අම­ර­දේව සහ ජෝති­පාල හරහා ලාංකේය සංගී­තය නැවත කියැ­වීම | සිළුමිණ

අම­ර­දේව සහ ජෝති­පාල හරහා ලාංකේය සංගී­තය නැවත කියැ­වීම

ලාංකේය සංගීතමය භාවිතය පිළිබඳ හුදු වාගාලාපවලින් තොරව කිසියම් අධ්‍යයනයකට යොමු වීම අප කාගේත් යුතුකමකි. මේ සඳහා කිසියම් ප්‍රවිෂ්ටයක් ගැනීමට ප්‍රවීණ සිනමා සාහිත්‍ය විචාරක, සිනමා තිරකතා රචක, ලේඛක එරික් ඉලයප්ආරච්චි සහ මම උත්සාහ කළෙමු. මෙලෙස අප අඳින මේ කටු සිතුවම මඟින් මෙරට සංගීත ක්ෂේත්‍රය වැසී තිබෙන අඳුරු ප්‍රදේශයක් නිරාවරණය කිරීම අපේක්ෂාවයි. ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය යෙදුණු මෙකල ඊට තෝරාගතිමු. මේ පිළිබඳ ඔබ තුළ කිසියම් කුකුසක්, විවේචනයක්, අදහසක්, ඌන පූරණයක් ඇත් නම් අපට ලියන්න. අප ඔබේ මතය නොපැකිළව පළ කරන්නෙමු.

අපේ රටේ අසහාය සංගීත පෞරුෂය හැටියට පිළිගැනෙන්නේ පණ්ඩිත් අමරදේවයි. මේ ගොඩනැඟීමේදී ඔහු ජාතික සංගීතඥයා හැටියට ප්‍රකාශයට පත් වනවා. ඒ අනුව අපේ රටේ සංගීතයේ සංඥාව ලෙස ඔහුගේ ‘රූපය’ (Image) යි හඳුනාගැනෙන්නේ.

විශේෂයෙන්ම විදග්ධ වියත් සමාජය තුළ ඔහු වඩාත්ම ශාස්ත්‍රීය ගායකයා හැටියට හඳුනාගැනෙනවා. මේ නිසා ඔහුගේ ‘රූපය’, සිංහල සංගීතයේ ප්‍රධාන ‘රූපය’ බවට පත් වනවා. ඒ නිසා ශ්‍රාවකයන් ලෙස අමරදේවගේ මේ ‘රූපය’ නැති නම් ‘විෂය’ (Subject) කියවීමට භාෂාවක් සොයාගත යුතුව තිබෙනවා. මේ ඒ සඳහා අප ගන්නා උත්සාහයකි. අප විශ්වාස කරන්නේ එය මේ මොහොතේ සංගීත කලා විචාරකයකුගේ වගකීම වන බවයි. එසේ නැතිව මහා බහුශ්‍රැතයා, ජාතියේ හඬ පෞරුෂය, ගාන්ධර්වයා, දේශය පුබුදු කළ අභිමානවත් රන් ස්වරය... ආදි වචන කීමේ වැඩක් නැති බව අපේ හැඟීමයි. එසේ නම් අප කළ යුත්තේ ඔහු එහෙම කෙනෙක්ද? එහෙම වෙන්නෙ කොහොමද? කියන කාරණාව පිළිබඳ සොයා බැලීමයි. ඒ සඳහා හුදු ප්‍රශස්ති ගුණගායනාවලින් ඔබ්බට ගොස් ඊට අවශ්‍ය භාෂාවක් ක්‍රමවේදයක් නැති නම් ප්‍රවාදයක් හදන්න ඕනෑ. ඒක අමරදේව කියවීම සඳහා විතරක් නෙමෙයි, සියලු මීයැසි ස්වර නාද ගෙත්තම් කියැවීමට පහසුවක් වේවි. එවැනි කාර්යයකදී එය හුදෙක් සංගීතයට පමණක් සීමා වූවකට වඩා සමාජීය සහ මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් බවට පත් වීම අනිවාර්යයක්. මොකද: අපට මේ ගැන කතා කරන්නේ වෙන්නේ ඒ පදනමේ සිටයි.

