සිංහල නැකත් කලාවේ අසි­රිය - 03 | සිළුමිණ

සිංහල නැකත් කලාවේ අසි­රිය - 03

සිකිනිළ හඬයි එළිවන

හෝරාව බැලන්

මොණරිඳු එවිට එදිය කාවා

සමග යුද වැදුන්

 

පාන්දරම දෙදෙනාගෙන එකෙකු ජයග්‍රාහී ස්වරූපයෙන් ගල් තලාව මතට එනුයේ එකෙකු පරාද කරමිනි. මොණරා මෙසේ ඉරිදා, අඟහරුවාදා, බ්ර හස්පතින්දා, සහ සෙනසුරාදා ගල මත මනහර රැඟුම් දෙයි. බදාදා, සිකුරාදා, සඳුදාවන්හි උදෑසන දක්නට ලැබෙනුයේ දියකාවාගේ රැඟුමන් ය. අපගේ පළමු ලිපියෙන් කී කතාවේ ගණිතමය රූපය දැන් ඔබට හෙළි කරන්නට සූදානම්ය. දඬුමරණ ශාස්ත්‍රය අතිශය සියුම් ය. එනමුත් ෙජ්‍යතිෂ්‍ය හදාරන්නෙක් රාශි දොළසින්, නැකත් විසි හතෙන් අරඹන්නා සේ මෙය ද දළ ස්වරූපයෙන් අවබෝධ කරගත යුතුව ඇත. ෂෝඩෂ වර්ග සූක්ෂ්ම නාඩි අංශකාදියට යොමු වන්නා සේ මෙහි ද සූක්ෂ්ම අවධි සෙවීමට ඔබට අවකාශ උදා වන්නේ ය. එහෙත් එය අනාගත කාලෙයේ දී මිස වර්තමාන කාලයේ දී නොවේ.

මොණරිඳු උදය සත්පැය කිව් ගල උඩයා

දියකාවා දිය යට මරණය වේයා

මොණරා සත් පැයක් ගල උඩ වැරසැරයා

දිය කාවා දිය යට නිදි සත් පැයයා

දෙදෙනාගේ උදා කාලය පැරැන්නන් පැවසූයේ මෙසේ ය. සත් පැය සේ දැක්වූයේ නමුදු එය සත් පැය හමාරක් වන සේ ගත යතු ය. පෑසත්හමාර යනු ව්ය වහාරික ඉංග්රී සි පැය තුනෙකි. දැන් දෙදෙනාගේ සටන මාරුවෙන් මාරුවට සිදුවන සෙයකි.

ඉරිදා උදෑසන 06.00 සිට 09.00 දක්වා මොණරා සත් පැය හමාර ගලපිට නටන විට දියකාවා දිය යට නිද්‍රාශීලීය. මොණරා හිමි අයගේ ජයග්‍රහණය වන අතර දියකාවා හිමි අයගේ පරාජයයි.

දෙවන යාමය එනම් උදෑසන 09.00 සිට 12.00 දක්වා දියකාවා ගල මතට පැමිණෙන කල මොණරා ගස මුලට යයි. මෙහි මොණරා නිද්‍රාශීලිය. බිය ඇත්තේ වෙයි. දියකාවා මොණරා පසුපස හඹා යාමයි. මෙහි දී දියකාවා ගස මුලට පනිනවාත් සමග ම මොණරා ගසට නගියි. ගසේ සිටි මොණරා ජයග්‍රාහී ය. දියකාවාගේ පැරදුම ය. ඒ දවල් 12.00 සිට සවස 03.00 දක්වා ය. සවස් යාමයේ ඇරඹුම දියකාවා මොණරා සිටි තැනට පැමිණ පහර දී මොණරා දියට වැටී මිය යෑමෙන් සිදු වේ. එහි දියකාවා ජය ගනී.

මෙසේ ඉරිදා, අඟහරුවාදා, බ්ර හස්පතින්දා සහ සෙනසුරාදාවන් හි පෙරකී ආකාරයෙන් මොණර - දියකා සටන සිදුවනු ඇත. බදාදා සිකුරාදා සෙනසුරාදාවන් හි පළමු සත්පැයහමාර එනම් උදේ 06.00 සිට 09.00 දක්වා ගල මතුපිට රඟනුයේ දියකාවාය. ඉක්බිති මොණරා දියකාවාට පහරදීමේ අටියෙන් ගලට පැමිණේ. දියකාවා ගසමුල දුබල වන අතර මොණරා ජයග්‍රාහී වේ. ඒ උදෑසන 09.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ය.

දියකාවා ද සටන අත්නොහැර ම මොණරා වෙත පනී. දියකාවා සටන දිනා ගස උඩ රඟන අතර මොණරා දුබල ය. ඒ සවස 03.00 ත් 06.00 ත් අතර කාලයයි. අවසන් යාමයේ නැවත මොණරා ජය ගන්නා අතර දියකාවා වැටී නැසෙන්නේ ය. මේ කතාවෙහි ඉරිදා දිනවල දියකාවා පසුපස හඹා යන්නේ මොණරා බවත් බදාදාදී දිනවල දියකාවා ම මොණරා පසුපස හඹා යන බවත් එසේම අවසානයේ දී එළවා යන්නා ම මරණයට පත්වන බවත් හෙළිදරව් වේ. එහි කියැවෙනුයේ විශ්ව ධර්මතාවම නොවේදැයි විමසිය යුතු ය.

