අඩු වූ වාහන බද්ද ජනතාවට දැනෙන්නට නම්... | සිළුමිණ

අඩු වූ වාහන බද්ද ජනතාවට දැනෙන්නට නම්...

 ජාතික ආණ්ඩුවේ තුන්වැනි අය වැය පසුගියදා ඉදිරිපත් කෙරුණා. මේ අය වැයේ බොහෝ දෙනෙක් බලා සිටියේ වාහන මිල විශේෂයෙන්ම මෝටර් රථ මිල ඉහළ පහළ යන්නේ කෙසේද යන්න ගැනයි. 2016/2017 අයවැයෙන් අශ්ව බල 1500ට වඩා වැඩි වාහනවල මිල විශාල ලෙසින් ඉහළ ගියාක් මෙන් මෙවරද සුපිරි වාහන මිල ඉහළ යනු ඇතැයි බොහෝ දෙනා බලා සිටියා. එසේම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරමින් වාහනයක් ගැනිමට සිහින දකින්නන් වෙනුවෙන් අශ්වබල 1000 හෝ අශ්වබල 800 වැනි සිලින්ඩර් ධාරිතාවෙන් යුක්ත වාහන මිල අඩු වීම කෙරෙහි ද ජනතාව බලා සිටියා.

අය වැයෙන් මොකද වුණේ?

ඇත්තෙන්ම මෙවර අය වැයෙන් සුපිරි තත්ත්වයේ වාහන මිල ශීඝ්‍ර ලෙසින් ඉහළ ගියා. ටොයොටා ප්‍රාඩෝ, වැනි අධි සුඛෝපභෝගී වාහන මිල රුපියල් ලක්ෂ 75කින් පමණ ඉහළ යන බවයි මේ වන විට වාර්තා වන්නේ. එමෙන්ම ලෑන්ඩ් කෘෂර් රථයක මිල රුපියල් ලක්ෂ 125කින් හෙවත් එක්කෝටි විසිපන් ලක්ෂයකින් පමණ ඉහළ යනු ඇතැයිද වාර්තා වෙනවා.

මේ තත්ත්වය මත නිසාන් එක්ස්ට්‍රේල්, ටොයොටා ප්‍රියස් හයිබ්‍රිඩ්, මිට්සුබිෂි අවුට්ලෑන්ඩර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ ඉහළ යනවා.

එසේම ටොයොටා ප්‍රිමියෝ ඇලියොන් රථයක මිලත් රුපියල් ලක්ෂ දෙකකින් පමණ මිල ඉහළ යන තත්ත්වයක් දක්නට තිබෙනවා.

එසේම ටොයොටා එක්සියෝ ඇක්වා, හොන්ඩා වෙසල්, ග්‍රේස් වැනි වාහනයක මිලද රුපියල් 750000කින් පමණ ඉහළ යන බවයි වාර්තා වන්නේ.

අය වැය ඒ අනුව නම් වාහන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි පෙනී යන්නේ. එහෙත් අය වැයෙන් ‘පොඩි කාර්‘ නමින් හඳුන්වන මෝටර් රථ මිල සැලකිය යුතු ලෙසින් අඩු වී ඇති බවක්ද පෙන්නුම් කරනවා.

සුසුකි වැගන් ආර්, ටොයොටා විට්ස්, පැසෝ වැනි රථයක මිලද රුපියල් ලක්ෂ 4කින් පමණ අඩු වන බවත් මේ අනුව පෙනී යනවා.

එසේම නව මිල සූත්‍රයට අනුව ජපන් මෝටර් රථ මෙන්ම සුසුකි මරුටි ඇල්ටෝ වැනි මෝටර් රථ මිලද රුපියල් ලක්ෂ 4කින් පමණ පහළ යාමට නියමිත වනවා.

ඒ අනුව විශේෂයෙන්ම විද්යුත් මෝටර් රථ හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ඉලෙක්ට්‍රික් කාර් ලෙසින් හඳුන්වන ‘නිසාන් ලීෆ්‘ මෝටර් රථයක නිෂ්පාදන බදු රුපියල් ලක්ෂ 10ක පමණ අඩු කර තිබෙනවා. .

මේ අප ගණනය කෙළේ නිෂ්පාදන බදු සංශෝධනය අනුව මෝටර් රථ මිල ඉහළ පහළ යන ආකාරයයි.

එහෙත් මෙහි ගැටලුව ඇත්තෙ වාහන ආනයනකරුවන් මේ වාසිය පාරිභෝගිකයාට ලබා දේවිද යන්න ගැනයි. ඒ ගැන බොහෝ විට සොයා බැලීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා පාරිභෝගිකයාට මේ වාසිය සැලසේවිද යන්න විශාල ගැටලුවක්ද තිබේ.

