ට්‍රම්ප් ආසි­යාවේ - රිප­බ්ලි­කන් පක්ෂය මැති­ව­රණ පරා­ජ­ය­ක | සිළුමිණ

ට්‍රම්ප් ආසි­යාවේ - රිප­බ්ලි­කන් පක්ෂය මැති­ව­රණ පරා­ජ­ය­ක

අලුතෙන් තම නායක භූමිකාව ශක්තිමත් කරගත් චීන නායක ෂී ජින් පින් හා අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති හමුව සමස්ත චාරිකාවේම වඩාත් තීරණාත්මක අංගය විය. මෙය ලොව ප්‍රධානතම නායක දෙපළගේ හමුවීම ලෙස ලෝක මාධ්‍ය අර්ථ දක්වයි. ට්‍රම්ප්ගේ ප්‍රධාන අරමුණ වුයේ උතුරු කොරියාව මේච්චල් කිරීම සඳහා චීනය වඩාත් පුළුල් මට්ටමින් යොදාගැනීමයි. ඔහු ජනාධිපති ෂී ගෙන් ඉල්ලා සිටියේ උතුරු කොරියාව තවදුරටත් හුදෙකලා කිරීමට පියවර ගන්නා ලෙසයි. දෙවැනුව අමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරිණ.

බලයට පත්වු දා සිටම ආන්දෝලනාත්මක දේ කරමින් ලෝකයේ අවධානය දිනා ගන්නා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියාවේ සිදුකරන රාජ්‍ය චාරිකාව හා සමගාමීව අලුත් වචනයක්, එසේත් නැත්නම් නව නිර්වචනයක් ලෝකය හමුවේ ඉදිරිපත් කළේය. ඔහු අවස්ථා ගණනාවකදී සඳහන් කළේ “ඉන්දු - පැසිපික් “ කලාපය යන්නයි. මෙතෙක් ලෝකය අසා ඇත්තේ ආසියා - පැසිපික් එසේත් නැත්නම් ආසියානු ශාන්තිකර කලාපය යන්නයි. එහෙත් ඉන්දු - පැසිපික් යන්න සම්පුර්ණයෙන්ම නව නිර්වචනයකි. දේශපාලනය පිළිබඳ විද්වතුන් හා විශ්ලේෂණාත්මක මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි ට්‍රම්ප් දිගින් දිගටම ඉන්දු - පැසිපික් යනුවෙන් සඳහන් කරන්නේ ඉන්දියාව, චීනය හා නැගෙනහිර ආසියාව එනම් ජපානය හා කොරියානු අර්ධද්විපය අයත් කලාපයයි. ඉන්දු - පැසිපික් යන්න ට්‍රම්ප්ගේ පාලනයේ ආසියාව හා සම්බන්ධ ප්‍රතිපත්තියයි. ඉන්දියාව බලවත් ඒකකයක් ලෙස ගෙන චීනයේ නැගී සිටීම හා තුලනය කරමින් සාම්ප්‍රදායික අමෙරිකානු හිතවතුන් වන ජපානය හා දකුණු කොරියාවද ශාන්තිකර කලාපයේ බලවතුන් වන ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවල්ද ආවරණය වන පරිදි ට්‍රම්ප්ගේ ඉන්දු - පැසිපික් ප්‍රතිපත්තිය සැකසේ.

