ධර්ම මාර්ගය සහ ප්‍රායෝගික පිළිවෙත් | සිළුමිණ

ධර්ම මාර්ගය සහ ප්‍රායෝගික පිළිවෙත්

ධර්ම මාර්ගය තුළ නිවැරදිව පිළිවෙත් සම්පාදනය කිරීමේදී සිත දමනය කිරීම ප්‍රධාන කරුණක් වේ. විවිධ අරමුණු ඔස්සේ විසිරි පවත්නා සිතින් ජීවිතයේ සහ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කළ නොහැකි ය. එසේ හෙයින් ධර්මය තුළ සිත හික්මවා ගැනීම ප්‍රධානත්වයෙන් සැලකේ. සිත හික්මවා ගැනීමේ ක්‍රමවේදය භාවනාව නම් වේ. තම චරිතයට අනුව සුදුසු කර්මස්ථානයක් තෝරා ඒ තුළ සිත නැවත නැවත පිහිටුවීමට උත්සාහ කළ යුතු ය. සිතේ ලක්‍ෂණය නම් නිරතුරුව අරමුණු කරා ගමන් කිරීම ය. සෑම විට ම සිත යම් ආරම්මණයක පිහිටා සිටියි. විවිධ වූ අරමුණු ඔස්සේ ගමන් කරන සිත එක් අරමුණක් තුළ පිහිටුවීම එතරම් පහසු කරුණක් නොවන බව දත යුතු ය. යමෙක් කර්මස්ථානයන් තුළ සිත එකඟ කිරීමට උත්සහ දරා තිබේ නම් එය කෙතරම් අසීරු කරුණක් ද යන්න අවබෝධ වේ. කෙතරම් උත්සහ කළ ද ඇතැම් අවස්ථාවන්හි සිත අරමුණු කරා විසිරී යයි. ක්‍රමානුකූලව යම් කර්මස්ථානයක සිත හික්ම වූ කල්හි සිත ඒ තුළ සමාධිගත වේ. සිත යනු එසේ භාවිත කළයුතු ධර්මයකි.

