කොන්ත්‍රාත් නිසා වෙනස් වන වැව් රාජකාරිය | සිළුමිණ

කොන්ත්‍රාත් නිසා වෙනස් වන වැව් රාජකාරිය

 පසුගිය සැප්තැම්බර් 3 වැනිදා සිළුමිණ පත්‍රයෙහි ආචාර්ය එච්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් ‍ලියා පළකරන ලද “මහ වැව ගමේ ලොකු අම්මාය” යන ලිපියට ඌනපූර්ණයක් ලෙසින් මෙය ලියා එවමි. එදා සිංහලයන් විසින් වැවේ කටයුතු හඳුන්වන ලද්දේ වැව් රාජකාරි වශයෙන්ය. එය දේවකාරියකට සමානය. ගංකරේ උදවියගේ සියලුම කටයුතු ආදියේදි වැව ප්‍රධානකොට සිදුකරන ලද්දේ වැව මුළු ගමට ම යහපත උදා කරදෙන ප්‍රධානතම සහායකයා වූ නිසාය.

ගින්න, ජලය හා අව් වැසි දේවත්වයේ ලා සලකන ලද්දේ මේ නිසාය. උපතින් ම ජලය මව හා සමාන බව මිනිසාට දැනුම් තේරුම් යන්නේ ඔහු බාල බිලිඳු අවධියේ සිටම ජලයට සමීපකරන බැවින් ය. මෙය සාමාන්‍ය දෙයක් ලෙස නොගත යුතුය. දරුවෙකු මව්ගේ කුසේ රඳන්නේ හිස් බෑගයක නොව “වෝටර්බෑග්” නමින් හැඳින්වෙන කුටීරයකයි. මේ නිසා මිනිසාට ජලය නොමැතිව ජීවත්වීම උගහටය. “ජලය ජීවීන්ගේ ජීවයයි” යනුවෙන් හඳුන්වන්නේ මේ සියලු හේතු පාදක කොට ගෙනය.

අද ජලයෙහි වටිනාකම වෙන කවරදාටත් වඩා අපට දැනෙන්නේ පවතින දැඩි නියඟය නිසයි. නමුත් ජලය අරපිරිමැස්මට හෝ ජලය අපවිත්‍ර කිරීමකින් තොරව තබාගැනීමට අපේ කිසිවෙක් උනන්දු නොවේ. අදින් වසර ගණනාවකට පෙර ජලය සඳහා අප කිසිදු මුදලක් ගෙවුවේ නැත. එහෙත් අද එය වෙනස් වී ඇත. අප මෙලොවට බිහිකරන්නේ මෑණියන් විසින්ය. අපි අපේ මෑණියන්ට බොහෝ සේ ගෞරවය හා ආදරය දක්වමු. නමුත් ජලය! අපට ජීවය ලබාදෙන්නාවූ ජලයට අප එසේ ආදරය නොකරමු. අද සියළුම ජල මූලාශ්‍ර ජනතාව විසින් අපයෝජනයට ලක් කර ඇත. මෙය සිතාමතාම සිදු කරන්නාවූ ක්‍රියාවකි. පොදුවේ ගත්කල වැව්දියට සිදුවී ඇත්තේ ද මේ ටිකමයි. අද වැවක් ආරක්ෂාකාරී ලෙස පරිහරණය කරන්නේ කීයෙන් කී දෙනෙක්ද? මේ සැප්තැම්බර් මස දෙවෙනිදා මම ගල්ගමුවේ හා කොහොඹන්කුලමේ වැව් ආශ්‍රිත සංචාරයක යෙදු­‍ෙණමි. එහිදී මාදුටුවේ ජලය නොමැති කමින් මිනිසුන් විඳින දුකයි.

අරපිරිමැස්ම හා අගය වටහා ගැනීමක් නොමැති අපේ ජනතාව මේ නිසා බොහෝ දුකට පත්ව ඇත. වටේ සියළුම වැව් දෙදරා ඉරිතළා සිඳීගොස් ඇති අතර ගල්ගමුවේ නිල්ගිරි වැවේ පමණක් නිල්පාට දිය පිරී ඇත. නගරය අසල ඇති අරසන්වැව කුණු ගොඩකි. හතරව‍ටේ ජනයා එම වැවේ ජලය අපිරිසිදු වන විලසට නොයෙකුත් අප ද්‍රව්‍ය දමා අපිරිසිදු කර ඇත.