ඒ අනුව අපට අමරදේව කියැවීමේ භාෂාව ගොඩනඟා ගැනීමට සිදු වන්නේ, මෑත යුගයේ කලා විචාර ක්ෂේත්‍රයට ඇතුළු වෙච්ච සංඥාර්ථවේදය (සංඥාර්ථ විද්‍යාව), සංඥාර්ථ විශ්ලේෂණය හා මනෝ විශ්ලේෂණය ඔස්සේයි. ඒ සඳහා සංඥාවේදය පැත්තෙන් රෝලන්ඩ් බාත් වත්, සංඥාර්ථ විශ්ලේෂණය පැත්තෙන් ජූලියා ක්‍රිස්ටේවා වත්, මනෝ විශ්ලේෂණය පැත්තෙන් ලකාන් වත්, උපයෝගී කරගෙන අපට මේ කියැවීමට මාවතක් ඉදි කරගත හැකියි.

අපි සංගීතය සහ භාෂාව අතර සම්බන්ධතාව අරන් බැලුවොත්, භාෂාව කියන්නේ සංඥා පද්ධතියක්. ඒ වගේම සංගීතය කියන්නෙත් සංඥා පද්ධතියක්. බෙනිවිස්ටේ කියන චින්තකයා කියනවා, අපි මේ පාවිච්චි කරන භාෂාව, සිනමාව, සංගීතය, චිත්‍ර කලාව, සෙල්ලම් බඩු, ක්‍රීඩා... කියල අප හඳුන්වන්නේ ‘සංඥාර්ථ පද්ධති’ ගොඩක් බව. මේ සියල්ල අතරින් භාෂාවේ (භාෂා සංඥාර්ථවේදයේ) පවතින සුවිශේෂත්වය වෙන්නෙ, වෙනත් සංඥාර්ථ පද්ධතීන් අර්ථකථනය කිරීමට එයට ඇති හැකියාවයි. වඩා සරලව කිව්වොත් අනෙක් පද්ධති සියල්ල හඳුන්වා දෙන්න එයට පුළුවන්. මේ හැකියාව භාෂාවට හැර වෙනත් කිසිදු දේකට කරන්න බැහැ. උදාහරණයකට: සංගීතයට බැහැ භාෂාව විශ්ලේෂණය කරන්න. ඒ වගේම චිත්‍රකලාවටත් බැහැ භාෂාව අර්ථකථනය කරන්න. භාෂාව විශ්ලේෂණය කළ හැක්කේ භාෂාවටම පමණයි.

භාෂාව හරහා සිංහල සංගීතය කියැවීමට යෑමේදී, අපට ඒ තුළ පවතින යම් ගැටලුවක් නිරාවරණය වෙනවා. ඒ, භාෂාව තමන් තුළ පවතින මේ මහඟු අර්ථකථන හැකියාව ඔස්සේ වෙනත් සංඥාර්ථ පද්ධති අර්ථකථනය කරන්න ගියාම ඒ සංඥා පද්ධතීන්ට කිසියම් හානියක් නැති නම් අසාධාරණයක් සිදු වීම. උදාහරණයකට සිංහල ගීතය කියල අප හඳුන්වන්නේ සිංහල භාෂාව විසින් සංගීතය අර්ථකථනය කර දෙන ආකාරයටයි.

මෙතනදි වෙන්නේ සංගීතය අර්ථකථනය කරන්න භාෂාව උත්සාහ කරනවා. මේ අර්ථකථනයේ ප්‍රතිඵලයක් විදියට සිංහල ගීතය කියන දේ බිහි වෙනවා. ඒත් මේ ආකාරයට කිසියම් භාෂාවක් විසින් හිතුවක්කාරී අන්දමින් සංගීතය අර්ථකථනය කරන්න ගියාම එතනදි සංගීතයේ පවතින ‘ස්වන ගුණයට’ (phonics) හානි වනවා. ඒක උපමාවකින් පැහැදිලි කළොත්, භාෂාව විසින් සංගීතයේ පවතින මේ ‘ස්වන ගුණය’ හානි කිරීම හරියට අර කුඩාරමට රිංගපු ඔටුව කළ දේ හා සමානයි.

