පාරිභෝගිකයාගේ උපරිම වාසියට සතොස තියාගන්නෙ සුළු ලාබයක් | සිළුමිණ

පාරිභෝගිකයාගේ උපරිම වාසියට සතොස තියාගන්නෙ සුළු ලාබයක්

 මේ වන විට වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් හා සහල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ ලංකා සතොස සභාපති ආචාර්ය නීතිඥ ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සමඟ කළ සාකච්ඡාවකි.

මේ දිනවල ජීවන වියදම වැඩියි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමද ඊට හේතුව?

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි වීම පමණක්ම ජීවන වියදම වැඩි වීමට බලපාන්නේ නැහැ. ජනතාව පරිභෝජනය කරන වෛද්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, දුරකතන වියදම් වැනි සේවා පවා ජීවන වියදම වැඩි වීම සඳහා බලපානවා. මේ නිසා අපට කියන්න බෑ ජීවන වියදමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වියදම පමණක් බලපානවා කියලා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් විකල්ප පියවරක් තිබෙනවාද?

ඇයි නැත්තේ? අපි ඒ සඳහා පියවර අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජීවන වියදම් කමිටුවක් පත් කර තිබෙනවා. මේකට කියන්නේ ජීවන වියදම් සම්බන්ධ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව කියලා. එය දෙසතියකට වතාවක් රැස් වෙනවා. ආයතනවල සභාපතිවරු, අමාත්‍යංශවල ලේකම්වරු තමයි මේ කමිටු‍වේදී රැස් වෙන්නේ. ආහාර ආදිය කොතරම් හිඟද? ඒ සඳහා ගත යුත්තේ කුමන විසඳුම්ද? කියා මෙමඟින් සොයා බලනවා. ලැබෙන දත්ත අනුව අවශ්‍ය ආහාර තොග ගෙන්වා ගන්නවා.

මේ දිනවල නැඟෙන වෝදනාවක් තමයි සහල් මිල ඉහළ ගිහිල්ලා කියන-එක. මෙලෙස සහල් මිල ඉහළ යෑමට හේතුව කුමක්ද?

පසුගිය කාලේ කන්න තුනක් කෘෂිකර්මාන්තය බිඳ-වැටුණා. ඒ අනුව කෘෂිකර්මය සඳහා යෙදවුණ අක්කර ප්‍රමාණයෙන් හරි අඩක් පමණයි වගා කෙරුණේ. මේ අනුව ලංකාවේ වී නිෂ්පාදනයේ අඩුවක් වුණා. මේ නිසා අද වී මිල ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා නිරායාසයෙන්ම දේශීය සහල් මිල ඉහළ යනවා. උදාහරණ ලෙස ගත්තොත් වී කිලෝ එකක් රුපියල් පනහකට හාල් මෝල් හිමියකුට විකුණුවොත්, අඩු වශයෙන් වී කිලෝ එකයි දශම හතක් ඕනේ හාල් කිලෝ එකක් හදන්න. එතකොට හාල් කිලෝ එකක සාමාන්‍ය අගය රුපියල් සීයයක් වෙනවා.

මේ මිල ඉහළ යෑම දේශීය සහල් ගොවියාට වැළැක්විය හැකිද?

කිසි සේත්ම බැහැ. මෙයට හේතුව නිෂ්පාදනයේ හිඟයක් තිබීමයි. මෙයට ස්වාභාවික හේතු බලපෑවා. මෙවැනි තත්ත්වයක් යටතේ දේශීය සහල් ගොවියාට කරන්නට කිසිම දෙයක් නැහැ. මේ නිසා රටට අවශ්‍ය සහල් තොග පිටරටින් ගෙන්විය යුතු වෙනවා.

මේ සඳහා රජය ගෙන ඇති තීරණ මොනවාද?

මේ අවස්ථාවේ පවතින තත්ත්වය මත සහල් ආනයනකරුවන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. සහල් කිලෝවක් සඳහා අය කළ ආනයන බද්ද සත විසිපහ දක්වා අද අඩු කර තිබෙනවා. ඒ අනුව බද්දක් නැති ආකාරයට තමයි මේ සහල් ආනයනය කරන්න අවසර දීලා තියෙන්නේ. මේ නිසා පෞද්ගලික අංශය කාර්යක්ෂම ලෙස විවිධ සහල් වර්ග ආනයනය කරනවා.