ලංකාවේ හතරදිග් භාගයේ ඇති වැව් අද පිරිසුදුතාවයෙන් තොරය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ නොසැලකිලිමත් කමයි. මුද්‍රිත හා විද්යුත් යන හැම මාධ්‍යයක් මඟින් ම කරුණු කොතෙක් කියාදුන්න ද එය හරියට බීරි අලින්ට වීණා වාදනයක් වැනිය. දැනට ගල්ගමුව නගරයේ තිබෙන පිරිසිදු ජලය පිරි එකම වැව වූ ගල්ගමුවවැව මහජනයා පාවිච්චියට ගන්නේ ඉතාමත් නොසැලකිලිමත් ලෙසයි. රෙදි සේදීම, නෑම ආදිය කරන්නේ වැව අපවිත්‍ර වන ආකාරයටයි. මෙය මා විසින් දුටුදේය. එසේම කලාවැවට වාහන බස්සවා සේදීමද කරනු ලබයි. මේවා වැරැදි ක්‍රියාවන් වුවත් ඒ ගැන තැකීමක් නොමැත. අපේ වැව් ශිෂ්ටාචාරයේ අණපනත් හා බොහෝ තහංචි ඇත. නමුත් අද ඒ කිසිවක් පිළිනොපදී. මීට හේතුව ලෙයින් දකින්නේ නීතිය හරිහැටියට ක්‍රියාත්මක නොවීමයි. ඇතැම් වැව්වල කුඹුරු ගහන ලද ට්‍රැක්ටර් සෝදන අයුරු දැකගත හැකිය. මේ අයුරින් ම එක්තරා වැවක මා දුටුවේ පොහොර කවර තොගයක් දමාගෙන සෝදන සැටියි. සමහරවිට මේ වැරැදි ක්‍රියාව ගැන තැකීමන් නැත. පරිසරවේදීන් හා පරිසර සුරකින පිරිස් කොතෙක් ඇස්දල්වා බලාසිටියත් මේ කටයුතු මෙසේ සිදුවේ.

මී ඔයෙන් එගොඩ කෝරලයේ ගල්ගමු ප්‍රාදේශීය මහලේකම් බල කොට්ඨාසය තුළ බොහෝ වැව් ප්‍රමාණයක් ඇත. මේ බොහොමයක් එල්ලංගාවේ ක්‍රමයට අසුවන වැව්ය. අද මින් බොහොමයක් සිඳී ඇත. ඒ නිසා ජනතාව විඳින්නේ මහත් හිරිහැරයකි. එදා අපේ පැරණි ගංකරේ උදවිය ජලය දෙවියා කොට සලකන පූජාපවත්වා පිංපෙත්ලබා දී ජලය ඉල්ලුවේ හිත සතුටු කරමින්ය. අද ඒ පැරණි සිරිත් අකා මකා යමින් පවතී. එයද මෙම ව්‍යසනයට හේතුවක් බව මා සමඟ කීවේ කොහොඹන්කුලමේ. ඊ.එම්. ඒකනායක මහතා සහ ඊ.එම්. ජයතිලක කපු මහතාය. එහිද යම් සත්‍යතාවක් ඇති බව පෙනේ.

එදා සංහිඳට එකතුපාදා වුන ගංකරේ අය දෙවියන් සතුටුකොට පඬුරු පුදා ඉල්ලන ලද්දේ වැවට ජලය පුරවා දී බව භෝග වැඩිදියුණුකර දෙන ලෙසයි.

එදා මුළු ගමේ ම පිරිස් මීට එකතුපාදා වුණත් අද එම සංස්කෘතික සිරිත් බැහැර ගොස් ඇත. එදා “පදුබෝව” හත අටක් දූවිලි නංවා කැරකෙනවිට වේයන් ගස්වල ඉහළට වේපස් බැඳ ගිය විට උකුස්සා බිං මට්ටමින් කෑගසමින් ඉගිල ගිය විට ගෙදර බලුකුක්කා දෙපයින් බඩපැත්ත කසමින් වකුටු වූ විට මහ වැසි පුරන්නට ළංවන බව පවසන්නේ ගමේ අතප්පලායි. නමුත් අද ඒ සුභලකුණු දුටුවත් වැස්ස නම් පේනතෙක් මානයක නැත. ඇතැම් අය කියන්නේ මෙය දේවශාපයක් බවයි. එහිද ඇත්තක් නැතැයි කිව නොහැකිය. අද කිරලුන් මඩකලපුවේ බිජු දැම්මත් ඉහතින් කී ලකුණු ඇස්පනාපිට තිබුණත් වැසි නොවැටෙන්නේ වෙන අන් කරුණක් නිසා නොව අපේ සිත්වල ඇති කිලිටි හා කුහකකම් නිසාය.

