යහපාලනය ඉදිරියේ ඇති මඟහැර යා නොහැකි වගකීම | සිළුමිණ

යහපාලනය ඉදිරියේ ඇති මඟහැර යා නොහැකි වගකීම

 පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ අපවත් වී, මේ වන විට වසර දෙකකි. මෑත යුගයට අදාළව සැලකීමේ දී ශ්‍රී ලාංකේය ජනසමාජය කෙරෙහි තීරණාත්මක සාධනීය බලපෑමක් සිදු කළ සංඝපිතෘවරයාණන් වහන්සේ නමක ලෙස අවිවාදිත මාදුළුවාවේ සෝභිත හිමිපාණන් පිළිබඳ මෙන්ම උන් වහන්සේ විසින් රෝපණය කරන ලද දේශපාලනික සමාජ මතවාදය ශ්‍රී ලංකා ජනසමාජය කෙරෙහි කොතරම් දුරකට බලපෑමක් ඇති කර ඇත්ද යන්න පිළිබඳවද විමසා බැලීම සඳහා මෙය සුදුසු අවස්ථාවකි.

මාදුළුවාවේ සෝභිත හිමිපාණන් හැම විටම පෙනී සිටියේ සිය පූර්වගාමී යතිවරුන් පෙන්වා දුන් අනාගතවාදී දැක්මකය. ‘භික්ෂු ජීවිතයට කැළැලක් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා වෙන කුමක් හෝ වේවා එය බෞද්ධ භික්ෂුවකට සුදුසුය’ යන විද්‍යාලංකාර ප්‍රකාශනයේ සමස්තාර්ථයට අනුව එය උන් වහන්සේද තම පිළිවෙත බවට පත් කරගත්හ.

‘භික්ෂුවගේ උරුමය’

එකී අරුතින්ම උන් වහන්සේ පිළිපන් මාර්ගයද හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් මුල් අවධියේ මේ රටේ සපුරාගත යුතු අභියෝග පිළිබඳ සක්‍රීය සංවාදයක් ජනිත කළ විද්‍යාලංකාර පිරිවෙන මූලික කරගත් ප්‍රගතිශීලි භික්ෂු පරම්පරාවට නායකත්වයක් දී ඇති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, වල්පොල ශ්‍රී රාහුල වැනි මහා යතිවරයාණන් වහන්සේ පෙන්වා දුන් භික්ෂූ දේශපාලනයේ මාවත උන් වහන්සේ තරණය කළේ එකී මුල් අරුතට කිසිදු නිගරුවක් ඇති නොවන ආකාරයටය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේරටේ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් එකී මහ මැතිවරණයට තරග කරමින් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ අවස්ථාවක ඒ පිරිස සමඟ එක් නොවූයේ ඇයිද යන ප්‍රශ්නයට මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ දී ඇති පිළිතුර මඟින්ම ඒ බව සනාථ වේ.

“මටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදින්න ඇරියුම් ලැබුණා. ඒත් මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද: මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේ පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන-එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තිබෙනවා. ඒ තමයි වල්පොල රාහුල හාමුදුරුවෝ තමන්ගේ ‘භික්ෂුවගේ උරුමය’ පොතෙන් පෙන්වපු, යක්කඩුවේ හාමුදුරුවෝ විද්‍යාලංකාර ප්‍රකාශනයෙන් පෙන්වපු දේශපාලනය. අපේ දේශපාලනය තමයි පරාර්ථ චර්යාව. ඒත් අපි පක්ෂ දේශපාලනයට කොටු වුණොත් අපි එක කඳවුරකට කොටු වෙනවා. එහෙම නැතිව අපි ප්‍රතිපත්ති එක්ක වැඩ කළොත් කවුරු කළත් හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්නට පුළුවන්.” ඒ අනුව උන් වහන්සේ නියැලී සිටියේ එක් පක්ෂයක එක් ජනවර්ගයක හෝ සමාජ කුලකයක අභිවෘද්ධිය පිණිස නොවේ.

