වාරිමාර්ග පරිපාලනය බෙදීයාම හොඳ ප්‍රතිඵල ගෙනාවෙ නෑ! | සිළුමිණ

වාරිමාර්ග පරිපාලනය බෙදීයාම හොඳ ප්‍රතිඵල ගෙනාවෙ නෑ!

 ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික සමුළුවේ දී අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැත්වූ දේශනය ඇසුරෙන් ෙමම ලිපිය සැකසිණි.

මේ සම්මන්ත්‍රණයේ මාතෘකාව කෘෂිකර්මය සහ කර්මාන්ත නවීකරණය කිරීමයි. අද අපේ කෘෂිකර්මය හේතූන් බොහෝ ගණනක් නිසා අර්බුදයකට මුහුණ පා සිටියි. අපේ නිෂ්පාදනය ඇත්තේ පහත් මට්ටමකයි. අපට සහල් ආනයනය කිරීමට සිදුවිණි. අපේ බෙදා හැරීම් සංවිධානය උපරිම මට්ටමින් ක්‍රියා නොකරයි. එහෙයින් මෙම සංගමයෙන් මා ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්න ගැන විමසා මේ තත්වය වෙනස් කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අපට නිර්දේශ කරන ලෙසයි.

මගේ වෘත්තීය ජීවිතය දෙස ආපසු හැරී බලන විට මා හරිත විප්ලවයට සම්බන්ධ වූ පුරෝගිමී දිසාපතිවරුන්ගෙන් කෙනෙක් වූ බව සඳහන් කරමි. අපි අවුරුදු 3ක් 4ක් ඇතුළත වී නිෂ්පාදනය දෙගුණ කිරීමට තරම් සමත්වුණෙමු. එම සාර්ථකත්වයට සාධක වූ ප්‍රධානම කරුණු වූයේ ස්ථිරසාර ලෙස සහ අධිෂ්ඨානශීලීව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ සිට කුඹුරේ සිටින ගොවියා දක්වා සියලු දෙනා ඒකාද්ධව කටයුතු කළහ.

අනතුරුව මහවැලි ව්‍යාපාරය එළඹිණි. එයිනුත් කෘෂි නිෂ්පාදනය ව්‍යාප්ත වුණි. එයින් බලශක්ති නිෂ්පාදනයට ද, විශාල දායකත්වයක් ලැබීණි. චන්ද්‍රිකා වැව සහ උඩවලවේ වැව මඟින් වලවේ ගඟේ ජලය කෘෂිකර්මය සඳහා යොදා ගනු ලැබිණි.

මේ සියලුම ව්‍යාපෘතිවලට පදනම වූයේ ගොවියාට ජල සැපයුම ගැන සහතිකයක් අවශ්‍ය බවයි. තම ව්‍යායාමයේ අවසාන ප්‍රතිඵලය ගැන සහතිකයක් නැත්නම් ගොවියාට තම ශ්‍රමයත්, කාලයත් මිඩංගු කිරීමට පෙළඹවිය නොහැකිය. ඒ නිසා නිදහස ලැබුණු කාලයේ සිට, ඇත්ත වශයෙන් ඊටත් පෙර රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට, මේ රටේ ප්‍රධාන දේශපාලනඥයන්ගේ ව්‍යායාමය වූයේ, ගොවියාට අත්‍යවශ්‍යම වූ ජලය සපයාදීම සඳහා අවශ්‍ය ආයෝජන දිගින් දිගටම කිරීමයි.

ඒ නිසා මට පැන නගින පළමු ප්‍රශ්නය නම් මේ දීර්ඝ කාලීන වාර්මාර්ග ආයෝජනවලින් පසු, අපි වී ගොවිතැන, වාරිමාර්ග ජල සැපයුම නමැති යථාර්ථයට හැඩ නොගස්වා ගත යුතු ද යන්නයි. අනුරාධපුරය, පොළොන්නරුව, ප්‍රදේශවල පළමු ගොවි ජනපද ඇති කළ කාලයේ වී ගොවිතැනින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් වාරිමාර්ග ජල සැපයුමෙන් යැපුණු බව ඇත්තය. ඉතිරි හරිය යැපුණේ වර්ෂා ජලයෙනි. ඒ වුණත් දැන් තත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. අද මම හිතන්නේ වැඩි ඉඩම් ප්‍රමාණය පෝෂණය වන්නේ මහා වාරිමාර්ග ක්‍රම, කුඩා වාරිමාර්ග ක්‍රම සහ ගම්බද වැව් ජලයෙනි. ඒ නිසා අපි දැන් අපේ ප්‍රතිපත්තිය වෙනස් කර, සාමන්‍යයෙන් වියළි කලාපයේ පිහිටි, වාරිමාර්ග වලින් පෝෂණය වන ප්‍රදේශවලට වී නිෂ්පාදනය වැඩි කිරීමේ ප්‍රයත්නය සීමා නොකළ යුතුද?

