සයිටම් ඒරාෂ්ටකය අහෝසි කළ මෛත්‍රී බලය! | සිළුමිණ

සයිටම් ඒරාෂ්ටකය අහෝසි කළ මෛත්‍රී බලය!

 මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවේ දේශපාලන ග්‍රහචාරය ආණ්ඩු විරෝධීන් අපේක්ෂා කළ තරමටම නරක නැත. රටම අර්බුදයකට ඇදගෙන ගිය ඉන්ධන අර්බුදය අවසන්ය. ඒ සමඟම ආණ්ඩුවට මාරක අපල උදා කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළ සයිටම් අර්බුදයද අවසන් වී තිබේ. විරෝධතාවලට මුවා වී ආණ්ඩුවට වස් කවි කී අයගේ බලය සුන් කරමින් මෛත්‍රී බලයේ සෙත්කවි කාටත් සුබ පල ලබා දීම රටේත් ජනතාවගේත් වාසනාවක් වැන්න. කෙබඳු දෘෂ්ටි කෝණයකින් බැලුවත් බරපතළම අර්බුද දෙකක් විසඳාගැනීමට ආණ්ඩුවට හැකි වී තිබේ.

ඉන්ධන අර්බුදයේ පියවරු කවරහුදැයි අපි නොදනිමු. එහෙත් දවස් ගණනක් මුළුල්ලේ මේ රටේ විවිධ ජන කොටස් විසින් කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල දුෂ්කරක්‍රියා කරමින් ආණ්ඩුවේ වැඩකටයුතු පිළිබඳ එල්ල කළ විවේචන අවමන්, ගැරහුම් සුළු-පටු නොවන බව පමණක් ආණ්ඩුවට කිව යුතුය. ඉන්ධන ලබාගැනීමට පෝලිම් ගැසී සිටි ජනතාවගෙන් බහුතරයක්ම ප්‍රකාශ කළේ මේ සිද්ධියට වගකිව යුතු නිල-බල මොළවලට ළිස්සා යෑමට ඉඩ නොතැබිය යුතු බවය. ඉන්ධන ලබාදීමේ අයිතියෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් හිමි ඉන්දීය තෙල් සමාගම නමැති වලිගය විසින් ආණ්ඩුවේ තෙල් සංස්ථාව නැටවිය හැකි නම් එය කිසි සේත්ම යහපත් දෙයක් නොවන බව කිව යුතුය. ජනතාවට පෝලිම්වල තපින්ට වූයේ සමාගම්වල මාෆියාව නිසාද, එහෙමත් නැත් නම් තෙල් සංස්ථාවේ හෝ වෙනත් මාෆියාවක් නිසාදැයි සහසුද්දෙන් දැනගැනීම ආණ්ඩුවේ සෞඛ්‍යයටද හොඳය. තෙල් හිඟය ගැන ඊට වඩා කීමට අපේක්ෂා නොකරමු.

අනිටු විපාක

කෙසේ වුවද එකී තෙල් අර්බුදය විසින් යටපත් කරන ලද නමුදු ඒ වන විට උත්සන්න වී තිබුණු සයිටම් විරෝධී අරගලයද සුළුපටු නැත. මාස ගණනක් තිස්සේ මහ පාරවල්වල විරෝධතා දක්වමින් පොලීසිවල බැටන් ප්‍රහාර, අධිවේගී ජල ප්‍රහාර මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරද විඳගනිමින් සයිටම් විරෝධයේ ධජය අතට ගත් සරසවි සිසුදරුවන්ගේ මවුපියෝ මාරාන්තික උපවාසයකට එළඹ සිටියහ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව වහ වහා ප්‍රශ්නයට අදාළ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සයිටම් ලෙඩේට හරියටම ගැළපෙන බෙහෙත වැටී ලෙඩේ ගොඩදාගැනීමට හැකි වීම නම් මේ රටට ආදරය ඇති කාටත් සතුටු විය හැකිය.