මඟහැරුණු වගකීම

නූතන ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් සමස්ත ක්‍රියාවලිය තුළ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ට සුවිශේෂ වූ භූමිකාවක් නිර්මාණය වූයේ එම පදනම තුළය. එකී ක්‍රියාවලිය තුළ විවිධාකාරයෙන් ඊට සම්බන්ධව සිටි සෑම පාර්ශ්වයකටම ඊට දායක නොවී සිටිය නොහැකි විය.

අමද්‍යප ව්‍යාපාරයට පුනර්ජීවනයක් ගෙන-දෙමින් ආරම්භ කරන ලද උන් වහන්සේගේ පරාර්ථ චර්යාව සිංහල බල මණ්ඩලය, මවුබිම සුරැකීමේ ජනතා ව්‍යාපාරය, ජාතික සංඝ සභාව, ජාතික වීර පදනම වැනි විවිධ සංවිධාන හා ඒවා මඟින් සිදු කරන ලද සමාජ මැදිහත්වීම් තුළ බොහෝ දුර ගමනක් සටහන් කර තිබේ. නිස්සාර පුරුෂාර්ථයන් පෙරටු කරගත්, ආත්ම ලාභය පමණක් ඉලක්ක කරගත් බල දේශපාලනයට එරෙහිව අප රටේ දැනුවත් සමාජය බලමුළු ගන්වමින් උන් වහන්සේ පෙරට ආයේ ඉන් අනතුරුවය. ඒ සඳහා වන පෙනී සිටීම තුළ වරෙක සිරබත් කන්නටද තවත් විටෙක මැර ප්‍රහාරයන්ට ලක් වන්නටද උන් වහන්සේට සිදු විය; චරිත ඝාතනයන්ට, මරණ තර්ජනවලට මෙන්ම ඝාතන ප්‍ර‍්‍රයත්නයන්ටද මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ඒ සියල්ලට උන් වහන්සේ පිළිතුරු දී ඇත්තේ සිය අහිංසාවාදී ප්‍රතිපදාව තවදුරටත් ප්‍රගුණ කරමිනි. අතිශය දුෂ්කර වූ තත්පරයේ දී පවා බුදුදහමෙන් උගන්වන අහිංසාවාදී මාවතින් උන්වහන්සේ බැහැර නොවූහ.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට විනාශය අත් කරමින් පැවැති ත්‍රස්තවාදී අභියෝග හමුවේ ප්‍රාණ පූජා කරමින් සටන් කළ අපගේ ආරක්ෂක හමුදා ත්‍රස්තවාදය සපුරා පරාජය කරමින් රටට උදා කර දුන් නිදහස පිළිබඳව අප්‍රමාණ සතුටට පත් මාදුළුවාවේ සෝභිත හිමියන් එම අවස්ථාව සැලකූයේ ශ්‍රී ලංකාව ස්වර්ණමය මාවතකට යොමු කළ හැකි මොහොතක් ලෙසය; මේ රටේ ජීවත් වන සියලු ජනවර්ගයන්හි සාධාරණ අපේක්ෂා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳද සලකා බලමින් රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැඟිය හැකි මොහොතක් ලෙසය; යුද මානසිකත්වය හේතුවෙන් හා මේ රටේ පාලකයන්ට ආවේණික වූ ඇතැම් ක්‍රියාමාර්ග තුළ දුර්වල කර පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරමින් රටේ ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවගේ නිදහසද ගොඩනැඟීමට හැකි අවස්ථාවක් ලෙසය. අවාසනාවකට මෙන් මේ රටේ එක්තරා පිරිසක් යුද ජයග්‍රහණය තමන් හට හිමි වූ සදාකාලික ජයග්‍රහණයක් ලෙස සලකමින් ක්‍රියා කිරීමට පෙලඹීම තුළ එකී ස්වර්ණමය අවස්ථාව මඟහැරෙමින් පැවැති ආකාරය දුටු උන් වහන්සේ නැවත වරක් පෙරට ආවේ රට හමුවේ ඇති දැවැන්ත වගකීම පිළිබඳ සමාජයට සිහිපත් කරන්නටය.

