ඒ කාලේ මං සුදු හූරාගේ දූ එක්ක ‍සෙල්ලම් කළා | සිළුමිණ

ඒ කාලේ මං සුදු හූරාගේ දූ එක්ක ‍සෙල්ලම් කළා

* සුදු හූරා අපට බේත් ගෙනාවා
* ඔවුන්ගේ එකම පැතුම අලි වැටක්
* අපි තාමත් කැලේ ගිහින් මී පැණි බෝතලයක් දෙකක් එකතු කර ගන්නවා

දිගාමඬුලු ප්‍රදේශයේ බිම්තැන්න පත්තුවේ වැද්දෝ අද ද පොල්ලේබැද්ද ගම්මානයේ වාසය කරන්නාහ.

බිම්තැන්නේ වැද්දන් පිළිබඳ කතා වන විට නිතැතින්ම ඒ හා බැඳුණූ නමක් සිහියට නැගේ . ඒ වැද්දන්ගේ වගතුග පිළිබඳ පොත පත ලියු ‘ආර් . එල්. ස්පිට්ල්’ හෙවත් වැද්දන් අතර ‘ සුදු හුරා’ නමින් ප්‍රසිද්ධියට සිටි දොස්තර ස්පිට්ල් මහතාය. එකල ඔහුගේ කෘතිවලින් මවාගත් ආදීවාසීන් හෝ ඒ පරිසරය අද වන විට මෙහි දැකිය නොහැකිය.

මාස ගණනකින් වැසි නොලද පොල්ලේබැද්ද බිම වියළිය, කර්කශය . දැන් එබිම තණකොළ පවා පරඬලා වී හමාරය. අවට ගහකොළවල කොළ පැහැය වසාගෙන ඇත්තේ දුහුවිල්ල ය.වියළි කාලගුණය විසින් ගම්මානයම වසාගෙන තිබුණ ද ඇතැම් තැනෙක ගැමියෙක් ට්‍රැක්ටරයකින් කුඹුර මඩ කරන්නේය. එපිටින් පෙනෙන්නේ නිල්ල පිරුණු කුඹුරු යාය ය.

“වැස්ස නැත්නම් කොහෙන්ද වතුර ”

පොල්ලේබැද්දේ ආදීවාසීන් සොයා යන ගමනේදී මුලින්ම සිතට ආවේ එවැනි සිතුවිල්ලකි.

“ ඈතින් පේන්නේ හීතල වන්නිය, හීතල වන්නිය පාමුල තියෙන්නේ රඹකැන් ඔය ජලාශය මේ ගම්වල ඇත්තන්ට රඹකැන් ඔය ජලාශය කියන්නේ නිධානයක් ”

ගමනේ පෙර ගමන්කරු වූ මහව එම්.ඒ .සී .විජේසිරි මහතා පවසන්නේය.

මුලින්ම පොල්ලේබැද්ද ආදීවාසී නායක ගෝඹාගේ නිවෙසට යෑමට සිතූවද ඒ අදහස අතහැර දමා අපි රඹකැන් ඔය ජලාශය බැලීමට යාමට තීරණය කළෙමු.

රඹකැන් ඔය ජලාශය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ රටටම බත සැපයූ සද්ධාතිස්ස රජ්ජුරුවන් විසිනි. එකල විශාල ඇළ මාර්ගයක් සැකසීම සඳහා විශාල ගල් පුවරු ගෙනැවිත් තිබුණ ද කිසියම් හේතුවක් නිසා ඒ ගල් පුවරු වලින් ඇළ මාර්ගය නිමවීමට හැකියාව ලැබී නැත. ඒ ගල් පුවරු අද ද රඹකැන් ඔය ජලාශයට යන අතර මඟ කැලෑ රොදක තිබෙනු දැකිය හැකිය. මේ ගල් පුවරු කොහෙන් ගෙනාවේදැයි කියන්නට හෝ මේ සා ගල් පතුරු කවුරුන් විසින් කුමන ලෙසින් සකස් කළේ දැයි කියන්නට කිසිවෙක් නොදනී. අද ඒ ගල් පුවරු ඇත්තේ පුරාවිද්‍යා සංරක්ෂණය යටතේය. කෙසේ වුවත් පසුකාලිනව රජය මඟින් රඹකැන් ඔය ජලාශයෝජනා ක්‍රමය හේතුවෙන් අද ඒ අවට ගම්මාන රැසක් සරුසාර වී ඇත්තේය. යල මහ කන්න දෙක වගා කෙරෙන්නේ රඹකැන් ඔයේ ජලයෙනි.ජලය බරපතළ ප්‍රශ්නයක් නොවූව ද ගම්වාසීන්ට අද වනවිට නිදැල්ලේ යන ගවයන් හා වන අලි වගාවට මෙන්ම ජීවිතවලට ද තර්ජනයක් වී ඇත්තේය.

