කවුරුත් කතාකරන දැන්වීමක් | සිළුමිණ

කවුරුත් කතාකරන දැන්වීමක්

කැමරා කෝණයට හසුවන්නේ සෙනෙහෙබර මොහොතකි. සංස්කෘතීන් දෙකෙකට අයත් අලුත විවාහ වූ යුවළකි. බිරිය දෑතේ මෙහෙන්දි ගල්වමින් සිටියි. 'මං නම් හිතන්නෙ පුතෙක් කියලා.', 'අපේ බබාගෙ ඇස් ඔයාගෙ වගේ වෙයි.' සැමියා පැවැසූ වදනට බිරියද වදනක් එක් කරයි. වාහනයක හඬක් දෙදෙ‍නාටම ඇසෙයි. තරුණ සැමියා' තාත්තා' යැයි පවසත්ම හපමින් සිටි ඇඹරැල්ලා ඇටය ඉවත දමන බිරිය තම ෆර්දාව හිසට දමා ගනියි. ඇගේ මුහුණින් දිස් වන්නේ මුල්වරට තම සැමියාගේ මව්පියන් දකින්නට සැරසී සිටින විට ඇති වන චකිතයයි. ගෙට ගොඩවන අම්මා 'තාත්තගෙ ආරෝවෙ නම් අඩුවක් නැහැ. නංගී ආරංචිය කියපු ගමන්මයි මේ ආවේ' යැයි පවසන්නේ ගේ තුළ ඇවිද යමිනි. මුළුතැන් ගෙට වැදෙන ලේලිය තේ පැකට්ටුව කපා තේ පිළියෙල කරන්නට සූදානම් වෙයි. 'මේ වත්තේ ඒවා. දුව කැමැති ඇතිනෙ.' මව තමා ගෙන ආ ඇඹුල් පලතුරු ලේලිය අත තබයි. තරුණ යුවළගේ ආදරය හැඟවෙන ජායාරූප පෙළක් බිත්තියේ අළවා ඇති අන්දම මවගේ නෙත ගැටෙයි. මේ අතර යටහත්ව සිනාසෙන ලේලිය කිසිත් නොකියාම දුම් දමන තේ කෝප්ප තුනක් රැගෙන ඉන් එකක් මව වෙත පිරිනමයි. තේ කෝපයක් දෑතට ගන්නා මව ලේලියගේ ෆර්දාව අතින් සකසයි. තේ බඳුන පියා වෙත රැගෙන යාමට ලේලියට ඉඩ දෙයි. තේ බඳුනගෙන පඩිපෙළ බැසයත්ම තේ කෝප්ප එකිනෙක ගැටෙන හඬින් මිදුලේ සක්මන් කරන පියා තිගැස්සෙයි. 'පඩි පෙළ ළඟට එන ඔහු ලේලියගෙන් තේ කෝප්පයක් දෑතට ගනියි. පඩිපෙළේ සිටිමින්ම ඔහු තේ උගුරක් ඉහළට අදිමින් පානය කරයි. දෙවන තේ උගුර ද ඉහළට ඇද පානය කරමින් තුන්වැනි තේ උගුර බොමින් නිවෙස තුළ පුටුවක හිඳ ගනියි. 'මම ඔය හදිස්සි ගමන්වලට කැමැති නැහැනෙ. හෙට එන්නම් ටිකක් නිවිසැනසිල්ලේ ඉඳල යන්න.' තමා පියාගේ කැමැත්තත් දිනූ බව සිහිවී ලේලියගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.

'අපි හැමෝම ළෙන්ගතුකම් හඳුනන මිනිස්සු' දැන්වීම නිමාවේ.

ඉහත දැක් වූ දැන්වීම නොඇසූ නොදැකපු කෙනෙක් නොසිටින්නට පුළුවන. වර්තමානයේ දැන්වීම් කලාව නැවුම් මුහුණුවරක් ගෙන ඇති බවට ඉහත දැන්වීමම ප්‍රමාණවත් උදාහරණයක් වෙනවා. නිතර දෙවේලේ අප නෙතු ගැටෙන දැන්වීම් අතරතුර මේ දවස්වල කා අතරත් ජනප්‍රිය තේ කුඩු වර්ගයක් වෙනුවෙන් සැකසුණු මේ දැන්වීම ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහැරෙන අයුරුයි ඉහත සඳහන් කළේ .

