සමහර හාමුදුරුවරු සහ ‘සිඳූ’ නාට්‍යයේ පොඩිසාදු | සිළුමිණ

සමහර හාමුදුරුවරු සහ ‘සිඳූ’ නාට්‍යයේ පොඩිසාදු

 ලජ්ජා-බය නැතිකම ලංකාවේ දේශපාලනය හරහා අපේ අතළොස්සක් හාමුදුරුවරුන්ටද බෝ වී ඇත. බෞද්ධ භික්‍ෂුන් කුලදේවතාවුන් ලෙස සලකන්නේ යම් සමාජ මෙහෙවරක් නායකත්වයක් අපේක්‍ෂාවෙනි. කුඩා දරුවන් භික්‍ෂුන් හඳුන්වන්නේ සාදුලා යනුවෙනි. ඒ ආමන්ත්‍රණයේ අර්ථය යහපත් ය යන්නය. අදටත් බොහෝ ගම්වල වැඩ වසන හැම හාමුදුරුවන් වහන්සේම යහපත් වෙති; ‘‘වැසි වට් කළ වුවද සරුප් වෙළෙවියෙන් යති;’’ දුටුවන් පිනවති; විකාර නො දොඩවති. හරියටම ‘සිඳූ’ නාට්‍යයේ පන්සලේ හාමුදුරුවරු වාගේය; සංසුන්ය; බොරු නොකියති; කිසිවකුට අනර්ථයක් නො කරති; පැමිණෙන ලාබ-අලාබ මැදහත්ව උසුලති; අනවශ්‍ය දේට අත නොපොවති. අපේ හාමුදුරුවරු වැඩි පිරිසක් සිඳූලාගේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ වාගේ හැසිරෙති.

සමහර විට කාසාවකණ්ටකයන්, චීවරධාරීන්, තෙය්‍යසංවාසිකයන් ආදි ලෙස බඩ-කඳ ප්‍රමාණය සහ කෙරුවාව නිසා නිගරු නාම උපහැරණ භික්‍ෂුන්ට පටබැඳී ඇත. ඒ අර්ථයෙන් ගලගොඩඅත්තේ හාමුදුරුවන් නිතර සමාජයෙන් ගැරහුම් ලබන්නෙකි. පසුගිය දවසක අස්ගිරි මහා විහාරය ගලගොඩඅත්තේ හාමුදුරුවන් වෙනුවෙන් බරපතළ ලෙස පෙනී සිටිමින් අමාත්‍ය එස්.බී. දිසානායකට සහ ගාමිණි වියන්ගොඩට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළහ. ඒ වහාම අමාත්‍ය එස්.බී. දිනානායක අස්ගිරි මහා විහාරයෙන් සමාව අයැද සිටියේය. මාධ්‍යවේදි ගාමිණි වියන්ගොඩ හැරෙන තැපෑලෙන් දැක්වූ ප්‍රතිචාරයෙන් අස්ගිරි මහා විහාරය සන්සුන් විය. සුප්‍රකට ගලගොඩඅත්තේ භික්‍ෂුත්වයට නොගැළපෙතැයි ඒ වනවිටද මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ප්‍රකාශ කර තිබිණ. එහෙත් ස්වකීය පාර්ශ්වයේද නොවන ගලගොඩඅත්තේ හිමියන් ගැන දැක්වූ සැලකිල්ල අස්ගිරියෙන් මල්වතු මහ නා හිමියන්ට නො ලැබිණ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්‍ෂුව මල්වතු මහනාහිමියන් ගැන කී කතාව ගැන අස්ගිරිය නෑසූ කනින් සිටියි. හේතුව: රටේ බෙදුණු එක් දේශපාලනයක් වෙනුවෙන් අස්ගිරිය ශාසනික සම්ප්‍රදායෙන් සහ වගකීමෙන්ද බැහැර වෙති. එය ගලගොඩඅත්තේ, ඉත්තෑපානේ හිමිවරුන්ට වඩා මල්වතු මහා විහාරය ලඝු කොට සැලකීමෙන් තහවුරු වේ.

