ඔලිම්පික් සහ මහවැලි ක්‍රීඩා | සිළුමිණ

ඔලිම්පික් සහ මහවැලි ක්‍රීඩා

 ‘පැරදුණ අය දිනලා, දිනපු අය පැරදිලා!’

‘මේ ආණ්ඩුව හදන්න අපි වින්ද දුක දන්නේ අපි විතරයි. ඒත් අද මේ ආණ්ඩුවේ බහිරවයෝ වගේ ලැගගෙන ඉන්නේ වෙන ආණ්ඩුවක් ගේන්න කඩේ ගිය උන්!’

මේ මඟතොටේ ඉන්නා මිනිසුන් කියන කතාය.

‘සිරිසේන, කෝ මේ සිරිසේන? අපි ජනවාරි අට දිනුවම ඕනැ තැනකට තොලොන්චි වෙලා පලයන් සිරිසේන!’

මෙහෙම කීවේ විමල් වීරවංශය.

‘මැතිවරණ ප්‍රතිඵලය අනික් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම මේ වන විට ජීවතුන් අතර ඉන්නවාද දන්නෙ නැහැ. ඒක තමයි මහින්ද රාජපක්ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මං ඒක හොඳට දන්නවා. දැන් ඔය කවුරුත් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි ඒ අය දිනලා මම පරාජය වුණා නම් මෙලහට කී දෙනෙක් මරලද, කී දෙනෙකුගේ අතපය කඩලද, කී දෙනෙක් හිරේ ගිහිල්ලද, කී දෙනෙක්ව රස්සාවලින් දොට්ට දාලද කියල අපි දන්නවා. පැහැදිලිවම ඒ අය සැලසුම් කරලා තිබුණේ මං පරාජය වුණා නම් අපේ මුළු පවුල පිටින් සිර භාරයට ගන්න, විනාශ කරන්න.’

මෙහෙම කීවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.

ජනවාරි 8 දා ආණ්ඩුව හදන්න මුල් වෙච්ච බලවේග ඒ වෙනුවෙන් මේ රටේ ඡන්ද දායකයන් ලක්ෂ හැටදෙකක් තමන් වෙත නතු කරගත්තේය. එතෙක් මෙරට දේශපාලන බිමේ අපරාජිතයකුව සිටි බලසම්පන්න මහින්ද රාජපක්ෂට වඩා ඡන්දදායකයෝ 449,072ක් මෛත්‍රී වෙනුවෙන් පෙළගැසී සිටියහ. හැබැයි ඒක නිකම්ම නිකං සිද්ධ වෙච්ච දෙයක් නොවේය.

කොටින්ම එදා මෛත්‍රී දිනුවේ ‘සුමට’ ගමනක ප්‍රතිඵලයක් විදිහට නොවේය.

බොහෝ දෙනකුට අමතකව තිබෙන්නේ ඒකය. එදා මහින්ද වෙනුවෙන් පෙනී සිටි බහුතරයක් දෙනා ඡන්දෙට පසුදාම මෛත්‍රීපාල එනකොට ‘මේ සිද්ධ වෙන්නේ ඒ තරම් හොඳ වැඩක් නොවන බව’ තේරුණේ සුළු පිරිසකට විතරය.

ජනාධිපතිවරණයට පෙර මැතිවරණ ප්‍රචාරක කාල සමයේ පවා එවක මහින්ද පාර්ශ්වයේ ප්‍රචාරක යන්ත්‍රණය ‘කැත’ එකක් විය. ගස්-ගල්, තාප්ප, බිල්ඩින්, මාධ්‍ය යනාදි සියල්ල ඔහු වෙනුවෙන් වෙන් වී තිබුණි. බැලූ බැලූ අත වූයේ ඔහුගේ රුව විතරක්මය. අහස සූරන තරමේ කටවුට් ඔහු ගේ ‘බලසම්පන්න’ ප්‍රතිභාව පෙන්වීය. මෛත්‍රීගේ පෝස්ටරයක්වත් තිබ්බේ මහින්දගේ පෝස්ටර් ලක්ෂයකට එකක් වාගේ වෙන්නටය.

හැබැයි එදා මෛත්‍රී අපූරු කතාවක් කීවේය.

‘මම පෝස්ටර් ගහන්නේ නෑ. ඒ සියල්ල වකුගඩු අරමුදලට බැර කරනවා. ඔහු පෝස්ටර්වලින් ජනාධිපති. හැබැයි මම ජනතාවගේ ජනාධිපති.’

මිනිස්සු දෑත් හදවතට කිට්ටු කරගෙන ඒ මනුස්සකමට සංවේදී වූහ.

