ආකල්ප වර්ධනයෙන් රට සංවර්ධනය කරමු | සිළුමිණ

ආකල්ප වර්ධනයෙන් රට සංවර්ධනය කරමු

 අප වටා ජීවත් වන මිනිස්සු විවිධය. ඔවුන්ගේ හැඩරුව පමණක් නොව, සිතුම් පැතුම් ආකල්ප, ජීවත් වන රටාව ආදිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. ඇතැම්හු ජීවත් වීම සඳහා කිසියම් වෘත්තියක නියැළෙති. තවත් පිරිසක් කිසියම් හෝ ව්‍යාපාර කටයුත්තක් ප්‍රථමයෙන් සුළුවශයෙන් පවත්වාගෙන යති. තවත් පිරිසක් එවැනිම වු ව්‍යාප‍ාර කටයුත්තක් මහා පරිමාණ ලෙස ආරම්භ කර සේවකයන්ද විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවමින් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යති. ඒ අතරම තවත් පිරිසක් කිසිම ආර්ථික කටයුත්තක නොයෙදී සිඟමන් යදිමින් එදාවේල සොයා ගැනීමට උත්සාහ දරති.

මෙසේ මිනිසුන් එකිනෙකාගෙන් එකිනකාට ජාතිය ආගම ලෙස වෙන් වෙන්ව වර්ගීකරණය කළ හැකි වුවත් මේ කුමන ජාතියකට අයත් වුවද කුමන ආගමක් ඇදහුවද ජීවත් වීමේ අරගලයේදී සියලු දෙනාම කුමන හෝ ආර්ථික කටයුත්තක නිරත විය යුතුමය. එසේ වන්නේ ජීවත් වීම සඳහා සිය මූලික අවශ්‍යතාවන් වත් සම්පුර්ණ කරගත යුතු නිසාය.

අප මේ ලෝකයට බිහි වන විට කිසිම කෙනෙකු දුප්පතෙකු හෝ පොහොසතෙකු නෙ‍ාවේ. අප දුප්පතකු වන්නේද පොහොසතකු වන්නේද අප විසින් කරනු ලබන ක්‍රියාකලාප අනුවය; එනම්: අන් කිසිවක් නොව අප සතුව පවතින ආකල්ප මතය. ඒවා ඍණාත්මක ආකල්ප හෝ ධනාත්මක ආකල්ප විය හැකිය. ඍණාත්මක ආකල්පයක් සහිතව කිසියම් කටයුත්තක් ආරම්භ කළේ නම් කිසිම විටක එම කාර්යය සාර්ථක භාවයට පත් නොවේ. යම් කටයුත්තක් ආරම්භ කිරීමට‍ ‍පෙර ඒ ‍පිළිබද දැඩි විශ්වාසයක් හා දැඩි උනන්දුවක් තිබිය යුතුය. නිවැරදිව සැලසුම් සහගතව ආරම්භ කරනු ලබන ඕනෑම කාර්යයක් සාර්ථක වනු ඇත. අප සිතිය යුත්තේ එය වඩාත් නිර්මාණශීලීව කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ඇපල් සමාගමේ අයිතිකරුවන ස්ටීව් ජොබ්ස් ඔහුගේ සේවකයන්ට කරන ලද දේශනයකදී ප්‍රකාශ කර ඇත්තේ “ඔබ නැවක කපිතාන්වරයකු වීමට වඩා මුහුදු කොල්ලකරුවකු වීමට උත්සාහ කරන්න” යනුවෙනි. ඉන් ඔහු අදහස් කරන්නේ සැම විටම සාම්ප්‍රදායික රාමුව තුළ සි‍ට කටයුතු නොකර නිර්මාණශීලි වෙනස් පුද්ගලයකු වන්නට උත්සාහ කරන ලෙසයි.