තම කෙසෙල් කොටුව වල් අලි විසින් වනසා දැමීම නිසා තැවෙන ගැමි ගැහැනියක අපට අතරමඟදී මුණගැසිණ‍.

“දැන් දවස් දෙක තුනකට උඩදී අලි කෙහෙල් කොටුව විනාශ කරලා තිබුණා. අපි මේ පාර වී වගා කළා.ඒත් ඉතිං පරිස්සම් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් මෙහෙ හරි දරුණු අලි ඉන්නවා. හැම තැනින්ම අල්ල ගන්න අලි මෙහෙට ගෙනැත් දානවා. ඒ වගේම කිරි අරගෙන අතහැරපු එළහරක් රෑන් පිටින් ඉන්නවා. උන් වගා හානිකරනවා. කාට කියලා මේ අවනඩු කියන්න ද? ”

බේබි නෝනා පවසන්නේ අලි වනසා දැමූ කෙහෙල් කොටුව දෙස බලමිනි.

ඇය අපට හමුවූයේ රඹකැන් ඔය ජලාශයේ සිට යළී පොල්ලේබැද්ද දෙසට එන ගමනේදීය. දැන් අප යමින් සිටින්නේ බිම්තැන්නෙ වැද්දන් බැලීමටය. පොල්ලේබැද්ද ප්‍රදේශයේ වාසය කරන මේ වැදි ජනතාව ගේ නායකයා වන්නේ ගෝඹලා ඇත්තන්ය.

ඇළ ඉවුර දිගේ පැමිණි අප බකිණි ගසින් සෙවණ වූ ගෝඹා නායක ඇත්තන්ගේ නිවෙස පිහිටි බිමට පැමිණියෙමු. නිවසෙහි පිල මත එලන ලද පැදුරක ගෝඹා නායක ඇත්තන් වැතිර සිටියේ බොහෝ අසරණ විලාශයෙනි.පොල්ලේබැද්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා හා විජේසිරි මහතා එක්ව ඔහු පිල මත වාඩිකරවූයේ බොහෝ වෑයමෙනි.

ඉස්සර වගේ නෙවෙයි දැන් මගේ ඇස් පේන්නේ නැහැ. වයස අවුරුදු අසූ එකයි. හැඳුනුම් පතේ සඳහන් වෙන්නේ මම 1936 උපන්නා කියලා. සමහර විට මගෙ වයසටත් වැඩි ඇති. අපි ඉස්සරෝම හිටියේ බිංගොඩ‍. ස්පිටල් හූරා තමයි උඹලා ගොවිතැන් කරගෙන හිටපල්ලා කියලා මෙහෙට ගෙනාවේ. ඒ එනකොට පවුල් පහක් විතර මෙහෙට ආවා. ඒ කාලේ මේ පළාතේ ඝන වනන්තරේ. සතෙක් එළාගෙන, අලයක් හාරගෙන අපි ජීවත් වුණා. මට ඒ කාලේ වයස අවුරුදු පහක් හයක විතර ඇති. සුදු හූරාට දුවෙක් හිටියා. මම ඒ ඇත්තිට කිව්වේ සුදු නෑනි කියලා. අපි එකට සෙල්ලම් කරනවා. ස්පිට්ල් මහත්තයගෙ දුව ලංකාවට ආවම මා බලන්න එනවා. දැන් කවුරුවත් මා බලන්න එන්නේ නැහැ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මම මුලින්ම සහේට ගත්තේ බණ්ඩාර මැණිකාව. උන්දෑ අකාලේ මැරුණා. ඉන් පස්සේ ඩී.ඇම්. ඩිංගිරි මැණිකා සහේට ගත්තා. ඒ ඇත්ති සිංහල කාන්තාවක්. මම දැන් ඉන්නේ දුවගෙ ගෙදර. එයාටත් බොහෝම අමාරුකම් තියෙනවා. ” ‍

