HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 

චෝදනා කළ අයගේ වතගොත හොයයි

හොලිවුඩ් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නංවා ගෙන සිටි චිත්‍රපට නිෂ්පාදකයකු සහ චිත්‍රාගාර හිමියකු වන හාවේ වීන්ස්ටීන් ඔහුට එල්ල වූ ලිංගික අපචරා එම චෝදනා වලට ප්‍රතිචාර දක්වන්නටයි සූදානම. පසුගියදා ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේ තමන්ට ලිංගික අතවර චෝදනා එල්ල කළ ජනප්‍රිය නිළියන්ගේ වතගොත රහසේ සෙවීමට වීන්ස්ටීන් කටයුතු කරමින් සිටින බවයි. මේ වෙනුවෙන් විදේශීය ඔත්තු සේවාවල සේවයේ යෙදී සිටි විශ්‍රාමික පුද්ගලයන් කිහිප දෙනකුග් සේවය ලබා ගන්නට වීන්ස්ටීන් තීරණය කර ඇති බවත් සැලයි.

ඔහු විසින් මේ ඔත්තුකරුවන්ට දන්වා ඇත්තේ හොලිවුඩයේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුගේ පෞද්ගලික වතගොත පිරික්සන ලෙසයි. මේ කටයුත්ත සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද යොදවා ඇතැයි පැවසෙනවා. පසුගිය කාලය තුළ වීන්ස්ටීන් හට චෝදනා එල්ල කළ අය අතර ඇන්ජලිනා ජොලී, ගිනෙත් පැල්ට්‍රෝව්, රෝස් මැක්ගොවන් ඇතුළු තවත් කිහිප දෙනෙකු ම සිටියා. හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ කාන්තාවන් 50 දෙනෙකුගෙන් පමණ ඔහුට මෙලෙස චෝදනා එල්ල වී ඇති බවයි.

බිරිය වෙනුවෙන් කැපවූ චක් නොරිස්

සිනමා ලෝලීන් ට චක් නොරිස් යන නාමය අමතක නැහැ. ක්‍රියාදාම චිත්‍රපට ගැන කතා කරද්දී නිතැතින් ම සිහිපත් වන මේ ප්‍රවීණ සිනමා නළුවා දැන් සිටින්නේ නිහඬව. ඔහු සිනමා රංගනයෙන් ඉවත් වෙලා.

ඒ ඉවත්වීමට විශේෂ හේතුවක් තිබෙනවා. ඔහුගේ ආදරණීය බිරිය, ජීනා දැන් පසුවන්නේ දැඩි අසනීප තත්වයකින්. රෝගාබාධයන් කිහිපයක් නිසා අසරණව සිටින තම බිරියව සුව කර ගන්නටයි චක් නොරිස් සිනමාවෙන් ඉවත්වී ඇය වෙනුවෙන් කැපවී සිටින්නේ. පසුගියදා ඔහු, එක්තරා ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීමේ සමාගමකට එරෙහිව නඩුවක් ගොනු කළා. ඒ, එම සමාගම විසින් සපයන ලද එම්.ආර්.අයි. ස්කෑන් කිරීමකට යොදාගත් රසායනික ද්‍රව්‍යයකින් තම බිරියගේ රෝගී තත්වය උත්සන්න වීමේ හේතුවටයි. නඩුව පවරමින් චක් නොරිස් ප්‍රකාශ කළේ තම බිරියගේ රෝගී තත්වය වෙනුවෙන් කළ එම ස්කෑනර් කිරීමේදී ඇගේ සිරුරට දැඩි වේදනාවක් ඇතිවී හුස්ම ගැනීමට අපහසු වූ බවයි. මේ නිසා ඇයව වහාම රෝහල් ගත කිරීමට සිදුවිණැයි ද එක් නොරිස් පැවසුවා. එක් සහ ජීනා යුවළට ඩැකෝටා සහ ඩැනිලී යනුවෙන් දියණියන් දෙදෙනකු සිටිනවා.

ජෙනී අඳුරු අතීතය සිහි කරයි

මීට අවුරුදු 15කට පමණ කලින් හොලිවුඩ්පුරයේ මාධ්‍ය ඔස්සේ දෙමුහුන් නමක් බිහිවුණා. ඒ නම තමයි, ‘බෙනිෆර්’. සුපිරි තරු දෙපළකගේ නම් දෙක එක්කර නිර්මාණය වූ අලුත් නමක්. මේ යුවළ තමයි, බෙන් ඇෆ්ලෙක් සහ ජෙනිෆර් ලෝපෙස්. බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ මේ පෙම් යුවළ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. 2002 නොවැම්බරයේ දී දෙදෙනා විවාහ ගිවිස ගත්තා. ඒත් 2004 ජනවාරියේදී දෙදෙනාගේ විවාහය අවලංගු කෙරුණා. ලෝපෙස්, පසුගියදා ඒ අතීතය යළි සිහිපත් කළේ මේ අයුරින්.... “ඒ කාලෙ මගේ ජීවිතය විනාස වුණා. මගේ ආත්මය ම මුළු ලෝකය ඉදිරියේ නැති වුණා. ඒ සම්බන්ධය නැතිවෙලා ආපහු මගේ ජීවිතේ ප්‍රකෘතියට පත් වුණේ අවුරුදු 2 කට පස්සෙයි.” දැන් ඇගේ පෙම්වතා වී සිටින්නේ නිව්යෝක් නුවර බේස් බෝල් ක්‍රීඩකයකු වූ ඇලෙක්ස් රොඩ්රිගූස්.

ස්විෆ්ට්ගේ වර්ගවාදී ගීතය

ගායිකා ටේලර් ස්විෆ්ට් ගේ අලුත් ම ගීතය, Look what you made Me Do” නිකුත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදී. මේ ගීතය ශ්‍රාවකයන් අතරට ගිය පසුව, ලේඛිකාවක වන මෙගාන් හර්නින් විසින් එහි ඇතුළත් වන පද කිහිපයක් උපුටා දක්වමින් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල කර තිබුණා. ඇය සඳහන් කළේ ටේලර් ස්විෆ්ට් ගේ මෙම ගීතයෙන් සුදු ජාතිකයන් ඉහළට ඔසවා තබමින් වර්ගවාදයට උඩගෙඩි දී ඇති බවයි.

මේ ප්‍රකාශයට උරණ වූ ටේලර් ස්විෆ්ට් වහාම තම නීතිඥවරයා මාර්ගයෙන් මෙගාන් හර්නින්ට තර්ජනාත්මක ලිපියක් යවා ඇතැයි පැවසෙනවා. එම ලිපියෙන් ස්විෆ්ට් පවසා ඇත්තේ හර්නින්ට එරෙහිව නඩු පවරන බවයි. ඒ සමඟම ස්විෆ්ට් ගේ මේ ක්‍රියාවට එරෙහිව ඇමරිකානු සිවිල් විමුක්ති සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය චෝදනා කරන්නේ ඇමරිකානු ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අදහස් දැක්වීමේ අයිතිය මැඩ පැවැත්වීමට ස්විෆ්ට් කටයුතු කරමින් සිටින බවයි. මෙයින් පසුව ස්විෆ්ට්ගේ පාර්ශවය නිහඬ වී ඇති බවයි ආරංචි. 

 

 

Comments