අත්තුක්කංසන පරවම්භනයෙන් අපහාස කිරීම, තර්ජනය කිරීම අස්ගිරි පිළිවෙත වේ. මේ නිසා රූටා ගොස් අස්ගිරිය පසු බැස්ස තැන්ද අනන්තය. අමාත්‍ය විජේදාස රාජපක්‍ෂගේ ඇමැතිකම වෙනුවෙන් පෙනී සිට, අස්ගිරිය ප්‍රතික්‍ෂෙප වීම ඊට ආසන්න උදාහරණයයි. අදාන්ත හැසිරීම නිසා මල්වතු විහාරයෙන් ප්‍රතික්‍ෂෙප වූ චීවරධාරියෙක් අපරාධ වරදකට අත්අඩංගුවට පත් විය. ඒ වන විට එකී චීවරධාරියාට අස්ගිරිය දී තිබූ උපසම්පදාව සහ නායක පදවිය ආපසු උදුරා ගන්ට සිදු විය. දියවඩන නිලමේ නිලංග දෑලට එරෙහිව සිදු කෙරෙන පරීක්‍ෂණ නතර කරන ලෙස අපවත් වී වදාළ අස්ගිරි මහනාහිමි නමක් මල්වතු මහනාහිමියන්ගේ නම පටලවා ප්‍රකාශ කළහ. අශාසනික කරුණු ගැන මල්වතු මහනාහිමි අත නොපොවන බව රටම දනිති. එකී වයෝවෘද්ධ මහනාහිමියන් ඒ බව දැන සිටියා නම් එවැනි ප්‍රකාශයක් කරන්නේ නැත. සියම් නිකායේ මල්වතු-අස්ගිරි සංඝ පාර්ශ්වද්වය සාසනික සමාජ දේශපාලන ක්‍රියාවලි දී මෙසේ එකිනෙකට වෙනස් මතවාද දරති.

මල්වතු මහනාහිමියන් අස්ගිරියෙන් වෙනස් වන ස්ථාන බොහෝය. ඒ 26 පාර වැසුවාට එරෙහි මල්වතු මහනාහිමියන් අදත් එකී මාර්ගය විවෘත කර මහනුවර වාසි ජනතාවගේ හිමිකම් ආරක්‍ෂා කර දෙන ලෙස කියති. සාධාරණ හේතු රහිතව, ඒ-26 පාර වසා තැබීම අනුමත කරන අස්ගිරි මහනාහිමි ඒ-26 පාර ඇරියොත් පාරේ බුදියන බවට තර්ජනය කරති. ඒ අනුව යමින් පාර අරින්නට එක-එකාට ඇති රුදාව මොකක්ද කියා අස්ගිරි මහා විහාර පිරිවෙනේ පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද නායක හාමුදුරුවෝ ග්‍රාම්‍ය භාෂාවෙන් විමසූහ. පාරේ බුදියනවා කී එකී අස්ගිරි නාහිමිගෙන් අවසර ලැබුණ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ද පාරේ සැතපෙන කතාවද ප්‍රසිද්ධය. බොහෝ හේතු නිසා අස්ගිරිය ශාසනික ස්වරූපයන් මෙන්ම සමාජ වගකීම් වුවමනාවෙන්ම බැහැර කරති.

මේ පාරේ සැතපෙනවා කියන්නේ පලිපාන චන්දානන්ද හාලියාලේ සුමනතිස්ස නාහිමිවරුන් නියෝජනය කළ අස්ගිරි පාර්ශ්වයෙනි. ඒ පාරේ සැතපෙන කතාවෙන් උඩගිය තරුණ භික්‍ෂූන් හෝමාගම දී බොහෝ විසූකදස්සන පෑහ. ඔවුන් සිරකරුවන් ප්‍රවාහනය කළ බස් නතර කර ටයර්වලට බෙලි තබා නිඳා සිටි බව මාධ්‍ය වාර්තා කළේය. ඒ ගිරිතලේ බුද්ධි අංශ සාමාජිකයන්ට ඇප ලබාගැනීම සඳහාය. ඒ වන විට ගලගොඩඅත්තේ භික්‍ෂුව අධිකරණයට ආටානාටිය දේශනා කරමින් සිටියහ. ඒ සිද්ධිය දැන් අධිකරණයට අපහාස කළ බවට විමසන නඩුවකි. මල්වතු මහනාහිමියන් බෝ ගස් කපා විකුණු තම නිකායේ භික්‍ෂූන් පදවි තනතුරුවලින් පහ කරති. ඊට සමගාමීව අස්ගිරි නාහිමියන්ගේ පාර වැසීමේ ක්‍රමවේදය තරුණ භික්‍ෂු පරපුර ආදර්ශ කරගත්තේ එසේය. අද වන විට හැම උද්ඝෝෂණයකදීම ගිහියන්ට නොදෙවැනි අශ්ලීල ලීලාවෙන් තරුණ භික්‍ෂුන් වහන්සේ හැසිරෙන්නේ අර නාහිමියන් අනුව යමිනි. මේ තත්ත්වය වර්තමාන අස්ගිරි මහනාහිමියන්ගේ දැඩි අවධානයට ලක් විය යුතුව ඇති බව ගෞරව පූර්වකව සැල කර සිටිමි.

