වෙනස් වන ලෝකයට වෙනස් අය-වැයක් | සිළුමිණ

වෙනස් වන ලෝකයට වෙනස් අය-වැයක්

 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් කළ සම්මුතික ආණ්ඩුවේ හතරවන අය-වැය බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙමින් පවතිනයි. බලාපොරොත්තු වූ ලෙසම එය සම්ප්‍රදායික නොවන අය-වැය ප්‍රකාශනයක් වන අතර, රජයේ ආදායම් හා වියදම් අතර හිර නොවුණු අය-වැයක් ලෙසද නිරීක්ෂණය කළ හැකිය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අය-වැය ප්‍රකාශයකින් කරන්නේ බදු මිල අඩු කිරීම හා බඩු මිල වැඩි කිරීම පිළිබඳ දැනුම් දීමකි. ඒ අනුව සමාජයද අය-වැයක් ලෙස කියූ සැණින් බලාපොරොත්තු වන්නේ මිල අඩු වූ හෝ මිල වැඩි වූ හෝ භාණ්ඩ මොනවාදැයි දැනගැනීමටය. එසේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වූවාදැයි සොයා බැලීමත් අය-වැය අනුව සිදු වේ. අය-වැය දින මිනිසුන් ගුවන්විදුලි යන්ත්‍රය ළඟ තබාගෙන ඊට උනන්දුවෙන් සවන්දෙන කාලයක් ඉතිහාසයේ තිබුණේ එබැවිනි. එහෙත් රාජ්‍යය වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයෙන් ඉවත් වීම ආරම්භ කිරීමත් සමග අය-වැයේ කාර්යයද වෙනස් විය.

රාජ්‍ය අයවැයක් යනු ඉදිරි මූල්‍ය වර්ෂය තුළ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ සඳහා ගන්නා වූ උපක්‍රමික පියවර පිළිබඳ ප්‍රකාශයකි. නිෂ්පාදනයක් නැතිව අස්ථාවර සේවා ආර්ථිකයක රැඳෙමින් ලැබෙන විදේශ ණය හා ආධාර මත යැපෙන රාජ්‍යයක් කල්යෑමේදී එවැනි ප්‍රතිපත්තිමය රාමුවක අය-වැය ඉදිරිපත් කිරීමකට වඩා උනන්දු වූයේ දේශපාලන අරමුණකින් සමාජ කොටස් දිනාගැනීම සඳහා යම් යම් ‘කැරට් අල’ දිගු කරන හා පක්ෂ දේශපාලන අරමුණකින් අනෙකාට පහරදීමට අය-වැය ප්‍රකාශය යොදාගැනීමයි. එහෙත් මෙවර අය-වැය ඒ අර්ථයෙන් වෙනස් වී තිබීම ප්‍රශස්ත කටයුත්තකි.

නීලහරිත අය-වැයක්

ධනේශ්වර සංවර්ධනය තුළ කාර්මිකරණයට යොදා ගත් තාක්ෂණික උපායන් නිසා පෙරලා ලෝකයට හානියක් වෙමින් පවතී. හරිත විප්ලවය සමාජයට විශාල කාර්යභාරයක් කළ ද මේ වනවිට හරිත විප්ලවයේ ප්‍රතිඵල භයානක ය. මුළු එකක් ලෙස සැලකූ විට ධනේශ්වර සංවර්ධන උපායන් වෙළෙඳපොළ තත්ත්වයන්ට හානිකර වෙමින් තිබේ. මේ ප්‍රවණතා තුළ ලෝකය නැවත ආකෘතික වෙනසකට ලක් කළ යුතුව තිබේ. ඒ වෙනස සිදු වන්නේ පවතින ධනේශ්වර අවකාශය තුළමය.

ඒ සඳහා ව්‍යූහාත්මකව සමාජ අවකාශය වෙනස් කිරීම සඳහා අලුත් සංකල්ප හඳුන්වා දෙමින් පවතී. උදාහරණයකට හරිත විප්ලවයේදී රසායනික පොහොර භාවිතය නිසා ආහාර නිෂ්පාදනය ඉහළ ගියද විශාල පරිසර විනාශයක් සිදු වෙමින් තිබේ. ඒ පරිසර විනාශය වෙළෙඳපොළටද මේ වන විට තර්ජනයකි. ඒ නිසා ලෝකයේ තිරසාර පැවැත්ම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යය. ක්‍රියාත්මක කරන සියලු සංවර්ධන ක්‍රියා හා උපාය උපක්‍රම තිරසාර ලෙස මෙහෙයවන්නට තැත් කරන්නේ එබැවිනි.