සයිටම් අර්බුදයට සාධාරණ විසඳුමක් ඉල්ලා මාරාන්තික උපවාසයක් අරඹා සිටි වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංගමයේ නියෝජිතයන් එම පියවරෙන් මුදාගත හැකි වූයේ සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දූරදර්ශී පියවර නිසාය. සයිටම් අර්බුදයේදී ඇතැම් ඇමැතිවරුන් අනුගමනය කළ අනම්‍ය පිළිවෙත පමණක් නොව ඔවුන්ගේ මුවින් ගිලිහී ගිය උජාරු වහසි බස් ද සයිටම් අර්බුදය දුරදිග යාමට හේතු වූ බව නිසැකය. විරෝධයට එක්වූ සිසුන්ට ප්‍රහාරවලට පමණක් නොව රිමාන්ඩ් මැදිරිවල තපින්ටද සිදු විය. දොස්තරවරුන්ටද, නොයෙක් අවලාද විවේචන ලැබිණි. සයිටම් විරෝධයේ සාධාරණ ප්‍රතිචාර මෙන්ම අසාධාරණ ක්‍රියාකාරකම්ද ඕනෑ තරම් තිබිණි. දේශපාලන පක්ෂවල කොස්ඇට බාගැනීමේ තරග ද ශිෂ්‍ය ප්‍රජාවගේ නොමනා ප්‍රතිචාර ද නොතිබුණා නොවේ.

මෙම සයිටම් විරෝධී අරගලය මාස ගණනක් තිස්සේ දිගින්දිගට ඇදී ගිය රටේ අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රමුඛ ක්ෂේත්‍ර ගණනාවක් අවුල් කිරීමටත්, ඒවායේ කටයුතු අඩාල කිරීමටත් හේතු වූවකි. මෙම සටනට ප්‍රධාන වශයෙන් වෛද්‍ය විද්‍යාල සිසුන් ප්‍රමුඛ විශ්වවිද්‍යාල සිසුහු දහස් ගණනක් එක්ව සිටියහ. වෛද්‍ය පීඨවල කිසිම සිසුවෙක් දේශනවලට හෝ කිසිදු අධ්‍යාපන කටයුත්තකට සහභාගි වී නැති බවද කියති. මේ යටතේ ප්‍රබල පාර්ශ්වයක් වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල බිඳවැටීම් ඇති විය. එහි අනිටු ඵලයක් ලෙස මේ රටේ සාමාන්‍ය ජනයාට විශාල පීඩනයකට මැදිවීමට සිදු විය. සිසුන්ට හා වෛද්‍යවරුන්ට අමතරව මේ සයිටම් විරෝධය පසුපසද ඉදිරියෙන්ද දේශපාලන ක්‍රියාකාරීහුද ආණ්ඩු විරෝධීහුද සිටියහ. මේ සයිටම් ප්‍රශ්නය නිර්මාණය කළ රාජපක්ෂ ආණ්ඩුවේ සමහරුද සයිටම් අර්බුදයට පොහොර දැමූහ.

සයිටම් ආයතනය හෙවත් දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය මේ රටේ ආරම්භ වන්නේ පවතින ක්‍රමය යටතේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අවකාශ නොලැබෙන දරුවන්ට සාධාරණ මුදලක් ගෙවා වෛද්‍ය උපාධිය ලබාදීමටය. පිටරටවල වෛද්‍ය උපාධි ලබාගැනීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන රුපියල් මිලියන දහස් ගණනක මුදලක් මේ රට තුළ රඳවාගැනීමද එහි තවත් අරමුණක් විය. මේ අදහස් සදොස් යැයි කිව හැකිද? මෙයින් නිදහස් අධ්‍යාපනය අහෝසි වන්නේ කෙසේද? යන ප්‍රශ්න අපට ද තිබේ.