‘සිඳූ’ නාට්‍යයේ සෝරත පොඩි සාදු ළමා විය සහ සාමනේර ශික්‍ෂණය අතර නිතර තෙරපෙති. පොඩි සාදු හදිසියේ දිව්වා හෝ ගියා කීවත් වහා ‘‘නෑ වැරදුණා වැඩියා වැඩියා’’ කියා කීමට හුරුව සිටිති. සෝරත පොඩි හාමුදුරුවන්ගේ සිහිය උපදවා ගැනීමවත් බොහෝ අවස්ථාවල අස්ගිරි පාර්ශ්වික මැදිහත්වීම්වල දී ප්‍රදර්ශනය නොවේ.

අප මේ විස්තර කරන්නේ මල්වතු-අස්ගිරි පාර්ශ්වික ක්‍රියාකාරකම් පරස්පර විරෝධ වෙමින් සංඝ සමාජයට අහිතකර ලෙස බලපාන ආකාරයයි. ඒ-26 පාර වැසීමේ දී ශ්‍රී දළදා මාලිගාවේ සම-භාරකරුවන් ලෙස මල්වතු-අස්ගිරි දෙපාර්ශ්වය ඒකමතික විය යුතුව තිබිණි. එහෙත් ඒ -26 පාර වසා-දැමීම මහජන කරදරයක් බව මල්වතු පාර්ශ්වයේ අදහස වේ. අස්ගිරි පාර්ශ්වය දකින්නේ එකී පාර විවෘත කිරීම ශ්‍රී දළදා මාලිගාවට අගෞරවයක් ලෙසය. මහින්ද රාජපක්‍ෂගේ දරුවන් ශ්‍රී දළදා නගරයේ රාත්‍රියේ රේස් පැදිමට සැලසුම් කළ විට මේ පාර්ශ්ව දෙකම ඊට විරුද්ධ වූහ. මහින්ද රාජපක්‍ෂ මල්වතු-අස්ගිරි විරෝධය ප්‍රතික්‍ෂෙප කළ පසුව, අස්ගිරි පාර්ශ්වය වහා සෙත් පිරිත් කියා රේස් පැදිල්ලට ආශීර්වාද කළහ. ඊට සමාන්තරව තිරු බදු රහිත වාහන බලපත් සිය ගණනක් එකවර නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කළේය. බෙදීම ආරම්භ වුණේ එසේය යන්න අනුමානයකි. සිර භාරයට ගත් සරත් ෆොන්සේකා වහා නිදහස් කළ යුතුය යන බහුජන ඉල්ලීමට මල්වත්ත එකතු විය. එහි දී අස්ගිරිය නිහඬ විය. එදා කොළඹ සිට පැමිණී පිණ්ඩපාතික වජිරලා, පිණ්ඩපාතික ආනන්දලා, පිණ්ඩපාතික අභයතිස්සලා මල්වතු මහා විහාරය වට කොට සරත් ෆොන්සේකාට පක්‍ෂව සංඝ සභාවක් කැඳවයි නම් නිකාය දෙකඩ කරන බවට තර්ජන කළහ. එදා අස්ගිරිය සිය ඓතිහාසික සහෝදර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ නැත. නැවත ඒ තර්ජනය ඉත්තෑකන්දේ භික්‍ෂුව හරහා ඇසිණි. අස්ගිරිය නිහඬව සිටිති.

විවිධ හේතු නිසා භික්‍ෂූත්වය යටපත්ව නින්දා-අපහාස විඳි භික්‍ෂූන් ගැන රස කතා බුද්ධකාලයේ පටන් අසන්නට ලැබේ. සුප්‍රකට ථුල්ලතිස්ස හාමුදුරුවෝ ඉන් එක් චරිතයකි. උන් වහස්නේ කඳ-බඩ සහ ස්ථුලභාවය නිසාම ථුල්ලතිස්ස නමින් ප්‍රකට විය. එකී ථුල්ලතිස්ස හාමුදුරුවන් පිළිබඳ ඒ කතාව අපට ලියා තැබුවේ සද්ධර්මරත්නාවලිය ලියු ධර්මසේන හිමියෝය. එය ධර්මසේන හිමියන් සාහිත්‍ය රසය දැනෙන ලෙස, ‘‘මංසානි තස්ස වඩ්ඪන්ති පඤ්ඤාතස්ස නො වඩ්ඪති’’ යන ප්‍රකට දේශනා පාඨය විචිත්‍ර කිරීමකි. පෙනුම සහ නොදැනුවත්කම මුල් කොට භික්‍ෂූන්ට වෙනත් නම්වලින් ආමන්ත්‍රණය කිරීම ගැරහීම අපහාසයක්, පාපයක්, නිගරුවක් ලෙස සැලකිය යුතු නැති බව සද්ධර්මරත්නාවලියේ කර්තෘ ධර්මසේන හාමුදුරුවෝ ගිහි සමාජයට සහතික කරති. ඉතිහාසය පුරා කිසිදු භික්‍ෂුවක ධර්මසේන හාමුදුරුවන්ට දොස් කියා නැත; රජකුට ඒ ගැන පැමිණිලි කර නැත. යටත් පිරිසෙයින් ගලගොඩඅත්තේ හිමියන් වෙනුවෙන් පෙනී සිටි අස්ගිරි පාර්ශ්වය පවා නිහඬය. මෙයින් අදහස් වන්නේ කුමක්ද? ශ්‍රමණ සාරුප්‍යය බුද්ධ අවවාදය සංඝ ගෞරවය කෙලෙසමින් සුළු වාසි තකා වීදි බසින ඕනෑම කාසාව කණ්ඨකයකු තෙය්‍යසංවාසිකයකු විවේචනය කිරීමෙන් පව් සිදු නොවන බවය.