ලංකා සතොසේ මිල දී ගැනුම් ජාලය සැකසී ඇත්තේ කෙබඳු ආකාරයකටද?

අපි සතිපතා ටෙන්ඩර් මඟින් ලංකාවට සහල් ගෙන්වන කරුවන්ගෙන් මිල දී ගන්නවා. මේ අනුව ලංකාව පුරා ඇති සතොස අලෙවිසල් 3370ක් මඟින් ඉතා සාධාරණ මිලට මේ සහල් බෙදා-හරිනවා. මිලගණන් අනුව කිවුවොත් නාඩු අපි විකුණන්නේ රුපියල් 74ට. ඒත් කිසියම් ‍කෙනෙක් කිලෝ විසිපහට වඩා මිල දී ගන්නවා නම් රුපියල් 73ක් වන තොග මිලට ලබාගන්න පුළුවන්. ආනයනිත සුදු කැකුළුවල මිල රුපියල් 65යි. ඒත් අපෙන් ලබාගන්න පුළුවන් රුපියල් 64ක් වන තොග මිලට. සම්බා සහල් අපි රුපියල් 78ට විකුණන්නේ. ඒත් අපට තොග මිල රුපියල් 77ට දෙන්න පුළුවන්. ඒ වගේම කැඩුණු සහල් අපි රුපියල් 62කට විකුණන්නේ. මේ සහල් වුණත් රුපියල් 60 ගානේ අපිට විකුණන්න පුළුවන්.

වෙළෙඳපොළේ අනිත් භාණ්ඩ සමඟ සැසඳීමේදී ලාභ ප්‍රතිශතය පිළිබඳ සෑහීමකට පත් වන්න පුළුවන්ද?

අනිත් භාණ්ඩ පිළිබඳ සැලකීමේදී ඉතා අඩු ලාභ ප්‍රතිශතයක් තමයි අපි තියාගෙන තියෙන්නේ. අපි භාණ්ඩ අලෙවි කරන්නේ සුබසාධන පරමාර්ථය පෙරදැරි කරගෙන. උදාහරණ ලෙස ගත්තොත්: සුදු සීනි අපි විකුණන්නේ රුපියල්106.50ට. හුඟක් කඩවල විකුණන්නේ රුපියල් 107ට. ලොකු ලූනු ගත්තාම අපි විකුණන්නේ රුපියල් 167ට. ඒත් විවෘත වෙළෙඳපොළේ රුපියල් 200ක් විතර වෙනවා. දේශීය අර්තාපල් කිලෝ එක රුපියල් 125යි. රතු පරිප්පු විකුණන්නේ රුපියල් 148ට. මේ ආකාරයට අනිත් වෙළෙඳසල්වලට වඩා අඩුවෙන් අපි භාණ්ඩ විකුණනවා.

ඉදිරි උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය සම්බන්ධ සැලැසුමක් තිබෙනවාද?

ඔව්. ඒ සම්බන්ධ සැලැසුමක් තියෙනවා. ඉදිරියේදී භාණ්ඩ පන්සීයක් විතර වට්ටම් සහිතව ලබාගන්න පාරිභෝගිකයන්ට හැකි වන ආකාරයේ වැඩපිළවෙළක් අපි යොදලා තියෙනවා.

'ඉඩම් නිධානය' වැඩපිළිවෙළ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළොත්?

ලංකා සතොසෙන් භාණ්ඩ මිල දී ගන්නා පුද්ගලයන්ට 'ඉඩම් නිධානය' තරගයට ඇතුළු වෙන්න පුළුවන්. මේ අනුව නිවාස සාදාගැනීමට හැකි වටිනා ඉඩම් තුනක් ලංකා සතොසෙන් බඩු ගන්න අයට ලබා දෙනවා. එපමණක් නෙවෙයි; රත්රන් පවුම් විශාල සංඛ්‍යාවක් ලබා දෙන්නත් වැඩපිළිවෙළක් යොදලා තිබෙනවා.

