ඉන්දීය සාගරයේ මැද හවුල් කටයුතු සඳහා ඇති අවස්ථා | සිළුමිණ

ඉන්දීය සාගරයේ මැද හවුල් කටයුතු සඳහා ඇති අවස්ථා

 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ලෙස මම පසුගිය සතියේ දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියෙමි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති තිලක් මාරපන සහ මුදල් ඇමැති මංගල සමරවීර යන මහත්වරු සමඟ සාකච්ඡා කිරීමටත් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සත්කාරක සේවා සැපයූ දෙවැනි එක්සත් ජනපද ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදයට සහභාගී වූ ඇමරිකානු නියෝජිත පිරිසට නායකත්වය සැපයීමටත් මට අවස්ථාව ලැබුණි. අපේ රටවල් දෙක අතර සහයෝගිතාව වර්ධනය වන අතර ඒ තුළින් අපට ඉන්දියානු සාගර කලාපයේ මෙන් ම පුළුල් ඉන්දු පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව හා සෞභාග්‍යය වැඩි දියුණු කිරීමට කටයුතු කළ හැකියි.

ජන වර්ගය හෝ ආගම කුමක් වුවත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුට, සෞභාග්‍යය, නිදහස හා සමානත්වය තහවුරු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමු වීමට ගත් නිර්භීත තීරණය ගැන මම ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරමි. ශ්‍රී ලංකාවට ‍එකම ජාතියක් ලෙස එක්වීමට ලැබී ඇති මෙම අවස්ථාව තීරණාත්මක වේ. ප්‍රතිසන්ධානගත ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට කටයුතු කරන පාර්ශ්වයන්ට එක්සත් ජනපදය පූර්ණ සහයෝගය දක්වන අතර නව ව්‍යවස්ථාවක් හා පශ්චාත් යුද සාධාරණය, ප්‍රතිසන්ධානය හා වගවීම සම්බන්ධයෙන් ගෙන ඇති ධනාත්මක පියවර ද අගය කරමු. රජය මෙම කටයුතුවල ප්‍රගතියක් පෙන්වන විට අපේ ද්වි පාර්ශ්වික සබඳතා ද වර්ධනය වනු ඇත.

එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට දායකත්වය සපයා ඇති ප්‍රධාන අංශ තුනක් පිළිබඳව ජනාධිපති හා අගමැති දැනුවත් කිරීමට හැකි වීම මගේ සතුටට හේතු වේ. අවුරුදු විස්සකට පසුව එක්සත් ජනපද සාම බළකාය ශ්‍රී ලංකාවට නැවත පැමිණීම පිළිබඳ සුබ ආරංචිය ගෙන ඒමට මට හැකි වීම සතුටට කරුණකි. ඇමරිකන් ස්වෙච්ඡා සේවකයන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පන්ති පවත්වනු ඇත. මෙයට අමතරව ප්‍රගතිය සඳහා අතර වැඩසටහන (Food for Progress) තුළින් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන රුපියල් බිලියන 3.15ක (ඩොලර් මිලියන 21) නව ව්‍යාපෘතිය ගැන දැනුවත් කිරීමට හැකි වීම මගේ සතුටට හේතු වේ. කිරිවල ගුණාත්මක බව, මුල්‍ය පහසුකම් හා ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතව වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. අවසාන වශයෙන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙරළ ආරක්ෂක යාත්‍රාවක් ලබා දෙන බව නිවේදනය කිරීමට හැකි වීම ගැන මම සතුටු වෙමි. මෙම යාත්‍රාව (Secretary Class High Endurance Cutter) යොදා ගෙන ශ්‍රී ලංකාවට වඩාත් කාර්යක්ෂම ලෙස එහි වෙරළ තීරයත්, ආර්ථික කලාපයත් ආරක්ෂා කිරීමට මෙන් ම මුහුදු මාර්ගය හා සන්නිවේදන කටයුතු රැක බලා ගැනීමටත් හැකි වනු ඇත.

මෙම කටයුතුවලින් පිළිබිඹු වන්නේ මෙම කලාපය සම්බන්ධයෙන් ඇමරිකන් ප්‍රතිපත්තියේ නව දැක්මයි. එක්සත් ජනපදය “දකුණු ආසියාවේ හා පුළුල් ඉන්දු පැසිෆික් කලාපයේ සාමය හා සුරක්ෂිතතාව පිළිබඳ අපේ හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී ඇතැයි” ජනාධිපති ට්‍රම්ප් මහතා අගෝස්තු මාසයේ දී ප්‍රකාශ කළේය. පසුගිය මාසයේ පැවැත්වූ කථාවකදී ඉන්දියානු සාගරයේ වැදගත්කම ගැන සඳහන් කළ රාජ්‍ය ලේකම් ටිලර්සන් කියා සිටියේ “එය 21 වන සියවසේ ලෝකයේ ඉතාම වැදගත් කොටස” බවයි. ලෝකයේ වාණිජ නෞකාවලින් අඩක් මෙන් ම ගෝලීය තෙල් වෙළඳාමේ තුනෙන් දෙකක් ම ගමන් කරන්නේ එහි මුහුදු මාර්ග ඔස්සේ නිසා ඉන්දියානු සාගරය ගෝලීය වාණිජ කටයුතුවල මධ්‍යස්ථානය වේ. මේ නිසා එහි ස්ථාවර බව වැරගැන්වීමටත්, ප්‍රජාතන්ත්‍රීය අගයන් ප්‍රවර්ධනය කිරීමට හා ආර්ථික සංවර්ධනයට වැඩි දියුණු කිරීමටත් කටයුතු කිරීම ඉන්දියානු සාගර කලාපය තම වාසස්ථානය ලෙස සලකන සියලු දෙනාගේත් අනිකුත් පාර්ශ්වකරුවන්ගේත් වගකීම වේ.