සාධාරණ සමාජයක්

එය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ සිය ජීවිත කාලය තුළ මුහුණ දුන් දැවැන්තම අරගලයට පිවිසීමක් බඳුය. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ වූ සියලු බලතල සංකේන්ද්‍රණය කරගත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සඳහා සමාජය තුළ මතයක් ගොඩනැඟීමද ඒ සඳහා වන සක්‍රිය සමාජ දේශපාලන සංවාදයක් නිර්මාණය කරගැනීමද එහි පළමු පියවර විය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනැඟීම එහි ප්‍රතිඵලය වූයේය. ඒ තුළ උන් වහන්සේ අපේක්ෂා කළේ හුදු බල මාරුවක් සඳහා වන ක්‍රියාවලියක් පමණක්ම නොවේ. මුළු මහත් සමාජ ආර්ථික හා දේශපාලන දේහය පුරා පිළිලයක් මෙන් ඔඩුදුවා පැවැති දූෂණය, භීෂණය හා අවනීතිය මත පදනම් වූ බලකාමිත්වයෙන් රට මුදාගෙන මහජනතාවට වගකියන යුක්තිගරුක, සාමකාමී මෙන්ම සමෘද්ධිමත් අනාගතයක් උදෙසා පිවිසිය හැකි සාර්ථක මාවතක් විවර කරගැනීම උන් වහන්සේගේ ඒකායන අභිලාෂය විය. ඒ සඳහා වන පළමු පියවර ජයග්‍රහණය කරවීමට තරම් උන් වහන්සේ වාසනාවන්ත වූහ. එහෙත් ඒ අතර දෛවයට ඉඩ දී උන් වහන්සේට සමු දීමට මුළුමහත් ජාතියටම සිදු විය. මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ අපවත් වී වසර දෙකක් සපුරා ඇති අවස්ථාවක,

දැන් අප සලකා බැලිය යුත්තේ උන් වහන්සේගේ අරමුණ හා ප්‍රාර්ථනාවන්ට කෙතෙක් දුරට සාධාරණත්වයක් ඉටු කර ඇත්ද යන්නය. එහි දී පසුගිය 08 දා පැවැති මාදුළුවාවේ සෝභිත මාහිමි ගුණසැමරුම් උත්සවයේ සමරු දෙසුම කළ මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ සමස්ත දේශනය තුළම හඬනඟා මතු කරන ලද කරුණු මේ රටේ සමස්ත ජනතාවගේම අවධානයට ලක් විය යුතුය. සත්‍ය වශයෙන්ම මේ රට පිළිබඳව යම් හෝ අපේක්ෂාවක් ඇති කරගත හැක්කේ එහි දී මතු කළ කරුණු පිළිබඳ රට තුළ හරවත් සංවාදයක් සිදු වුව හොත් පමණකි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා මුල පිරීමද එහි දී ඉතා වැදගත් කරුණක් විය. ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේ සරත් විජේසූරිය මහතා සිය දේශනය මඟින් මතු කළ සියලු කරුණුවලට තමා සියයට සියයක්ම එකඟ වන බවයි. සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂාසහගතව සිටින පිරිසකගෙන්ද සැදුම්ලත් එම සභාව එකී කරුණු යෝජනාවක් ලෙස සලකා ඉදිරිපත් කරන්නේ නම් තමන් එක් අතක් පමණක් නොව, අත් දෙකම ඔසවා එය අනුමත කරන බවය.

කිසියම් සාධාරණත්වයක්

එහි දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම පෙන්වා දුන්නේ මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා නියෝජනය කළ දේශපාලන බලවේගය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා දහය ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතු බවය. යහපාලන රජය බලයට පත් වීමෙන් පසු රටට හඳුන්වා දුන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ සාර්ථක කරගන්නා ලද ඇතැම් කරුණු පිළිබඳ සැලකීමේ දී සෝභිත මාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ ඇතැම් කරුණුවලට අදාළව සාධාරණත්වයක් ඉටු කිරීමට තම රජයට හැකියාවක් ලැබුණ බව ද ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නේය. ඒකාධිපතිත්වයක් කරා විධායක ජනාධිපතික්‍රමය තවදුරටත් ශක්තිමත් කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම වැනි කරුණු ඒ සඳහා වන උදාහරණයි.