ලංකා සතොසේ පරමාර්ථය අඩු මිලකට පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීම නම්, මේ මිල අඩු වීමත් සමඟ ගුණාත්මක භාවය පිළිබඳ සැකයක් ඇති වෙනවා නේද?

නැහැ. අපි පාරිභෝගිකයන්ට අඩු මිලට දෙන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ පමණයි. විශේෂයෙන් අල ලූනු ගුණාත්වයෙන් ඉහළ තත්ත්වයකම තියෙන බව අද පාරිභෝගිකයෝ පවසනවා.

මිල දී ගැනීමේදී ගුණාත්මක භාවය පිළිබඳ නිර්ණය කිරීමේ වැඩපිළිවෙළක් ලංකා සතොසේ තිබෙනවාද?

ඔව්. ටෙන්ඩර් කමිටුවට අමතරව ගුණය පිළිබඳව නිර්ණය කිරීමේ කමිටුවකුත් තියෙනවා. ඒ අය ආහාර තාක්ෂණවේදීන්ගෙන් යුතු කමිටුවක්. මේ අය ආහාර සාම්පල් පරීක්ෂා කරලා ගුණාත්මක භාවයෙන් යුතු ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට නිර්දේශ කරනවා.

සතොස තොග ගබඩාවලට භාණ්ඩ සැපයීමේදී පරීක්ෂාවෙන් සමත් වුවත්, නියමිත භාණ්ඩ ලැබුණාද කියලා පසු විපරමක් කරනවාද?

ඇත්තටම ඔව්. මේ පසු විපරම කරන්නේ ගුණය අගය කිරීමේ කණ්ඩායම. ඔවුන් සතොස ශාඛාවලට ගිහිල්ලා බලනවා මිල දී ගැනීමට සුදුසුයැයි තීරණය වූ භාණ්ඩමද තොග ගබඩාවලට ඇවිත් තියෙන්නේ කියලා.

අතපසු වීමකින් හෝ විකුණන්න නොහැකි භාණ්ඩ තොගයක් ශාඛාවකට ගොස් තිබෙනවා නම් ගන්නා පියවර කුමක්ද?

අපි කියලා තියෙන්නේ විකුණන්න බැරි භාණ්ඩයක් කියලා කළමනාකරුට දැනෙන ඕනෑම මොහොතක එම භාණ්ඩ තොගය හරවා නැවත එවන්න කියලා. ඊට පස්සේ භාණ්ඩ නැවත සැපයුම්කරුවන්ට භාර දෙනවා.

දිගින් දිගටම නුසුදුසු තොග සැපයුම්කරුවන් සැපයුවොත් ඔබ ආයතනය ගන්නා පියවර කුමක්ද?

මාස තුනක් ඔවුන්ගේ සැපයුම් නතර කරනවා. එසේ වෙලාත් ඔවුන් තමන්ගේ මතය අනුව ඔවුන් හිතුවක්කාර ලෙස තමන්ගේ සැපයුම කරගෙන යනවා නම්, සැපයුම් ජාලයෙන් ඉවත් කරනවා. සුදුලූනු හාල්මැස්සෝ, අල, බී-ලූනු වැනි වර්ග ඉතා පිරිසුදුව තබන්න කියලා අපි සතොස කළමනාකරුවන්ට උපදෙස් දී තිබෙනවා.

ලංකාව පුරා සතොස අාහාර ද්‍රව්‍ය බෙදා-හරින්නේ කුමන ආකාරයටද?

අපේ ‍රටේ දිස්ත්‍රික් 22ක සතොස තොග මධ්‍යස්ථාන වෙත අපේ ආහාර බෙදාහැරීම් සිදු කෙරෙනවා. ඒවායින් සහල් බෙදාහැරීම ද සිදු වනවා. මේ මධ්‍යස්ථානවලින් සිල්ලර වෙළෙඳුන්ට තමන්ට අවශ්‍ය සහල් ලබාගන්න පුළුවන්.

