මනුෂ්‍යත්වය වපුරා එහි පල නෙළූ පුවත්පත් කලාවේදියා: ‘කසුරි’ | සිළුමිණ

මනුෂ්‍යත්වය වපුරා එහි පල නෙළූ පුවත්පත් කලාවේදියා: ‘කසුරි’

 (ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතා මිය ගොස් තෙවසරක් සපිරීම නිමිත්තෙනි)

“ජීවිතය යනු තනි යමක් නො‍වේ; කලවමකි. මේ කලවමෙන් තනි යමක් වෙන් කොට ගලවාගැනීම සිතන තරම් පහසු නැත. කන්ද සමඟ පල්ලමද, අව්ව සමඟ සෙවණද, ප්‍රේමය සමඟ වෛරයද, සතුට සමඟ කලකිරීමද, ගමන සමඟ නැවතීමද, හමු වීම සමඟ වෙන් වීමද ආදි වශයෙන් වු පදාස එකට ගැලවී එයි. ගැලවුණු පදාස ස්පර්ශ කරන කල්හි නිහඬබවම හඬක් වෙයි. වෛරයම ප්‍රේමයක් වෙයි. කලකිරීමම තෘප්තියක් වෙයි. කන්දම පල්ලමක් වෙයි. නැවතීමම ගමනක් වෙයි.”

මෙය මා උපු‍ටාගත්තේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු ලෙසත්, සාහිත්‍යධරයකු ලෙසත් ප්‍රකටව සිට වසර 3කට පෙර අප අතරින් වෙන් වූ කරුණාදාස සූරියආරච්චි නැත් නම් ‘කසුරි’ යනුවෙන් අප ළෙන්ගතු වදනින් හඳුන්වන සැබෑ මානවහිතවාදි පුවත්පත් කලාවේදියාගේ ‘උං ගියාදෙං’ නම් නවකතාවේ පෙරවදනෙනි.

ඔහු විසින් රචිත ‘අන්ධකාර තාරකාව’, ‘කළු දෝංකාරය’, ‘රතු ඉද්ද’, ‘මම තවම යමි’ හා ‘නෑසෙන මානය’ යන සියලු සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ්ව ඇත්තේද ඉහත පෙරවදන බඳු මනුෂ්‍යත්වය, අනිත්‍ය බව, උපේක්ෂාව හා ඒ හා සබැඳි මානවවාදි ගති-ලක්ෂණය. මේ සුවි‍ශේෂත්වය නිසාම ඔහුගේ නිර්මාණ ස්වර්ණ පුස්තක සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා ගොඩගේ සම්මාන වැනි මෙරට ප්‍රකට සාහිත්‍ය සම්මාන උලෙළ කීපයකම අවසන් වට සඳහා නිර්දේශ වූ බව ඔබත් මාත් දන්නා කරුණකි.

නිර්මාණ සාහිත්‍යය පිළිබඳ හසළ අවබෝධයක් මා හට නොතිබුණද ඉතා සමීපයෙන් ඇසුරු කළ අයකු ලෙස මට ඔහු පිළිබඳ යම් සංවේදිතාවක් විය. මා කලකට පෙර ඔහුගේ පුවත්පත් ලිපි, සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කළ අයකු වුවද ඉත‍ා සමීපයෙන් ඇසුරු කළේ 2011 වසරේදී පමණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් වීමෙන් අනතුරුවය. එවක එතුමා ‘සිළුමිණ’ පුවත්පතේ කර්තෘත්වය දැරීය. මේ පත්වීමත් සමඟ සූරියආරච්චි මහතාට වැඩි වුවමනාවක් ඇති වුණේ ජනමාධ්‍යවේදීන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහායි. නෛතිකව සිදු වන බලපෑමට වඩා ආචාර ධර්මානුකුලව ජනමාධ්‍යවේදීන් හැඩගැස්වීම වඩා වැදගත් බවත්, එමඟින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් මෙරට ඇති කිරීමත් හා ඒ දැනුවත් කිරීම මඟින් දීර්ඝකාලීන ප්‍රතිඵල උදා කරගත හැකි බවත් ඔහු විශ්වාස කළේය. මණ්ඩලයේ අරමුණ වූයේද එයයි.