ලෝකයේ සෑම කොටසක් ම සුවිශේෂී වන අතර පසුගිය ශත වර්ෂය පෙන්වා දී ඇත්තේ ආර්ථිකය, ආරක්ෂාව, ජාත්‍යන්තර නීතිය හෝ ශාස්ත්‍රීය ලෝකය යන කුමන අංශයක වුවත් ගෝලීය නීති මත පදනම් වූ ක්‍රියාදාමයන් සාමූහිකව වැරගන්වන එකට වෙළුණු ආයතන ජාලයක් ගොඩ නඟා ඇති කලාප නො වැළැක්විය හැකි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන බවයි. ඉන්දියානු සාගර කලාපයේ මෙවැනි ආයතන කීපයක් ඇති අතර ශ්‍රී ලංකාව ඒවා ගණනාවක සාමාජිකයෙක් වේ. එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාවට අනිකුත් කලාපීය හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් මෙම කලාපීය ව්‍යුහය වැඩි දියුණු කළ හැකි වේ.

පළමුවෙන් ම සහභාගි වන රටවල් අතර කලාපීය සමුද්‍රීය වසම් දත්ත හවුලේ‍ බෙදා හදා ගැනීම පහසු කරවන ඉන්දීය කලාප නාවික තොරතුරු හුවමාරුවක් ගැන අවධානය යොමු කළ යුතු වේ. පසුගිය මාසයේ ‍පැවති ඉන්දීය සාගර සංගමයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී අපි මෙම සංකල්පය අනුමත කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නායකත්වය දිරිගැන් වූයෙමු.

ඊළඟ කරුණ වන්නේ කලාපීය වෙරළ ආරක්ෂක සංසදයක් පිළිබඳ සංකල්පයයි. හවුල්කාර රටවල් පහේ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතන සමඟ එක්සත් ජනපදයේ වෙරළ ආරක්ෂකයන් උතුරු පැසිෆික් වෙරළ ආරක්ෂක සංසදයේ කටයුතුවලට සහභාගී වෙමින් ස්ථාවර බවට ඇති කලාපීය තර්ජන ගැන සාකච්ඡා කරමින් භාණ්ඩ හොරෙන් ගෙන ඒම, සමුද්‍රීය ආරක්ෂාව, ධීවර කටයුතු බලාත්මක කිරීම හා සංක්‍රමණය ආදිය පිළිබඳ ව අදහස් හුවමාරු කර ගනිති. අපට මෙම ව්‍යුහය ම ඉන්දීය සාගරයේදී ද ක්‍රියාත්මක කළ හැකි වේ.

තුන්වැනි සංකල්පය වන්නේ කලාපීය භාවිත සංග්‍රහයකි. මෙම කලාපය බාහිර මැදිහත් වීම්වල බලපෑම්වලට ලක් වීමට පෙර ඉන්දීය සාගර කලාපීය භාවිතා සංග්‍රහයක හෝ කලාපීය රටවල් මඟින් කරන සාමූහික ප්‍රකාශයක් හෝ මඟින් වර්තමානයේ දකුණු චීන මුහුදට නැ‍ඟෙනහිරින් දක්නට ලැබෙන අර්බුද වැනි දේ වළක්වා ගත හැකි වනු ඇත. තමන්ගේ ප්‍රදේශය පිළිබඳ වගකීම ඉන්දියානු සාගර කලාපයේ රටවල් භාර ගන්නා බව එවැනි ප්‍රකාශනයක පැහැදිලිව දැක්විය හැකි වේ. මුහුදු ගමන් සඳහා ඇති නිදහස, ඉහළින් පියාසර කිරීමේ හා අනිකුත් නීත්‍යනුකූල භාවිතයන් සාමකාමී ලෙස ආරවුල් විසඳා ගැනීම ඇතුළු ජත්‍යන්තර නීතිය හා ප්‍රමිති එහි අන්තර්ගත විය යුතුය.

කලාපීය හවුල් වැඩසටහන් හා සහයෝගිතා ව්‍යුහයක් ගොඩ නැඟීම සඳහා ශ්‍රී ලංකාව මෑතදී ඉන්දීය සාගර සම්මේලනයක් කැඳවන ලදි. ඉන්දු පැසිෆික් කලාපයේ ගැටලු සාකච්ඡා කිරීමට කැඳවුම්කාර රට ලෙස ශ්‍රී ලංකාවේ කාර්යභාරය අපි ඉත සිතින් අනුමත කරමු. මෙහිදී ඔබ තබන සෑම පියවරකදීම අපි ඔබ ‍සමඟ සිටිමු.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.