ඔයා ගියා කියලා අම්මා කවදාවත් දුක්වුණේ නෑ | සිළුමිණ

ඔයා ගියා කියලා අම්මා කවදාවත් දුක්වුණේ නෑ

ලොකු අයියා, ගජබා සහ ස්වේතා කාමරයට පැමිණෙන තුරුම ෆියෝනා යහන මත වැටී දුක පහවයන තුරුම හැඬුවාය. සියල්ලම සිහිනයක් මෙනි. අම්මාගේ මිය යාම සිදුවිය නොහැකි දෙයක් සේ දැනේ. ලොකු අයියා, ගජබා ද, ස්වේතා ද පවසන්නේ මුසාවකැයි වරෙක සිතේ. එහෙත් අම්මා නික්ම ගොසිනි. පාරේ වූ බැනර් ද, මරණ දැන්වීම් ද, නිවස දක්වා වූ මාර්ගයේ තැනින් තැන වූ වියළී යමින් පවතින ගොක් රැහැන් ද ඒ බව සනාථ කරයි.

“චූටි නංගි.‘‘

ස්වේතාගේ කටහඬ යහන අසළින් ඇසිණ. ෆියෝනාගේ කඳුළු අලුත් විය. යහන මත හිඳ ගත් ස්වේතාගේ උකුළ මත මුහුණ ඔබා ගත් ඇය මහ හඬින් හඬා වැටුණාය.

“දැන් ඉතින් හැමදේම සිද්ද වෙලා ඉවරයි. හිත හදා ගන්න චූටි නංගි.‘‘

ගජබාගේ කටහඬ ඇසිණ.

“මම අම්මගෙ හිත රිද්දුවා අයියා. ඒකයි මට ඉවසන්නම බැරි.‘‘

හිස ඔසවා බැලූ ෆියෝනා පැවසුවාය.

“නෑ. ඔයා ගියා කියලා අම්මා කවදාවත් දුක් වුණේ නෑ. අම්මා හැමතිස්සෙම කිව්වෙ චූටි කුමාරි ඉන්න තැනක සතුටින් ඇති. එච්චරයි මට ඕන කියලා.‘‘

“අම්මා එහෙම කිව්වා?‘‘

“ඔව්. දැන් නැගිටින්න. ඉස්සර වෙලාම අපි කෑම ටිකක් කාලා ඉඳිමු. බඩගිනියි කියලා කිව්වා නේද? ‘‘

“අනේ. අම්මා අන්තිම වතාවටවත් මට බලා ගන්න බැරි වුණා. ‘‘

“යමු. යමු. ‘‘

ස්වේතා, ෆියෝනාගේ අතින් ඇද්දාය. ඇගේ බල කිරීම නිසා ඈ හා කෑම කාමරයට ගිය ද, ඒ වනවිට ෆියෝනාගේ කුසගින්න නිවී ගොස් තිබිණ.

“පියවතී... කෑම ඇරියට වතුර තියලා නෑනේ.‘‘

ස්වේතා කෑගැසුවාය. පියවතී වතුර වීදුරුවක් ගෙනැවිත් ෆියෝනා අසළින් තැබුවේ ඇගේ මුහුණ දෙස නොබලා ඉන්නට ප්‍රවේශම් වෙමිනි. ෆියෝනාට ලොකු අයියා දෙස බැලිණ.

“ඒ ගෑනිට පිස්සු. ‘‘

ගජබා සිනාසුණේය.

“අපේ දෙන්නගෙ ඌෂ්ණෙ ගහලා. ‘‘

අයියා ‘අපේ දෙන්නා’ යනුවෙන් පවසන්නේ ලොකු අක්කා සහ පොඩි අක්කා පිළිබඳව බව ෆියෝනා දැන සිටියාය. තමා හිතුවක්කාර ලෙස විවාහ වීම නිසා ඇය ද තමා හා උරණව පසු වනවා වියයුතුය. බත් දීසියක් සහ වෑංජන කිහිපයක්ම පියවතී මේසයට තබා තිබුණද, බත් කටකට දෙකට වඩා කෑමට ෆියෝනාට නොහැකි විය.

