ගව ගාලක්... සෙනෙහෙ විලක් | සිළුමිණ

ගව ගාලක්... සෙනෙහෙ විලක්

මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. මේ හැම සතෙකුටම මං නමක් දාලායි තියෙන්නේ. හැමදාම සත්තු නාවනවා. ආදරයෙන් කතා කරනවා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. හය වෙනකොට වල් කපලා අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට.

අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ.

* දෙනුන් හදන්නේ දරුවන් මෙන් ආදරයෙන්
* මේ සත්තු කවදා හෝ නිවන් දකින්න ඕනෑ
* මැරෙන්න පෙර මේ රට වස විසෙන් තොර රටක් කිරීම උත්සාහයයි

අධිෂ්ඨානයත් උත්සාහයත් තිබේනම් කෙනෙකුට කළ නොහැකි දෙයක් නැති වග පසක් කරන කතා පුවතකි මේ. සරත් විමලවීර යනු උත්සාහයෙන් ඉදිරියට පැමිණි මිනිසෙකි. මිනිසත්කමින් පිරිපුන් ඔහු ජීවිතය ජය ගත්තේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය. ඔහුගේ ජීවිතයට නව මං පෙතක් විවර කෙරෙනුයේ කිරි ගව පාලනයත් සමඟය. තමන් සන්තකයේ සිටින කිරි ගවයන් සිය පණසේ සුරකින මොහු සතු කිරි ගව පට්ටියේ විශේෂතාව වන්නේ ඒ සතුන්ට ද රැයක් දවාලක් නොමැතිව විසිහතර පැයේම පිරිත් සජ්ඣායනාවේ මිහිරියාවට සවන් දීමට ඉඩ සලසා තිබීමය. මේ අපූරු කිරි ගව පට්ටිය දැක බලා ගැනීමට ලැබෙනුයේ වැලිමඩ, බණ්ඩාරවෙල පාරේ දිවිතොටවෙල ‘ෆැමිලි ෆාම්’ ගොවිපළේදීය. මේ වෙද්දී කිරි ගවයන් 57ක් පමණ සිටින එම කිරි ගොවිපොළ අද මුළු ඌව පළාතේම ගොවීන් අතර ප්‍රචලිතය.

“මගේ සත්තු හරිම අහිංසකයි. උනුත් දවසක නිවන් දකින්න ඕනෑ. මේ කිරි ගවයන් මගේ ජීවිතය හා සමානයි. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. ඔවුන් සියලු දෙනාටම මම නම් දාලා තියෙන්නෙ නාමලි, සුරතලි, කොමලි, පූජා, ගෞරවී, ලොකු කළු, පොඩි කළු ආදි නොයෙකුත් නම්. ඒ වගේම හැමදාම සත්තු ටික නාවනවා. දවසකට වතුර ලීටර් 5000ක් යනවා” යැයි පවසමින් 53 හැවිරිදි විමලවීර මහතා සිය කතාව පවසන්නට වුයේය.

“ඇත්තම කිව්වොත් මට අදටත් නම ලියන්නයි අත්සන් කරන්නයි විතරයි පුළුවන්. මට තියෙන්නෙ බුද්ධි දැනුම පමණයි.”

සරත් විමලවීර එසේ පැවැසුවත් අද එම ගොවිපොළ මුළු ඌව පළාතටම පමණක් නොව රටටම සෙත සලසන දැවැන්ත ගොවිපොළකි. කිරි ගවයන්ගෙන් ලබාගන්නා ගොම සහ මූත්‍ර ආශ්‍රයෙන් ඔහුගේ ගොවිපළෙහි කාබනික පොහොර සේම දියර පොහොර ද නිෂ්පාදනය කරයි. එහි මේ වෙද්දී සියයකට ආසන්න සේවක පිරිසක් ද සේවය කරති.