ආනයනය කරන ලද භාණ්ඩ ගමට යෑමේදී මිල වැඩි වෙනවා. එයට හේතුව කුමක්ද?

ආනයනිත සහල් ගමට යෑමේදී ඒ සඳහා ප්‍රවාහන වියදම්, පැටවීමේ වියදම් වගේම ලාභාංශත් එකතු වෙනවා. මේ සියල්ල අවසානයේ එකතු වන්නේ සහල් තොගයටයි. මේ නිසා සහල් මිල වැඩි වෙනවා. කොළඹ මිලත් එක්ක සන්සන්දනය කිරීමේදී ඈත ප්‍රදේශවල මිල ගණන් වැඩියි. උදාහරණයක් විදහට ගත්තොත්: සුදු කැකුළු සහල් 65ට විකුණද්දී හැටන් ගාමිණීපුර විකුණන්නේ රුපියල් 90ට. ඒ වගේම හඟුරන්කෙත රුපියල් 100ට විකුණනවා. නාඩු හාල් කොළඹ රුපියල් 74ට විකුණන කොට තලාව 96ට විකුණනවා. සම්බා අපි රුපියල් 78ට විකුණ කොට රාගල රුපියල් 95යි; හැටන් ගාමිණීපුර රුපියල් 105යි. ඒ වගේ ඉහළ මිලකට තමයි සහල් විකුණන්නේ. ගමේ සිල්ලර වෙළෙන්දාට පුළුවන් ලංකා සතොසෙන් සහල් අරගෙන පාරිභෝගිකයන්ට විකුණන්න. මේ ආකාරයට සහල් පමණක් නෙවෙයි වෙනත් භාණ්ඩත් සතොසෙන් ලබාගන්නා සිල්ලර වෙළෙන්දන් ජාලයක් හදන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ මිලට තරගකාරීව සුපර් මාර්කට් පවා ඇතැම් භාණ්ඩවල මිල පහළ දමා තියෙනවා.

සහල් ආනයනයේදී දේශීය ගොවීන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද?

නැහැ. මේ අවස්ථාවේ සහල් ගෙන්වන්නේ වෙළෙඳපොළේ තත්ත්වය පිළිබඳ බලලා. වෙළෙඳපොළෙන් ලැබෙන දත්ත පදනම් කරගෙන ඇති වෙලා තියෙන හිඟයට පිළිතුරක් ලෙස තමයි සහල් ගෙන්වන්නේ. ඉදිරියේදී සහල් මෙට්‍රික්‍ ටොන් ලක්ෂ පහක් ගෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී වී වෙළෙඳපොළට එන විට සහල් ආනයනය කිරීම අපි නවත්වනවා. සහල් ආනයනය අනවශ්‍ය නම් අපි ආනයන බද්ද වැඩි කරනවා.

ඔබ ආයතනය ආරක්ෂණ තොග තබාගන්නේ නැද්ද?

මෙට්‍රික් ටොන් 10,000ක් පමණ ආරක්ෂණ තොගයක් ලෙස තබාගෙන තියෙනවා. මේ ආරක්ෂණ තොගය තබාගැනීම වැදගත් වෙනවා.

ආරක්ෂණ තොග නාස්ති වන අවස්ථා නැද්ද?

දැන් අපි ගබඩා කරන්නේ අමාත්‍යාංශය යටතේ සාදපු විද්‍යාත්මක ගබඩාවල. මේවායේ අවුරුදු දෙකක් වුවත් ගබඩා කර තියාගන්න පුළුවන්.‍

කළු-කඩ හිමියන්ගේ මිල වැඩි කිරීමට උත්තරයක් තිබෙනවාද?

සහල් සඳහා මේ වන විට පාලන මිලක් නෑ. එ්ත් අනවශ්‍ය පරිදි සහල්වල මිල වැඩි කිරීම් සිදු වුව හොත්, ඉදිරියේදී සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට රජයට සිදු වේවි.

රූපාන්ති බුලත්සිංහල
ඡායාරූපය - රුවන් ද සිල්වා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.