මවා පාර්ලිමේන්තු යන බරකරත්ත චින්තනය | සිළුමිණ

තෙල් බිල්ලෙක් මවා පාර්ලිමේන්තු යන බරකරත්ත චින්තනය

 පසුගිය සතිය පුරා සියලු මාධ්‍ය ආයතන වාර්තා කළ උණුසුම්ම ප්‍රවෘත්තිය බවට පත්ව තිබුණේ ඉන්ධන හිඟයයි. ඒ පිළිබඳව ආපසු හැරී බලන විට අපට පෙනී යන්නේ මේ අර්බුදය ඛනිජ තෙල් අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය වරදවා වටහාගත් ඇතැම් මාධ්‍ය ආයතන හා බොරදියේ මාළු බෑමට කැසකවමින් සිටි ආණ්ඩු විරෝධී දේශපාලන කණ්ඩායම් විසින් සත්‍ය විකෘති කර මෑවූ බිල්ලකු බවයි. එසේ නම් මේ තෙල් හිඟයට හේතු වූ කාරණය පිළිබඳ මඳක් විමසා බලමු.

ඉන්දීය තෙල් සමාගම සතු ත්‍රිකුණාමල තෙල්ටැංකිවල ඉන්ධන ගබඩා කර වැඩි ඉල්ලුමක් පවතින කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට අවශ්‍ය ඉන්ධන සැපයීම ඉතා අපහසු කාර්යයකි. මේ නිසා සාමාන්‍යයෙන් පොදු සැපයුම් පහසුකම් (Common User Facility) ක්‍රමය යටතේ ‘ඉන්දීය තෙල් සමාගම (IOC) හා ලංකා ඛනිජ තෙල් සමාගම හා එක්ව කොළොන්නාව හා මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණවල තම ඉන්ධන ගබඩා කර ප්‍රයෝජනයට ගනී. උදාහරණයකට: කොළොන්නාව බහලු පර්යන්තයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 50,000ක් පමණ වන ඉන්ධන ප්‍රමාණය තමන්ට අයිති ප්‍රතිශතය අනුව ඔවුනොවුන් විසින්බෙදාහදාගනු ලැබේ. එනම්: ඉන්දීය තෙල් සමාගමට අයත් 15% සඳහා මේ සංචිතයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 7000ක් ලබාදෙන අතර, ඉතිරි මෙට්‍රික්ටොන් 43000ක අය­ිතිය ඇත්තේ ලංකා ඛනිජ තෙල් සමාගමටය. මෙලෙස ඉන්දීය තෙල් සමාගම සතුව තිබූ ඉන්ධන සංචිතය ඉක්මනින් විකිණී අවසන් විය. මේ නිසා ‘ඉන්දීය තෙල් සමාගම (IOC)’ තමන්ට අවශ්‍ය ඉන්ධන ‘ටෝටාල්’(Total - මෙම තෙල් සමාගම ලෝකයේ ඇති ප්‍රධාන තෙල් සැපයුම් සමාගම් හතෙන් එකකි) නම් ප්‍රංස තෙල් සමාගමකින් ආනයනය කිරීමට කටයුතු කර තිබිණි. ඒ අනුව නියමිත කාලයට එම ඉන්ධන නෞකාව මෙරටට ළඟා විය.