‘ස්වන ගුණය’ කියන්නේ, සංගීතය නම් භාෂාව කියන්නේ ඔටුව නම්, සංගීතය ඇතුළට භාෂාව කියන ඔටුවා ඔළුව දාගන්නවා. පසුව මුළු කූඩාරමම අයිති කරගන්නවා. අපේ සිංහල ගීතය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එනම්, සිංහල භාෂාව විසින් සංගීතයේ පවතින මේ ‘ස්වන ගුණ’, ‘අනන්‍යතා ගුණ’ ඔක්කොම තමා තුළටම අවශෝෂණය කරගන්නවා. මේ නිසා සංගීතය වෙනුවට භාෂාමය හැඳින්වීමකට එය සීමා වෙනවා. මෙන්න මේ ගැටලුව සිංහල ගීතයේ පවතින මූලිකම ගැටලුව විදියට අපට හඳුන්වන්න පුළුවන්.

රෝලන්ඩ් බාත් කියනව, සංගීතය තුළට භාෂාව කඩා වදින්නේ පරිකල්පනීය ප්‍රවේශයකින් බව. එනම් සංගීතය තුළට භාෂාව කඩා වදින්නේ පරිකල්පිතයක් ලෙසයි. එය එක්තරා ආකාරයක ළදරු තත්ත්වයක්. එනම්, සංගීතය නම් සංකේත ලෝකය තුළට භාෂාව ඇතුළු වෙන්නේ ළදරු පරිකල්පිතයක් ලෙස. මේ හේතුවෙන් සංගීතයට තමන්ගේම අවිඥානයක්, තමාගේම වූ ගැඹුරු බවක් ඇති කරගැනීමට ඇති හැකියාව මේ ළදරු පරිකල්පිතය මගින් සීමා කරනවා. මේ පසුබිම තුළ ගොඩනැගෙන්නේ අවිඥානයක් රහිත සංගීතයක්. උදාහරණයකට අපි බීතෝවන්ගේ සංගීතය හරි, රාගධාරී සංගීතය හරි ගනිමු. ඒ තුළ ගැඹුරු අවිඥානයක් වගේම සවිඥානයකුත් පවතිනවා. සංගීතයට ඇතුළු වන මේ භාෂාවේ ළදරු පරිකල්පනීය තත්ත්වය (ඒත් භාෂාව තමාගේ ක්ෂේත්‍රය තුළ (භාෂා ක්ෂේත්‍රය තුළ ළදරු තත්ත්වයක පවතින බව මින් අදහස් වෙන්නේ නැහැ) නිසා සංගීතමය ආකාරයෙන් වැඩීමට නියමිත මනස අවුරනවා. ඒ නිසා අපේ රටේ සංගීතමය මනසක් වර්ධනය වී නැහැ. අද සිංහල සංගීතය කියල අප හඳුනාගන්නේ මේ අසම්පූර්ණ ඌන භාෂාමය හැඳීනීමයි. මෙය සංගීතය පැත්තෙන් බැලුවාම අපි මුහුණ දී සිටින ප්‍රමුඛ ඛේදවාචක්. මේ නිසා සංගීතය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු, ඉන්දීය රාගධාරී සංගීතය හැදෑරූ, විදග්ධ සංගීතඥයෙක් ලෙස විශේෂයෙන්ම අතිදක්ෂ වයලින් වාදකයකු වන අමරදේව මෙකී ඛේදවාචකයේ ගොදුරක් බවට පත් වෙනවා.

ඔහු සිංහල සංගීතයේ පවතින මේ මහා ගැටයට අහු වෙනවා; නැති නම් ඒ දැලේ පැටලෙනවා. අපට සිංහල සංගීතය හා අමරදේව පිළිබඳ කතා කරන්න වෙන්නේ මෙන්න මේ කාරණාව මත පදනම්වයි.

භාෂාවෙන් සංගීත නිර්මාණ කරන්න ගියාම විතරක් නෙමෙයි, විචාරය කරන්න ගියාමත් ලොකු අවුලක් සිද්ධ වෙනවා. මොකද: භාෂාවෙන් සංගීතය විචාරය කරන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා පමණයි. මේ සීමාව නිසා හැම මොහොතකම භාෂාව ‘නාම විශේෂණ’ (adjective) හැටියට තමයි සංගීතය දෙස බලන්නේ.