ගෝඹා ඇත්තන් අතීත තොරතුරු පවසා මදක් නිහඬව සිටියේය. ඔහුගේ දෑස් අගින් කඳුළක් ගලන්නේය.

“මට නායකත්වය තියෙන්නේ නමට විතරයි. දැන් තව අය නායකකමට දඟලනවා.”මොහොතකට පසු ඔහු පැවසීය.

“1941 තමයි අපි මෙහෙට ආවේ. ඒ කාලේ ලාදුරු කියලා ලෙඩක් හැදුණා. ස්පිට්ල් සුදු හූරා බෙහෙත් අරගෙන ආවා. මගෙ අම්මා බගිනි. තාත්තා හීන් තුතා. කිරි අම්මා හැන්දි. බාප්පා හඳුනා. මං තරුණ කාලෙ කැලේ ගිහිල්ලා සත්තු මරනවා. ගෝණා මරලා ඌ කරවල් දෙකේ දාගෙන එන්නේ. මේන් මේ උරහිසේ ගැටයක් වගේ ඇවිල්ලා තියෙන්නේ ඒ හන්දා. (ඔහු උරහිසේ ඇති ගෙඩියක් පෙන්වමින් පවසයි) දැන් ඉතිං ඔය මුකුත් බැහැ. අපේ ඇත්තන්ට වගා කරන්න කියලා දුන්නේ ගමේ උන්නු මහ ගමරාල . දැන් බොහෝමයක් ඇත්තෝ වගා කරනවා.” ගෝඹා ඇත්තන් එසේ පවසමින් යළිත් පිළේ දිගා වූයේය.

“බුලත් පුවක් ගෙනාවේ නැද්ද?”ඔහු අපෙන් විමසයි.

ගෝඹා‍ගේ දියණිය බෑනා මෙන්ම දරු මුනුබුරෝද ඔහුගේ හඬට කන්දී සිටින්නාහ. පුංචි පැටවු ඔවුන්ගේ ලෝකවලය. ඒ දරුවෝ පොල්ලේබැද්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන්නාහ.

ඉස්සර පොල්ලේබැද්දේ සිටියේ ආදීවාසීන් පමණය. නමුත් දැන් තනිකරම ආදීවාසීන් කියා කොටසක් නැත. ඇතැම් අය සිංහල පවුල් වලින් ආවාහ විවාහ කරගෙනය. සමහරු ඒ ඒ පෙළපත් නාම භාවිතා නොකරති. කැලේ නොයන සතුන් නොමරන බිම්තැන්නේ ආදීවාසීහූ දැන් ගොවිතැන් බත් කරති.

අතීතයේ පොල්ලේබැද්ද ආදීවාසී නායකයා වුයේ පොරමල්සකාය. (කලකට පෙර ‍කුරුදුවින්න පාසලේ ගුරුවරයකු ලෙස සේවය කළ ලේඛක සඳරුවන් ලොකුහේවා පොල්ලේබැද්ද පිළිබඳ ලියූ ලිපියක එසේ සඳහන් කර ඇත.) පොරමල්සකා ආදීවාසී නායකයාට දරුවන් එකොළොස් දෙනෙකු සිටි අතර ඔහු 1980 වසරේදී මියගොස් ඇත‍. වර්තමානයේ නායකත්වය දරණ ගෝඹා පොරමල් සකා‍ගේ ඥාතියෙකු ද වන්නේය.

