අලුත් නිවහන් කරා... | සිළුමිණ

අලුත් නිවහන් කරා...

 වාහල්කඩ ව්‍යාපාරය යටතේ ගොවිජනපද පිහිටුවා පදිංචි කරවූ මේ ගම්වැසියෝ වසර තිහක රුදුරු යුද සමයේ පවා මේ බිම හැර නොගියහ; ත්‍රස්තවාදීන් සමඟ උරෙනුර ගැටෙමින් තම ගම්-බිම්, ගොවිතැන්, සතා-සීපාවා හා දරු-මල්ලන්ද රැක-ගත්හ. තම සමූහයා යුද්ධයේ ගොදුරු බවට පත් වෙද්දී පඹුරුගස්වැව දැඩි රක්ෂිතය ත්‍රස්තවාදීන්ගේ ක්ෂේම භූමියක් වෙද්දී ඔවුහු කැලෑ ගම්මානයේ අක්කර හත-අට ගොවිතැන් කළහ. වෙහෙස මහන්සි වී වගා-දිගා කොට ජීවිකාව කරගත් මේ මිනිසුන් රජයට කිසිවිටෙක බරක් වූයේ නැත. 'මගේ... මගේ' කියමින් බිම් කොටා වගා කොට අස්වැන්න ගෙට ගත්තද ඒ වගා බිමේ නීත්‍යනුකූල හිමිකාරිත්වයක් ඔවුන් සතු නොවීය. වසර තිහක යුදසමයේ ඒ ඉඩම් සඳහා බලපත්‍ර ලබා දීමට රජයේ ආයතනයන්ටද අවශ්‍යතාවක් නොවීය. මඟ බලමින් සිටි මිනිසුන් කරා සාමය ළඟා විය. එහෙත් සංවර්ධනය හේතුවෙන් ඔවුන්ට ගම් බිම් අතහැර යන්නට සිදු වූයේය. ඒ පණ දී රැකගත් ගම්බිම් ය.

ජලපෝෂක සශ්‍රීක භූමියක් පාළුවට ගොස් වල්වැදී ඇත. ඒ ගම්වැසියෝ වෙනත් ස්ථානයන්හි නව නිවාස ඉදි කරමින් සිටිති. මේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ගම් හැර යන දෙවන අවස්ථාවයි. මේ භුමියේ වගා කිරීම අත්හිටුවා දැන් වසර දෙකක් ගෙවී ගොස්ය. ගම වැසියන්ට නොලැබෙන ආදායම් තක්සේරුව කන්නයට රුපියල් 35000ක් පමණ වේ!

සංවර්ධනය යනු අරුමැසියකි. අයකුට සියල්ල අහිමි වෙද්දී යළි සියල්ල තවෙකකුට හිමි වේ. යාන්ඔය ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අනාදිමත් කාලයක් තිස්සේ හිඟව පැවති පානීය ජලය හා කෘෂිකර්මයට අවැසි ජලය ලැබෙද්දී එයට වන්දි ලෙස තම ගම් බිම් අතහැර යෑමට වාහල්කඩ ජනපදිකයන්ට සිදු විය. යාන්ඔය ව්‍යාපෘති බාර ඉඩම් නිලධාරී එච්. රණසිංහ මහතාට අනුව ව්‍යාපෘතිය සඳහා යට වන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 4106කි. එයින් හෙක්ටයාර 1902ක් හොරොව්පතාන ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශයට අයත් ජනාවාස වන අතර, හෙක්ටයාර 1251ක් ‍ගෝමරන්කඩවල ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශයට අයත් වේ.

මේ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් ගණන 219කි. ඒ ජනයා පඹුරුගස් වැව රක්ෂිතයෙ යාන් ඔය ජලපෝෂක ප්‍රදේශයේ ‍ගොවිතැන් කරමින් රටට බරක් නොවී තම ජීවිකාව කරගත් ජනකොට්ඨාසයකි. ඔවුන් අතර කන්නයකට වී බුසල් 7000-7500ක අස්වනු නෙළාගත් පිරිස් ද වූහ. වෙහෙර බැඳි කන්දේ සිට හාපැටියා කන්ද තෙක් වැව් බැම්ම ඉදිවෙද්දී දෑසට පෙනෙන මානයේ බිම් ජල දහරට යට වේ. යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගාව නවතා දැමූ ඔවුහු කඩෙන් මල්ලට හාල් වැටෙන තුරු බලා සිටි බව එස්.පී. ලලිතා මහත්මිය පවසයි. "යාන් ඔයට යට වෙන්නෙ වගා-දිගා කරගෙන දිවි සරිකරගත් අහිංසක මිනිසුන‍්ගේ අගනා ඉඩම්" බව ඇය පවසන්නීය.