මේ රටේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය රැකගැනීම ගැන උනන්දු වන අයට දොස් කීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් මේ නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ ප්‍රතිලාභ ලබන සමාජ තීරුව තවදුරටත් එසේ පවත්වාගෙන යා හැකිද යන ප්‍රශ්නය අද අප ඉදිරියේ තිබේ. පොදු ජනතාව යන හැඳින්වීමට අයත් නොවන ධනවත් සමාජ තීරුවලට සුබසාධනය ලබාදීම අද ආර්ථිකයට ඔරොත්තු නොදෙන්නක් බව අප පිළිගත යුතුය. නොමිලයේ ලැබෙන මේ පහසුකම් ලැබිය යුතු පිරිසක් සිටිති. එසේම එයට හිමි නැති පිරිසක්ද සිටිති. මේ සැබෑ ප්‍රශ්නය දේශපාලනිකව විසඳාගැනීමට දේශපාලනඥයෝම ඉඩ නොදෙත් නම් කුමක් කරමුද? සමාජ සුබසාධන කප්පාදුව යනු දේශපාලන බලය ගිලිහී යන දෙයකි. එනිසා කිසිවෙක් මේ ප්‍රශ්නයට විසඳුම් නොදෙති. මන්ද යත්: නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම යනු මුළු රටම ආකර්ෂණයට වඩා මෝහනයට පත් කරගත හැකි සටන් පාඨයක් වීමයි.

නියාමනයක්

අද මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික වෛද්‍ය සේවයක්ද තිබේ. ඒවා නිසි පරිදි නියාමනය කෙරෙන හෝ ප්‍රතිපත්තිමය පාලනයක් හෝ තිබේද යනු අපට කිව නොහැකිය. එහෙත් ඒ පෞද්ගලික සේවාවන් ජනතාවගෙන් බොහෝ අය ලබාගනිති. අධ්‍යාපන ප්‍රශ්නය ගත හොත් වසරකට උසස් පෙළ සමත් වන පිරිස එක් ලක්ෂ හැටදහසක් පමණ බව කියති. එහෙත් විශ්වවිද්‍යාල සඳහා ඉඩ ඇත්තේ සියලු පාඨමාලා සඳහාම 28,000ක් පමණ සිසුන් පිරිසකටය. මෙයින් පෙනී යන්නේ උසස් අධ්‍යාපන වරම් ලබන සිසුන්ගෙන් ලක්ෂයකටත් වැඩි පිරිසකට ඒ සඳහා ප්‍රමාණවත් ඉඩකඩ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නැති බවය. එය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි.

එනිසා ඒ අය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල තිබීම ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම වරදක් නොවේ. මෙහිදී සිදු වන්නේ යහමින් මුදල් තිබෙන අයගේ හා අමාරුවෙන් මුදල් හදාගන්නා අයගේ දරුවන් පිටරටකට ගොස් වෛද්‍ය විද්‍යා උපාධියක් ලබාගෙන මේ රටට පැමිණීමය. එබඳු අය අදත් අපේ සෞඛ්‍ය සේවයේ සිටිති. පිටරට උපාධිය හදාරා සායනික පුහුණුවද ලබා මේ රටට පැමිණ මෙහිදීත් විභාගයකින් සමත්ව වෛද්‍යවරුන් වීමේ ක්‍රමය කවුරුනුත් අනුමත කරන්නකි.

ප්‍රමිතිගත කිරීම

මාලබේ සයිටම් ආයතනය හොර උපාධි කඩයක් බව සිසුන් මෙන්ම විරෝධතාකරුවෝද කියති. හොර බඩුවල ප්‍රමිතියක් නැති බව අපටද කිව හැකිය. එසේ නම් පළමුව ආණ්ඩුවක වගකීම හොර බඩු තිප්පොළ වසා-දැමීමය. සයිටම් වසා-දැමීම නිසා ඒ හොර බඩු නිෂ්පාදනය නතර කළ හැකිය. එහෙත් මෙහිදී යළි අපට ඉහත කී පරණ ප්‍රශ්නයම ඇසීමට සිදු වේ. එනම්: නියමිත සුදුසුකම් ඇති අපේ දරුවන්ට මුදලක් ගෙවා වෛද්‍ය උපාධිය දීමේ වරද කුමක්ද යනුයි. වෙනත් රටවල මෙන්ම මේ රටේද අනෙක් බොහෝ ක්ෂේත්‍රවලට අදාළව උපාධි පිරිනමන බව අපි දනිමු. රජයේ වෛද්‍යවරුන් කියන ආකාරයටම වෛද්‍ය සේවය ගම්භීර හා වගකිව යුතු එකකි. එයට ‘දුන්නා - මළා’ වර්ගයේ දොස්තරලා එකතු වෙත් නම් එය වරදකි. එසේ නම් අප විසඳාගත යුතු ප්‍රශ්නය මේ වෛද්‍ය සේවයට නිසි ප්‍රමිතියක් ලබාදීමය.

විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියට අවශ්‍ය සුදුසුකම් සපුරන එහෙත් ඒ සඳහා ඉඩ-කඩ නොලැබෙන සිසුන්ට රජයේ ප්‍රමිතියකට යටත්ව ඒ උපාධිය ලබාගත හැකි ක්‍රමයක් සකසා දීම යහපත් ක්‍රියාවක් නොවේද? වෛද්‍ය සභාව, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු සියලු පිරිස් එක්ව වටමේසයක සිට මේ ප්‍රමිතිය සකසා දීම ජාතික වගකීමක් බව අපගේ අදහසය. එම වෛද්‍ය සිසුන්ට අවශ්‍ය පරිදි සායනික පුහුණුව දීම මෙන්ම රජයේ හා පෞද්ගලික යන අංශ දෙකටම එකම මට්ටමක විභාග නියම කිරීමද කළ හැකිය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ආචාර්ය මණ්ඩල තෝරාගැනීමද ඉහත කී පුළුල් කමිටුවක නිර්දේශ අනුව සිදු කළ හැකිය. ප්‍රමිතියකින් තොරව වෛද්‍යවරුන් බිහි වීම වැළැක්වීම සඳහා අධීක්ෂණය කිරීම, එම විද්‍යාලවල පහසුකම්, ප්‍රමිතීන් සොයා බැලීම වැනි දේවල්ද රජයට කළ හැකිය. අප දන්නා තරමින් විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර උපාධිය හා සමව බාහිර උපාධියද පිළිගනු ලැබේ.

මේ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නරක දෙයක් හෝ අපාගත වන දෙයක් හෝ නිදහස් අධ්‍යාපනයේ මළගම ලෙස හෝ හැඳින්විය හැකිද? සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර නම් එයට වගකිව යුත්තෝ එබඳු හොර කඩයකට අවසර දුන් අය නොවෙත්ද? එසේම මේ ප්‍රශ්නයට මුහුණ දී විඳවන ඒ සිසුන්ගේ අයිතියද ආරක්ෂා විය යුතුය. සයිටම් අහෝසිය මෙන්ම සයිටම් දරුවන්ට යුක්තියක් ඉටු කර-ලීම ආණ්ඩුවේ වගකීමය. මේ වන විට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන තිබේ. එසේ නම් ඒ රෝහල නිසි ප්‍රමිතියකට දියුණු කිරීම ආණ්ඩුවට - සෞඛ්‍ය ඇමතිවරයාට භාරය. සයිටම් විරෝධීන්ගේ චෝදනාවක් වී තිබුණේ ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුගේ ප්‍රශ්නය විසඳනවා මිස දරුවන්ගේ ප්‍රශ්නය නොවිසඳන බවය. එනිසා දැන් එබඳු චෝදනා නිෂ්ක්‍රීය වන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කරනු ඇතැයිද විශ්වාස කරමු.