සාමාන්‍යයෙන් ලංකා ඛනිජ තෙල් සමාගම බොරතෙල් ගෙනැවිත් පිරිපහදු කර භාවිත කළද ඉන්දීය තෙල් සමාගම ආනයනය කරන්නේ පිරිපහදු කරන ලද ඉන්ධනය. මෙලෙස ඉන්ධන ආනයනය කළ විට ඒවා නියමිත ප්‍රමිතියට ඇත්දැයි පරීක්ෂා කර බැලීම සාමාන්‍ය සිරිතය. මේ සඳහා නීත්‍යනුකූල බලය හිමි වන්නේ ආණ්ඩුවටය. ඒ අනුව මේ ඉන්ධන පරීක්ෂා කර බැලීමේදී නියමිත ප්‍රමිතියෙන් තොර වූ නිසා (අදාළ පරීක්ෂණයේදී ඛනිජ තෙල් මත පාවෙන අපද්‍රව්‍ය හමු වීම නිසා) ‘ඉන්දීය තෙල් සමාගම (IOC)’ ආනයනය කළ මෙට්‍රික් ටොන් 30,000කින් යුතු ඉන්ධන නැව ආපසු හරවා යැවීමට ලංකා ආණ්ඩුව තීරණය කළාය. මේ අතරතුර ආණ්ඩුව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් සමාගමකින් ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් ඇණවුම් කර තිබිණි. ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ‘නෙවෙස්කා ලේඩි’ නෞකාව මෙරටට ළඟා වීමට නියමිතව තිබුණේ පසුගිය සඳුඳා (6 වැනිදා) ය. එනමුත් එය නියමිත දිනට මෙරටට පැමිණියේ නැත. මේ හේතු-කාරණ නිසා තාවකාලික ඉන්ධන හිඟයක් රට තුළ මතු විය.

විපක්ෂය කියන ආකාරයට ඉන්දීය හිතවාදී ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කළේ නම් ආණ්ඩුවට තිබුණේ මේ තෙල් ගොඩ-බා ශුද්ධ කර වෙළෙඳපොළට නිකුත් කිරීමය. එහෙත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයකට එළැඹුණේ නැත. මින් පෙනී යන්නේ විපක්ෂය නඟන මේ චෝදනාව ආණ්ඩුව යන ගමන අඩාළ කිරීමට කරන ද්වේෂසහගත ප්‍රකාශයක් ලෙසය. එය වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ ‘ටෝටාල් තෙල් සමාගම’ වෙනත් නැවක් ගෙන්වා ඉන්ධන පවිත්‍රකරණයට ලක් කර ගොඩ බෑමට අනුමැතිය ඉල්ලා සිටියද ආණ්ඩුව ඊට අනුමැතිය නොදීම නිසාය. එසේ නම්, මේ ජාතිවාදී පක්ෂ කළ යුතුව තිබුණේ වාහනවලින් පැමිණ මඟින් බැස බරකරත්තවලට හෝ පාපැදිවලට හෝ නැඟ පාර්ලිමේන්තු පැමිණීම නොව, මෙවැනි ඍජු තීරණයක් ගෙන ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ගැන ප්‍රශංසා කිරීමය. මින් පෙනී-යන්නේ ඔවුන්ගේ ජාතිවාදී මතවාදය අවශ්‍යතාව අනුව විවිධ වෙස් ගන්නා නාටකයක් බවයි. මෙය ඊට කදිම සාක්ෂියකි.

සාමාන්‍යයෙන් දිනකට අප භාවිතයට ගන්නා පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1800ත් - 2000ත් අතර වේ. මේ තත්ත්වය ඇති වන විට අප සංචිතයේ පැවතියේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10000කට ආසන්න ප්‍රමාණයකි. එනිසා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි. මේ කතාව දඩමීමා කරගත් ආණ්ඩු විරෝධී මේ දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම් එස්එම්එස් මඟින් ඉන්ධන බිල්ලකු මැවූහ. එය ෆේස් බුක්, ට්විටර්... ආදි නොයෙක් පුරවැසි මාධ්‍ය ජාල හා තමන්ට හිතවත් මාධ්‍ය ආයතන ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය කළේය. මින් බියට පත් රථ-වාහන, යතුරුපැදි, ත්‍රිරෝදරථ හිමිකරුවෝ ඉන්ධනහල් අසල පෙළගැසුණහ. තම රථයට සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවා ඊට අමතරව බූලිවලටද ඉන්ධන රැගෙන ගියෝය. සමහරු පවුල් පිටින් පැමිණ බෝතල් හා කෑන් රැගෙන ඉන්ධන පිරවුම් හල් අසල රැඳී සිටියෝය. මෙමඟින් සිදු වූයේ අර්බුදය තව තවත් ඉහළ යෑමය. කිසිදු ගැටලුවකින් තොරව තෙල් නැව් පැමිණෙන තෙක් ඉන්ධන පාවිච්චි කළ හැකිව තිබුණද මේ තත්ත්වය නිසා එය අහෝසි වී ගියේය. දැනගන්නට ලැබුණු ආරංචි මාර්ග අනුව, පොහොට්ටු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සැලසුම්සහගතව තෙල් මිල දී ගැනීමට හා ඒ අසල ගැටුම් ඇති කිරීමට යොදවා තිබූණි. මේ සියල්ලෙහි අරමුණ වී තිබුණේ ආණ්ඩුවට කිසිවක් නිසියාකාරව කළ නොහැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමයි.