“අද මං මේ තත්ත්වෙන් සිටියත් මම බොහෝ දුක් වින්ද කෙනෙක්. මේ සියලු දේවල් වෙනස් වෙන්න ගියේ තවම අවුරුදු හතක් වගේ කෙටි කාලයක්. මගේ කතාව කිව්වොත්, මං මුලින් රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියදී සෑහෙන්න මත්පැන් බිව්වා. ඇත්ත කතාව තමයි මත්පැන් නිසා මිනිස්සු අන්ත හිඟන්නෝ වෙනවා කියන එක. ඒක මං අත්දැකීමෙන් කියන්නෙ. මට ඒ දේවල් ඒ කාලේ තේරුණේ නෑ. මං ඉතින් එදා මත්පැන් නිසා අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කළ නිසා මගේ පවුලේ අනෙකුත් පිරිස අතරේත් අන්ත අසරණව කොන් වුණා. එක බඩවැල කඩාගෙන ආ සහෝදරයොත් මාව කොන් කළා. ඒක තමයි ඇත්ත. ඒවට මට ඕනැතරම් උදාහරණ කියන්න පුළුවන්. මගේ පවුලේ සහෝදරයෝ හත්දෙනයි.

ඉතින් ඔය දේවල්වලින් මගේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇතිවුණා කොහොමහරි මේ මත්පැන් බීම නතර කරලා මාත් මිනිහෙක් වෙනවා කියලා.”

එෙලස එම අභාග්‍යසම්පන්න ජීවිතයට ‘තිත’ තැබීමට සරත් දැඩි සේ අදිටන් කරගත්තෙ තමාගේ මිනිපිරිය මෙලොව උපන් දාය. යළි කිසි දිනක මත්පැන් කටේ නොතැබීමට ඔහු දැඩිලෙස තීරණය කරගත්තේ එදාය.

එලෙස මීට අවුරුදු හතකට පෙර දැඩි අදිටනකට පැමිණි සරත් එම යහපත් චේතනාව යථාර්ථයක් කරගනිමින් ජීවිතයේ නව ගමනක් සඳහා යොමු වූයේ කිරි ගව පාලනයට අත තබමිනි.

“මුල්ම කිරි එළදෙන ගත්තෙ සමෘද්ධියෙන් රුපියල් 5000ක ණයක් අරගෙන. බීම නතර කිරීමත් සමඟ මගේ ඉහළ යෑමේ ලකුණු පහළ වුණා. පස්සෙ ටිකෙන් ටික මට ලැබෙන පිළිගැනීමත් වැඩිවුණා. ඒත් මට මේ කිරි ගව පාලනය ගැන කිසිම දැනුමක් නම් තිබුණේ නැහැ. මුලින් ගෙනාව ගවයගේ පැටිය මැරුණා අපේ නොදැනුවත්කමින්. ඒකෙන් මට මේ වැඩේ එපා වුණා. එතෙන්දි මට උදවු කළේ පශු වෛද්‍ය යාපා මහත්මයා.”

එලෙස ආරම්භයේදී පැමිණි බාධක ද ජයගෙන සරත් ඉදිරියට පැමිණෙද්දී ඔහුගේ සිහියට නැඟුණේ ගොවිපොළ සඳහා යෙදිය යුතු නම පිළිබඳවයි. ඔහු ඒ සඳහා අපූරු උපක්‍රමයක් යොදමින් නමක් තැබුවේය. ඒ අනුව ඔහු සිය ගොවිපොළ ‘ෆැමිලි ෆාම්‘ ලෙස නම් කළේය.

“මට ළමයි තුන්දෙනයි. මං කිව්වා ළමයින්ටයි බිරියටයි, ඔන්න මම ගොවිපොළ පැමිලි ෆාම් කියල නම් කළා. හැබැයි හැමෝම වැඩ කළ යුතුයි කියලා. කිව්ව වගේම අපේ ගෙදර සියලු දෙනාම අවසානයේ වැඩේට බැස්සා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. මම යනවා වල් කපන්න. හය වෙනකොට වල් අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට. අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ. මුළු ගමටම ඇහෙන්න පිරිත් දානවා. මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මුලින්නම් සල්ලියබාගෙ යහමින් තිබුණේ නැහැ. තිබුණ එකම දේ ධනාත්මක සිතිවිලි පමණයි. හැබැයි එදා සිටම මගේ වැඩනම් හරිම කෙළින්. බොරුවට විරුද්ධයි. මං ඕනෑම තැනකට අඳින්නෙ සරම. කෙළින් කතා කරනවා වගේම කරන්නෙත් හරි දේ පමණයි.”