දිගාමඩුල්ලේ කාෂ්ටක බිමෙහි දිවි ගෙවූ මේ වැද්දෝ විටින් විට විවිධ රෝගවලට ගොදුරු වුහ. වැද්දන්ට ආදරය කරුණාව දැක් වූ වෛද්‍ය රිචඩ් ලයනල් ස්පිට්ල් හෙවත් ආර්.එල්.ස්පිට්ල් විටින් විට වැද්දන් ගැන සොයා බැලීමට බිම්තැන්න ප්‍රදේශවල ඇවිද ගියේය. ඔහු ඒ යන වි‍ට ලාදුරු, මැලේරියාව ආදී වූ වසංගත රෝගවලට මෙන්ම වෙනත් රෝගවලට ගොදුරුවූවන්ට, ගැමියන්ට බෙහෙත් වර්ගද රැගෙන ගොස් ඇත්තේය. ඇතැම් දිනෙකදි වලස්සුන්ගේ පහර කෑමෙන් විරූපී ව ගිය වැද්දන්ට ශල්‍ය කර්ම ද කර ඇත්තේය. ඒ ඔහු දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු බැවිනි. නුවරගල , හීතල වන්නිය, මුල්ලේගම, බිංගොඩ, ගල්ලෙනවල සිටි වැද්දන් හමුවී ආගිය කතන්දර ඇසූ ස්පිට්ල් දොස්තර මහතා පිළිබඳ ගෝඹා ඇත්තන් අද ද සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

“ අපි ආදීවාසීන් කියලා ආඩම්බර වෙනවා. දැන් හුඟක් අය ගම්මානේ නැහැ. පිට පළාත්වල රස්සාව කරන්න ගිහිල්ලා. දැන් ගම්තුලානේ හැමෝම ගොවිතැන තමයි කරන්නේ.”අතරමඟ හමු වූ වැදි තරුණයකු අප මඟ හැර යන්නට වුයේ එසේ කියමිනි. තවත් ආදීවාසී තරුණයකු අප හා කතා බහට එක් වූයේය. ඔහු දානිගම මහ බණ්ඩිලා‍ගේ විජේසුන්දරය.

“මෙතැනින් එහාට තියෙන්නේ ගල්වලයාය ගම. එය මහවැලි ගම්මානයක්. පවුල් එකසිය පනහක් පමණ ජීවත් වෙනවා. මම ඉස්කෝලේ එකොළහේ පන්තියට විතරයි ගියේ. වයස අවුරුදු 32යි.අපට කුඹුරු ඉඩම් නැහැ. මම මහවැලි පැළ තවානේ වැඩකරනවා.”විජේසුන්දර පවසන්නට වුයේ ගොවිපළේ කුඹුක් පැළවලට වතුර දමන අතරේය.

සැන්දෑ අඳුර ගම වසාගෙන එන විට අපි එන්නට පිටත් විමු. ඒ සන්ධ්‍යාවේ පාසල පාළුවට ගොසිනි. නමුදු පාසලේ අධ්‍යාපන කටයුතු සාර්ථකය.

රඹකැන් ඔය ජලාශයෙන් ගම පහළට ගලා එන ඇළකින් නා පිරිසුදු වී රෙදි සෝදාගෙන එමින් සිටි ඩී. ඇම් ඩිංගිරි බණ්ඩා අප හා කතා කළේ කනගාටුවෙනි.

“මම කාලයක් ගංගා නිම්න සංවර්ධනයේ වැඩකළා. අවුරුදු පහළොවක් හිටියා. ඒත් මට කිසිම දීමනාවක් ලැබුණේ නැහැ. දැන් මම ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. යල කන්නයේ මම කෙසෙල් හිටෙව්වා. ඒත් අලි ගම්වැදිලා බණ්ඩි කෙසෙල් පැළ ඔක්කෝම පොඩි කරලා. කිසිම ලාබයක් ගන්න බැහැ. වන ජීවි එකෙන් අලි වෙඩි දෙනවා. දැන් අලි ඒවාට බය නැහැ. අපේ ගමට ලොකු සහනයක් අලි වැටක් ලබා දෙනවා නම්.”