මීට අමතරව බාල දේශපාලනයක නිරත වූ වෘත්තීය සමිතිද ලංකා ඛනිජ තෙල් සමාගම සතු සංචිතයේ ‘ඉන්ධන’ නැති බව පවසමින් පාරිභෝගිකයන් බිය පත් කළේය. එහෙත් වැඩි දිනක් යෑමට මත්තෙන් පසුගිය බදාදා (08) රත්‍රී 11.30ට පමණ තෙල් නැවක් කොළඹට සේන්දු විය. පැමිණි මොහොතේ සිටම ඒ සඳහා සූදානම්ව සිටි බලධාරීහු හා සේවකයෝ කඩිනමින් ඉන්ධන පරික්ෂා කර ප්‍රමිතිය සොයා බලා කොළොන්නාව හා මුතුරාජවෙල ඉන්ධන ගබඩා කළහ. ඒ අතරතුර කොලොන්නාව හා මුතුරාජවෙල පැවති සංචිත කඩිනමින් මුදාහැරීමටද පියවර ගත්හ. මීට අමතරව තවත් ඉන්ධන නැවක් ඊයේ (11) මෙරටට සේන්දු විය. එනිසා මෙමගින් අර්බුදයක් මවා දේශපාලන වාසි ලැබීමට බලා සිටි බොහෝ පාර්ශ්වවලට යන එන මං නැති විය.

ඇත්තන් නම් මේ වැරදි ප්‍රචාරයන් නිසා අසරණ වූයේ මෙරට අහිංසක පාරිභෝගික ජනතාවය. තම දෛනික ජීවිතයේ කටයුතු කරගෙන යෑමට අත තිබූ මුදල් (ආහාරපාන, බෙහෙත්හේත්...) මේ නිසා වියපැහැදම් විය. තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන මෙවැනි අවස්ථවාදි දේශපාලනඥයන් ගැන ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතුය. එහිදී ජනතාව නොමඟ යැවූ මාධ්‍ය ගැනද සැලකිලිමත් විය යුතුය. එසේම ජනතාවද “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” යන ආප්තෝපදේශය මතකයෙහි තබා ගැනීම යහපත් වේ.