2018 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අය-වැය නීලහරිත සංකල්පය පෙරදැරි කරගත් අය-වැයක් වන්නේත් එය වෙනස් වන ලෝකයට සංවේදී වූ අයවැයක් වන්නේත් එබැවිනි. ඛනිජ තෙල් භාවිතය ලෝකයා විසින් අත්හරිමින් පවතින අතර බටහිර බොහෝ රටවල් අනාගතයේ වසරක් ඉලක්ක කරගනිමින් ඛනිජ තෙල් භාවිතය අත්හරින්නට කටයුතු කරමින් පවතී. ඒ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් 2040 වසර වන විට ශ්‍රී ලංකාවේ සියලු වාහන ඛනිජ තෙල් නොවන බල ශක්තියකින් ධාවනය කිරීමට ඉලක්ක සහගතව පියවර ගැනීම ප්‍රශස්තය.

එහි එක් පියවරක් ලෙස රාජ්‍ය අංශයේ සියලු වාහන 2024 වන විට මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් හෝ ඛනිජ තෙල්වලින් ධාවනය නොකරන මාධ්‍යකට පරිවර්තනය කිරීමටද සැලසුමක් පවතී. ඒ අතර විදුලියෙන් ධාවනය කරන මෝටර් රථ සඳහා වූ ආනයනික බද්ද ලක්ෂ 10කින් අඩු කිරීම, විදුලියෙන් ධාවනය කරන රථ වාහන බදු අඩු කිරීම, නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලියෙන් ක්‍රියා කරවන මගී ප්‍රවාහන බස් රථ 50ක් ආනයනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීම කැපීපෙනෙන අය-වැය යෝජනාය. විදුලියෙන් ක්‍රියා කරවන මෝටර් වාහන ව්‍යාපෘතිය සඳහා පැවැති විශාලම ප්‍රායෝගික දුෂ්කරතාව වූයේ බැටරි ආරෝපන මධ්‍යස්ථාන රට පුරා විසිරී නොපැවතීමයි. ඒ සඳහා ගන්නා වූ ධනාත්මක පියවරක් ලෙස සූර්ය බලයෙන් වාහන බැටරි ආරෝපණය කරන්නා වූ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රජයේ සහාය ලබා දේ.

පරිසරයට දිරියක්

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට වන හානිය අවම කිරීම අපහසු වී ඇත්තේ ධනේශ්වර සංවර්ධනය මෙතෙක් පරිසරය ගැන උනන්දු නොවූ නිසා ය. පරිසරයට හානියක් නැතිව කාර්මීකරණයක් ගැන කතා කිරීම උගහට විය. එනිසා ශීඝ්‍ර පරිසර හානියක් වූ අතර, කුඩා රටක් වන ශ්‍රී ලංකාව තුළද එය සිදු විය. ඒ හානිය ප්‍රතිපූරණය සඳහාද මේ අය-වැයෙන් ප්‍රතිකර්ම සොයා තිබීම සතුටට කරුණකි. ඒ අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිෂ්පාදනය, කාබන් නිෂ්පාදනය ආදි ක්‍රියාවන් අඩපණ කිරීමේ අරමුණෙන් යම් යම් පියවර ගෙන ඇති අතර, එවැනි කටයුතු සඳහා බදු පැනවීමට ද යෝජනා වී ඇත. පුත්තලමේ අරුවක්කාලුහි ඉදි කිරීමට යෝජිත අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3,000ක් වෙන් කර ඇත.

ගංවතුර උපද්‍රව දැන් දැන් ශ්‍රී ලංකාව ගිල ගන්නා විශාල විනාශජනක ක්‍රියාවලියකි. එනිසා මිල කළ නොහැකි මිනිස් හා සත්ත්ව ජීවිත මෙන්ම මිල කළ හැකි භෞතික සම්පත්ද විනාශ වේ. මේ විනාශයන් වැළැක්වීමට සමස්ත ව්‍යාපෘතියක් අවශ්‍ය වුවද තාවකාලික පියවරක් ලෙස නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරගනිමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට බැම්මක් ඉදි කෙරේ. එසේම මීඔය ඇතුළු ඉහළ ගංගාධාරයන්හි නව බහුකාර්ය ජලාශ ඉදි කිරීමටද අවධානය යොමුව ඇත. කම්හල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය ගංගාවන්ට එක් වීම වැළැක්වීමට පවිත්‍ර ගංගා ව්‍යාපෘතිය යටතේ සහනාදායි ණය ව්‍යාපෘතීන් හඳුන්වාදීමටද මුදල් අමාත්‍යවරයා යෝජනා කිරීම ප්‍රශස්ත වෑයමකි.