මේ වන විට වාහන නිෂ්පාදන බදු අය කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්ව අතර විවිධ කතා බහ ඇතිව තිබෙනවා. එයින් වඩාත්ම වැදගත් වන්නේ වාහන ආනයනකරුවන් පවසන්නේ කුමක්ද යන්නයි. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සිළුමිණට පැවසුවේ මෙවර අයවැයෙන් වාහන සම්බන්ධ නිෂ්පාදන බදු ඇතුළුව පනවා ඇති අනෙකුත් බදු යම්කිසි ක්‍රමානුකූලත්වයකින් යුක්තව පනවා ඇති බවයි. එම නිසා වාහන මිල වසර 3ක් පමණ යනතුරු ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

එසේම මෝටර් රථ ආනනයයේදී මෙරටට ගෙන්වන ලබන වාහන උපරිම ආරක්ෂාවකින් යුක්තව ගෙන්වීමට අණ පනත් පැනවීම තුළින් ජනතාවගේ ආරක්ෂාව කෙරෙහි විශාල අවධානයක් යොමු කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා. එමෙන්ම අශ්වබල ධාරිතාවය 1000ට වඩා අඩු මෝටර් රථ සදහා සැලකිය යුතු නිෂ්පාදන බදු අඩුවීමක් සිදු වනු ඇති බවට සම්පත් මහතා පවසනවා. කෙසේ වෙතත් 2018 වසරේ සිට එනම් තවත් මාස එකහමාරකින් පසුව මෙරටට ආනයනය කරනු ලබන සියලුම වාහනවල වාහනය පදවන රියැදුරාට සහ ඉදිරිපස අනෙක් අසුනේ සිටින තැනැත්තාගේ විශේෂ ආරක්ෂාව පිණිස ද්විත්ව ආරක්ෂිත වායු බැලූන‘ (ඩුවෙල් එයාර් බෑග්“ තිබිය යුතු අතර වාහන තිරිංග අනිවාර්යෙන්ම ඒබීඑස් බ්රේක් වලින් සමන්විත යුතු වනවා. එමෙන්ම ඉදිරිපස සහ පසුපස ආසනවල සිටින සියලු දෙනාම ආරක්ෂිතව ගමන් කිරීම සදහා ආසන පටි අනිවාර්යය කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නා. සම්පත් මහතා පවසන්නේ ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මරුටි ඇල්ටෝ වැනි කුඩා මෝටර් රථ මේ නවීන පහසුකම් සහිතව ආනයනයේදී ඒවා යේ මිල ඉහළ යනු ඇති බවයි. මේ නිසා යළිත් වරක් පොඩි මිනිහාට වාහනයක් මිලදී ගැනීම සිහිනයක්ම විය හැකිව තිබේබෙන බවද ඔහු පවසනවා.

එසේ වුවත් මහජනතාවට විශාල වාසියක් අත්ව තිබෙනවා. ඒ ඉලෙක්ට්‍රික් කාර්‘ නිෂ්පාදන බඩු අඩු කිරීම නිසයි. මේ නිසා අලුත්ම අලුත් හෝ භාවිත කළ විද්යුත් මෝටර් රථයක් මිලට ගැනිමේදී අඩු කරනු ලබන නිෂ්පාදන බද්ද පාරිභෝගිකයාට සැලසෙන ආකාරයේ ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු වනවා.

ඒ කාර්යය සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය රේගුව හා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් හෝ එක්ව යම් කමිටුවක් පිහිටුවා ගත යුතු වෙනවා. නමුත් අපේ රටේ හැම විටම සිදු වන්නේ වාසිය වෙළෙන්දා විසින් හෝ අතරමැදියා විසින් උදුරා ගැනීම නිසා මේ කාර්යයද එලෙසින්ම සිදුවේද යන ගැටලුව මතුව තිබෙනවා.

එසේනම් සිදු කළ යුත්තේ වාහන මිල එසේම තබා විද්යුත් මෝටර් රථ ලබා ගන්නා පාරිභෝගිකයන්ට මුදල් අමාතයාංශය මඟින් අදාළ සහන සැලසීමයි. එසේ නොවුවහොත් එය ප්‍රාෙයා්ගික තලයේ ක්‍රියා මාර්ගයක් වන්නේ නැහැ.

අඩු කරන ලද බදුවලට අනුව නිසාන් ලීෆ් රථයක නිෂ්පාදන බදු මුදල විශාල ලෙස අඩු කර තිබෙනවා. ඒ අනුව මෙරට වැඩි වශයෙන් භාවිත වන කිලෝවොට් 80 සිට 100 දක්වා වන විද්යුත් මෝටර් රථයක එක කිලෝවොට් එකකට නිෂ්පාදන බදු ලෙසින් අය කරන්නේ රුපියල් 12500ක් පමණයි. ඒ අනුව කිලෝවොට් 80ක නිසාන් ලීෆ් රථයක බදු මුල වන්නේ 80 X 12500ක් හෙවත් රුපියල් ලක්ෂ 10ක් පමණයි කිලෝ වොට් 100ක වාහනයක් සඳහා නිෂ්පාදන බදු මුදල ලෙසින් අය කරනු ලබන්නේ 100 X 12500ක් හෙවත් රුපියල් 1250000ක් පමණයි.