ශ්‍රී ලංකාව වසර 2500කටත් වඩා ඉපැරණි ඉතිහාසයකින් යුත් රටකි. එකල ශ්‍රී ලංකාවේ රජ කළ රජවරු වැව් ඉඳි කොට මුළු රටම සහලින් ස්වයංපෝෂිත කළහ. එතෙක් වර්තමානය වන වි‍ට ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් විදේශ රටවලින් ආනයනය කරයි. එමඟින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යයි. ශ්‍රී ලංකාව යනු මුහුදින් වට වු දුපතකි. එහෙත් ශ්‍රී ලංකා‍වට ටින් මාළු විශාල ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරයි. මේ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ රටවලට ගලාගෙන යයි. අප රට තුළ ජීවත් වන බොහෝ දෙනකු කල්පනා කරන්නේ කෙසේ හෝ තමන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලිකව පරිහරණය කිරීමට මෝටර් රථයක් මිල දී ගැනීමටයි. එහි කිසිදු වරදක් නැත.

මිනිසා තම ජීවන තත්ත්වය උසස් කරගත යුතු නමුත් ඔවුන්ගේ ආකල්පද ධනාත්මකව වෙනස් විය යුතුය. බොහෝ අය තම රජකාරි සඳහා පිටත්ව යෑමේදී දැඩි මාර්ග තදබදයකට මුහුණ දෙති. රජකාරි කරන වේලාවට වඩා වැඩි වේලාවක් මාර්ග තදබදය නිසා අතරමඟ ගෙවාදැමීමට සිදු වේ. මෙය විශාල පාඩුවකි. එයට ප්‍රධානතම හේතුව වන්නේ පොදු ‍ප්‍රවාහන සේවා පරිහරණය කිරීමට හැකියාව තිබියදීත් මිනිසුන් තම පෞද්ගලික රථ වාහන භාවිත‍ා කීරීමයි. එවිට රථ වාහන විශාල ප්‍රමාණයක් මාර්ගයේ ධාවනය වුවද පෞද්ගලික රථවාහනවල එක් මගියකු හෝ මගීන් දෙදෙනකු පමණක් ප්‍රවාහනයේ යෙදෙනවා විය හැකිය. මෙය රටකට පාඩුවකි. එමගින් කාලය හා ඉන්ධන සඳහා වැයවන මුදල් සලකා බලන කල එයින් රටකට අතිවිශාල ආර්ථික අවාසියක් සිදුවේ.

මෙසේ වීමට හේතුව කුමක්ද? ප්‍රධානම හේතුව වන‍්නේ ජනතා‍වගේ ආකල්පයි. අප රට සංවර්ධනය ගැන කොතෙකුත් වැඩ සටහන්, දේශන හා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළද පළමුව ශ්‍රී ලංකික ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුය. සෑම අයකුම උත්සාහ කරන්නේ තමා විසින්ම උසස් යැයි මනසින් නිර්මාණය කරගත් ඉන්ජිනේරුවකු, වෛද්‍යවරයකු හෝ නීතිඥයකු වීම‍ටයි. ඒ හැරුණු කොට අනෙකුත් රැකියා පිළිබඳ අප තුළ ඇත්තේ හීන මානයකි. අප වෙනස් කරගත යුත්තේ එම ආකල්පයයි. රටක් පවත්වාගෙන යෑමට නම් සෑම මට්ටමකම සේවාවන්වල නිරත වන්නන්ගේ සේවය අවශ්‍ය වේ. කම්කරුවාගේ සේවය මෙන්ම වෛද්‍යවරයාගේ සේවයද එක සේ වැදගත්ය. බොහෝ දෙනකු හිතන්නේ වෛද්‍යවරයාගේ සේවය ඉතා වැදගත් වුවද කම්කරුවන් ඇතුළු වෙනත් සේවකයන්ට හිමි වන්නේ අඩු සැලකිල්ලකි.