හෙළ නැකත් කලාව කිසිවිටකත් විශ්ව දහමින් බැහැරව නොයන්නේය. ඒ අතර ගණිතමය රූපරාමු හුවා දක්වනු ලැබීමෙන් එහි ගම්භීරත්වය කලාත්මක අයුරින් හෙළි පෙහෙළි කරනු ලැබේ. මෙසේ අසිරිමත් ගණිත රටා රූ රටා මවා පෙන්වීමෙහි හපන්කම් දැක් වූ හෙයින් ඔවුහු අසුර නම් විය. ඒ හෙළ විදුවෝ ය. ප්‍රකට බසින් දක්වන්නේ නම් විද්‍යාඥයෝය. ඒ අතිරේක කතා බහකි.

දැන් මේ ගණිතමය රාමුව වගුවකට නගා ගන්නේ නම් මෙය කියවන පාඨකයාට පහසුවක් වනු ඇත. වගු අංක 01 විමසන්න.

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා සහ සෙනසුරාදා චක්‍රය

කාලය දියකාවා මොණරා

06.00 – 09.00 දිය මර ගල ජය

09.00 – 12.00 ගලේ ජය ගසමුල නිදි

12.00 – 15.00 ගස මුල මර ගස ජය

15.00 – 18.00 ගසේ ජය දියේ නසී

සඳුදා, බදාදා සහ සිකුරාදා චක්‍රය

කාලය දියකාවා මොණරා

06.00 – 09.00 ගලේ ජය දියේ මර

09.00 – 12.00 ගසමුල නිදි ගලේ ජය

12.00 – 15.00 ගසේ ජය ගස මුල මර

15.00 – 18.00 දියේ නසී ගසේ ජය

මොණර - දියකා දෙපක්ෂයෙන් ඔබ අයත් වන්නේ කවර පක්ෂයටදැයි යන ගැටළුව දැන් ඔබ හමුවේ ඇත. දඬුමරණ ශාස්ත්‍රය තුළ ඒ සඳහා නොයෙකුත් ක්‍රම ශිල්ප භාවිත වන අතර ඒ සඳහා පහසු එක් ක්‍රමයක් මෙහි ගෙනහැර පාන්නෙමු. ඒ ස්ත්‍රී පුරුෂ රාශි උදාව මුලකරගෙන ය. රාශි නම් එක් රැස් කළ දේ ය. එක් රැස් කළේ කර්මයයි., සංස්කාරයයි.

විශ්වය තුළ මෙවන් රාශි දොළසක් වන අතර මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යාය, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන යනුවෙන් ඒවා ව්‍යවහාරයේ නම්කොට ඇත.

මෙකී රාශීභූත වූ එක් තත්ත්වයක් කෙරෙහි සසර සරන අපගේ ඇලීම සිදුවන අතර, ලැගීම නම් අරුතෙන් පෙරකී දොළසින් එකක් ඔබේ ලග්නය බවට ඔබ දැනුවත්ව ම හෝ නොදැනුවත්ව ම පත් වේ.

මෙහි මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන මේ ෂඩ් විධ රාශි දියකාවාට හිමිවන අතර මොණරාට වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, සහ මීන යන ස්ත්රී රාශි අධිකාරීත්වය වේ. ඉදින් මොණරා ජය ගන්නා විට ස්ත්‍රී රාශි හිමියෝ ද දියකාවා ජය ගන්නා විට පුරුෂ රාශි හිමියෝ ද ක්‍රමයෙන් ජය ගන්නා බව දත යුතු ය.

සිංහල අවුරුදු කාලයේ කරලියට එන “අං ඇදීම” සිංහල දඬුමරණය සිහිගන්වන ක්‍රීඩාවකි. මෙහි යටිපිල මොණරාට ද උඩුපිළ දියකාවාට ද අයත් වේ. විශ්වයේ ක්‍රියාත්මක වන අද්විතීය ශක්තිද්වයක ක්‍රියාකාරීත්වය දඬුමරණය නමින් ගැණෙන අතර දඬුමරණය ප්‍රධාන අංග සතකින් ද අනුඅංග සමුදායකින් ද සමන්විත වන්නේ ය. මෙහි ඔබ වෙත එන ලද්දේ මයුර සංහාරය නමැති අංගයේ දළ උදාවය.

මාගේ අවබෝධයේ තරමට “මයුර සංහාර” නාමය පවා මේ හෙළි වනුයේ පළමු වතාවට විය යුතු ය. මෙකී මයුර සංහාරයේ තවත් රසමුසුවක් ගෙන එන සතියේ හමු වන්නෙමු.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.