“ඔය කාපු හැටිද?‘‘

වතුර වීදුරුව ළං කළ ස්වේතා ඇසුවාය.

“ඇති. ‘‘

වතුර වීදුරුව එක හුස්මට බීගෙන ගිය ෆියෝනා මේසයෙන් නැගිට්ටාය.

“ඔයා ගිහින් චූටි නංගිට තේ ටිකක් හදාගෙන එන්න. එන්න චූටි නංගි.‘‘

ෆියෝනා ගජබා පසුපසින් ගමන් කළාය. අම්මාගේ කාමරය අසළ නතර වූ ඔහු යතුරු කැරැල්ලකින් යතුරක් තෝරාගත්තේය. එම යතුර දමා කාමරයක දොර හැරියේය. ඒ අම්මාගේ කාමරයයි. ඉහළට ගත් හුස්ම පහළ හෙලිය නොහැකි වූවාක් මෙන් ඇය තුෂ්ණිම්භූතව බලා සිටියාය. අයියා සහ ස්වේතා පැවසූ සියල්ලම මුසාවකැයි ද, අම්මා කාමරය තුළ හිඳිනු ඇතැයි ද ඇයට සිතිණ. එහෙත් ලොකු අයියා පසුපසින් ඇතුළු වූ ඇයට අම්මාගේ කාමරය තුළ වු හිස් බව දැනිණ.

අම්මා නිදන වියන් ඇඳ ඇය ජීවත්ව සිටි කාලයේ මෙන්ම සුදු පැහැති ඇතිරිලි යොදා තිබිණ. තමා නිවසින් පිටව යන විට දමා තිබූ ළා කහ පැහැයෙන් යුත් ලේස් රෙද්දෙන් නිම වූ ජනෙල් තිර ගලවා දමා සුදු පැහැති ලේස් තිර රෙදි යොදන්නට ඇත්තේ අම්මාගේ මළගම වෙනුවෙන් විය යුතුය. නිවසෙහි පැවැති දානයක් වෙනුවෙන් අම්මා

සමග ගොස් එම තිර රෙදි මිල දී ගත් ආකාරය ෆියෝනාට සිහිපත් විය. කාමරයේ වූ ඇඳුම් රාක්කය හිස්ව තිබිණ. බිත්තියේ සවි කර තිබූ අම්මාගේත්, අප්පච්චිගේත් මංගල සේයාරුව එලෙසින්ම තිබේ. ෆියෝනා වඩාත් ළංව එදෙස වුවමනාවෙන් බැලුවාය. අම්මා විවාහ දිවියට පත් වෙද්දී වයස අවුරුදු දහ නමයක් වූ බව ඇය අසා තිබිණ. අප්පච්චි

අම්මාට වඩා විසි හතර වසරකින් වැඩිමහලු බව දැන සිටි නමුදු ඔවුන් දෙදෙනා විවාහ වූයේ ප්‍රේම සම්බන්ධයකින්ද, නැතහොත් යෝජනාවකින් ද යන්න ෆියෝනා නොදැන සිටියාය.

“යෝජනාවකින් කසාද බැන්දත්, දැන ඇඳුනුම්කමකින් කසාද බැන්දත් දෙන්නට දෙන්නා එකිනෙකාට ගරු කරන්න ඕන. ආදරේ කරන්න ́ඕන. විවාහය කියන්නෙ නොගැළපෙන දෙන්නෙක් එකට ජීවත් වෙන්න ගන්නවා කියන එක තමයි.‘‘

ලොකු අක්කා ලෝචනා සිය සැමියා සමග හිත් අමනාපකමක් ඇති කර ගත් දිනයක නිවසට පැමිණි අන්දමත්, අම්මා ඇයට අවවාද කළ අන්දමත් ෆියෝනාට සිහියට නැගිණ.

