දරුවා මා අතට විසි කළේ නැත්නම් ඒ දරුවාත් ඉවරයි | සිළුමිණ

දරුවා මා අතට විසි කළේ නැත්නම් ඒ දරුවාත් ඉවරයි

රටක් හැඬවූ තෙල්ගමුව ඔයේ ඛේදවාචකය

* උපන්තේකට මේ ඇල්ලේ මෙහෙම ඛේදවාචකයක් වෙලා නෑ
* උඩහට වැස්සාම ඔයේ වතුර වැඩි වෙන වෙලාව කියන්න බැහැ

එක දිගට නිවාඩු දවස් දෙක තුන යෙදෙන විට විනෝදයට විවේකයට කැමැති කාගෙත් බලා පොරොත්තුව කලබලකාරී පරිසරයෙන් මිදී සිතට සැනසිල්ලක් විනෝදයක් දැනෙන ගමනක් යෑමටය. ගමෙන් බැහැර සුන්දර පරිසරයක ඇවිදින්නට යෑමට, එහෙමත් නැත්නම් දිය ඇලි බැලීමට, සතුන් බැලීමට මෙන්ම කඳු නැගීමට යෑම ඇතැමුන්ගේ පුරුද්දකි. මේ කැමැත්ත නිසාම ගිය එවැනි ගමන්වලදී වූ අතපසුවීම් හා දුර දිග නොබැලීම් නිසා සිදු වූ ඛේදවාචක ඕනෑතරම්ය. ගෙවී ගිය හතර වැනිදා ද එවැනිම සිදුවීමක් මාතලේ ප්‍රදේශයේ දී සිදු වූයේ රටක්ම හඬවමිනි.

දිනය හතර වැනිදාය. නාත්තණ්ඩියේ පදිංචි රත්නායක පවුල සහ රවින්ද්‍ර ලසන්ත පවුලේ සාමාජිකයෝ විවේකී දවසේ මාතලේ තෙල්ගමුව ඔය ආසන්න ප්‍රදේශයට යන්නට තිරණය කළේ විනෝදයෙන් දවසක් ගත කිරීමටය. ඔවුන් ඒ ප්‍රදේශයට යෑමට ආසන්නම හේතුව වුයේ ව්‍යාපාරිකයකු වු කිංස්ලි රත්නායක තෙල්ගමුව ඔය ආසන්නයේ හෝටලයක් ඉදිකරමින් සිටින බැවිනි. කෙසේ හෝ පවුල් දෙකේම වැඩිහිටියන් සහ දරුවන් මේ ගමනට සහභාගි වුයේ බොහෝ අාශාවෙනි.

ඔවුහූ නාත්තන්ඩියේ සිට ඉකුත් සිකුරාදා මාතලේ තෙල්ගමු ඔය ආශ්‍රිතව ඉදි කරමින් පවතින කිංස්ලි රත්නායකට අයත් හෝටලයට පැමිණියෝ ය. පිරිස එදා රාත්‍රිය එහි ගත කළහ. කිංස්ලි ඇතුළු පිරිස පැමිණි ගමන ගැන හෝටලයේ සිටින සමරවික්‍රම පවසන්නේ හැඬු කඳුළෙනි.

“මහත්තයා පිරිසත් එක්ක එදා මෙහෙ ආවා. මම තමයි කෑම උයලා පිහලා දුන්නේ. පොඩි බබාලා ටික සෙල්ලම් කරකර හිටියා. එදා රෑ හැමෝම බොහෝම විනෝදයෙන් හිටියේ. කොහොම හරි පහුවදා උදේ පොඩි අය තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. හැමෝම එකතු වෙලා තෙල්ගමු ඔයේ නාන්න ගියා. සිද්ධිය වෙලා ගම්මුන් කෑගහන්න ගත්තම තමයි මමත් ගිහින් බැලුවේ. දෙයියනේ ඒ වෙලාවේ තමයි දැන ගත්තේ අපේ මහත්තයා ඇතුළු පිරිස මේ විපතට පත්වෙලා ඉන්නේ කියලා...කවුද හිතුවේ සතුටින් හිටිය මේ අයට මෙහෙම විපතක් වේවි කියලා.”