වරක් අම්පාර දිස්ත්‍රික්කයේ ‘දැයට කිරුළ’ වැඩසටහනට සමගාමිව මණ්ඩලය මඟින් ප්‍ර‍ාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සැලැසුම් කරන ලද අතර, හදිස්සියේම සම්පත්දායක විද්වතකු අසනීප වීම හේතුවෙන් මා පත් වූයේ දැඩි අපහසුතාවකටය. පසුදින වැඩමුළුව පැවැත්විය යුතු විය‍. මේ තත්ත්වය පවසන්නට මා කසුරිට දුරකතන ඇමතුමක් ගත්තේ මධ්‍යම රාත්‍රියත් ආසන්න වීමෙනි. “හරි නිරෝෂණ, හෙට නම් වැඩ ගොඩක් තියෙනවා තමයි. එත් මේ වැඩේ කොහොම හරි හොඳට කරන්න ඕනෑ නේ...” යනුවෙන් මා හට පිළිතුරු දුන් ඔහු පසුදින උදෑසන 10.00 වන විට වැඩමුළුව පවත්වන ස්ථානයට පැමිණියේය. ඒ තනිව නොව, පවුලේ සාමාජිකයන්ද කැ‍ටුවය.

ඔහු ජනමාධ්‍යවේදීන් සඳහා පවත්වනු ලබන දේශනවලදී නිදර්ශනයක් ලෙස නිතර ඉදිරිපත් කරන සිදුවීමක් මට සිහිපත් වේ. එයින් අගනුවරින් බැහැර ප්‍රදේශයක අතුරු මාර්ගයක කුඩා බලු පැටවකු වාහනයකට යට වී මිය ගොස් තිබුණු බවත්, වරින් වර එම ස්ථානයට ඒ පැටවාගේ මව පැමිණ ඉව කිරීමට උත්සාහ කළද අනෙකුත් වාහන ඒ මිය ගිය පැටව‍ාගේ ශරීරය නැවත-නැවතත් යට කරගෙන ගිය බවත් කියවේ. සත්ත්වයන් තුළ පවතින උදාර ගුණාංග මිනිසුන් තුළ වියැකෙමින් පවතින බවද, විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් ගුණගරුක බවින් මෙන්ම මානව දයාවෙන්ද පිරිපුන් පිරිසක් විය යුතු බවද ඔහු මෙමඟින් කියා-පෑමට උත්සාහ කළේය.

ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදීද එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි ජනාධිපතිතුමන් කළ දීර්ඝ ගුණකථනයද මාගේ සිහියට නැ‍ඟේ. ජනමාධ්‍යවේදියකු ලෙසත්, සාහිත්‍යධරයකු ලෙසත්, ගුරුවරයකු ලෙසත්, මේ සියලු දේ අබිබවා උදාර මිනිසකු ලෙසත් ඔහු මෙරටට කළ සේවය සදා අනුස්මරණීය බව ජනාධිපතිතුමා එදා සිහිපත් කළේ අතිශය සමීපතමයකුගේ නික්මයෑමේ ශෝකය මොනොවට ප්‍රකට කරමිනි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් 2013දී වසරේ ප්‍රකාශයට පත් කළ ‘මාධ්‍ය සමික්ෂා - 11’ ග්‍රන්ථයේ කර්තෘත්වය දැරුවේ කසුරිය. එහි පසුවදනෙහි මෙවැනි සටහනක් විය:

“ඔබ කිසියම් කරුණක් පටන් ගැනීමට පෙර සිතන්න, ඔබේ සිහියට නැ‍ඟෙන අහිංසකම මිනිසාට ඒ කරුණෙන් අත් වන්නේ කුමන සෙතක්ද කියා.”

ඊට පහළින් මෙලෙසද යොදා තිබිණි:

“මහාත්මා ගාන්ධි සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ප්‍රකාශ කළ ඒ මානවවාදි වදන් පෙළ මාධ්‍යවේදියකු මාධ්‍ය පිළිබඳ හදාරන්නකු වශයෙන් ඔබටද අදාළ බව සිතන්න.”

කරුණාදාස සූරියආරච්චි මහතා විසින් තබන ලද මේ පසුවදන ඔහු වටහාගැනීමට කදිම නිදසුනකි. තරගකාරි ජනමාධ්‍ය ප්‍රවාහයක තම වෘත්තීය කටයුතුවල නි‍යැළෙන තරුණ ජනමාධ්‍යවේදීන්ට මහාත්මා ගාන්ධි තුමා කියා දුන්, කරුණාදාස සූරියආරච්චි මහතා සිහිපත් කළ ඒ ප්‍රකාශය කදිම මාර්ගෝ‍පදේශයකි.

නිරෝෂණ තඹවිට
පුවත්පත් කොමසාරිස්,
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය 

Comments