සද්ධර්මරත්නාවලිය රචනා කළ දඹදෙණියට අයත් වදාකඩ ගමේ ජීවත්ව මියගිය පීබී අල්විස් පෙරේරාද සඟුන්ගේ වැරදි දුටු තැන පහර දුන් අදීන ලේඛකයෙකි. 1965 මැතිවරණයේ දී එජාපයේ වාසියට සංඝ සභා සඳහා භික්‍ෂූන් කැඳවාගැනීමට ඇම්ඩී ගුණසේන සමාගම මුල් වූ බවට ආරංචි පැතිරිණි. පාසල් පෙළපොත් රජයෙන් මුද්‍රණය කිරීම නිසා, ඇම්ඩී ගුණසේන සමාගම තුන් හවුල සමඟ විරසකව සිටි බව රහසක් නොවීය. කුරුණෑගල පැවැති ශ්‍රීලනිප රැස්වීමේ දී කවි කතාවක් කළ පීබී අල්විස් පෙරේරා කී කවක් මෙසේ විය:

‘ගුණසේනගෙන් දාහේ
චෙක් එක ආපු
ඇතුගල්පුරේ ලංකා
බැංකුවෙ දාපු
සම්බුදු සසුන කා, පඬු
හැළියද බීපු
සිල්නඳ හිමි සැරද කහ
උඩ කොළ ගාපු’

මේ රැස්වීම අවසානයේ අල්විස් පෙරේරා කවියා ඇත්කඳ විහාරයට ගොස් කඳුබොඩගම සීලානන්ද නාහිමියන් බැහැදැක ගිලංපස සත්කාරයක්ද ලබාගෙන වදාකඩ බලා ගිය බව ප්‍රකට කතාවකි.

කරත්තේ බැන්දා නම් එක්කෝ කරත්තකාරයාය; නැත හොත් නන්දිවිසාලය. ප්‍රශස්ති කීවා නම් වන්දිභට්ටයාය. මේ සමාජ සම්මත ගැමි විශ්වාස සංඝානත්ති නිකුත් කොට, කහ සිවුරු ලෙළවා වෙනස් කිරීම පහසු නැත. භික්‍ෂුත්වයට අනුචිත දේ කෙරෙහි ලොල් වී නම නරක් කරගත් භික්‍ෂූන්ට අලජ්ජීන් ඡබ්භග්ගීන් කීම බුද්ධ කාලයේද සිරිතකි. සංඝාඥාවට පිටු පා ශ්‍රී දළදා නගරයේ දරුවන්ට රේස් පැදීමට ඉඩ දුන් එවුන්ගේ කැත-කුණු අපුල්ලා දෙයි නම් ඔවුන් අලජ්ජී මහණුන් මිස, අසරණ සරණ සරණංකර පිණ්ඩපාතික සිල්වත් සමාගමේ සාමාජිකයන් විය නොහැකිය. මේ අවලාද සඟරුවන්හි අවනු කී පාපයට ගැනීමේ දී ව්‍යතිරේක දෙකක් බලපැවැත්වේ. පළමු වැන්න: ධර්මසේන හිමියන් කී ථුල්ලතිස්ස කතාවට සංඝානත්තියක් පනවා නැතිකමය. දෙවැන්න: අල්විස් පෙරේරාගේ කවි කතාවට කඳුබොඩගම නායක හාමුදුරුවන් කෝප නොගැනීමය.

වැසූ මහනුවර ඒ-26 පාර වෙනුවෙන් අස්ගිරිය පෙනී සිටීම මහනුවර ජනතාව දකින්නේ ‘අරුන් වැසූ පාර මුන් විවෘත කිරීමට ඉඩ නොදෙනවා’ කියාය.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.