වාපී සංස්කෘතියට තල්ලුවක්

වාරි සංස්කෘතික රටක් වන ශ්‍රී ලංකාවේ මෑත කාලීන පරිසරයට අහිතකර ක්‍රියා නිසා වැව් රොන්මඩවලින් පිරී යෑම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. මේ නිසා වාරි පද්ධතියම විනාශ වෙමින් පවතී. රජරට වාරි පද්ධතිය විනාශ වීම යනු මුළුමහත් සංස්කෘතියටම සිදු වන විනාශයකි. එම හානිය අවම කිරීම සඳහා වැව්වල රොන් මඩ ඉවත් කිරීම කොතරම් වියදම් අධික වුවත් කළ යුත්තකි. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත. ඒ අතරම ‘වැවක් සහිත ගමක්’ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඊට දිරි දීම පාරිසරික අතින් මෙන්ම ආහාර සුරක්ෂිතතාව අතින්ද වැදගත්ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය

ශ්‍රී ලංකාව වැනි ශක්තිමත් නොවූ ආර්ථිකයක පදනම ලෙස පවතින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය. රටේ කාර්මික නිෂ්පාදන ප්‍රමාණයෙන් බහුතරය රඳා පවතින්නේ ඔවුන් මතය. එහෙත් එවැනි ව්‍යවසායකයන් දිරි ගැන්වීමට හා අලුත් ආයෝජන ආරම්භ කිරීම සඳහා පවතින වාණිජ බැංකු දායක නොවීම කනගාටුවට කරුණකි. වාණිජ බැංකු නිතරම උත්සාහ ගන්නේ තම පාරිභෝගිකයන්ගේ මුදල්වලින් ව්‍යාපාර කර ඔහුන්ගේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට මිස රටේ මහජන අභිලාශයන් ශක්තිමත් කිරීමට නොවේ. ඒ නිසා වාණිජ බැංකු සම්බන්ධයෙන් විශාල විවේචනයක් පවතින අතර, සම්මුතික ආණ්ඩුවේ දෙවැනි අයවැයෙන්ද මේ සම්බන්ධයෙන් පියවරයන් ගණනාවක් ගන්නා ලදි. කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා අලුත් බැංකුවක් පිහිටුවීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කිරීම තවත් ශක්තිමත් ඉදිරි පියවරකි.

එදා-මෙදා තුර ඉදිරිපත් වූ අයවැය යෝජනාවලින් රැසක් යෝජනා පරිද්දෙන්ම කුණු කූඩයට තල්ලු වූ බව රහසක් නොවේ. අය-වැය ඉදිරිපත් කරන සෑම දිනකම මුළු රටම අමතක කරන්නේ කලින් වසරේ අයවැය යෝජනාවන්ගේ සාර්ථකත්වය හා ප්‍රගතිය කෙසේද යන්නයි. පෙර වසරේ අය-වැය කාර්යසාධනය නොසලකා අලුත් වසරට තවත් යෝජනා පොදියක් ගෙන ඒම හුදු මෝස්තරාත්මක ලෙස අය-වැයක් ගෙන ඒමකි. එහෙත් පෙර වසරේ කාර්යසාධනය සලකමින් අලුත් වසරට අය-වැයක් නිර්මාණය කරගැනීමට හැකි වුව හොත් එය වඩා අගය කළ යුතුය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තම අය-වැයෙන්ම ඒ සඳහාද ඉදිරි පියවරක් තබා ඇත. ඒ අනුව අය-වැය යෝජනා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අධීක්ෂණය හා පසු-විපරම් කාර්යාංශයක් මුදල් අමාත්‍යාංශයේ පිහිටුවීමටද ඔහු පියවර ගෙන ඇත.

ලෝකය වෙනස් වෙමින් තිබේ. ඒ අනුව ආර්ථිකය හා වෙළෙඳපොළද වෙනස් විය යුතුය. ගෝලීය වෙළෙඳපොළ තවමත් ප්‍රසාරණය වෙමින් තිබේ. ඒ ප්‍රසාරණය වන වෙළෙඳපොළ තුළ විප්ලවීය පියවර නොගත හොත් කුඩා රටක් වුවත් ශ්‍රී ලංකාව අසාර්ථක වී අහෝසි වී යෑම අනිවාර්යය. ඒ වෙනස්කම් තවමත් සිදු වෙමින් පවතින්නේ ගෝලීය වෙළෙඳපොළ අවකාශය තුළමය. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ප්‍රතිසංස්කරණ විසඳුම් පොදියක් ඉදිරිපත් කර ඇත. එහි ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ බුද්ධිමතුන්ගේ දායකත්වය මතය.

[email protected]
කේ.ජී. පිලිප් ශාන්ත 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.