ට්‍රම්ප්ගේ ආසියානු රාජ්‍ය චාරිකාව ඇරඹීමට පුර්වගාමීව පැවති භූ දේශපාලනික තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරිම වැදගත් වේ. ට්‍රම්ප් පැමිණියේ උතුරු කොරියානු අවි අර්බුදය හමුවේ ගිනියම් වු නැගෙනහිර ආසියානු කලාපයටයි. පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ මුලික අවධානයක් යොමුවුයේ උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින් හා ඉතිහාසයේ ප්‍රබලතම න්‍යෂ්ටික අත්හදාබැලීම සිදු කරමින් එල්ල කළ තර්ජනය පිළිබඳවයි. අමෙරිකාවේ ඕනෑම ප්‍රදේශයකට පහර දීමට තරම් මිසයිල හා න්‍යෂ්ටික ශක්තියක් තම රට සතුව ඇතැයි උතුරු කොරියාව වහසි බස් දොඩන තත්ත්වයකට පත්විය. එමෙන්ම උතුරු කොරියානු හා අමෙරිකානු රාජ්‍ය නායකයන් අතර වාග් යුද්ධයක්ද හටගත්තේය. පෞද්ගලිකවම අපහාසාත්මක වදන් හුවමාරු විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතමින් කියා සිටියේ උතුරු කොරියාවේ රොකට් මිනිසා සිය දිවි නසාගැනිමේ මෙහෙයුමක් අරඹා ඇති බවයි. මෙහිදි රොකට් මිනිසා ලෙස හැදින්වුයේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් ය. ඊට පිළිතුරු වශයෙන් කිම් ජොං අන් අමෙරිකානු ජනාධිපතිවරයා හැදින්වුයේ සිහි විකල් වු මහල්ලෙකු ලෙසයි. මෙවැනි තත්ත්වයක් යටතේ සංවිධානය වු ට්‍රම්ප්ගේ ආසියානු චාරිකාව එය ඇරඹුමටත් පෙර සිටම පුවත් මැවීමට පටන් ගත්තේය. එය වසර 25කට පසු එනම් ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) යුගයෙන් පසු සිදුකෙරුණු දීර්ඝතම රාජ්‍ය චාරිකාවයි. 1991-1992 වකවානුවේ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සිදුකළ ආසියානු චාරිකාව අවසන් වුයේ ඔහු ජපානයේ රාජ්‍ය භෝජන සංග්‍රහයකදී රෝගාතුර වී ඇදවැටීමෙනි.

ට්‍රම්ප්ගේ දින 12ක චාරිකාව තුළදී ආවරණය කෙරුණු රටවල් වුයේ ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය හා පිලිපීනයයි. එම තෝරාගැනීම ආසියානු කලාපයේ අමෙරිකානු බලතුලනය සඳහා බෙහෙවින් වැදගත් වන රාජ්‍යයන් පහකි. මේ අතරින් ජපානය හා දකුණු කොරියාව යනු අමෙරිකාවේ සාම්ප්‍රදායික හිතවත් රාජ්‍යයන් වේ. නැගෙනහිර ආසියාවේ අමෙරිකානු හමුදා ශක්තිය පවත්වාගෙන යෑමට දායක වන්නේ ජපානය හා දකුණු කොරියාවයි. චීනය යනු ආසියාවේ නව බලවතා මෙන්ම අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුල්කාර රාජ්‍යයයි. වියට්නාමය 1960-70 දශකවල අමෙරිකාව සමග බිහිසුණු යුද්ධයක නිරත වී ඉන් ජයග්‍රහණය ලබා මෑත ඉතිහාසයේ අමෙරිකාවට ඉතා කටුකතම යුද අත්දැකීම ලබාදුන් රාජ්‍යය වුවද පසුකාලීනව ඉතා පුළුල් මට්ටමින් ආර්ථික හා දේශපාලනික සබඳතා ශක්තිමත් කරගත් රාජ්‍යයකි.

වියට්නාමය හා අමෙරිකාව අතර වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම 2015 වසර වනවිට ඩොලර් කෝටි 4500 ඉක්මවා තිබිණ. වියට්නාමය අමෙරිකාවේ 13වැනි ප්‍රධාන අපනයනකරුවා මෙන්ම දෙවැනි ප්‍රධාන ඇගළුම් අපනයනකරුවාද වෙයි. පිලිපීනය යනු අමෙරිකාවේ සාම්ප්‍රදායික හිතවතෙකි. එහෙත් වත්මන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පසුගිය වසරේදී බලයට පත්වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා අයහපත් අතට හැරුණේ ජනාධිපතිවරයා ගෙනගිය බිහිසුණු මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය නිසා සිදුවු මිනිස් ඝාතන හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙනි.

