මේ පින්බිම යළි ගොඩනැංවීමට ඔබේ ආධාරය දෙන්න | සිළුමිණ

මේ පින්බිම යළි ගොඩනැංවීමට ඔබේ ආධාරය දෙන්න

මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම සඳහා පළමු අඩිතාලම වැටුණේ දෙවන පෑතිස්ස රජුට ඉතාම සමීපව සිටි අරිට්ඨ කුමාරයා පැවිදි බිමට ඇතුළත්වීමත් සමඟය. අරිට්ඨ කුමරු යනු රිටිගල පර්වතයෙහි පිහිටි මාලිගයක ජීවත් වූ දෙවන පෑතිස් රජුගේ පාලනයට සහාය දැක්වූ රජපෙළපතකින් පැවත එන කුමාරයෙකි. ලංකාවේ පළමු පැවිදි උතුමන් වූයේ අරිට්ඨ නාහිමියෝය. රිටිගල භික්ෂු පරපුරේ ආරම්භය සිදුවූයේ එලෙසිනි.

රිටිගල පරපුරේ භික්ෂූන් වහන‍්සේ, එම ප්‍රදේශයේ ජනාවාසව පැවති ගම්මානවල සිටි ප්‍රභූ පාලකයින් විසින් ඉදිකර පූජා කරන ලද වෙහෙර විහාරස්ථානව වැඩ වසමින් ප්‍රදේශ‍යේ ජනතාවට බුදු දහමින් පෝෂණය වූ සංස්කෘතිය පෙන්වා දෙන්නට වූහ; ඔවුනට බණ දහම් කියා දෙන්නට වූහ.

එම පුරාණ ආරණ්‍ය සේනාසනය පුරාණ විහාරස්ථාන පසුකාලීනව විනාශ මුඛයට පත්විය. නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්විය. එසේ වුවද රිටිගල ආසන්න ප්‍රදේශයන්හි පවතින ඉපැරණි විහාරස්ථාන ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ සහ බෞද්ධ ජනතාවගේ උපකාරය මත පුනර්ජීවය ලබමින් පවතී. කොළොන්ගස්යාය ගල්කැටියාව අශෝකාරාම පුරාණ විහාරස්ථානය එලෙස නැවත පිබිදෙන පුරාණ විහාරස්ථානයකි. අතීතයේදී මෙම විහාරස්ථනය බෞද්ධ ජනයාගෙන් පිරි පින්බිමක් විය. එම පුණ්‍යවන්ත බව මෙම පුදබිම වෙත නැවත ළඟා වෙමින් පවතී. අමුණු කොලේ, කොළොන්ගස්යාය, ගල්කැටියාව යන ගම් තුනෙහි බෞද්ධ ජනතාව මීට කලකට පෙර මෙම පුදබිමෙහි බෝධි අංකුරයක් රෝපණය කරවීය. බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර මල් අසුනක් ද සකස් කර ගත්හ. පෝය දිනයට පමණක් මානන්කට්ටිය ශ්‍රී සුදර්ශනාරාම රාජ මහා විහාරස්ථානයෙන් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා සිව්පසෙන් උපස්ථාන කරමින් ධර්ම දේශනයන්ට සවන් දුන්හ.

මෙම ගම් තුනෙහි ජනයාට මීළඟට අවශ්‍ය වූයේ මෙම විහාරස්ථානය තෙරුවන් වැඩ හිඳින විහාරස්ථානයක් බවට පත්කර ගැනීමටය. ඒ සඳහා මෙම විහාරස්ථානයට ස්ථිර වශයෙන් ම වැඩහිඳින අයුරින් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා ගැනීම අවශ්‍ය විය. ගම්වාසීන් ඒ බව දන්වා සිටියේ මානන්කට්ටිය ශ්‍රි සුදර්ශනාරාමයේ විහාරාධිපති යකල්ලේ ධීරානන්ද නායක ස්වාමීන්වහන්සේටය. උන්වහන්සේ තම ශිෂ්‍ය හිමිනමක වන කෝන්වැවේ චන්ද්‍රනන්ද හිමියන්ට එම වගකීම පැවරූහ. වන අලින් අරක්ගෙන සිටින මෙම පුදබිම වෙත වැඩීමට චන්ද්‍රනන්ද හිමියන් තීරණය කළේ දුප්පත් ගම්වාසීන්ගේ සැදැහැති බවත් තම ගුරුදේවයනාණන් වහන්සේගේ ඉල්ලීමත් නිසාය. වසර කීපයක් ම චන්ද්‍රනන්ද හිමියන්ට රාත්‍රී කාලයේදී ධර්මය දේශනා කරන්නට සිදු වූයේ ලන්තෑරුම් එළියේ උපකාරය ඇතිවය.

චන්ද්‍රනන්ද හිමියෝ ප්‍රදේශවාසීන් එක්රැස් කර ගෙන දායක සභාවක් පිහිටුවා ගත්හ. විහාරස්ථානය සහ ප්‍රදේශය දියුණු කිරීමේ වැඩපිළිවෙළ චන්ද්‍රනන්ද හිමියන් විසින් ආරම්භ කළේ එලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ගමේ විදුලිය මංමාවත් දියුණු විය. දහම් පාසලක් පටන්ගෙන ප්‍රදේශයේ දරුවන්ගේ නැණැස පෑදුවේය.

එසේ ම ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර ඇතිව කුඩා ධර්ම ශාලාවක් ද ඉදිකළේය. ගම්වාසීන් විසින් විහාරස්ථාන භූමිය තුළ ‍ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මෑතදී කළ කැණීමකදී ඉපැරණි විහාරස්ථානයේ නටබුන් හමුවී ඇත. එමඟින් පැහැදිලි වන්නේ අතීතයේදී අශෝකාරාමය ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් විරාජමානව වැජඹී ඇති බවය.

එම තත්ත්වය නැවත මෙම විහාරස්ථානය වෙත ළඟා කර ගැනීම සඳහා චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීමේ කටයුතු චන්ද්‍රරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇත. ගැටලුවකට පවතින්නේ ආරම්භකොට ඇති චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු නිම කර ගැනීමට මේ වන විට ගම්වාසීන්ට ආර්ථික සවියක් නොමැති වීමය. චෛත්‍යයේ ඉදිකිරීම් මඟ නැවතී ඇත්තේ එබැවිනි. මෙම ඓතිහාසික විහාරස්ථානය නැවත ගොඩනැඟීමේ කාර්යයට ඔබටත් දායක විය හැකිය. ඒ සඳහා 071 1447733 අංකයෙන් පූජ්‍ය කෝන්වැවේ චන්ද්‍රනන්ද හිමියන් ඇමතිය හැකි අතර කොමර්ෂල් බැංකුවේ අංක 8110913249 ට මුදල් ආධාර බැර කිරීමෙන් ඔබටත් මෙම පුණ්‍ය කර්මයට දායක විය හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.