අපි සංඛ්‍යා ලේඛන දෙස බැලුවහොත් පෙනෙන්නේ අපේ ශ්‍රම බලකායෙන් 30%ක් කෘෂිකර්මය මගින් දළ ජාතික නිෂ්පාදනයේ 10%ක ප්‍රමාණයට දායක වන බවයි. ඒ අතර ශ්‍රම බලකායෙන් ඒ සමානම ප්‍රතිශතයක් දළ ජාතික නිෂ්පාදනයෙන් 30%ක ප්‍රමාණයට කර්මාන්ත මඟින් දායක වෙයි. ග්‍රාමීය අංශයේ, විශේෂයෙන්ම කෘෂිකර්ම අංශයේ ආයෝජනයත්, කෘෂි නිෂ්පාදනයත් සන්සන්දනය කළහොත් ඵලදායිතාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නගියි. අපට ලැබිය යුතු තරමේ ප්‍රතිඵලයක් අපට ලැබෙනවාද? ඒ නිසා අප ඉක්මනින්ම අපෙන් අසා ගත යුතු ප්‍රශ්නය වන්නේ, වී නිෂ්පාදනය සඳහා වාරිමාර්ගවලින් පෝෂණය වන ප්‍රදේශ වෙන්කර, අනෙක් ප්‍රදේශ, විශේෂයෙන්ම තෙත් කලාපය, වෙනත් බෝග වර්ග සඳහා නොයෙදිය යුතු ද යන්නයි.

මා වාරිමාර්ග ඇමතිව සිටි කාලයේ දී මෙම කරුණ ගැන මැලේසියානු අධිකාරීන් ද සමඟ පරීක්ෂා කළෙමි. එහි වියළි කලාපයේ වාරිමාර්ග ක්‍රම සහ තෙත් කලාපයේ වාරිමාර්ග ක්‍රම ලෙස හැඳින්වෙන ක්‍රම දෙකක් තිබිණි. ඒ දෙකට අදාලව, වවන බෝග වර්ග, දෙනු ලබන ආධාර ක්‍රම ආදිය ද එකිනෙකින් සම්පූර්ණයෙන් වෙනස් විය. වෙනත් ආකාරයකින් කිවහොත් අපට වඩා සම්පූර්ණයෙන් වෙනස් සංකීර්ණ ආකල්ප පදනම්ව දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳව ක්‍රියා කරනු ලැබිණි.

අපේ නිෂ්පාදන සංඛ්‍යාලේඛන දෙස බැලුවහොත් හෙක්ටයාරයකට නිෂ්පාදනය වන වී ප්‍රමාණාය අතින් අපේ වියළි කලාපයේ නිෂ්පාදනය එතරම් නරක නැත. අප දෙවැනි වන්නේ ඉන්දුනීසියාවට පමණය. එහෙත් එය තෙත් කලාපයේ ඉතා අඩු නිෂ්පාදන ධාරිතාව සමඟ සන්සන්දනය කළහොත් තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මගේම දිස්ත්‍රික්කය වන මහනුවර දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය සමහරවිට අක්කරයකට බුසල් 25ක් පමණ වේවි. එහෙත් වියළි කලාපයේ නිෂ්පාදනය බුසල් 80ක් 100ක් පමණ වේ. මේ තත්වය නව ප්‍රවේශයක් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම වාරිමාර්ග අංශයේ අප කරන විශාල ආයෝජනවලට විකල්පයක් නැතිදැයි අප විසින් සලකා බැලිය යුතු වෙයි.