අද එදා තිබූ සදාචාර ගති නැත. ඇත්ත එයයි. අප කොතෙක් බණ ඇසුවත් පිංකම් කළත් හිත් ඇතුළේ ඇත්තේ කුහකකමයි. මේ නිසා ස්වභාව ධර්මයත් පරිසරයත් අපට සමච්චල් කරමින් පහර පිට පහර ගසන බව පෙනේ. මේ සිදුවන දේ කොයි ලෙසින් අර්ථ දැක්වුවත් ඉන් ජනයාට සිදුවන්නේ අහිතක් ම ය.

අද සියලු දෙයම සිදුවන්නේ නුහුරටය. හැම දෙයක් ම සමානුපාතීව සිදුනොවේ. වැසි වහිනවා නම් එය සිදුවන්නේ විනාශ වී පාළුවී යන ලෙසටය. මේ පිළිබඳව අපේ ගරුකටයුතු හිමිනමක් මා සමඟ පැවසූ අදහසක් මෙසේ විය. එහිද ඇත්තක් මිස බොරුවක් නැතැයි මම විශ්වාස කළෙමි.

උන්වහන්සේ කී දෙය ඒ ලෙසින් ම මෙහි සටහන් තබමි.

“බලන්ඩ මහත්තයා මේ මිනිස්සු මෙලෝකෙ දෙයක් දන්නෙ නෑ. මොකද දන්නවද දැං ඕනෑ ම දේකට මේ අය කරන්නෙ දෙය්යන්ට පොල් ගහන එක එක ගෙඩියක් නෙමේ. එක්කො ගොඩි පන්සීයක් විතර නැත්නං දාහක් විතර මේ පොල් ගහන්නෙ මොකටද විනාශ වෙලා හැඳිගෑවිලා පලයං කියල ඉතිං මේ රටට හරියයිද?”

මම උන්වහන්සේගේ කීම ටිකක් ඔලුවට ගෙන විමසා බැලීමි. ඇත්ත නේන්නං අපේ අය මාස දෙකෙන් තුනෙන් ගහන පොල්වල හැටියට ලංකාවක් ඉතුරුවෙලා තියෙන එකත් පුදුමයක්.

ඉස්සර අපේ උදවිය. වැව්ගංකරේ අය ‍කළේ ඔය වගේ පොල් ගැහිලි නෙමේ. අය්යනායක දෙවියන්ඩ කම්බිලි කඩවර දෙවියන්ඩ. ගුරුමාබණ්ඩාර දෙවියන්ඩ කළු කම්බිලි දෙවියන්ඩ වැදිදේවතාබණ්ඩාර දෙවියන්ට පූජා පවත්වා පිංදී යමක් ඉල්ලා ගැනීම. ඒවා හරියට ම අකුරටම ටක්කෙට ම ඉටුවූ බව කියන ජයතිලක කපු මහතා දැන් හැදීගෙන එන අයගේ මේ නව සංස්කෘතිය මඟින් ඒවා ටිකෙන් ටික දුරස්ව යන බවත් පැවසුවේ සුසුම් හෙලමින්ය.

එදා අපේ රජවරු කීවේ අහසින් වැටෙන එක දිය බිඳක් හෝ අපතේ නොහරින ලෙසයි. නමුත් අද ඊට වඩා ජලයට හානිකරන විපත්කරන අය වැඩි බව පෙනෙන බව කී ජයතිලක කපුමහතා අද දෙවිවරුන් පවා අපේ කන්නලව් කන්නොදෙන තත්වයට පත්ව ඇති බැව් කිය. මෙය විමසා බැලිය යුතු කරුණකි. ගල්ගමුවේ වැව අසල ඇති ජුසේවාස් පියතුමා ලැගුම්ගත් අනුහස් ඇති පූජනීය පලුගස නැරඹීමට ගිය මට අපූරු ඉතිහාස කතාවක් කියාදුන්නේ අන්නැවිරාල ලෙස කටයුතු කරන රාජවන්නි උන්නැ‍ෙහ්ලාගේ ජෝශප් සෙලස්තීන් ඇන්ටනී මහතායි. එම සංචාරයට මා හා එකතු වූ ගල්ගමුවේ නිමල් විජේනායක මහතා ද එම පුරාවෘත්තය සනාථ කළේය.

