ඩෙංගු උණ සංකූලතා මඩින්න විටමින් E හොඳ බෙහෙතක් | සිළුමිණ

ඩෙංගු උණ සංකූලතා මඩින්න විටමින් E හොඳ බෙහෙතක්

 ඩෙංගු උණ වැළදුණු රෝගින්ට vitamin E ඖෂධයක් ලෙස ලබා දීමෙන් ඩෙංගු රෝගයේ තීව්‍රතාවය අඩු වන බව කොළඔ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහාචාර්ය ඒකකයෙහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජුජිත වික්‍රමසිංහ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයකින් සොයා ගනු ලැබ තිබේ.

2016 වසරේ පැවැත්වුණු ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැසිවාරයේ දී ඉදිරිපත් කැරුණු ආසියා ශාන්තිකර කලාපීය රටවල රෝග පිළිබඳ සඟරාවෙහි (Asian Pacific Journal of Tropical Disease) මෙම නව සොයාගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කෙරුණු අතර එම සැසිවාරයේ දී ඉදිරිපත් කෙරුණු හොඳම පර්යේෂණ පත්‍රිකාව ලෙස එය එහිදී සියළු දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ඩෙංගු උණ වැළදුණු වයස අවුරුදු 5-9 හා අවුරුදු 10-12 අතර දරුවන් කාණ්ඩ දෙක බැගින් මෙම පර්යේෂණය සඳහා බඳුන් කළ බව මහාචාර්ය ජුජිත වික්‍රමසිංහ මහතා පවසයි. ඩෙංගු රෝගය වැළදුණු උක්ත වයස් කාණ්ඩවල ළමුන් දෙකොටසකට බෙදා එයින් එක් කොටසකට vitamin E ඖෂධයක් ලෙස ලබා දුන් අතර අනෙක් කොටසට vitamin E ලෙස සකස් කරන ලද ඔසු පිරික්සුමක (placebo) සාම්පලයක් ලබා දෙන ලදී. වයස අවුරුදු 5-9 අතර දරුවනට දිනකට vitamin E මිලිග්‍රෑම් 200 ක් ලබා දෙන ලද අතර වයස අවුරුදු 10-12 අතර දරුවනට දිනකට vitamin E මිලිග්‍රෑම් 400 බැගින් ලබා දෙන ලදී. රෝගියා රෝහලට ඇතුළත් කරන දිනයේ සිට රෝගය පැවතුණු හත්වැනි දිනය දක්වා මෙලෙස vitamin E ඖෂධයක් ලෙස ලබා දුන් රෝගීන්ගේ ඩෙංගු රෝගයේ තීව්‍රතාවය පැහැදිලි අඩුවක් පෙන්නුම් කළ බව මහාචාර්ය වික්‍රමසිංහ පවසයි.ඒ අනුව වෛද්‍ය නිගමනය වුයේ ඩෙංගු වැළදුණු රෝගීන්ගේ බරපතල තත්ත්වය හා සංකූලතා වැළැක්වීම සඳහා vitamin E ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි බවය.

බෝවන රෝගවල තීව්‍රතාවය අඩු කිරීම සඳහා මින් පෙර විටමින් E භාවිතා කර තිබුණ ද ඩෙංගු ඩෙංගු රෝගයෙහි බරපතල තත්ත්වය පාලනය කිරීම සඳහා එය ඹෟෂධයක් ලෙස භාවිතා කර එහි ප්‍රථිපල විද්‍යාත්මකව සනාථ කළ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද මහාචාර්යවරයා පවසයි. ඩෙංගු රෝගය බරපතළ බවට පත් වන්නේ එමඟින් රෝගියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඇතිවන බලපෑම නිසා ය. ඩෙංගු රෝගය නිසා ශරීරය තුළ නිෂ්පාදනය වන විවිධ රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝගයෙහි තීව්‍රතාවය වැඩිවේ. විටමින් E වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය යම් යම් රෝග මැඩපැවැත්වීමට භාවිතා කිරීම හා එමඟින් රෝගවල බරපතල තත්ත්වයන් අවම කිරීමට හැකි වීම ප්‍රකට කරුණකි. ඒ අනුව යමින් විටමින් E ඩෙංගු රෝගය සඳහා කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ දැයි සොයා බැලීම මෙම පර්යේෂණයෙහි අරමුණ වු බව ද මහාචාර්යවරයා කියයි.

