පාපන්දු පිටි­යක් තරම්වූ ගුවන් යානය Airlander 10 | සිළුමිණ

පාපන්දු පිටි­යක් තරම්වූ ගුවන් යානය Airlander 10

අලුත් අලුත් නිර්මාණ දිනෙන් දින ලෝකයට එකතු වන අතර ඒවා අතරින් සමහර නිර්මාණයන් වැඩි දියුණු වෙමින් ලෝකයේ ගමන් මාර්ගය වෙනස් කිරීමට පවා සමත් වෙනවා. 1903 වර්ෂයේ දෙසැම්බර් 17 වැනිදා රයිට් සහෝදරයන් ලෝකයේ ප්‍රථම ගුවන් යානය වන ‘කිටී හෝක්’ ගුවන් යානය ගුවනට එක් කිරීමෙන් පසුව අද වන විට ගුවන් යානා තාක්ෂණය හා පහසුකම් අතින් විශාල දියුණුවක් ලබා තිබේ. ගුවන් යානා ඉතිහාසයට තවත් අලුත් පිටුවක් නොබෝ දිනකට පෙර එක්වුණා. ඒ තමයි ලෝකයේ විශාලම ගුවන් යානය සාර්ථක ලෙස තම අත්හදා බැලීමේ ගුවන් ගමන නිම කිරීම.

Airlander 10 යන නමින් හඳුන්වනු ලබන මෙම ගුවන් යානය සැබැවින්ම දෙමුහුන් ගුවන් රථයක්. දෙමුහුන් ගුවන් රථයක් (Hybride Air Vehicle) යනු ගුවන් යානයක (Airplane) හා ගුවන් නැවක (Airship) එකතුවක්.

දිගින් පාපන්දු පිටියක් පමණ වූ මේ දැවැන්ත ගුවන් රථය එංගලන්තයේ කාර්ඩිංටන් ගුවන් පථයේදී සාර්ථකව අත්හදා බැලීමේ ගුවන් ගමන නිම කරනු ලැබුවා. මීටර් 92ක් දිග, මීටර් 44ක් පළල හා මීටර් 26ක් උසින් යුතු මෙම ගුවන් රථය හීලියම් පිරවූ විශාල බැලුමක් වැනි කොටස මඟින් ඉහළට ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා ගනියි.

සාමාන්‍ය වාතයට වඩා හීලියම් වායුව බරින් අඩු නිසා මෙසේ ගුවන් යානය ඉහළට ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතර ගුවන් යානයේ බරට අමතරව තවත් ටොන් 10ක බරක් රැගෙන ගුවන්ගත වීමට මෙයට හැකියාව ලැබේ. කිලෝ විසි දහසක එනම් ටොන් 20ක බරින් යුතු මෙම ගුවන් රථයට මීටර් 6,100ක් උසක් එනම් අඩි 20,000ක උපරිම උසක් දක්වා ගමන් කිරීමේ හැකියාව තිබෙන අතර එයට ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 148ක් වනවා.

සාමාන්‍ය ගුවන් යානයකට වඩා මෙහි වේගය තරමක් අඩු වූවත් මෙම ගුවන් රථයට එක දිගට දින 5ක් ගුවන් ගත වී සිටීමට හැකියාව තිබේ. එයට හේතුව වන්නේ මෙහි ඉන්ධන අවශ්‍ය වන්නේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය බලය ලබා ගැනීමට පමණක් නිසායි. හීලියම් මඟින් ඉහළට නැඟෙන මෙම යානයෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ගුවන් ගත වීම සඳහා ගුවන් පථයක අවශ්‍යතාවක් නොමැති වීමයි.

මේ වනවිට සාර්ථක ලෙසින් අත්හදා බැලීම් කටයුතු සිදු කෙරෙමින් පවතින Airlander 10 යානය වැනි යානා 12ක් 2018 වර්ෂයේදී නිපදවීමට HAV ආයතනය (Hybride Air Vehicles) කටයුතු යොදමින් සිටියි. මෙයින් සමහර යානා ආසන 48කින් සමන්විත මගී ගුවන් යානා වන අතර අනිකුත් ඒවා විශේෂ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි.

පර්යේෂණ කටයුතු, රූගත කිරීම්, මුදවාගැනීමේ මෙහෙයුම්, යුදමය කටයුතු, ගමන් කිරීමට අසීරු ස්ථාන වෙත භාණ්ඩ ප්‍රවාහනය, නිරීක්ෂණ කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා මෙම ගුවන් රථය ඉතාමත් ගැලපෙන්නේ මෙහි අඩු වේගය, ඉන්ධන අරපිරිමැස්ම, විශාල කාලයක් ගුවනේ රැඳී සිටීම හා ගුවන් පථයක් අවැසි නොවීම වැනි අනිකුත් ගුවන් යානා වල දක්නට නොමැති ලක්ෂණ මෙම යානයේ තිබෙන නිසායි.

ඊට අමතරව අනිකුත් ගුවන් යානා මෙන් නොව මෙම ගුවන් යානයෙන් ශබ්දය පිට නොවීම හා ඉතාමත් අල්ප වශයෙන් පරිසරයට හානිකර වාතය මුදා හැරීම නිසා මෙම පරිසර හිතකාමී ගුවන් යානය ගුවන් ගමන් ක්ෂේත්‍රයේ අනාගතය වනු ඇති බව මෙහි නිෂ්පාදකයින් පවසනවා. 

Comments