එහෙත් අප දැන් සිතා බැලිය යුත්තේ අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් රටක් ලෙස අප කටයුතු කළ යුත්තේ කෙසේද යන්නය. මන්ද යත්: ඉන්ධන යනු ජනසන්නිවේදනය, විදුලිය, ජලය... වැනි අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් සේවාවකි. එය ඍජුවම රටේ ආර්ථිකයට බලපායි. එනිසා මෙය රටේ දෛනික ක්‍රියාවලියට බලපාන අත්‍යවශ්‍ය සාධකයකි. මේ සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතාගෙන් අපි විමසීමක් කළෙමු. එහිදී ඔහු අප සමඟ පවසා සිටියේ, මේ සඳහා අපට විකල්ප ක්‍රියාමාර්ග දෙකක් පවතින බවයි. එනම්: විශාල ධාරිතාවකින් යුතු ටැංකි ඉදි කර ඉන්ධන ගබඩා කර සංචිත පවත්වාගැනීමයි. දෙවැන්න තරගකාරී වෙළෙඳපොළක් ඇති කිරීමට පෞද්ගලික ව්‍යවසායකයන් කිහිප දෙනකු එකතු කරගැනීමය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වන ආකාරයට ඛනිජ තෙල් මෙට්‍රික් ටොන් කියුබික් මීටර් (කියුබික් මීටර් එකක් යනු ලීටර් දාහකි) 15000ක ධාරිතාවෙන් යුතු ටැංකියක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 495කි. මේ වන විට එහි ඉදි කිරීම් නිම වෙමින් පවතී. මෙය තවමත් සංවර්ධනය නොවූ රටක් ලෙස අපට දැරිය නොහැකි අධිකතර වියදමකි. නිෂ්පාදන ආර්ථිකයක් නැති සේවා සැපයීම මඟින් පමණක් මුදල් උපයාගන්නා රටක් ලෙස මෙහි බර නියත වශයෙන්ම දැරීමට සිදු වන්නේ ජනතාවටය. එහෙත් මෙහිදී සමහරකු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තියෙද්දී මොකටද අලුතින් ටැංකි හදන්නේ යැයි විමසිය හැකිය. එහෙත් මේ ටැංකි එකක් හෝ පාවිච්චි කළ හැකි මට්ටමක නොපවතී. එනිසා ඔවුන්ට දිය හැකි කෙටිම පිළිතුර නම්, ඒවායෙහි තෙල් ගබඩා කළ හැකි තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් වැය වන බවයි. එනම්: ටැංකි සීය සඳහා ඩොලර් මිලියන කීයක් අවශ්‍ය වේදැයි සිතාගත හැකිය. මේවා ලංකා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන්නේ නම් බිලියන ගණනින් ණය ගැනීමට ආණ්ඩුවට සිදු වේ. ඒ මුදල් නියත වශයෙන්ම ගෙවීමට සිදු වන්නේද මෙරට ජනතාවටය. අනෙක් අතට ත්‍රිකුණාමලයේ සිට වැඩි ඉල්ලුමක් පවතින කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනයද ඉතා දුෂ්කර කාර්යයකි. එසේ ම මෙලෙස ගබඩා කර තබන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වාෂ්ප වී යන ඉන්ධන ප්‍රමාණයද වැඩිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ, ගබඩා කිරීමට සාපේක්ෂව තරගකාරී අන්දමින් ඉන්ධන ලබාදීමට තරම් ප්‍රමාණවත් වෙළෙඳපොළක් අප සතු නොවීමය. එනිසා මෙවැනි විසඳුමකට යෑම ප්‍රායෝගික නොවන්නකි.

අනෙක් විසඳුම වන්නේ විශාල වශයෙන් කොටස් ලබාදී පෞද්ගලික ව්‍යවසායකයන් මීට එකතු කරගනිමින් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමය. එවිට ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සංචිත පවත්වාගෙන යෑමට සිදු වේ. කෙනෙක් විමසිය හැක්කේ, එවිට කිසියම් සමාගමක් තුළ පමණක් සංචිත ඉතිරි වූ විට වෙළෙඳ ඒකාධිකාරයක් නිර්මාණය නොවන්නේද කියාය. ඒ සඳහා මේ ව්‍යවසායකයන් සමඟ අදාළ ගිවිසුම් ඇති කරගන්නා අවස්ථාවේදීම ඊට අදාළ ක්‍රියාමාර්ග සාකච්ඡා කර ගිවිසුම්වලට එළඹීම මගින් එවැනි ගැටලුකාරී අවස්ථා මඟහරවාගත හැකිය.

ඒ අනුව බලන කළ මේ අවස්ථා දෙකෙන් හොඳම හා වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගය වන්නේ දෙවන අවස්ථාවය. ඇතැම්හු මෙවැනි අර්බුද ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටද තර්ක කරති. ඇත්තෙන්ම ඉන්ධන තිබුණද ලොව වෙනත් රටකින් එවැනි තර්ජනයක් එල්ල වුව හොත් අපට ප්‍රායෝගිකව ඊට මුහුණ දිය හැකි විභවය කුමක්ද? දින තුනක් හෝ හතරක් හෝ උපරිමයෙන් සතියක් අපට සටන් කිරීමට හැකි වනු ඇත. අනතුරුව නියත වශයෙන්ම පරාජය වැළඳගනු ඇත. එහෙත් එවැනි තර්ජනයක් පෙනෙන තෙක් මානයේ අප රටට නැත. එනිසා එවැනි බොළඳ තර්ක නැඟීම නොව, යථාර්ථවාදීව මීට මුහුණ දීම සඳහා අප විධිමත් සැලසුම් සකස් කර වහා ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

රසික කොටුදුරගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.