එය රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වී පවතිනේ මේ දැන්වීමේ ඇති නාට්‍යනුරූපී භාවය නිසා බව බොහෝ දෙනෙකුගේ අදහසයි. එලෙසම මෙම දැන්වීමට රංගනයෙන් දායක වන නළු නිළි යුවළ නිසාත් දැන්වීමේ ඇති ප්‍රබලත්වය තවත් වැඩි දියුණු වී තිබෙනවා. එනිසාම මේ වෙළෙඳ දැන්වීමේ ඇති නිර්මාණාත්මක පසුබිම පිළිබඳව අපි කතාබහට ලක්කළා. මෙයට රංගනයෙන් දායක වෙන්නේ ප්‍රවීණ රංගන ශීල්පී , ගායක ලක්ෂ්මන් විජේසේකර සහ ප්‍රවීණ නිළි චම්පා ශ්‍රියානි සහ හඳුන්වාදෙන ඉන්දීය නිරූපණ ශිල්පිනියක වන අර්ශිස් මෙහෙතා යි. මේ දැන්වීමේ ඇති නිර්මාණාත්මක පසුබිම පිළිබඳව එයට රංගනයෙන් දායක වූ ලක්ෂ්මන් විජේසේකර සහ චම්පා ශ්‍රියානි වගේම එහි නිර්මාණාත්මක අධ්‍යක්ෂ උදය ධර්මවර්ධනත් අපි සමඟ කතා බහ කළා.

'මේ තේ වර්ගය සඳහා වූ වෙළෙඳ දැන්වීම මට නිර්මාණය කරන්න කියලා ආරාධනා කළේ J.W.Tආයතනය . ඔවුන් මට ලබා දුන් ස්ක්‍රිප්ට් එක මම මුලින්ම කියවනවා. එය රචනා කරන්නේ සුමින්ද ගමගේ සහ ප්‍රගීත් ප්‍රසංජය. මම ඒ පිටපත කියවලා එහි යම් යම් තැන් වෙනස් කරලා ඔවුන්ට ඉදිරිපත් කළාම ඔවුන් මේ දැන්වීම නිර්මාණය කරන්නට මට භාර දෙනවා. ඒ අනූව තමයි මෙහි නිර්මාණයට කටයුතු සැකසුණේ. මේ දැන්වීම ඔස්සේ මට අවශ්‍ය වුණේ සමාජයේ සැබෑ යථාර්ථය ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එන්නයි. මම මේ දැන්වීම සඳහා මවුපියන් ලෙස යොදා ගත්තේ එදා 'ගංගා නිශ්ශංක ' ලෙස ජනප්‍රිය වුණු ලක්ෂ්මන් විජේසේකරත් චම්පා ශ්‍රියානි යුවළ. මේ දෙදෙනා මෙයට ‍සුදුසුයි කියන මගේ තේරීමට කවුරුත් කැමැති වුණා. ඒ වගේම ඉන්දීය නිරූපිකා අර්ශිස් මෙහෙතාත් හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මේ දැන්වීම රූගත කරන්නට අපි තෝරාගත්තේ ගාල්ලේ ඉමදූව ප්‍රදේශය. මොකද පිටපතට සරිලන මුළුතැන් ගෙයක් සොයා ගැනීම පහසු වුණේ නැහැ. එනිසා ඉමදූවෙන් තමයි සුදුසු පරිසරය, අපිට හමුවුණේ. මේ සියලු කාරණ සපුරාගෙන මම පිටපතේ යම් යම් වෙනස්කම් කරනවා. මුලින් ලියැවුණු පිටපතට අනූව මවත් පියාත් එන්න හිටියේ බයිසිකලේක. මම එය කාර් එකකට ගෙන ආවා. ඒ වගේම පඩිපෙළක් තිබුණෙ නැහැ. නමුත් මම පඩිපෙළක් නිර්මාණය කළා. හැමදාමත් වගේ එකම ස්ටයිල් එකේ වෙළෙඳ දැන්වීමක් නොකර වෙනස්ම අයුරකින් කතාවක් ගොතන අයුරින් තමයි මෙය නිර්මාණය කළේ. මේ සඳහා නළු නිළියන්ගෙන් වගේම සෙසු ශිල්පීන්ගේද සහාය නොඅඩුව ලැබුණා. හැමෝම සතුටින් වැඩ කළා. ඒ වගේම මෙහි සංගීතය කළේ පසන් ලියනගේ. වර්ණ සංයෝජනය සිදුකළේ සිංප්පූරුවේදියි. මේ දැන්වීම ඔස්සේ අපිට කුමන වර්ගයකට සංස්කෘතියකට අයත් වුණත් කැදැල්ලක පිරීතිබෙන සහජීවනය ගැනයි හුවා දක්වන්නට අවශ්‍ය වුණේ. එය මනාව මේ ඔස්සේ සමාජ ගත වුණා කියලා අපිට ලැබෙන ප්‍රතිචාරවලින්ම කියන්නට පුළුවන්. ' උදය ධර්මවර්ධන පවසන්නේ එලෙසයි. ජීවිතේ බොහෝ දේ කාලයේ මායාවෙන් වැසී යත් දී තම පුතු තෝරාගත් ඔහුගේ ගමන්මඟට ආශිර්වාද කරනවා විනා අන් කළ යුතු දෙයක් නොවේ. එලෙසින් තම පුතා තමාගේ කැමැත්තට පිටු පෑවත් මේ පියාත් ලේලියගේ කුසේ සිටින තම අනාගත මුණුපුරා හෝ මිණිපිරිය වෙනුවෙන් සියල්ල අමතක කරයි.