හෝටලයේ සේවක සමරවික්‍රම පවසනනේ ඔවුන්ට නාන්නට අවශ්‍ය නම් හෝටලය ආසන්නයේම ඊට අවශ්‍ය පහසුකම් තිබූ බවය. නමුදු රුදුරු මරුවා එන්නේ කලින් දැනුම් දී හෝ අනතුරු අඟවා නොවේ. ගම්මුන් පවසන්නේ තෙල්ගමු ඔයේ මින් පෙර මෙවැනි ඛේදවාචකයක් ‍සිදු නොවූ බවය. විටෙක තෙල්ගමු ඔයේ ජල මට්ටම කෙනෙකුගේ දණ හිස පොව්වන තරමටවත් නැති තරම්ය. එසේ නිසසලව ගලා යන තෙල්ගමු ඔය විටෙකදි දරුණු වූයේ ගමක් හඬවමිනි.

ලග්ගල නිශ්ශංක කෝනාර මහතා තමා උපන් දා සිට දන්නා මේ ඔය ගැන පවසන්නේ මෙවැනි කතාවකි.

“මියගිය කිංස්ලි රත්නායක මහත්මයා මම හොඳින් දන්නවා. ඔහු හෝටලය හදන්නේ මගෙන් මිලට ගත් ඉඩමක. ඒ අවට පරිසරය බොහෝම ලස්සනයි. වැද්දා පැනි ඇල්ලට උඩින් තමයි මේ සිද්ධිය වුණේ. අපි උපන්තේකට මෙහෙම ඛේදවාචකයක් සිදුවුණා කියලා මේ පළාතේ අහලා නැහැ. උඩහට වැස්සාම ඔයේ වතුර එකපාරටම වැඩි වෙනවා. මේ පළාත බොහෝම ‍ඓතිහාසික පළාතක්. මේ ඔයේ තැන් තැන්වල ගල් ළිං කිහිපයක් තියෙනවා. එක් ස්ථානයක් තියෙනවා අසරණ සරණ සංඝරාජ ස්වාමීන් වහන්සේ ස්නානය කරපු තැන. මේ ඔයේ ටිකක් එහාට වෙන්න තියෙනවා විශාල කළු ගල්. මට මතකයි අපි පුංචි කාලේ ඔයේ මේ පැත්තේ ඉඳලා ඔයේ අනික් පැත්තේ තියෙන කුඹුරු වැඩකරන්න ගැමියන් ගවයන් ඔය හරහා දක්කනවා. වේවැල්වලින් කඹ වගේ හදලා අර ගල්වල පටලවලා තමයි මී ගවයන් ‍ඔයේ එහා මෙහා ගෙනියන්නේ. අපි පුංචි කාලෙවත් අහලා නැහැ මේ විදිහට පවුල් පිටින් මේ ස්ථානයේ මැරුණා කියලා. මොකද ගැමියො මේ ඔය ගැන දැනුවත්. වතුර බොහෝම අඩු වෙලාවක තමයි මේ පිරිස ඔයට බැහැලා එහා ඉවුරේ ‍රෙදි තියන්න ගිහිල්ලා තියෙන්නෙ. මීට ටිකක් එහායින් පාලමක් හදනවා . එදා සෙනසුරාදා නිසා පාලම හදන අය ඉඳලත් නැහැ. උඩහට වැස්සාම ඔයේ වතුර වැඩි වෙන වෙලාව අපට කියන්න බැහැ. එකත් එකටම එදා උදේ කබරගල, නෙල්ලිමලේ, වල්පොලමුල්ල හා රිවස්ටන් පැතිවලටවලට වහින්න ඇති. ඒකයි එක පාරටම ඔයේ වතුර වැඩි වුණේ.” කෝනාර පවසන්නේ ගමේ ස්වාභාවික පරිසරය හා තෙල්ගමු ඔයේ ක්ෂණිකව සිදුවන වෙනස්කම් ගැනය.

නමුදු මෙවැනි සුන්දර පරිසවල සිරි නැරඹීට බාහිරින් එන පුද්ගලයෝ කිසිවිටෙක මේ තොරතුරු නොදනිති. නොසොයති. නාත්තණ්ඩියේ සුමිතුරන් හා ඔවුන්ගේ පවුල්වල අය ගේ ජීවිත තෙල්ගමු ඔය බිලිගත්තේ එබැවිනි.