අදින් වසර ගණනාවකට පෙර සිංහලේ රජු දෙවන රාජසිංහ දඹකෙළියේ මේ ප්‍රදේශයේ සංචාරය කළ බවත් එකල මේ ප්‍රදේශයේ ලැගුම්ගෙන දඩකෙළියේ යෙදුණ බවත් කියා සිටි අතර යකෙක් විසින් බැන්දා යයි සැලකෙන මේ ගල්ගමු වැවේ රජතුමා ජල ක්‍රීඩා කළ බවත් දමිළ ගෝත්‍රයේ අය වූ තමාගේ මුල් පිරිසට රජතුමාට සත්කාර සංග්‍රහ ආදිය කළ නිසා රාජ කරුණාව ලබාදී “රාජවන්නි උන්නැහේලාගේ” යන වාසගම ලබාදුන් බව පැවසුවේ එය පැවත එන පුරාවෘත්තයක් යයි කියමින්ය.

වැවේ සොරොව් ජලය ගලායන ඇළ අසල පිහිටා තිබූ මෙම සුවිසල් පලුගස් සෙවන යට අදින් වසර සිය ගණනකට පෙර එනම් 1692 දී ජුසේ වාස් පියතුමා නවාතැන් ගෙන සිටි බවත් උන්වහන්සේ පරිහරණය කරන ලද අනුහස් සහිත කලුවර ලී කුරුසිය පසුව එම පලුගසේ රැඳී තිබියදී හමුවූ බවත් පවසන ඇන්ටනි මහතා මෙම වැවේ ජලය මේ අයුරින් සිඳී නොගොස් පිරී පවතින්නේ යම් අනුහස් බලයක් නිසා බව ද පවසයි. මෙම පූජනීය ස්ථානය වැව් බැම්ම ආසන්නයේ ම පිහිටා ඇත.

ජලය මිනිසාගේ පැවැත්ම උදෙසා බෙහෙවින් ම අවශ්‍ය කරන බව ගෞතම බුදුන්වහන්සේ ද දේශනා කර තිබේ. ජලයේ වටිනාකම හා එහි ඇති වැදගත්කම තම දේශනාපාලියේ සඳහන්ව ඇත.

ආරාමවල හා පූජනීය ස්ථානයන්හි පාවිච්චි වූ ජලය දෙයාකාරය. එය පානීය හා පරිභෝජන විලසින් දැක්වේ. මේ පානීය ජලය උතුම්කොට සලකන ලද අතර එය කිසිලෙසකින්වත් අපිරිසුදුවීමට ඉඩ නොදෙන ලදි. මේ ජලය ගත්තේ මුව දෝවනයට හා බීමටය. බීම යනු ශරීර අභ්‍යන්තරයට යාමයි එය අතිශය පිරිසුදුවිය යුතුය. “මුඛ විකඩාල හත්තංඤ්ම පීවතත්ථඤ්ච” ආදි වශයෙනි. “චරියා පිංකයේ” එසේ සඳහන් වේ. ඒ ‍එ‍ෙස් වුවත් අපේ අය බොන ජලයට අද මුසු කරන්නේ වසයි. වස ඉසින තෙල්ටැංකි පවා නොදැනුම් ඇති පිරිස් වැව්දියේ හා ඇළමාර්ගවල දමා සෝදන අයුරු අපට දැකගත හැකිය. මෙහිදී තවදුරටත් “චරියා පිංකයේ” මෙසේ සඳහන් වේ. “පානීයං පිපාසහරන්ථාය” බුදුවදන එසේ වුවත් අපේ වැඩ මෙසේය.

අද අපේ පරිභෝජන ජලයත් පානීය ජලයත් එකසේ අපිරිසුදු වී ඇත. අපිරිසුදු කරන්න එපා කියමින් බෝඩ් සවි කිරීමට සිදුව ඇත. අනාදිමත් කාලයක සිට ඉතාමත් හොඳ ජීවිත ගතකළ අපේ සිංහල ජාතිය කුරුවල්වී ගිය සැටියක් පෙනේ. මෙය සිදුවූයේ අධිරාජ්‍යවාදී පාලන යුගයෙන් පසුව බව සිතාගත හැකිය. “දේවො වසස්තු කාලෙන” යන පාඨ කොතෙක් ගායනා කළද සුගතියක් අත්වන බවක් නොපෙනේ.

ධර්මරත්න තෙන්නකෝන්
හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.