වර්තමානය වන විට කිරි ගවයන්ගෙන් ලැබෙන ගොම උපයෝගීකොට කොම්පෝස්ට් පොහොර කිලෝ අනූ ලක්ෂයකට වඩා නිපදවන අතර පොත-පතේ දැනුම නොතිබුණත් ඔහු සිය සහජ බුද්ධියෙන් ගව මුත්‍ර සහ ජීව වායු එක්කොට දියර පොහොර ද කෑන් ලක්ෂ ගණනක් නිපදවා මේ වන විට වගා සඳහා සාදා තිබේ.

“මං හදලා තියෙන දියර පොහොරයට කිසිම කෘමියෙකු එන්නෙ නෑ. මල්වලට, තේවලට, ලීක්ස්, බිට් ආදි ඕනෑම වගාවකට ඉතාම ගුණදායක දියරයක් කියලා මගේ දියර පොහොර සාන්ද්‍රණය ඔප්පු වෙලා අවසානයි. ඒ වගේම මට කොම්පොස්ට් පොහොර සාදන හැටි කිසිම දැනීමක් තිබුණේ නැහැ. මම තනිවම සීඩි බලලයි නියම ප්‍රමිතියට කොම්පොස්ට් හදන්න ඉගෙන ගත්තෙත්.”

වාසනාව සහ උත්සාහය මතින් ඉදිරියට පැමිණි සරත්ගේ ගොවිපොළ නැරැඹීම සඳහා මේ වන විට පාසල් දරුවෝ මෙන්ම විවිධ පිරිස් ද වැල නොකැඩී දිවිතොටවෙලට ළඟා වෙති. ගොවිපොළෙහි ගවයන්ට සෙල්ලම් කිරීමට වෙනම පිටියක් ද තිබේ.

අකුරු ශාස්ත්‍රය නොදනිතත් වර්තමානය වන විට සරත් විමලවීර තමා ලබාගත් දැනුම අන් අයටද බෙදා දීම සඳහා ව්‍යවසායකත්වය සහ ධනාත්මක සිතිවිලි ඇසුරෙන් රටපුරා දේශන ද පවත්වයි.

“මට අදටත් නමවත් ලියන්න බැහැ. මනුස්සයකුට උගත්කම වගේම ධනාත්මක සිතිවිලිත් අවශ්‍යයි ජීවිතය ජයගන්න. මට උගත්කම නැතිවුණාට ධනාත්මක සිතිවිලි තියෙනවා. කිරි ගව පාලනය අද අපේ රටට ජාතික අවශ්‍යතාවක්. මොකද මේ රටේ ජාතික ධනයෙන් වැඩිම කොටසක් පිටරටට යන්නෙ පිටිකිරි, රසායනික පොහොරවලට, බෙහෙත්වලටනේ. මේ සියල්ල නතර කරගත හැකියි වස-විසෙන් තොර රටක් නිර්මාණය කරගත්තොත්. ඒ නිසා පුළුවන් සෑම ගෙදරකම කිරි හරකෙක් හදන්න. ඒ මඟින් පැළයක් සාදා වස විසෙන් තොර ආහාර වේලක් ගන්න පුරුදු වෙන්න. ඒකට කරන්න තියෙන එකම විසඳුම කිරි ගව පාලනයයි.”

එලෙස සැමට ඔවදන් දෙන සරත් ඉතා කෙටි කලක් තුළ කළ වික්‍රමය වෙනුවෙන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රාශියක් දිනා තිබේ.

“මගේ එකම අභිප්‍රාය මං පටන්ගත් දෙය රටපුරා ව්‍යාප්ත කරන එක. අපට වස විසෙන් තොර රටක් කියන එක මගේ තේමාව. මට මැරෙන්නට පෙර මේ රට වස විසෙන් තොර රටක් කරන්නට පුළුවන්නම්. ඒ සඳහා මට පුළුවන් උපරීම උත්සාහ ගන්නවා.”

ඒ ඌව පළාතේ වැලිමඩෙන් බිහිවූ සිරිලක කොම්පොස්ට් රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනයයි.



Comments