විශේෂයෙන් ඔබාමා යුගයේ අවසන් භාගයේදි අයහපත් වු සබඳතා ට්‍රම්ප් පාලනයේ ආරම්භයත් සමග යම් ආකාරයකින් යළි ශක්තිමත් වන ලකුණු පෙන්නුම් කරන්නේ නායකයන් දෙදෙනාම දැඩි මතයක පිහිටා ක්‍රියාකරන්නන් වීම හේතුවෙන් යැයි සැළකේ.

ජපාන චාරිකාව තුළදී ප්‍රධාන වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධානය යොමුකළ ප්‍රධාන අංගය වන්නේ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමයි. චාරිකාව සිදුවන විට ජපාන අගමැති ෂින්සෝ අබේ නොබෝදා පැවති මහ මැතිවරණයෙන් පුළුල් ජනවරමක් ලබා ඉතා ශක්තිමත් පාලනයකට උරුමකම් කියන තත්ත්වයකට පත්ව සිටියේය. ඔබාමා පාලනය යටතේ අබේ අගමැතිවරයා සමග හොඳ මට්ටමක සබඳතා තිබුණද ඔහු දැඩි ජාතිකවාදියෙකු ලෙස සළකන තත්ත්වයක් පැවතිණ. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදි ජපානයට දැඩි ලෙස දෝෂාරෝපණය කළ අයෙකි.

එම යුගයේදී ට්‍රම්ප් කියා සිටියේ ජපානය ඉතා බරපතල ලෙස අමෙරිකාවට අවාසිදායක වෙළෙඳ ගනුදෙනු වල යෙදෙන බවයි. මේ ආකාරයෙන් යම් අයහපත් බලපෑමකට ලක්වු ජපාන අමෙරිකා සබඳතා යළි ශක්තිමත් කරගැනීම ට්‍රම්ප්ගේ අපේක්ෂාවක් විය. සාකච්ඡාවලදීද ප්‍රකාශ වුයේ ශක්තිමත් සබඳතා සඳහා දෙපාර්ශ්වයේම ඇති අභිලාෂයයි. එමෙන්ම උතුරු කොරියානු තර්ජන හමුවේ ජපානයත් දකුණු කොරියාවත් ආරක්ෂා කිරීමට කැපවී සිටින බව අවධාරණය කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයාට අවශ්‍යව තිබිණ. එයද මෙහිදී අවධානයට ලක්වු තත්ත්වයකි. ට්‍රම්ප් ජනාධිපති වු පසු ශාන්තිකර කලාපීය වෙළෙඳ ගිවිසුම වහා අහෝසි කිරීමට පියවර ගත්තේ, එය අමෙරිකාවට අවාසිදායක බව පවසමිනි. එහිදි එම ගිවිසුම හා එක්ව සිටි ජපානය හා දකුණු කොරියාව වැනි ආසියානු බලවතුන් දැඩි දුෂ්කරතාවකට පත්වුයේ චීනයට විකල්පයක් ලෙස මේ ගිවිසුම හඳුන්වා දී තිබු බැවිනි.

ට්‍රම්ප්ගේ දකුණු කොරියානු චාරිකාව සම්පුර්ණයෙන් පාහේ යොමුවුයේ උතුරු කොරියානු තර්ජන පිටුදැකීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුකිරිමටයි. උතුරු කොරියාවට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් දකුණු කොරියාවේදි ට්‍රම්ප් කියා සිටියේ තම රටේ ඉවසීමේ සීමාව පරික්ෂා කිරීමෙන් වළකින ලෙසයි. එසේම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසද ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත ඇරයුමක් ද කළේය.