“වගීෂ හිතාගෙන ඉන්නෙ හරියට මං එයා එක්ක අත් දෙක වන වනා ගියා කියලා. ඉඩකඩම්, සල්ලි, රත්තරන් බඩු හැමදේම එක්ක නේද අම්මා මාව එයාට දුන්නෙ? ̃

ලොකු අක්කා හඬමින් පැවසූ අයුරු අද ඊයේ සිදු වූ සිදුවීමක් මෙන් මතකයට නැගෙයි.

“චූටි නංගී. ‘‘

ෆියෝනාගේ අතීතාවර්ජනයට විරාමයක් තබමින් ගජබා ඇය ඇමතුවේය.

“දැන් ඉතින් හැමදේම ඉවරයි. පෙරේදා අක්කලා දෙන්නා ඇවිත් අම්මගෙ හැමදේම බෙදා ගත්තා. මට දුක මොනවත්ම නැතිව ගෙදරින් එළියට බැහැපු ඔයාට කිසිම දෙයක් ඉතුරු කර ගන්න බැරිවුණු එක ගැනයි.‘‘

ෆියෝනා වෙනුවෙන් පිළියෙල කරන ලද තේ කෝප්පයක් කුඩා බන්දේසියක තබාගෙන පැමිණි ස්වේතා එය ඇයට පිළිගැන්වූවාය.

“අභීතයි මමයි අම්මගෙ කනකර කිසිම දෙයක් ගත්තෙ නෑ. මං දන්නෙ නෑ තව මොනවා මොනවා අල්මාරියෙ තියෙනවද කියලා. ගෙදර බාලම ගෑනු ළමයා විදියට ඔයාටත් මෙව්වට අයිතියක් තියෙනවා. ගිහින් බලලා කැමැති දෙයක් ගන්න චූටි නංගි.‘‘

“අම්මා නැතිව මට වෙන කිසිම දෙයක් ඕන නෑ. අනික මට අසාර් කිසිම දේකින් අඩුපාඩුවක් කරලා නෑ. ‘‘

“නම වෙනස් කළාද?‘‘

ඉවත බලා ගත් ගජබා ඇසුවේ පරාජිත හඬිනි.

“ඔව්. දැන් මං ෆියෝනා. ෆියෝනා ජැෆර්ජි. ‘‘

ෆියෝනා අයියාගේ දෙනෙත් මග හරිමින් පැවසුවද, ස්වේතාගේ දෙනෙත් විස්මයෙන් විශාල වන අයුරු දුටුවාය.

“එතකොට අශ්විනීට මීගස්තැන්න කුමාරිහාමිට මොකද වුණේ?‘‘

දුර්වල සිනාවකින් මුව සරසා ගන්නට උත්සාහ කරමින් ලොකු අයියා ඇසුවේ ෆියෝනාගේ දෙනෙත් මග හරිමිනි.

“මං ගෙදරින් ගිය දවසෙම අශ්විනී මහවැලි ගඟේ පාවෙලා යන්න ඇති. ‘‘

“ඇති.‘‘

අයියා නැගිට්ටේය.

“ඔන්න. අම්මගෙ අල්මාරියෙ තියෙන දෙයක් ඕන නම් අරගන්න. ඕනම දෙයක්. ‘‘

“මට ඕන අම්මගෙ සුවඳ විතරයි. ‘‘

ෆියෝනා නැගිට්ටාය. ගජබා කළුවර ලීයෙන් කළ දැවැන්ත කැටයම් අල්මාරියේ පියන්පත් විවර කර දැමුවද, ඇය සිටි තැනින් නොසෙල්වුණාය.