මේ සයිටම් විරෝධයේ කැපීපෙනුණු දේශපාලනයක් තිබිණි. සයිටම් විරෝධයේ පෙරමුණ ගත් සරසවි සිසු ප්‍රජාව අපගේද ආඩම්බරයට හේතු වේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයා කීප වරක්ම ප්‍රකාශ කළේද මේ දරුවන් ත්‍රස්තවාදීන් නොව තාරුණ්‍යයෙන් ඔද වැඩී යුක්තිය, සාධාරණය උදෙසා අවංකව ඉදිරියට එන දරුවන් බවය. සැබැවින්ම වෛද්‍ය සිසු මවුපියන් කී ලෙසටම මේ අපේ දරුවෝය; අපගේම සහෝදර සහෝදරියෝය. ඇතැම් විට දේශපාලන දෘෂ්ටිවල වහල්භාවයට පත් වී සිටින පිරිස්ද මේ අතර සිටිනු විය හැකිය. සරසවි සිසුන්ගේ අදීනත්වය, දේශපාලන කොස් ඇට බෑමේ සමත් කපටියන්ට හොඳ අමුද්‍රව්‍යයන්ද වේ. මේ රටේ දේශපාලනය, බොහෝ විට වමේ දේශපාලනයද ආණ්ඩුවලට එරෙහිව විරෝධතාවලට තල්ලු වන්නේ නිවැරදි දැක්මකින් නොවන බව ද කිව යුතුය. නොයෙක් හේතු මත විරෝධතා, වර්ජන සිදු කරන දේශපාලන ව්‍යාපාරවල නායකයන්ට වුව තම ක්‍රියාකාරකම් නිසා පීඩාවට පත් වන සාමාන්‍ය ජනතාව ගැන කම්පාවක් නැති බව පෙනේ. අද ලෝකයම ප්‍රාග්ධනය කේන්ද්‍ර කරගත් සමාජ ආර්ථිකයක් කෙරෙහි විශ්වාසය තබා ඇත. භාණ්ඩ හා සේවා යනු මිල දී ගැනීමේ ශක්තිය අනුව සිදු වන්නකි. තාක්ෂණය හා නව දැනුම සමාජයේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වී තිබේ. දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා මේ යථාර්ථය අමතක කර පැරණි සටන් ක්‍රමවලට තල්ලු වීම වෙනුවට අලුත් සමාජ කියවීමක් අද අවශ්‍ය වී තිබේ. සමාජවාදී ප්‍රතිපත්ති අභාවයට යමින් තිබෙන බව පිළිගැනීමට වම පවා සූදානම් නැත. පෞද්ගලික ක්‍රමය ශාපයක් ලෙස කල්පනා කරන්නේද ඒ සීමා තුළ හිර වීම නිසා බව ආර්ථික විශේෂඥයෝ පැහැදිලිව කියති. එහෙත් ඔවුන්ට ‘ද්‍රෝහි’ ලේබල් ඇලවීමට වඩා අර්ථවත් දෙයක් සිදු නොවේ. සියල්ල ප්‍රාග්ධනයට යටත් වීම අද තිබෙන ප්‍රවණතාවයි. ආණ්ඩුවල පැවැත්ම රඳා පවතින්නේ ඒ යථාර්ථය තේරුම් ගන්නා පමණටය. දේශපාලන ෆැන්ටසිවල ජීවත්වන අයට මේ යථාර්ථය පසක් වේද?

මේ සමඟම තවත් දෙයක් ද කිව යුතුය. එනම් අද මේ ආණ්ඩුව ඇදගෙන යෑමට අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් දක්වන උනන්දුව ආණ්ඩුවේම සමහරුන්ට නැති බවය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා සෝභිත හිමිගේ දෙවන ගුණ සැමරුම් උලෙළේදී කාටත් තේරෙන භාෂාවෙන් වුවද තරමක සිත් තැවුලකින් රටටම කියා සිටියේ මේ ආණ්ඩුව ඇතුළේ සිටින සුළු පිරිසකුත් එළියේ සිටින අවස්ථාවාදී බලලෝභී පිරිසකුත් දවසින් දවස නිර්මාණය කරන අර්බුද ගැනය. ජනාධිපතිවරයා කී ආකාරයටම හැම කුණු ගොඩක්ම අන්තිමේදී වැටෙන්නේ ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවටය. ප්‍රශ්න විසඳීම දේශපාලනයේදී තිබෙන අභියෝගයක් බව ඇත්තය. එහෙත් එහිදී අඩුම වශයෙන් ආණ්ඩුවක් විදිහට එකට හිටගැනීමට වත් බැරි නම් එතැන අවුලකි. මේ ආණ්ඩුව පත් වී මාස තුනක් ගත වීමටත් කලින් සිදු වූ මහ බැංකු මංකොල්ලය රටට හෙළි වූයේ ජනාධිපතිවරයා මැදිහත් වී කළ කොමිසම පත් කිරීම නිසාය.