නිවැරැදි භාවනාව

භාවනා කර්මස්ථානයන් තුළ සිත හික්මවා ගැනීම සඳහා පිළිවෙත් සම්පාදනය කරන සියලු දෙනා ඒ පිළිබඳ මනා වැටහීමක් ඇතිව නුවණින් යුක්තව ම කටයුතු කළ යුතු ය. භාවනාව සම්බන්ධව සමාජය තුළ වැරදි වැටහීම් බොහෝ පවතී. භාවනා මාර්ගයන් පිළිබඳ විග්‍රහ කිරීමට ප්‍රථමව භාවනාව සම්බන්ධව සමාජය තුළ පවත්නා ඇතැම් සාවද්‍ය කරුණු පිළිබඳව ද මෙහිදී යම් විග්‍රහයක් ඉදිරිපත් කෙරේ.
භාවනාව සම්බන්ධව පවත්නා වැරදි මතයක් නම් භාවනා සිදු කරන පුද්ගලයින් සියලු දෙයින් ඉවත් විය යුතු ය යන කරුණ ය. එසේ හෙයින් ඇතමුන් සියලු දෙයින් ඉවත් වන්නට අනුන්ට උපදේශයන් ලබා දෙයි. නිවැරදි ආකාරයෙන් භාවනා කරමින් ධර්මය අවබෝධ කළ පුද්ගලයෝ මේ ලෝකය තුළ සතුටින් යුක්තව තම ජීවිත ගත කරති. මානසික සුවපත් භාවයෙන් සිටින හෙයින් ඉතා යහපත් පවුල් ජීවිත ගතකරමින්, ආර්ථික සංවර්ධනය ද ඇති කරගනිමින් වාසය කරති. පවුල් ජීවිත අතහැරීමට හෝ තමන්ගේ ලෞකික ජීවිතයට කිසිදු ආකාරයකින් භාවනා කිරීම බාධාවක් නොවන බව දත යුතු ය. ඇතැම්හු භාවනාව වැරදි ලෙස ග්‍රහණය කරමින් පවුල් ජීවිත පවා අවුල් කොටගෙන සිටිති. නිවැරදි උපදේශයන් සහිතව භාවනා කරන්නේ නම් ඉතාම යහපත් පවුල් ජීවිත ගත කිරීමට හැකියාව ලැබෙනුයේ එසේ ධර්මය තුළ මනාව හැසිරෙන එම පුද්ගලයින්ට ය.
සිත සංවර කොටගත් පුද්ගලයින් ජීවිතයේ ගැටලු හමුවේ කම්පා නොවේ. ඇතමුන් සිතනුයේ තමන් භාවනා කරන හෙයින් අන් සියලු දෙනා එයට අවකාශ ලබා දිය යුතු ය යන්න ය. එසේ නොවන කල අනෙක් පුද්ගලයින් සමග ගැටුම් ඇති කර ගනි යි. සැබවින් ම භාවනා කරන පුද්ගලයින් තුළ මෙවැන්නක් තිබිය නොහැකි ය. ඇතම්හු සුළු කාලයක් භාවනාවට යොමු වීමෙන් පසුව සියලු දෙනා යටපත් කොට තමන් ඉහළින් නැඟී සිටින්නට උත්සහ දරති. නිවෙසේ භාර්යාව භාවනාවට ගියේ නම් පසුව ඇය සැමියා, දරුවන් ඇතුළු සියලු දෙනා අමතක කොට වෙන ම ගමනක් යෑමට උත්සාහ දරයි. පවුල් තුළ ගැටලු පැන නගිනුයේ මෙවන් කරුණු හේතුවෙනි. සමාජයේ බොහෝ නිවෙස් තුළ ගැටුම් ඇතිවනුයේ මෙවන් කරුණු හේතුවෙනි. බුද්ධිමත් ලෙසින් කටයුතු නොකොට වඤ්චක ධර්මයන්ට හසු වීමේ විපාකය එය යි. තමා භාවනා කිරීමට ගොස් කුමක් හෝ දෙයක් දැනගත්ත ද නිවසේ සිටින අනෙක් සියලු දෙනා සමාන්‍ය මිනිසුන් ය. ඔවුන්ගේ ජීවිත සුපුරුදු ස්වභාවයෙන් ම පවතී.
බොහෝ ස්ථානයන්හි ගැටුම් ඇතිවනුයේ තම අදහසට අනුව අන් අය පාලනය කිරීමට යෑම හේතුවෙනි. සෑම විට ම උත්සහ ගත යුත්තේ අන් පුද්ගලයින්ගේ හැඟීම් දැනීම් අවබෝධ කොටගෙන ජීවත් වීමට ය. තමා කෙතරම් වෙනස් වුව ද අන් අයගේ ජීවිත වෙනස් කිරීමට නොයා යුතු ය. ඔවුනට තමන්ගේ රුචිකත්වය අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබා දිය යුතු ය. මේ බව උපාලි සූත්‍රයෙහි මනාව දක්වා ඇත.
නිඝණ්ඨනාථපුත්තයන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකි උපාලි ගෘහපති. ඔහු බුදුරදුන් සමග වාදයට පැමිණ බුදුරදුන්ගෙන් බණ අසා පැහැදී තෙරුවන් සරණ ගියේ ය. එහිදී ඔහුට බුදුරදුන් ලබාදුන්නේ මෙවන් උපදේශයකි.