එහෙත් ඇතැම් විදේශ රැකියා සඳහා ගොස් එම රටවලදී ගෘහසේවිකා සහ පිරිසුදු කිරීමේ කම්කරු රැකියා වැනි රැකියාවල වසර ගණනක් යෙදී සිට නැවත ලංකාවට පැමිණි පසු ශ්‍රී ලංකාවේ එම රැකියාවම කරන අය පහත් කොට සලකති. ඇතැම් දරුවෝ තමාගේ පියාගේ රැකියාව කුමක්දැයි ඇසුවිට “පියා ගොවිතැන් කරනවා” යැයි පැවසීමට මැළිකමක් දක්වති. එයට හේතුව වන්නේ පුංචි අවධියේ පටන් දරුවන්ගේ මනසට ලබා දී ඇත්තේ ගොවිතැන් කිරීම වැදගත් වෘත්තියක් නොවන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවිතැනට අද අතිවිශාල වැව්, ගංගා, ඇළ දොළ, පොකුණු ආදී අවශ්‍ය සියලු පහසුකම් තිබියදීත් අවශ්‍ය හාල් රට තුළ නිෂ්පාදනය නොකර විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කර විදේශ රටවලින් සහල් ආනයනය කිරීමයි. ‍ බොහෝ අය ධීවර වෘත්තියද පහත් කොට සලකති. එහි ප්‍රතිඵලය රට වටේම මුහුද තිබියදීත් එම මත්ස්‍ය සම්පත භාවිතා නොකර එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් වැය කර රටට අ‍වශ්‍ය ටින් මාළු විදේශ රටවලින් ආනයනය කිරීමයි.

එහෙත් රට තුළ ධීවර කර්මාන්තය තවදුරටත් දියුණු කර එම මාත්ස්‍ය පලදාව ටින් මාළු බවට පත්කරන කර්මාන්ත ශාලා ඉදිකිරීම තුළින් නව රැකියා උත්පාදනයක් සිදුවන අතර අපනයනය .තුළින් විදේශ විනිමයද උපයාගැනීමට හැකිවේ. ආනයන අපනයන පරතරයද අඩු කර ගත හැකිය.

මෙරට වැඩි දෙනකු රෝගී වු කල පුරුදුව සිටින්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටය. එහි කිසි වරදක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ඉපැරණි අතීතයක සිට පැවත එන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ගැන බොහෝ දෙනාගේ උනන්දුවක් නැත. ඇතැම් රෝග නිට්ටාවට සුව කළ හැක්කේ බටහිර වෛද්‍ය ක්‍රමය මඟිනි. ඇතැම් රෝග නිට්ටාවට සුව කළ හැක්කේ දේශීය වෛද්‍ය ක්‍රමය මඟිනි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් නිට්ට‍ාවට සුව කළ හැකි රෝග සඳහාද බටහිර වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට පතති. එයට හේතුව වන්නේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය ගැන ජනතාව තුළ ඇති සෘණාත්මක ආකල්පයයි. මේ පිළිබඳ රජය විසින් වැඩි අවධානයක් යොමු කර දේශීය වෛද්‍ය ක්‍රමය දිරිගන්වන ‍වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුව හොත් රට තුළ නව රැකියා බිහි වීමක් සහ අනවශ්‍ය ලෙස පිටරටවලට ඔෟෂධ වෙනුවෙන් ගලා යන මුදල් ප්‍රමාණයද රට තුළ ඉතිරි කර රට සංවර්ධනය සඳහා යොදාගත හැකිය.

සමස්තයක් ලෙස ‍රටේ ජනතා‍වගේ ආකල්ප ධනාත්මක කර, ඒ මඟින් රටේ ආදායම ඉහළ නැංවීමටත්, රැකියා නියුක්තිය වැඩි කර ජනතා‍වගේ ජීවන තත්ත්වය ඉහළ නංවා රට සංවර්ධනය කරන්නටත් කළ යුත්තේ කුඩා කල සිටම දරුවන් තුළ සිය රට දේ අගයන ධනාත්මක සිතිවිලි හා ආකල්ප වර්ධනය කිරීමය.

මූල්‍ය හා ව්‍යාපාර ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීණ දේශක 
සුගත් ලියනගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.