භාෂාවට මේ තුළට ඇතුළු වෙන්න වෙනත් විකල්පයක් නැහැ. මේ නිසා මිහිරි සංගීතය, කර්ණ රසායන සංගීතය, කන්කලු සංගීතය, අමිහිරි සංගීතය, ජනප්‍රිය සංගීතය, සම්භාව්‍ය සංගීතය, බටහිර සංගීතය, ජාතික සංගීතය, සිංහල සංගීතය, ජන සංගීතය, පර්යේෂණාත්මක සංගීතය, ප්‍රබුද්ධ සංගීතය, පීචං සංගීතය... ආදි වශයෙන් නොයෙකුත් ‘නාම විශේෂණ’ ගොඩනැගෙනවා. මෙකී හේතුවෙන් ‘නාම විශේෂණ’වලින් තොරව සංගීතය පිළිබඳව අපට කතා කළ නොහැකි වී යනවා. මේ නිසා නිවේදකයෙක් නැතිව සංගීතය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට අපි පත් වෙලා. අපට සංගීත ප්‍රසංගකදි නිවේදකයාගේ භූමිකාව නැතිව ම බැරි සාධකයක් බවට පත් වී තිබෙන්නේ ඒ නිසයි.

නමුත් අපි මෙතනින් බටහිරට ගියොත්, මයිකල් ජැක්සන්, මැඩෝනා, ප්‍රින්ස්, බෝයි ජොර්ජ්... මේ අයට නිවේදකයො නැහැ. ඒත් අපට නිවේදකයො ඉන්නවා. අපේ රටේ සංගීතය හසුරුවන්නේ භාෂාවෙන්. මේ නිවේදකයො වැඩිපුරම පාවිච්චි කරන්නේ නාම විශේෂණ.

ඒ අනුව අපේ නිවේදකයා කියන්නේ මිනිස් අවයව ලැබූ නාම විශේෂණයකට. අමරදේවට සංගීතඥයෙක් හැටියටත්, ගායකයෙක් හැටියටත් තමන්ගේ සංගීත දිවිය ගෙවන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ භාෂා ලෝකය තුළ යි. නැති නම් මේ නිවේදකයා විසින් නිර්මිත නාම විශේෂණයක් හැටියටයි. ඒ නිසා තමයි අපට අමරදේවගේ සංගීතය වෙනුවට මහා ගාන්ධර්වයා, ජාතියේ රන් ස්වරය... ආදි නාම විශේෂණ මුණගැසෙන්නේ.

ඒ නිසා අප අමරදේව පිළිබඳව කතා කරද්දි ‘භාෂාව’ (language ) සහ ‘හඬ’ (voice) කියන පදනමේ සිට කතා කිරීම වඩාත්ම උචිතයි.

රෝලන්ඩ් බාත් කියනවා, ගායකයා කියන කෙනා නිමවලා තියෙන්නේ ‘හඬ අණු’වලින් (grain of voice) බව. (මෙතනදි ‘අණු’ කියලා අදහස් කළේ යමක් සකස් වී පවතින දේ කියන අදහසින්) මේ හඬ අණු (grain) හැදෙන්නේ සංගීතමය ගායකයා සහ භාෂාව එකතු වන මොහොතේදීයි. අමරදේවගේ ස්වන අණු (grain of voice of Amaradewa) කියලා අපි ඒක නම් කරමු. සරලව කිව්වොත් අමරදේව සිංහලෙන් ගායනා කරද්දී ඉතා විශිෂ්ට හඬ අණු නිෂ්පාදනය කරනවා. ඒ ගැන සැකයක් නැහැ.

මෙහෙම හැදෙන හඬ අණු කොතරම් විශිෂ්ටද කියනවා නම්, මේ ගායනා කරන්නේ අපි සහ අපේ භාෂාව කියලා අපට හැඟෙනවා. එවිට අමරදේව ගායනා කරනවා කියල කියන්නේ සිංහල භාෂාව ගායනා කරනවා කියන එකයි. අමරදේව භාෂාව බවට පත් වෙනවා. මේක ද්විත්ව (Double) නිෂ්පාදනයක්. විලියම් ශේක්ස්පියර් ගැන කතා කරද්දි හැරල්ඩ් බ්ලූම් කියනවා, ශේක්ස්පියර් කියන්නේම ඉංග්‍රීසි භාෂාව කියලා. ඒවගේ අමරදේව කියන්නෙම සිංහල භාෂාව. ඔහු ඒ තත්ත්වයට ළඟා වෙනවා. ඒ තමයි අමරදේව ලබන විශීෂ්ටත්වය කියල මෙතනදි අපිට කියන්න පුලුවන්.