ඔවුන් වෙනුවෙන් අංගසම්පූර්ණ නව ගම්මාන දෙකක් ඉදිකිරීමට රජය සැලැසුම් කර ඇත. සියලු යටිතල පහසුකම් සහිත මේ ගම්මාන දෙක ප්‍රධාන නගරය වූ ත්‍රිකුණාමලයට ආසන්න වේ. ඒවා කජුවත්ත හා ඕමාරකඩ නම් වේ. මීට අමතරව ජනතා ඉල්ලීම් මත පඹුරුගස්වැව රක්ෂිතය තුළ ද මල්පෝරුව නමින් ද ගම්මානයක් ඉදිවෙමින් පවතී. කුඹුරු ඉඩම් හිමියන්ගේ බලවත් ඉල්ලීම මත මල්පෝරුව ඉදි වේ. කුඹුරට ආසන්නව පදිංචිය තම ගොවිබිමේ ආරක්ෂාවට උපකාරී වන බැවිනි. ගම්මාන තුනේම සෑම පවුලකටම ගොඩින් අක්කර භාගයක් හා කුඹුරු අක්කර එකහාමාරක් හිමි වේ. මල්පෝරුව ගම කෑලෑව මැද ඉදි වූවද ගමට ප්‍රධාන මාර්ගයක්, ගමට බස් රථයක් ඔවුන්ට හිමිය. යාන්ඔය වැව් බැම්ම මතින් ඉදි වන මහා මාර්ගය ඔවුන් වනයෙන් නගරයට ගෙන යනු ඇත. කැබිතිගොල්ලෑව වාහල්කඩ ඈත එපිට දුෂ්කර දනව්වකි. එහෙත් වැව් බැම්ම මතින් ඉදි වූ මාර්ගය ඔවුන් ත්‍රිකුණාමලය සුපිරි නගරය කරා ළඟා කර ඇත. හෙට ලෝකය ත්‍රිකුණාමලයෙන් විවර වෙද්දී ඔවුන්ගේ ඉදිරි පරපුර ගමෙන් නගරයට යනු ඇත. ඒවන විට යාන්ඔය වැව්දිය නිල් ගොයම් හා ලෙලෙමින් රට සරු කරවනු ඇතැයි අප අපේක්ෂා පිරි දෑසින් බලා සිටිමු.

රන්කිරාගේ ජෝතිපාල මහතා යුද්ධයට බියෙන් ගම අතහැර නොගිය ගොවියෙකි. වැවට යට වන බිම් ප්‍රමාණය හා සසඳද්දී වැව් ජලයෙන් අස්වැද්දිය හැකි බිම් ප්‍රමාණය සැලැකිය යුතු ප්‍රමාණයක් නොවන බවයි. වන්දි වශයෙන් ඉඩම් ලබා දීමේ රජයේ ක්‍රමවේදය අනුව මේ ගොවිපවුල්වල දෙවන පරම්පරාවට ඉඩම් හිමි නොවේ. ජලාශයට යට යට වන ගම්මාන අතර වාහල්කඩ, රඹාවැව, ගල්කඩවල යාය DI, හා යාය D2, ඇතුළු ගම්මාන රැසක් අයත්ය. තම කෘෂිකාර්මික දිවිපෙවෙත අතහැරදැමු ගම්වැසියෝ යාන්ඔය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමී ව්‍යාපෘතීන්ට සම්බන්ධ වී වැඩ කරති. එසේ වැඩ කර දිනකට රුපියල් 1200ක් උපයා ගනිති.

ජීවිකාව සඳහා දර කැපීම හේන් ගොවිතැන හෝ වාහල්කඩ වැවේ මසුන් මැරීම කරන මේ ජනයා ප්‍රදේශය උෂ්ණත්වය ‍සෙල්සියස් අංශක 35-37 වෙද්දී රුස්ස ගසක් මුල වැතිර නිදති. වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප්‍රදේශය ඉතා කටුක හා දුෂ්කර බවින් පිරි ගම්මාන වේ. සියලු සත්වයෝම තම උපන් බිමට ආදරය කරති. මේ ජනයා ද එසේය. තමන් පයගසා නැඟිට ගත් බිම අතැර යෑමට අකමැතිය.

අංජුල දිලංග අවුරුදු විස්සක තරුණයෙකි. ගොවිතැන ජීවිකාව කරගත් ඔහු ගොවිතැන නවතා සංවර්ධන ව්‍යාපෘතියට අනුබද්ධව පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තු ව්‍යාපෘතියක කම්කරු සේවයේ නිරතය. ‘දැන් ඉඩම් වගා කරන්න දෙන්නේ නෑ. යාන්ඔය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක වුණොත් හොඳයි. අපේ ගම්මානවලට නැතත් පහළ ගම්මාන රැසකට වාසි සැලැසෙනවා."

ඉලංගරත්න මහතා "අපේ කුඹුරු අක්කර පහක් යට වෙනවා. ඒ යට වන ඉඩම් සඳහා වන ප්‍රතිලාභ අප පවුලේ අනාගත සුභ සිද්ධියට ප්‍රමාණවත් නැහැ. රජය දෙන ප්‍රතිලාභ පිලිගැනීම හැර විකල්පයක් නැහැ. ඒත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපට නිවාස ඉදි කරගැනීමේදී සහයෝගය දක්වනවා. ගෙපල කපාගන්න, වගා බිම් සකසා ගන්න ලැබෙන උපකාරය පහසුවක් විතරක් නොවේ සහනයක්."

ඉදි වන නව ගම්මාන තුනේ ඉදි වන නිවාස බොහොමයක් දෙමහල් නිවාස. සියලු පහසුකම් සහිතව ඉදි වන මේ නිවහන් ඔවුන්ගේ සිහිනය සැබෑ කරවාවි. දෙවෙනි තුන්වැනි පරම්පරා සතුටින් නිවාස ඉදි කරගත්තද මෙහි වෙසෙන මුල් පරම්පරා තුන්වැනි වරටත් තමන් වෙනුවෙන් නිවෙස් ඉදි කරමින් සිටිති. ඇතැම් වැඩි හිටියන්ට නිවෙසක් ඉදි කරගැනීමට තබා තම කටයුතු කරගැනීමට ද හැකියාවක් නැත්තෝය. එ‍හෙත් ඔවුහු තම ගම් අතැර යන්නෝය. ඒ අනාගත පරපුරේ අභිවෘද්ධිය උ‍දෙසාය; රටේ සංවර්ධනය උදෙසාය.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නේ 

Comments