දෙවැනි ප්‍රශ්නය නම් විශාල වාරිමාර්ග සහ සුලු වාරිමාර්ග ක්‍රම අතර සම්බන්ධය බිඳ වැටීමයි. මෙයට එක හේතුවක් පලාත් සභා ක්‍රමයයි. මහ ආණ්ඩුව විශාල වාරිමාර්ග ක්‍රම භාරව සිටින අතර පළාත් සභා සුලු වාරිමාර්ග ක්‍රම භාරව සිටියි. මෙම අත්හදා බැලීම හොඳ ප්‍රතිඵල දී නොමැති බව මගේ අදහසයි. තුන්වැනිව, දැනට පවතින නීතී හා රෙගුලාසි ගොවියා අත්හදා බැලීම් කිරීම වළක්වයි. මේ ගැන මට පෞද්ගලික අත්දැකීම් තිබේ. මගේ මැතිවරණ කොට්ඨාසයේ අක්කර 60ක ඉඟුරු වවනු ලැබේ. ඔබ එලිෆන්ට්හවුස්, ජින්ජර් බීර බොන විට ඒ ඉඟුරු මගේ කොට්ඨාසයෙන් එන බව සිතාගැනීම හොඳයි. අපේ ඉදිරි ගිවිසුම් ක්‍රමයක් ක්‍රියාත්මකව පවතී. කන්නයකට ගොවීන්ට රුපියල් ලක්ෂ 2ක් 3ක් උපයා ගත හැකි වෙයි. ඔවුන් ට්‍රැක්ටර් පවා මිල දී ගෙන තිබේ. දැන් අපි කහ සහ වෙනත් බෝග වගා කිරීමටත් සැලසුම් කරන්නෙමු. හැබැයි හොඳ ම සාර්ථකත්වය ලබා තිබෙන්නේ උතුරු මැද පළාතේ බඩඉරිඟු ගොවීන් ය. ඔවුහු විශාල අස්වැන්නක් ලබති. නමුත් දැන් ඔවුන්ට ප්‍රශ්නයක් පැන නැඟී තිබේ. ඒ බඩඉරිඟු නිෂ්පාදනය සහ කුකුල් කර්මාන්තය අතර සම්බන්ධය හේතුවෙන් මිල පාලනයක් ගැන සලකා බැලෙමින් තිබීම නිසාය.

කාලයක් තිස්සේ අවධානය යොමු වී ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ ආර්ථිකමය ශාක්‍යතාවයක් ඇති අවම ඉඩම් ඒකකයයි. සංඛ්‍යාලේඛන අනුව, විශේෂයෙන්ම තෙත් කලාපයේ ඉඩම් ඒකක ප්‍රමාණය හාස්‍ය ජනකයි. එය ප්‍රමාණවත් ආදායමක් ලබා නොදෙයි. එය නොයෙක් අන්දමේ හවුල් ගොවිතැන් ක්‍රමවල ලක්ෂණයකි. මේ නිසා ඇත්ත වශයෙන් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන්නේ පුරන්වය. වී ගොවිතැන යටතේ ඇතැයි වාර්තා වී ඇති ඉඩම් ප්‍රමාණයත් ඇත්ත වශයෙන් ගොවිතැන් කරන ඉඩම් ප්‍රමාණයත් ගැන අප සමීක්ෂණය කළ යුතුයි. මා හිතන්නේ ලෙහෙසියෙන්ම තෙත් කලාපයේ නම් 50%කට වඩා ඉඩම් ප්‍රමාණයක් වී ගොවිතැනින් අත්හැරී තිබෙන බවය. එවැනි ඉඩම් රජයට පවරා ගනු ලැබෙතැයි ආදී අනතුරු හැඟවීම් වලින් වැඩක් නොවන්නේ ඇත්ත වශයෙන්ම එවැනි ඉඩම්වල අයිතිකරුවන්ට කළ හැකි දෙයක් නොවීම නිසාය. උදාහරණයක් ලෙස මෙම කුඩා ඉඩම් කැබලි සමහරක් සඳහා හවුල් අයිතිකරුවන් 100ක් 200ක් සිටිය හැක. ඒ නිසා මෙම නිරර්ථක පංගු ක්‍රමය සම්බන්ධයෙන් යමක් නොකළොත් එම ඉඩම්වලින් ප්‍රයෝජනයක් ගනු ලැබීම උගහට වෙයි.

අප තේරුම්ගත යුතු සමහර ප්‍රායෝගික කරුණු මේවා යි. කුඹුරු හිමියාට එරෙහිව නියම ගොවියා බලාත්මක කළ කුඹුරු පනත, එය පනවන ලද කාලයේ ඉතා ප්‍රගතිශීලී නීතියක් විය. දැන් සිදු වී ඇත්තේ එම නීති ක්‍රියාත්මක නොවීමයි. දැන් සියල්ල ඇණහිටි තත්ත්වයක් උදා වී ඇත. බොහෝවිට ගොවියා දැන් සිටින්නේ කලින් සිටි සමාජ තලයේ නොවේ. ඔහු තවදුරටත් ගොවිතැනේ යෙදීමට අදහස් නොකරයි. ඒ නිසා මේ ප්‍රශ්න ගැන නැවත කල්පනා කළ යුතු වෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.