80 දශකයේ විකාශය වූ 'ගංගා සහ නිශ්ශංක' ටෙලි නාට්‍යයේ අතීශය ජනප්‍රිය වූ රංගන ශිල්පී යුවළක් වන්නේ ලක්ෂමන් විජේසේකර හා චම්පා ශ්‍රියානියි. එහි රංගනයෙන් වසර ගණනකට පසුව මෙම දැන්වීම ඔස්සේ යළිත් ඔවුන් එක්ව රංගනයක නියැලේ. ඒ පිළිබඳ ඔවුන් පවසන්නේ මෙවැන්නකි.

'මේ දැන්වීමට මගේ දායකත්වය ලබා දෙන්නට මට සිදු වුණේ මට කරන ලද ආරාධනාවකට අනුවයි. පියකු කියන්නේ තරමක් දැඩි ගති තිබුණත් හදවත ස්නේහයෙන් පිරුණු කෙනෙක්. ඒවගේ නිරූපණයක් තමයි මෙහි දිස්වන්නේ. මගේ රංගනය ගැන රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ඒ වගේම මේ දැන්වීම ඔස්සේ යම් නිර්මාණත්මක වගේම අර්ථවත් පණිවිඩයක් සමාජ ගත කරන බව මට පෙනෙනවා.' එලෙස පවසන්නේ පිය චරිතයට පණ දෙන ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරයි.

'මේ දැන්වීමට මගේ දායකත්වය ලබා දෙන්නට හේතු වූ කරුණු කිහිපයක්ම තිබෙනවා. මම දැනට වසර 25කට පමණ ප්‍රථම වගේ දැන්වීම් දෙක තුනක පමණ රඟපා තිබෙනවා. ඒ හැරෙන්නට මට ලැබුණු අවස්ථා හුඟක් ප්‍රතික්ෂේප කරන්නට සිදුවුණා. එයට හේතුව ඒ කාළෙ මගේ තරුණ අවධිය. රංගන ශිල්පිනියක ලෙස හුඟක් චරිතවලට මම දායක වූ අවධිය. චරිතාංග නිළියක ලෙස ප්‍රේක්ෂකයා මා කෙරෙහි තැබූ විශ්වාසය කඩ කරන්නට මම කැමැති වුණේ නැහැ. එනිසා දැන්වීම්වල පෙනී සිටීමට මම කැමැති වුණේ නැහැ.

නමුත් කාලයකට පසුව මට ආරාධනාවක් ලැබෙනවා උදය ධර්මවර්ධන ගෙන් මේ දැන්වීමට. ඔහු පවසනවා මේ දැන්වීමට දායක වෙන්නේ එදා මා සමඟ 'ගංගා හා නිශ්ශංක' ටෙලි නාට්‍යයේ නිශ්ශංක ලෙස රඟපෑ ලක්ෂ්මන් විජේසේකර අයියා කියලා. ලකී අයියා කියන්නේ කලා ක්ෂේත්‍රයේ මම හුඟක් ආදරය කරන ගෞරව කරන චරිතයක්. එයත් එක්ක යළිත් වතාවක් ප්‍රේක්ෂකයන් හමුවට එන්නට තිබෙනවා නම් එය මට සතුටක්. එනිසා මම දැන්වී‍මට දායක වෙන්නට කැමැති වුණා. අම්ම කෙනෙක් හැම විටම තම ස්වාමියයි දරුවොයි අතරේ පාලමක් බඳුයි. ඇය හැමවිටම ඉන්නේ මධ්‍යස්ථව. තාත්තා පාරම්පරික අදහස් දරන දැඩි මතධාරියෙක් වුණත් අම්මා එලෙස නැහැ. ඒ සෞම්‍ය ගුණයත් තාත්තාගේ දැඩි බවත් ඒ සියල්ල දාරක සෙනෙහස ඉදිරියේ දිගහැරෙන අයුරු පෙන්වීම එකියන්නේ සමාජයේ ඇති සැබෑව මේ ඔස්සේ පෙන්වීමට තමයි උදයට අවශ්‍ය වුණේ කියලයි මම හිතන්නේ. එය සාර්ථක වී ඇති බව අපිට ලැබෙන ප්‍රතිචාර වලින්ම පෙනෙන්ට තිබෙනවා. දවස් දෙකක් පුරා මෙහි රූගත කිරීම් කෙරුණා. ඇත්තටම හරිම සතුටින් එකිනෙකා කෙරෙහි වඩාත් අවබෝධයකින් හා ලෙන්ගතුකමකින් තමයි මේ දැන්වීම නිර්මාණය වුයේ. චම්පා පවසන්නේ එලෙසයි.

 

Comments