එහෙත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අද දිවමන්ව සිටියේ නම් උන් වහන්සේ නඟන ප්‍රශ්නයද සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂා දල්වාගෙන සිටින මේ රටේ ජනතාව අද නඟන ප්‍රශ්නයද වන්නේ එයින් සෑහිමකට පත් විය හැකිද යන්නය. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය මේ රටේ ජනාධිපතිවරයා විසින්ද එම ප්‍රශ්නයම නැඟීමයි. එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ ප්‍රධානම කරුණක් වූයේ පොදු ජනතාවගේ අපේක්ෂා ඉටු කරන රජයක් ලෙස කටයුතු කරන්නේ නම් සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් රටක් ලෙස අප කතා කරන යහපාලනය, සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය යන කරුණු සියල්ල සපුරාගැනීම උදෙසා අප කැප විය යුතු බවය. වැරදි කරන ඕනෑම බලවතකුට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක විය යුතු බවය. වැරැද්දට ලබාදෙන දඬුවම්වලට එරෙහිව කිසිවකු බාධා නොකළ යුතු බවය. එහෙත් එය හරියටම ක්‍රියාත්මක වන්නේද යන්න ගැන මුළු සමාජයම නගන ප්‍රශ්නයම අද මේ රටේ ජනාධිපතිවරයාද මතු කර පෙන්වීම විශේෂ තත්ත්වයකි. එසේ නම් මේ රටේ සබුද්ධික ජනතාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පිරිසුදු පාලන ක්‍රමයක් අපේක්ෂා කරන සියලු දෙනාද ගැඹුරින් විමසා සිටිය යුත්තේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපේක්ෂාවන්ට එරෙහිව කඳවුරු බඳින්නන් එසේ කරන්නේ කාගේ ඉඩම්වලද යන්නය.

ඒ සමඟම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී සිදු කළ කතාවේ හරය තුළ ඒ සෑම පාර්ශ්වයකටම වැදගත් පණිවිඩයක්ද ලබා දී තිබේ. එනම්: සිදුව ඇති එවැනි වැරදි නිවැරදි කරගැනීම සඳහා තවමත් කල් ඉකුත් වී නැති බවයි. අද පවතින්නේ සම්මුතිවාදී පාලනයකි. ඒ අනුව එකී සම්මුතියට එකඟත්වයක් පළ කර ඇති සෑම පාර්ශ්වයකටම ඒ පිළිබඳ වන බලවත් වගකීමක් තිබේ. එහි දී සම්මුතිබද්ධ පාලනයකට එකඟ වී ඇති ප්‍රධාන පක්ෂ දෙකම ගැඹුරින් තේරුම්ගත යුතුව ඇති කරුණ වන්නේ එකිනෙකා අතර වන එම එකඟත්වය 2020 දක්වා රට පාලනය කිරීමට පමණක් සීමා නොවන බවයි; යහපාලනය ගොඩනැඟීම උදෙසා උර-දුන් සියලු බලවේග සමඟ ඇති කරගත් එකඟත්වය සම්පූර්ණ කිරීමේ වගකීම අන් සියල්ලටම වඩා එහි දී ප්‍රමුඛ වන බවයි; එමෙන්ම වැදගත් වන බවයි; එකී එකඟතා ඉටු කිරීම සඳහා දක්වන උනන්දුව හා කැප වීම යහපාලන රජයේ අනාගතය පිළිබඳවද තීරණාත්මක වන බවයි. මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ‘සාධාරණ සමාජයක් සඳහා වූ අපේක්ෂා’ මඟහැර කිසිවකුට ඒ ගමන යා නොහැක්කේ ඒ නිසාය.

සුනිල් ජයසේකර 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.