මෛත්‍රී ඡන්දය කළේ ‘නොසංඩාල’ සමාජ ක්‍රමයක් තිබ්බ රටකය. ඔහුගේ රුවට සමාන ව්‍යාජයක් පවා ඡන්ද ව්‍යාපාරයට යොදාගෙන රාජපක්ෂ කඳවුර කළේ ‘තුට්ටු දෙකේ’ මැතිවරණ ව්‍යාපාරයක්ය. මඩ පිට මඩ, අවලාද පිට අවලාද මැද මෛත්‍රී ඡන්දය කළේය.

ඡන්දය දා රාත්‍රී ඔහුට නිවෙසේ යහතින් ඉන්නට ලැබුණේ නැත. කුරුණෑගල දොඩම්ගස්ලන්දේ පිහිටි වතු බංගලාවක හිඳ ඔහුට ඡන්ද ප්‍රතිඵල බලන්නට සිදු විය. හරියටම ඊට අවුරුදු 4කට පෙර මහින්දගේ ප්‍රතිවාදියා වූ පොදු අපේක්ෂකයා වෙච්ච සරත් ෆොන්සේකාට සිද්ධ වූ සන්තෑසිය ඔහුට සිහිපත් වන්නට ඇත. සිරිකොත එජාප මූලස්ථානයේ ස්ථාපිත විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට ලැබෙන ප්‍රතිචාර සොම්නස්සහගත වෙත්දී අරලියගහ මන්දිරයේ විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියට ලැබෙමින් තිබූ ප්‍රතිචාර දොම්නස් සහගත විය.

අන්තිමට ඔහු දිනුවේය.

හැම දේම උඩුයටිකුරු වුණේ දිනුවට පස්සේය.

පැරදුණා නම් මල්වඩම් ගේන්න හිටි බොහෝ දෙනා දිනුවට පස්සේ මල්මාලා අරගෙන මෛත්‍රී බැහැදකින්නට ආවෝය. කොටි ත්‍රස්තවාදීන්ගෙන් උතුර මුදාගත් අවසන් සටන වෙලාවේ සාමාන්‍ය ජනයා රැකවරණ පතා එන විට ඔවුන්ට මුවාවී කොටි ත්‍රස්තයන්ද ආ බව ඇත්තය. මෛත්‍රී දිනුවාම වුණේත් ඒකය. ප්‍රතිවාදීන්ව සිටි හොඳ අය සේම නරක අයද උපාසක ලීලාවෙන් මෛත්‍රී සෙවණට ආහ. අන්තිමට මෛත්‍රී පත් වුණේ උභතෝකෝටික ගැටලුවකටය. පරාජය වූ කඳවුරේ පිරිස ආවේ මෛත්‍රීට ‘තෑග්ගක්’ අරගෙනය. ඒ පරාජය වූ පක්ෂයේ සභාපතිකමය. නොඑසේ නම් නායකත්වයය.

මෛත්‍රී ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දිවි හිමියෙන් ආදරය කරන බව ඇත්තය. ඒ පක්ෂය වෙනුවෙන් සිරබත් කෑ බව ඇත්තය. පාසල් වියේ සිටම පක්ෂය වෙනුවෙන් කැප වූ බව ඇත්තය. හැබැයි මෛත්‍රී රටේ නායකයා වූයේ ඉන් මෙහාට ඇවිත්ය. හැමදේටම වඩා ජනාධිපතිකම විශාලය. ඒක රටේ නායකත්වයය. රටේ නායකයා ආපසු හැරෙන්න ඕනෑ නැත. එහෙම හැරෙන එක ඔලිම්පික් දිනූ බෝල්ට් ආපසු පාසල් ක්‍රීඩා දුවනවා වගේ වැඩක් ය.

ලක්ෂ හැට දෙකක් ජනතාව එකතු වී රටේ නායකත්වය භාර දුන් පසුත් මෛත්‍රී තමාට ඡන්ද ලක්ෂයක්වත් නොදුන් පක්ෂය භාර ගන්නට යෑමේ උභතෝකොටිකය දැන් තීරණාත්මක තැනකට ඇවිත්ය. යහපාලන පොරොන්දු ප්‍රාකාරව වැඩ කරන්න ජනපතිට හෝ ආණ්ඩුවට ඉඩ නොදෙන්නේ මහ ඡන්දෙත් මහින්දගෙන් ඉල්ලා පස්සේ මෛත්‍රී ගාවට ආව අය ය. ‘ආණ්ඩුවෙන් අපි ළඟදීම යනවා’ කියා කියන්නෙත් ඒ අයය.

දැන් වෙලා තියෙන්නේ එහෙම හැරුණු එකේ අවුලය. මෛත්‍රී කියන්නේ එදා-මෙදාතුර මේ රටේ පාලකයන්ගෙන් අත්හැරීම ප්‍රායෝගිකව පෙන්නූ නායකයාය. එහෙවු නායකයා අල්ලාගන්නට ගියේම අත්හැරිය යුතුම දේය.