නව නිෂ්පාදන බදු සංශෝධනයට අනුව බදුවලට අදාළ රථයේ සිලින්ඩර් ධාරිතාවයට අනුව බදු අය කරනු ලබන අතර එය සරලව දක්වනවානම් අශ්ව බල 1000ට අඩු පෙට්‍රල් මෝටර් රථයක් සදහා එක් අශ්වබලයකට රුපියල් 1750ක් අය කරනු ලබනවා. ඒ අනුව අශ්ව බල 800ක් වන ඇල්ටෝ වැනි මෝටර් රථයක නිෂ්පාදන බදු මුදල වන්නේ රුපියල් 1750 X 800 එනම් රුපියල් 1400000 කි. එසේම අශ්ව බල 1300ත් 1500ත් අතර මෝටර් රථයක එක් අශ්වබලයකට රුපියල් 2750ක් අය කරනවා. ඒ අනුව අශ්වබල 1300ක් වන මෝටර් රථයකට රුපියල් 1300 X 2750ක් එනම් 3575000ක් නිෂ්පාදන බදු වශයෙන් ගෙවිය යුතු වෙනවා. එසේම අශ්ව බල 1500 ක් වන මෝටර් රථයකට නිෂ්පාදන බදු වශයෙන් 1500 X 2750ක් එනම් රුපියල් 4125000ක් ගෙවිය යුතු වනවා. අශ්වබල 1600ක් වන මෝටර් රථයකට එක් අශ්වබලයකට රුපියල් 4000ක් ගෙවිය යුතු වන අතර අශ්ව බල ඒ අනුව අශ්වබල 1600ක් වන මොටර් රථයක් සඳහා 1600 X 4000ක් එනම් 6400000 ගෙවිය යුතු අතර අශ්වබල 1800ක් වන පැට්‍රල් මොටර් රථයක් සඳහා එක් අශ්ව බලයකට රුපියල් 5000ක් බැගින් නිෂ්පාදන බදු ගෙවිය යුතු වනවා. එය ලක්ෂ 90ක් වනවා.

මේ අප කතා කෙළේ පැට්‍රල් මෝටර් රථ සම්බන්ධයෙන්.

එසේම දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් ටමේ ආකාරයෙන්ම නිෂ්පාදන බදු අය කිරීමේ සූත්‍රයක් හඳුන්වා දී තිබෙනවා. එහිදී අශ්වබල 1300ක් වන හයිබ්‍රිඩ් රථයක නිෂ්පාදන බද්ද එක සිලින්ඩර් ධාරිතාවක් සඳහා රුපියල් 2000ක් වන අතර එවිට නිෂ්පාදන බද්ද වන්නේ රුපියල් ලක්ෂ 26කි. එසේම අශ්ව බල 1500ක රථයකට නිෂ්පාදන බද්ද වන්නේ 1500 X 2500 වන අතර එය රුපියල් 3750000කි.එසේම අශ්වබල 1600ක් වන හයිබ්‍රිඩ් රථයක බද්ද වනුයේ එක් අශ්ව බලයකට රුපියල් 4500ක් බැගින් වන අතර 3500 X 1600 එනම් ලක්ෂ56කි‍‍. අශ්වබල 1800ක් වන හයිබ්‍රිඩ් රථයක නිෂ්පාදන බද්ද වනුයේ එක් අශ්වබලයකට රුපියල් 4500ක් බැගින් වන අතර එය 4500 X 1800 එනම් ලක්ෂ 81කි. මේ ආකාරයෙන්ම ඩීසල් මෝටර් රථ සඳහාද අශ්වබල ධාරිතාව අනුව ක්‍රමයෙන් වැඩිවන ආකාරයට නිෂ්පාද බදු සංශෝධනය කර තිබෙනවා.

ත්‍රිරෝද රථ සඳහාද මෙවර බදු සංශෝධනයේදී නිෂ්පාදන බදු වැඩි කර ඇති අතර විද්යුත් ත්‍රිරෝද රථ සඳහා බදු අඩුකර තිබෙන්නේ පරිසර හිතකාමී වාහන මෙරටට ආනයනය කිරීමේ වැදගත්කම පෙන්වා දීමටයි. එහෙත් ඊටත් වඩා වටිනා තවත් වැදගත් වැඩක් කළ යුතු වනවා.

ඒ වාහනයක් මිලදී ගැනීම සිහිනයක් නොවන්නට නම් අයවැයෙන් වාහන නිෂ්පාදන බද්ද අඩු වූ ආකාරයෙන්ම ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට හෙට නොව අදම අවශ්‍ය පියවර ගත යුතු වනවා. එසේ නොවුණහොත් මීට පෙර අවස්ථාවල සිදු වූවාක් මෙන්ම ඒ වාසිය අතරමැදියාට ඇදී යන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එසේත් නැත්නම් විද්යුත් මෝටර් රථ මිලදී ගන්නන්ට වාහන බලපත්‍රයක් ලබා දීමේ ක්‍රමයක් හෝ මොනයම්ම හෝ ක්‍රමයකින් පාරිභෝගිකයාට මේ වාසිය ලබා දිය යුතු වෙනවා. එය සිදු වෙයිද?

තාරක වික්‍රමසේකර

Comments