මේ හඬයි, භාෂාවයි, සංගීතයයි එක්කහු වෙලා තැනෙන හඬ අණුවල (grain) වියමන් දෙකක් පවතිනවා. අමරදේවගේ ගායනයේදීත් අපට මේ වියමන් දෙක හමු වෙනවා. මින් පළමුවැන්න, ගායනයේ ස්වරූපයයි. එනම්: ඔහුගේ ගායනය අපට ඇහෙන්නේ කොහොමද , ඇහෙන හඬ පරාසය, අමරදේව ගායනා කරනවයි කියලා ඇති වන හැඟීම, ගීතයේ අර්ථය සන්නිවේදනය වන ආකාරය, ස්වර පිහිටා තිබෙන පදනම, පද රචනාව සකස් වී ඇති ආකාරය, ස්ථායි හා අන්තරා කොටස් සැකසී ඇති ආකාරය... මේ සියල්ල අයත් වන්නේ ගීත රූප වියමනට (pheno-text). එහි සරල අදහස ‘කොහොමද මේ ගීත නිම වී ඇත්තේ‘ කියන-එකයි. මේ රූප වියමනේදී අමරදේව විශිෂ්ටයි; පරිපූර්ණයි.

මේ ගීත රූප වියමනෙහි තවත් වියමනක් තියෙනවා. ඒ තමයි සංගීත ජනක වියමන (geno-text). එහි අදහස නම් තමාව සජීව කරගන්නේ කොහොමද? ගීතය විදුලි ජනකයක් වගේ ජනනය වෙන්නේ කොහොමද? ගර්භාශයක් විදියට දරුවා හදන්නේ කොහොමද? සරලව කියනවා නම් බොක්කෙන්ම ගීතය කියන්නේ කොහොමද? කියන අදහස.

මේ සංගීත ජනක වියමන (geno-text) තවත් විදියකින් කිව්වොත් සංගීත වර්ධක වියමන (geno-text) කියන අදහස රෝලන්ඩ් බාත් එකතු කරගන්නේ ජූලියා ක්‍රිස්ටෙවාගෙන්.

මෙතනදි තමයි ඇගේ අදහස් අපට වැදගත් වෙන්නේ. ක්‍රිස්ටේවාගේ කාන්තාවාදය (feminism) පිළිබඳ විශ්ලේෂණය තුළ සඳහන් වන ජනක වියමන (geno-text) මඟින් ගැහැනිය තුළ පවතින ප්‍රමෝදය පිළිබඳ හැඟීම අර්ථ ගැන්වෙනවා. ඒ අනුව සංගීතය තුළ තමාටම අනන්‍ය වූ හැඟවුම්කාරක (signifiers) හැදෙන්නේ මේ කියන දෙවන වියමන තුළයි.

ගායකයකුට වැදගත්ම දේ වෙන්නේ මෙයයි. මුලින් සඳහන් කළ ගීත රූප වියමනේදී (pheno-text) සිද්ධ වන්නේ තමාව විද්‍යාමාන කිරීම නම්, ජනක වියමන (geno-text)තුළ දි සිදු වන්නේ ඔහු අන්‍යයන්ගේ ප්‍රමෝදය බවට පත් වීමට හැකි වීමයි.

නමුත් ඛේදවාචකය වන්නේ අමරදේව මේ ජනක වියමන (geno-text) තුළ දී දිළිඳු වීමයි. සරලව කිව්වොත් අමරදේව ගීත රූප වියමනේ (pheno-text) දී විශිෂ්ට වන අතර, සංගීත ජනක වියමනේදී (geno-text) එතරම් උත්කර්ෂයට පත් නොවීමයි.

අමරදේවයි ජෝතිපාලවයි සසඳමින් අපිට මේ කාරණය වඩා හොඳින් වටහා ගන්න පුළුවන්. ජෝතිපාල ගීත ජනක වියමනේදී (geno-text) විශිෂ්ට වෙනවා. ඒත් ගීත රූප වියමනේදී එතරම් විශිෂ්ටයෙක් වෙන්නේ නැහැ.

අමරදේව ගීත රූප වියමනේ (pheno-text) දී විශිෂ්ටයි නමුත්, ගීත ජනක වියමනේදී (geno-text) එතරම් විශිෂ්ටයෙක් වෙන්නේ නැහැ. ජෝතිපාල තරම් අමරදේව ජනකාන්ත නොවීමේ රහස ඇත්තේද මෙතනය.