ඩිංගිරි බණ්ඩාගේ පමණක් නොව පොල්ලේබැද්ද, ගල්වල යාය හා ඒ අවට ගම්මානවල කොයි කවුරුත් දැන් වන අලියාගෙන් පීඩා විදින්නාහ. ඔවුන්ගේ එකම පැතුම අලියාගෙන් බේරිමට ගම වට කර අලි වැටක් ලැබීමය.

“මේක බොහෝම සරු සාර බිමක්. මොනවා වැව්වත් වැවෙනවා. ඉස්සර බිං කොහොඹ වගේ ඖෂධ වර්ග වගේම මී පැණි, කුරක්කන්, එකතු කරගෙන අපි බිබිලට අම්පාරට යනවා. ඒවා විකුණලා මිරිස් තුනපහ අරගෙන එනවා.” අප සමඟ පැමිණි බණ්ඩියා පවසයි.

“දැන් වැද්දෝ මොඩ් වෙලාද ”

ඡායාරූප ශිල්පී තුෂාර අසන්නට වුයේ සැවොම හිනස්සවමිනි.

“දැන් වෙනසක් නැහැ. ආදීවාසීන් සිංහල පවුල් වලින් විවාහ කරගෙන.සමහරු හොඳට ඉගෙන ගෙන‍. ඒ අය ගමෙන් පිට රස්සාවලට ගිහිල්ලා. සමහරු ගොවිතැන් කරනවා. එහෙමත් ළමයෙක් තමයි ඉස්කොලේ එන්න කම්මැලි කරන්නේ. තවමත් මේ ගම්මාන අයිති දුෂ්කර ගම්මාන කියන ලේබලයට. ගමට පාර හැදුනා නම් හුඟක් ප්‍රශ්න විසදෙනවා”එසේ පවසන්නේ පොල්ලේබැද්ද පාසලේ විදුහල්පති එච්. එම්. සුමනරත්න මහතා ය.

නගරය විසින් ආක්‍රමණය නොකළ ගම සුන්දරය. ගමේ ඇවිද ගිය ද සාම්ප්‍රදායික ආදීවාසීකයකු නොදැකීමේ අඩුවෙන් අපි තැවෙන්නට වීමූ. හන්දියේ තේ කඩය දක්වා අපි ආවෙමු.

“එනවා ...අන්න එනවා...”

අපි සැවොම ආ මඟ දෙස බලන්නට විමූ.

රැවුල වවාගෙන උඩුකය නිරුවත්ව සරම හැඳ කෙටේරියක් කර ලා ගත් ආදීවාසීයෙකු දැකීමෙන් අපි සතුටට පත්වීමූ. ‍

ඒ ටිකිරි වන්නිලෑ ඇත්තන්ය.

“මම ඉන්නේ ගල්විලයායේ. ගුණබණ්ඩලෑ ඇත්තෝ එක්ක සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉන්නේ. නායක ඇත්තෝ ගෝඹා මගෙ මාමා. ඉඳලා හිටලා මම නායක ඇත්තෝ බලන්න යනවා. මං මේ දුවගෙ ගෙදර යන ගමන්. ඉස්සර වගේම නුණට අපි තවම කැලේ යනවා. මං පුංචි කාලේ මේක ඝන කැලෑව. දැන් මී පැණි බෝතලයක් රුපිල් දාහක් වෙනවා. මී පැණි ටිකක් විකුණගෙන ගොවිතැනක් කරගෙන අපි ජීවත් වෙනවා. ”

ටිකිරි වන්නිලෑ ඇත්තේ අප හා පවසා ගමට ගුරුපාරක් දිගේ යන්නට ගියේය.

හැන්දෑ අඳුර හීතල වන්නිය නුවරගල පසුකරගෙන පොල්ලේබැද්ද නුවරගල ගම්මානයට එබෙන විට අපි ආපසු එන්නට පිටත් විමු.


සේයාරූ - තුෂාර ප්‍රනාන්දු 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.