පරණ හොරු

මේ කොමිසමෙන් සායම් ගිය දේශපාලන චරිත ගැන අද රටම දනී. ඒ නිසා ජනාධිපතිවරයාට එල්ල වන නින්දා, අපහාස, පෞද්ගලික මඩ ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදයේ හා මාධ්‍ය නිදහසේ ආඩම්බරයත් සමඟ දෝරේ ගලා යනු රටටම පෙනේ. සෝභිත හිමියන් පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහි වූයේ නිකම්ම නොවේ. ඉහවහා ගිය දූෂණය, භීෂණය පමණක් නොව තම හිතවතුන් නෑයන් පෝෂණය කළ දූෂිතම ක්‍රමයක් කරා තල්ලු වී ගිය රට ගොඩගැනීමටත් සාධාරණ සමාජයක් ඇති කිරීමටත් එදා සෝභිත හිමියන් ඇරඹූ අරගලයේ ධජය සිය ජීවිත අනතුරද නොතකා අතට ගත් මෛත්‍රීපාල සිරිසේන නම් වූ අභීත, අව්‍යාජ, අවංක දේශපාලන චරිතය හුදෙකලා කිරීමට අද පරණ හොරුන්ට මෙන්ම අලුත් හොරුන්ටද වුවමනා වී තිබේ. දේශපාලන වේදිකාවලත්, ප්‍රවෘත්ති සාකච්ඡාවලත් අද කියැවෙන, ඇසෙන බොහෝ දේවලින් හැඟවෙන්නේ මේ රටේ කිසිදු වරදක්, නරකක්, හොරකමක්, දූෂණයක්, භීෂණයක් සිදු නොවූ බවය. මේ රට බේරාගැනීමට යළිත් පරණ කණ්ඩායමට බලය ලබාදිය යුතු යයි කීමට තරම් සමහරු ධෛර්ය සම්පන්නව සිටිති.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදිම මේ ආණ්ඩුව විසින් සිදු කරන ලද කිසිම හොඳ වැඩක් ගැන කිසිවෙක් කතා නොකරති. අඩුම තරමින් 19 වැනි සංශෝධනය ගැන වත්, දූෂිත මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන වත් ‘හ්ම්’ හඬක් නැත. නීතිය, යුක්තිය, සාධාරණය උදෙසා තිබුණු වැටකඩුලු ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය සවිබලගැන්වීම ගැන කිසිවෙක් කතා නොකරති. ජාත්‍යන්තරයේ අපට තිබුණු යුද අපරාධ චෝදනා ඉවත් කරගෙන රටට ජගත් නායකයන්ගේ ප්‍රසාදය හා අනුග්‍රහය ලබාගත් බව නිකමට වත් කියන්නේද නැත. විග්නේශ්වරන්ලාට, ශිවාජිලිංගම්ලාට ඉඩ නොතබා උතුරේ දෙමළ ජනතාව සමඟත් ඔවුන්ගේ මැදහත් නායකයන් සමඟ සම්මුතිවාදීව කටයුතු කරන බව වත් කියන්නේ නැත.

ඒ මේ රටේ තිබෙන දේශපාලනයේ ස්වභාවයයි. ප්‍රභාකරන් කීවා සේම අපි බොහෝ දේවල් බොහෝ ඉක්මනින් අමතක කරන ජාතියක් වෙමු. මුහුණ සමඟ තරහට නහය කපාගන්නා අයද අප අතර සිටිති. එහෙත් ඒ කිසිවක් ගණන් ගත යුතු නැත. සත්තකින්ම සියල්ල යළි විමර්ශනය කර අඩු තැන්, වැරදි තැන් හදාගෙන ආණ්ඩුවක් විදිහට ඉදිරියට යෑමට තවමත් කාලය තිබේ.

සුමේධ ජයබාහු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.