මෙලඩිය නැතිව ගායකයා බිහි වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ගීත ජනක වියමනයි (geno-text). අපිට පේනවා ජෝතිපාලගෙ ගීතවලදි ඒ ආකාරයට මෙලඩිය නැතිව ගායකයා බිහි වනවා. ඒ තුළ ඔහුගේ ගායන පෞරුෂය (හඬ පෞරුෂය) අපට පේන්න ගන්නවා.

වෙනත් උදාහරණයකින් කිව්වොත් පවරොට්ටි ගායනා කරද්දි ගීත රූප වියමන (pheno-text) තරමටම ගීත ජනක වියමනත් (geno-text) ඒ එක්කම මතු වී පෙනෙනවා.

 

ඔහු කැලේ සිංහයෙක් නාද කරනව වගේ මහා යෝධ පෞරුෂයකින් ගයනවා.

ජෝතිපාලගේ ස්වන අණු ඉතා ප්‍රබලයි. සිංහලෙන් ගායනා කළ කිසිම ගායකයකු සතු නොවුණු තරම් ප්‍රබලයි. එහි මිහිරියාව මෙන්ම පුපුරා යෑමේ උණුසුම්භාවය පවතිනවා. ගායනා විභාගයේදී මිහිරියාව ලෙස හදුනාගන්නේ Timbre කියන එකයි. ඉන් ඇඟවෙන්නේ මිහිරි ධ්වනි ගුණය (Timbre) වගේ අදහසක්.

ස්වන පිපුරුම හෙවත් ස්වන විදාරණය අපට නුස්රාත් ෆටේ අලි ඛාන්, සුෆී ගායිකාවන් දෙදෙනකු වූ නූරාන් සහෝදරියන් තුළත් දැකිය හැකියි. ජෝතිපාලගේ ස්වන මිහිරියාව උපදින්නේ මේ දෙකේ සංකලනයෙන්. ජෝතිපාලගේ මේ අගය වටහා ගත්තේ ප්‍රේමසිරි කේමදාස, පරාක්‍රම කොඩිතුවක්කු වගේ සුධීමතුන් කිහිප දෙනෙක් පමණයි. මෙහි කාන්තාමය දිශාව නියෝජනය කරන්නේ රුක්මනී දේවි සහ ලතා වල්පොලයි.

ඇත්ත වශයෙන් ඔවුන් ගායනා කළේ ගීත නොවෙයි සින්දු. අමු සින්දු. අද ගීතය කියන්නේ වෙන එකක්. සින්දුව මත වචනය ප්‍රමුඛ කිරීමෙන් ඇති කර ගත් ‘හෙජමොනික වාග් ශානරයක්’. ඒක සංගීතමය අතින් දිළිඳු මතවාදී ඇටවුමක්. සංගීත වියමන, ස්වන අණු වගේ දේවල් ගීතය කියන කෘත්‍රිම ශානරයේදී මර්දනයට ලක් කෙරෙනවා. එවිට සින්දුවේ අවිඥානය මර්දනය කෙරෙනවා. මේ නිසා ගීතය ලෙස අපට හැඟෙන්නේ අහම (Ego) සහ සුපිරි අහම (Super Ego). එහෙම නැත්තම් ඒ දෙක ව්‍යාකුල කරන හිස්ටීරියාවයි. එනමුත් සැබෑ සංගීත වියමනකට අවිඥානයක් තියෙනවා.

සින්දුවක වියමන් තුනක් තියෙනවා. පද වියමන, සංගීත වියමන හා නාද ධ්වනි වියමන වශයෙන්. රෝලන්ඩ් බාත් කතා කරන්නේ නාද ධ්වනි වියමන හෙවත් හඬ වියමන ගැනයි. ගායනීය මිනිස් හඬ සංඥාවක් ලෙස පැවතීම ගැනයි. සුභාවිත සිංහල ගීතය කියන ශානරයේදී සංගීත වියමන සහ හඬ වියමන පද වියමන විසින් යටපත් කරනවා. එය සංගීතාත්මක අපරාධයක්.