දකුණු කොරියාවේදි ට්‍රම්ප් පෙනී සිටියේ උතුරු කොරියාවට එක් අතකින් කැරට් අලයක්ද අනෙක් අතින් මුගුරක්ද දිගු කරන තැනැත්තෙකු ලෙසිනි. පුදුමයකට මෙන් පසුගිය කාලයේ මහත් කලබැගෑනියක් කළ උතුරු කොරියාව ඩොනල්ඩ් ට්‍රම්ප් තම අසල්වැසි රාජ්‍යයේ සිටින අවස්ථාවේදී පූස් පැටියෙකු ලෙස නිහඩව සිටිමයි.

අලුතෙන් තම නායක භූමිකාව ශක්තිමත් කරගත් චීන නායක ෂී ජින් පින් හා අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති හමුව සමස්ත චාරිකාවේම වඩාත් තීරණාත්මක අංගය විය. මෙය ලොව ප්‍රධානතම නායක දෙපළගේ හමුවීම ලෙස ලෝක මාධ්‍ය අර්ථ දක්වයි.

ට්‍රම්ප්ගේ ප්‍රධාන අරමුණ වුයේ උතුරු කොරියාව මේච්චල් කිරීම සඳහා චීනය වඩාත් පුළුල් මට්ටමින් යොදාගැනිමයි. ඔහු ජනාධිපති ෂී ගෙන් ඉල්ලා සිටියේ උතුරු කොරියාව තවදුරටත් හුදෙකලා කිරීමට පියවර ගන්නා ලෙසයි. දෙවැනුව අමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරිණ.

දෙරට අතර වෙළෙඳ පරතරය 2016 වසරේදී ඩොලර් කෝටි 34700 ඉක්මවීය. එය පුර්ණ වශයෙන්ම චීනයට වාසිදායක වෙළෙඳ පරතරයකි. ට්‍රම්ප් තම මැතිවරණ ව්‍යාපාරයේදී මේ වෙළෙඳ අවාසිය සම්බන්ධයෙන් දිගින් දිගටම චීනයට දෝෂාරෝපණය කළේය. එහෙත් වත්මන් ගෝලීය භූ දේශපාලනය අනුව අමෙරිකාවට චීනයද, චීනයට අමෙරිකාවද නැතුවම බැරිය. දෙපාර්ශ්වයේම අරමුණ වන්නේ තම ජාතික අභිලාෂයන්ට හානි නොවන ආකාරයෙන් සම්බන්ධතාව පවත්වාගෙන යෑමයි. ට්‍රම්ප් දැඩිලෙස උත්සාහ දරන්නේද ගෝලීය බලවතෙකුගේ භූමිකාවට අලුතෙන් පණ පොවන චීනය සමග සබඳතා තුලනාත්මක මට්ටමින් ගෙන යෑමයි.

විදේශයේදි කුමක් වුවද දේශීය තත්ත්වය ට්‍රම්ප්ට සුබදායක නොවේ. 07 වැනි අගහරුවාදා පැවති ප්‍රාන්ත මැතිවරණ කිහිපයකදී ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය දැඩි පසුබෑමකට ලක්විය.

වර්ජිනියා හා නිව්ජර්සි වැනි ප්‍රදේශවලදී ඩිමොක්‍රැටික් පක්ෂය විශාල ජයක් අත්කරගත් අතර ඒ නිසාම රිපබ්ලිකන් පක්ෂයේ ඉහළ සාමාජිකත්වය තුල දැඩි කැළඹීමක් හටගෙන තිබේ. මැතිවරණ පරාජයේ සෘජු චෝදනාව එල්ල වන්නේ ජනාධිපති ට්‍රම්ප්ටයි. ඔහු කෙටිකලක් තුල ලැබු අප්‍රසාදය මේ මැතිවරණ ප්‍රතිඵල තුලින් පිළිබිඹු වන බව රිපබිලිකන් පාක්ෂිකයෝ චෝදනා කරති. මෙය ට්‍රම්ප්ට එරෙහිව පක්ෂය තුලින්ම කැරැල්ලක් මතුවීමේ අවදානම ඉස්මතු කරන්නකි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.