මානසිකත්වය

• ‘‘ගෘහපතිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ යයි.
• ගෘහපතිය, තොපගේ ගෙය බොහෝ දවස් නිඝණ්ඨයින්ට පැන් පොකුණක් මෙන් සිටියේ ය.
මෙහිදී උපාලි ගෘහපතියාට තමාගේ ශ්‍රාවකයකු වන්නට යැයි බුදුරදුන් කිසිවිට පවසා නැත. එසේ ම පෙර යම් ආකාරයකින් නිඝණ්ඨයන්ට දානය දුන්නේ නම් ඒ සියල්ල ද ඒ ආකාරයෙන් ම සිදු කරන්නට උපදෙස් දී ඇත. එහෙත් නුතනයෙහි බොහෝ ගැටලු උද්ගතව ඇත්තේ තමා යම් මාර්ගයක් අනුගමනය කරන්නේ නම් අන් සියලු දෙනා එම මාර්ගය ම අනුගමනය කළ යුතුය යන මානසිකත්වයෙන් යුක්තව කටයුතු කිරීම හේතුවෙනි.
එසේ හෙයින් භාවනා සිදු කරන පුද්ගලයින් තමන්ගේ බිරිඳ හෝ සැමියාගේ මානසිකත්වය මනාව හඳුනාගත යුතු ය.

ද්වේශය

එසේ ම දරුවන්ගේ මානසිකත්වය මනාව හඳුනාගත යුතු ය. එසේ හඳුනාගෙන ඔවුන්ට අනුරූපීව කටයුතු කළ යුතු ය. තමන් භාවනා කරනවා යැයි සිතමින් ඔවුන්ට කළයුතු යුතුකම් පැහැර හරිමින් තමන් වෙන ම ජීවිතයක් ගතකරන්නට සූදානම් වන්නේ නම් ඔබගේ මානසික සන්සිඳීම අහිමි වන්නේ ඒ මොහොතේ සිට ම බව තේරුම් ගත යුතු ය. මේ බව වටහා නොගෙන කටයුතු කරන ඇතම්හු නිරන්තරයෙන් තම සැමියාට හෝ බිරිඳට, එසේත් නොමැතිනම් දරුවන්ට දොස් පවරමින් ඔවුන්ගේ වැරදි කියමින් ඔවුන් නිසා තමාට ධර්ම මාර්ගයේ යෑමට නොහැකිය යනුවෙන් පවසති. ද්වේශයෙන් කටයුතු කරති. සෑම දිනක ම කුමක් හෝ ගැටලුවක් උපදවාගනිමින් මානසික අසහනයෙන් යුක්තව සිටිති. සැබවින් ම ගැටලුව හටගත්තේ කවර අයුරින්, කුමක් නිසා ද යන්න ඔවුනට නොපෙනේ. ගැටලුව උපදවාගත්තේ තමන් ම බව ඔවුනට කිසිවිටෙකත් අවබෝධ නොවේ. මෙම ගැටලුව සමාජයේ බොහෝ දෙනාට පවත්නා දෙයකි. නිවැරදි උපදේශනයක් නොලැබීම මෙයට ප්‍රධානතම හේතුව වශයෙන් දැක්විය යුතු ය.