පද වියමන කියන්නේ සංගීතයේදී ප්‍රාථමික දෙයක්. එය සංගීත වියමන සහ හඬ වියමන නාභිගත කරන සැකිල්ලක් පමණයි. එයට වටිනාකමක් ලැබෙන්නේ සංගීත වියමන හා හඬ වියමන තුළදී පමණයි. සංගීත වියමන හා හඬ වියමන තුළදී එය නොදැනී යන්න ඕනෑ.

පද වියමන් රචකයාට ඒ නිහතමානීකම තියෙන්න ඕනෑ. ඒ වෙනුවට අද තියෙන්නේ සංගීතයට බලපෑම් කරන, සංගීතය භාෂාවෙන්, පද මාලාවකින් වටලන අධිපතිවාදී වානිජ සංස්ථාවක්. කොටින්ම පද වියමන් පොලීසියක් හා පද වියමන් මැනිං මාර්කට්-එකක්. මේ නිසා නව පරපුර සංගීත වියමන හා හඬ වියමන අවියක් කරගෙන කැරැලි ගහනවා. අද සින්දුව පවතින්නේ මේ ව්‍යාකුලත්වය මැදයි. එනමුත් එය සින්දුව මරාදමන තරුණ කැරැල්ලක් පමණයි.

මේ කැරැල්ල තුළ පවතින ප්‍රවණතා කිහිපයක් හඳුනාගන්න පුළුවන්. එකක් පද වියමන ඉවතට වීසි කරමින් කරන විවිධ බටහිර සංගීත ශෛලිවල අනුකරණ. දෙවැන්න කේවල හෝ සමූහ හඬ ගර්ජනා.

තුන්වැන්න පද වියමනට කීකරු වීමට උත්සාහ කරමින් සිදු කරන දුර්වල, ලුහුඬු, ඕලාරික සංගීත වියමන්. සිව්වැන්න සමාජ මාධ්‍ය, රියැලිට් ෂෝ, චැට් ෂෝ ආදිය ඔස්සේ සිදු වන ගායනා ප්‍රතිනිෂ්පාදන.

මේ සියල්ල සිදු වන්නේ ප්‍රාසංගික කලාව කාර්මික වශයෙන් ප්‍රතිනිෂ්පාදනය ආරම්භ වීමෙන් පසු එහි වඩාත් සූක්ෂ්ම ප්‍රතිනිෂ්පාදන මාදිලයක් වන වර්තමාන ප්‍රාසංගික විද්යුත් ප්‍රතිනිෂ්පාදන නිසා කලාව බාල වීම, බාල්දු වීම, විපරීත වීම හා සුලබ වීම තුළයි.

උසස් කලාව සුලබ වෙන්න බැහැ. මේ අතින් අද තියෙන්නේ ගායනය සුලබ වීමක්. ප්‍රාසංගික වේදිකාවෙන් චැට් ෂෝ දක්වා ගමන් කිරීමක්. ගායකයා හා අසන්නා අතර වෙනස නැති වන තරමට සුලබ වීමක්. ටෙනර්, සොප්රානෝ ආදී වර්ගකරණයන් වුවත්, පෙරදිග රාගධාරී වර්ගීකරණයන් වුවත් සුලබතාව මත නොව දුලබතාව මත පදනම් වුණු සංස්කෘතික ප්‍රපංචයි.

ලංකාවෙත් මහා හයියෙන් බෙරිහන්දීල කෑගහන සංගීතඥයන්, ගායකයන් අද අපි දකිනවා. මේ අය පවතින්නේ ගීත ජනක වියමන (geno-text) තුළ වුවත්, එය ඉතා දුර්වල රූපයක් (Image) වගේම අනුකාරක රූපයක් (Embedding image). මේවා බොද්‍රිලාද් කිවුවා වගේ ප්‍රතිනිෂ්පාදනයක් විතරයි. ඔවුන් ජෝතිපාල වගේ ගීත ගයන්න හදනවා. හැබැයි කවදාවත් ජෝතිපාල වෙන්න බැහැ. අද අපේ රටේ සංගීතය තුළ පවතින තත්ත්වය මේකයි. ඉතිං අපිට අමරදේවගේ සංගීතය කොටින්ම ලාංකේය සංගීතය පිළිබඳ කිසියම් අදහසක් ඇති කරගන්න, ලිහාගන්න පුළුවන් වෙන්නේ මේ විදිහටයි. 


 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.