එදින සිදු වූයේ කුමක්ද යන්න හරියටම දන්නේ ගමන ගියවුන්ය. ඒ ග‍මට සහභාගි වූවන්ගෙන් අද ජීවතුන් අතර සිටින්නේ කිහිප දෙනෙකු පමණි. සිය සැමියා දියණියන් දෙදෙනා මෙන්ම තම මව අහිමි වීමෙන් පටාචරාවක වූ දුලීකා මාරසිංහ සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ පවසන්නේ බොහෝ වැර වෑයමෙනි.

“එක දිගට ආව නිවාඩුව නිසා අපි ඔක්කොම ලග්ගල ගියේ අපි හදන හෝටලය ගැන බලන්නත් එක්කයි. අපි ඔයට බහිනකොට ඔයේ ඒතරම් වතුර තිබුණේ නැහැ. ඒ නිසා බයක් සැකක් නැතිව පොඩි අයත් එක්කම අපි වතුරට බැස්සා. වතුරට බැහැලා ලොකු වෙලාවක් ගත වුණේ නැහැ එක පාරටම ලොකු ජල කඳක් ආවා. වුණේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරිව ගියා. වතුර පාර එනකොට මම සෙරෙප්පු දෙක ගන්න ගියා. අනිත් අය ඔක්කෝම මගේ ඇස් දෙකට පෙනී පෙනී වතුරේ ගහගෙන ගියා. අනිත් අය ඔක්කෝම ගහගෙන යන කොට මගේ මහත්තයා වැලක එල්ලුණා. කවුරු හරි මහත්තයා දිහාට කම්බියක් දික් කළා. නමුත් ඒක කොටයි. ඒක අල්ලා ගන්න මහත්තයා හුඟක් උත්සාහ කළා. එත් බැරි වුණා. අම්මා දරුවෝ හැමෝම ගහගෙන ගියා. තාත්තා විතරයි බේරුණේ. මොන පවක් කළාට ද දෙවියනේ මට මෙහෙම දුකක් උරුම වුණේ.”

නාත්තණ්ඩියේ සිට ලග්ගලට කිංස්ලි හා ඇතුළු පිරිස ගිය වාහනයේ රියැදුරා ගාමිණි සිල්වාය. ඔහු මේ ඛේදවාචකය සියැසින් දුටුවේය. ඔය ළඟට පිරිස සමඟ ගියද ඔහු දියට නොබැස්සේය.

“මට හිතාගන්න බැහැ මේ මොකක්ද වුණේ කියලා. අපි ඔය ගාවට එනකොට ඒ තරම් වතුරක් තිබුණේ නැහැ. මහත්තයා සෙරෙප්පු දෙක හෝටලේ දාලා ඇවිල්ලා. ඒ ගමන හෝටලයට ‍කිව්වා මහත්තයාගේ සෙරෙප්පු දෙක ත්‍රීවිල් එකක එවන්න කියලා. ත්‍රීවිල් එක එනතුරු මම ගොඩට වෙලා හිටියේ. ත්‍රීවිල් එක ආවාම මම සෙරෙප්පු දෙක අරගෙන හැරෙනවත් එක්කම තමයි දැක්කේ ලොකු ජල කඳක් ඇවිල්ලා ඔයේ වතුර වැඩි වෙනවා. හිතා ගන්න බැරි වුණා මොකක් කරන්නද කියලා. ඔය අතරෙ තමයි මහත්තයා පුංචි දරුවා මං දිහාට වීසී කළේ. මං දරුවා අල්ලා ගත්තා. ඒකෙන් දරුවා බේරුණා. කොහොම මේ සිද්ධිය අමතක කරන්න ද කියලා හිතා ගන්න බැහැ. ”