ධර්මයේ හැසිරීම

භාවනාව යනු ජීවිත තුළ ගැටලු උද්ගත කරවන දෙයක් නොව පවත්නා ගැටලුව පවා දුරු කොට මානසික සන්සිඳීම ඇති කරවන උතුම් ක්‍රියාවකි. භාවනා කිරීමට හෝ ධර්ම මාර්ගයේ හැසිරීමට ගොස් පවත්නා ගැටලු, ප්‍රශ්න තව තවත් වැඩි කරගන්නේ නම් තමා තවදුරටත් අනුගමනය කරනුයේ නිවැරදි මාවත නොවන බව මනාව තේරුම් ගත යුතු ය. එය තේරුම් ගන්නා තුරු තමාට මානසික සහනයක් ඇති නොවේ. බොහෝ ගැටලු හමුවේ තම ජීවිතය පවා නැතිකරගන්නට ගොස් බුදුරදුන් හමු වී ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව තම ගැටලු නිරාකරණය කරගත් පුවතක් රජ්ජුමාලා කථා පුවතෙන් පැහැදිලි වේ. නිවසේ මෙහෙකාරිය වශයෙන් සිටි ඇයට තිබූ කායික මානසික පීඩාව හේතුවෙන් ඇය සියදිවි නසා ගැනීමට තීරණය කළා ය. අනතුරුව ඇය වනයට ගොස් තම ජීවිතය හානි කරගැනීමට සූදානම් වන මොහොතේ බුදුරදුන් ඇයට පිහිට විය. ධර්මය වටහාගත් පසු ඇය නැවතත් පෙර වාසය කළ නිවසට ම ගොස් වෙනදාටත් වඩා සතුටින් උනන්දුවෙන් යුක්තව කටයුතු කළා ය. එය දුටු ඇයගේ නිවසේ හිමිකාරිය තොරතුරු විමසා දැන ඔවුන් ද එම මාර්ගයන් අනුගමනය කොට ජීවිතය සුවපත් කර ගන්නා ලදි. නිවැරදි ආකාරයෙන් ධර්මයේ හැසිරීම මෙවැනි යහපත උදා කරන්නක් බව දත යුතු ය. එසේ නැතහොත් තමාට පීඩා පමුණුවන අන් අය කෙරෙහි වෛරයෙන්, ද්වේශයෙන් යුක්තව කටයුතු කිරීම නොවන බව තේරුම් ගත යුතු ය. තමා භාවනා කරමින් ධර්මයේ හැසිරෙන පුද්ගලයෙක් නම් නිවසේ අන් සියලූ දෙනාට වඩා ඉවසීමෙන් යුක්තව කටයුතු කළ යුත්තේ ඔබ විසින් ය. අන් අය ධර්මය නොදන්නේ නම් ඔවුන්ට අනුකම්පා කළ යුතු ය.

ඉවසීම

තමා ධර්මය දන්නා කෙනෙකු නම් ඔවුන්ගේ මානසික ස්වභාවය දැන ඉවසීමෙන් යුක්තව කටයුතු කොට ඔවුන් ද යහපත් මාර්ගය තුළ පිහිටුවීමට ඔබ දක්‍ෂයකු විය යුතු ය. එසේ නොමැතිව තමාට ඔවුන් ධර්මයේ හැසිරෙන්නට අවකාශයක් ලබා නොදෙන්නේ ය යැයි පවසමින්, සිතෙන් දුක් විඳිමින් මහත් අසහනයෙන් යුක්තව ගෙවන ජීවිතයෙන් ඇති ප්‍රයෝජනය කවරේ ද? භාවනා කරන ඔබ අන් සියලු දෙනාට ම වඩා අසහනයෙන් සිටින්නේ ය. එය නිවැරදි මාවත විය හැකි ද? මෙවැනි සිදුවීම් පිළිබඳ නුවණින් කල්පනා කළ යුතු ය.

භාවනාව

එසේ සිදුකොට වැරදි තැන් නිවැරදි කරගනිමින් භාවනා කටයුතු කළ යුතු ය. තමා සිදු කරන කටයුතු තුළින් අන් අයට කිසිදු අයහපතක් නොවිය යුතු ය. සැබවින් ම ඔබ නිවැරදිව ධර්මයේ හැසිරෙන පුද්ගලයෙක් නම් ඔබ නිසා කිසිවෙකුත් පීඩාවට පත් නොවේ. ඔවුන් ද සැනසීමට පත් වේ.
රජ්ජුමාලා තමන් ද ධර්මයෙන් සැනසී තමාට සතුරෙකු ලෙස සලකන පිරිසට ද මහත් යහපතක් සිදු කළා සේ ඔබ ද අන් අයට මහත් පිළිසරණක්, සැනසීමක් ලබා දෙන්නකු විය යුතු ය. මේ ආකාරයෙන් භාවනාව සම්බන්ධව නිවැරදි කොටගත යුතු තැන් රාශියක් පවතී. භාවනාව යනු පවුල් ජීවිත අතහැර, සියලු දෙනා ම අමතක කොට, යුතුකම් වගකීම් පැහැර හැර සිදු කරන කටයුත්තක් නොවන බව තේරුම් ගත යුතු ය.

ලබන සතියේ... විමුක්තිය සහ අතහැරීම
 

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.