“මැරෙන්න සති දෙක තුනකට කලින් අපි ගෙදර ආව වෙලාවෙ අම්මා මට හංස පූට්ටුවක් දුන්නා. චූටි නංගිට ඕන නම් මං ඒක දෙන්නම්. ‘‘

ස්වේතා පැවසුවාය.

“එපා.‘‘

“මට ගජබා කියලා තියෙනවා. චූටි නංගි ඒ කාලෙ ඉඳලම රත්තරන් වලට ආස නැහැ ̈.‘‘

ලොකු අයියා කාමරයෙන් පිටව යන තුරු බලා සිටි ස්වේතා පැවසුවේ අල්මාරියේ දොරක වූ ́වාලාකාර කැඩපතින් පෙනෙන සිය රුව දෙස විපරමෙන් බලමිනි.

“රත්තරන් නොදැම්මට චූටි නංගි ලස්සනයිනෙ. අම්මා තරුණ කාලෙත් ඔයා වගේම ඉන්න ඇති.‘‘

ෆියෝනා යහන මතින් නැගී සිටියාය. අම්මා සතුව රන් අබරණ රැසක් තිබිණ. ඒවායින් බොහොමයක්ම ඇගේ මවගෙන් සහ අප්පච්චිගේ මවගෙන් ලද ඒවා බව දිනක් ඇය පැවසූ අයුරු ඇයට සිහිපත් විය.

“මගේ නැන්දම්මා, නැන්දම්මා කෙනෙක් නෙමෙයි චූටි කුමාරි. අම්මා කෙනෙක්. මේ වලව්ව ලිව්වෙත් අප්පච්චිගෙ නමට නෙමෙයි. මගේ නමට.‘‘

“ඇයි? ‘‘

“ඒ කාලෙ අප්පච්චි ගත කළේ හරිම සැහැල්ලු ජීවිතයක්. අප්පච්චි කවදාහරි මේවා නැති නාස්ති කර ගනීවි කියලා අත්තම්මා බයෙන් ඉඳලා තියෙනවා.‘‘

“සෙල්ලක්කාර ජීවිතයක් කිව්වෙ? ‘‘

“සෙල්ලක්කාරයි කියලා කිව්වට අප්පච්චි පෙරාපු රත්තරන් වගේ පිරිසිදු චරිතයක් චූටි කුමාරි. හැබැයි එක දුර්වලකමක් තිබුණා. අප්පච්චි තරුණ කාලෙ ඉඳලම බීමට ඇබ්බැහි වෙලා තිබුණා. ‘‘

“බීමට? අප්පච්චි බීලා ඉන්නවා මම දැකලා නැහැනෙ. ‘‘

“කොහෙ දකින්නද? මං මේ ගෙදරට ආවට පස්සෙ අප්පච්චි පුදුමාකාර විදියට වෙනස් වුණා. වෙනස් වුණාමත් නෙමෙයි. මං වෙනස් කර ගත්තා.‘‘

“අම්මා?‘‘

“ඔව්. ́ඕනම ගෑනියකුට ඒ දේ කරන්න පුළුවන්. චූටි කුමාරි වුණත් කසාද බැන්ද දවසක තේරේවි.‘‘

“මං කසාද බඳින්නෙ නෑ.‘‘

අම්මා තම මුවට නැඟි සිනාව සඟවා ගන්නට උත්සාහ කළ අන්දම ෆියෝනාගේ මතකයට නැගිණ. කාමරයෙන් පිටතින් තම ජංගම දුරකතනය නාද වන හඬින් ඇය අතීතයෙන් මිදුණාය. කෑම මේසය මත තම දුරකතනය දමා ආ බව සිහිවූයෙන් කාමරයෙන් පිටව යන්නට සැරසෙද්දී ගජබා එය ද රැගෙන දිව ආවේය.

“මෙන්න කෝල් එකක්. ‘‘

ඔහු දුරකතනය දිගු කළේ ඉවත බලා ගනිමිනි.

ලබන සතියට

Comments