රවීන්ද්‍රගේ පවුලේ ඉතිරිව සිටින එකම සාමාජිකයා වන්නේ මෙත්සර පුංචි පුතු පමණි. අප එහි යන විට ඔහු සිටියේ ඥාති සොයුරෙකු විසින් කරපින්නා ගෙනය. අසරණව බලා සිටින ඒ පුංචි පුතුට මේ සිදු වූයේ කුමක්දැයි යන්න ගැන වැටහීමක් නොමැත. ඒ පුතු පසුවන්නේ මේ සිදු වූ සියල්ල හරිහැටි තේරෙන වයසක නොවේ. “දරුවෝ හැමෝම අපිව දාලා ගියා. ඉතිරි වුණේ මේ පුංචි පුතා විතරයි. පුතාගේ යාළුවගෙ පවුලේ නෝනයි තාත්තායි හැර අනෙක් අය ඔක්කොම ඉවරයි.” පුංචි පුතුගේ සීයා පවසයි.

සිද්ධියෙන් මිය ගිය එක් පවුලක ව්‍යාපාරික කිංස්ලි රත්නායක තිස් නව වැනි වියේ පසු වූයේය. ඔහු ගේ දියණියන් වූ එකොළොස් හැවිරිදි වන්දිනා රත්නායක නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. වයස අවුරුදු හතරක් වූ හිරුණි දිල්හාරා සිඟිත්තිය පෙර පාසල් යමින් සිටියාය. ඔවුන්ගේ මිත්තණිය වූ චන්ද්‍රා කාන්ති පනස් නව වැනි වියේ පසු වූවාය.

අනෙක් පවුලේ මිය ගිය ව්‍යාපාරික රවින්ද්‍ර ලසන්ත තිස්නව වැනි වියේ පසු වූයේය. ඔහුගේ බිරිය වන රුවිනි දිල්රුක්ෂි තිස් අට වැනි වියෙහි පසු වූවාය . ඔවුන්ගේ දියණියන් වන දොළොස් හැවිරිදි රිශාදි වගීෂා නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. ඇගේ සොයුරිය වූ අට හැවිරිදි දිමාෂි විදූෂා ද ඉගෙනුම ලැබුයේ එම විද්‍යාලයේම තුන්වැනි ශ්‍රේණියේය. මේ සියල්ලන්ගේම සුසුම් තෙල්ගමු ඔයේ සැඟව ගියේය. මේ මරණවල වේදනාව දැනෙන්නේ මිය ගියවුන්ට නොව ජීවත්ව සිටින්වුන්ටය. මුළු රටක්ම ඒ මරණ නිසා දුක් වූයේය. තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය සිරුරු සොයා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලීසියේ ජිවිතාරක්ෂක භට කණ්ඩායම මෙන්ම ප්‍රදේශවාසීහූ අපමණ වෙහෙස වුහ. තෙල්ගමු ඔයේ ඛේදවාචකය කන වැකීමෙන් කඳුළක් නොසැලූ සුසුමක් නොහෙළු කෙනකු නොමැති තරම්ය. දැන් සියල්ල සිදු වී හමාරය. මේ ලිපිය පළවන විට සියලු කටයුතු සිදුකර හමාරය. තවත් දින සති මාස කීපයක් යන විට මේ ඛේදවාචකය කාටත් අමතකව යනු ඇත. එය ස්වභාවයයි. මීට පෙරද ගංගා දිය ඇලි ආශ්‍රිතව මෙවැනි ශෝකාන්ත අනන්තවත් සිදුවී ඇත්තේය. නමුදු එකම පවුලේ මෙතරම් පිරිසක් මිය ගිය පළමු අවස්ථාව මෙය වනු ඇත . අවාසනාව නම් අපේ සමාජය මෙවැනි සිදුවීම් පාඩමකට නොගැනීමය. ලැබෙන විවේකය විනෝදයෙන් ගතකිරීම හොඳය. නමුදු නාන්නාඳුනන ප්‍රදේශවල දියඇලි ගංගා ඇළ දොළ ආශ්‍රිත ජලාශ්‍රිත පරිසරවලදි ආරක්ෂාව ගැන සැලකිලිත් වන්නේ නම් මෙවැනි ඛේදවාචක මින් ඉදිරියේදීවත් වැළකෙනු ඇත.

ඡායාරූප හා පසුබිම් තොරතුරු
විමලසේන නම්මුනි‍
නාත්තන්ඩිය සමූහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.