පර්යේෂණයට බඳුන් කළ දරුවන් අතරින් විටමින් E ලබා දුන් දරුවන්ගේ රෝගයෙහි තීව්‍රතාව මෙන් ම සංකූලතා ද අන් අයට වඩා බෙහෙවින් අඩු වු අතර සංකූලතා පැවති දින ගණන ද අඩු විය. රුධිර පට්ටිකා අඩු වීම සහ රුධිරයේ අනෙකුත් රසායන ද්‍රව්‍යන්ගේ වෙනස් වීම වඩාත් යහපත් තත්ත්වයක පැවතුණු බවද ඔහු පවසයි.

විටමින් E දෛනික දිවියට අවශ්‍ය විටමින් වර්ගයක් වන අතර මෙය නියමිත මාත්‍රාවෙන් දිනකට ලබා ගැනීමෙන් සිරුරට හානියක් ඇති නොවේ. කෙටිකාලීනව ඔක්සිකාරකවලින් සිරුරට ඇති වන හානිය ( Oxygen Free Radicles) අවම කිරීමට විටමින් E උපකාරී වේ. එහෙයින් බෝවන රෝග මෙන් ම බෝ නොවන රෝග සඳහා ද විටමින් E භාවිතා කළ හැකි බව වරින් වර කරන ලද පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

රිජ්වේ රෝහලේ මහාචාර්ය ජුජිත වික්‍රමසිංහ සහ වෛද්‍ය ප්‍රසාද් චතුරංගන ඇතුළු මහාචාර්ය ඒකකයේ ‍ වෛද්‍යවරුන් විසින් කරන ලද මෙම පරීක්ෂණයෙහි ප්‍රතිඑල අනුව ඩෙංගු ඇතුළු වෙනත් උණ වැළදුණු රෝගීන්ගේ රෝග තත්ත්වය පාලනය හා ඉක්මන් සුවය සඳහා ද විටමින් E ඹෟෂධයක් ලෙස භාවිතා කළ හැකි බව නිගමනය කර තිබේ.

ළමුන් සඳහා පමණක් නොව වැඩිහිටියන් සඳහා ද මෙය භාවිතා කළ හැකි ය. වයස අවුරුදු 10 ට අඩු ළමුනට දිනකට විටමින් E මිලිග්‍රෑම් 200 ක් එක් වරක් බැගින් සහ වයස අවුරුදු 10 ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් සඳහා මිලිග්‍රෑම් 400 ක් දිනකට එක් වරක් බැගින් දින 5-7 දක්වා කාලයක් තුළ ලබා දීම සුදුසු බව වෛද්‍යවරු පවසති.

සාමාන්‍ය උණක් ඇති විට දී එය ඩෙංගු රෝගයම යැයි නිශ්චිතව කිව නොහැකි වුව ද ඩෙංගු බවට සැක කරන කල මෙම ඖෂධය ලබා දීමහ සුදුසු ය. මේ සමඟම උණ සඳහා නිර්දේශිත පැරසිටමෝල් ඹෟෂධ මාත්‍රාවද ලබා දිය යුතු ය. යම් හෙයකින් උණ රෝග තත්ත්වය ඩෙංගු නොව වෙනත් ආසාදනයක් නිසා වුව ද විටමින් E ලබා දීම හානිකර නොවන බව ද මහාචාර්ය වික්‍රමසිංහ පවසයි.

සාගරිකා දිසානායක

Comments