මහින්ද, දෙවරක් ජනාධිපතිකම් කොට තුන්වැනි වර ඉල්ලා 'නාගෙනම' යන්න ගිය කෙනාය. දෙවැනිවර කෙළවර කොට ගෙදර ගියා නම් ඔහු විශ්‍රාමික රජෙක්ය. ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් ය. ඔහුට ලැබෙන්න තිබුණේ එදා මෙදාතුර කිසිම නායකයකුට නොලැබුණු ‘ශ්‍රේෂ්ඨත්වයක්’ය.

හැබැයි ඔහු එක තීන්දුවකින් ඒක නැති කරගත්තේය. ඒ තෙවැනිවර ඉල්ලීමෙනි. පාර්ලිමේන්තුවට ඉල්ලා එය ඔහු නැත්තටම නැති කරගත්තේය. පිරිසක් වටේට ඉන්නවා කී පමණින් ඔහු ජයග්‍රහකයකු වන්නේ නැත.

තිත්ත වුණත් ඇත්ත ඒකය.

සමහරු හිතන්නේ ශ්‍රීලනිප, එජාප හැමදාම වෙන්ව සිටිය යුතු කණ්ඩායම් දෙකක් කියාය. අද ශ්‍රීලනිපය වෙනුවෙන් කෑමොර දෙන බැසිල්ලා කළ ඉතිහාසගත වැඩ අද දෛවයේ සරදමක් වෙලාය.

1982 ඔක්තෝබර් මාසේ 20 වැනිදා ජනාධිපතිවරණය වෙලාවේ අනුරලා, මෛත්‍රීපාල සේනානායකලා හිටියේ හෙක්ටර් කොබ්බෑකඩුව පරාජය කරන මෙහෙයුමකය. ඔවුන් උදවු කළේ ජේආර්ටය. අනුර-මෛත්‍රී කල්ලිය එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රොත්තක් ගැලවිලා ගියහ. බැසිල් රාජපක්ෂ, මෛත්‍රීපාල සේනානායක, පීබීජී කළුගල්ල, ඇස්ඩීආර් ජයරත්න සහ හලීම් ඉෂාක් යන අය එක්සත් ජාතික පක්ෂික අපේක්ෂක ජේආර් ජයවර්ධන මහතාගේ වේදිකාවට ගොඩ’

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිති අපිට. එය රැකගන්නේ අපි. අපේ එකම ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂාර කරගන්න නම් ජේආර් ජයවර්ධන මහත්මයාට ඡන්දෙ දෙන්න කියන එක.’

බැසිල්ලා එදා ජේආර්ගේ වේදිකාවේ ඉඳලා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා පරද්දන්න කියලාය. එහෙව් බැසිල්ලා අද නොම්බර එකේ ශ්‍රීලංකාකාරයෝය!

පක්ෂ දෙක වෙනස් කියා කීවාට දෙකේම අයගේ තියෙන්නේ සමීප සබඳතාය. ඩීඑස් පක්ෂ නායකකම ඩඩ්ලිට නොදී බණ්ඩාරනායකට දුන්නා නම් අදත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයක් නැත. මොකද: එක්සත් ජාතික පක්ෂය හදන කොට ජේආර්ටත් වඩා තැනක් බණ්ඩාරනායකට තිබ්බේය. ඔහු පක්ෂයේ උප-සභාපතිය. ජේආර්ට හිමි වුණේ උප-භාණ්ඩාගාරිකකමය. එහෙම බැලුවම බණ්ඩාරනායකට ඒ පක්ෂයේ ලොකු තැනක් තිබ්බේය.

මෙහෙම කල්පනාවෙන් බැලුවම පක්ෂ දෙක අතර ‘පෙනෙන බැඳිම්’ වගේම ‘නොපෙනෙන බැඳිම්’ ද අපමණය. හේතුවකට හෝ අහේතුවකට දැන් මිනිස්සු බෙදිලාය. අවුරුදු හැටකට වඩා රට ආපස්සට ගෙන ගියේ මේ බෙදීමය. සංහිඳියා ආණ්ඩුව අච්චාරුවක් සේ දකින්නේ බෙදී වෙන් වෙලා ඉන්න කැමැති මිනිස්සුය. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස නොහිටියා නම් අත්‍යවශ්‍යම පනත් සම්මත කරගන්න බැරි වෙනවා.’

එහෙම කියන කතා ප්‍රායෝගිකව හිනා යන මට්ටමේ ඒවා ය. වඩා යහපත් දේකට අනුමැතිය නොදෙන මිනිසුන්ට උරුම වන්නේ කුණු බක්කියය. පනත් සම්මත කරගැනීමට කියා එකතු කරගැනීමේදී දෙන්නට සිදු වන්නේ වරදාන වරප්‍රසාදයන්ය. එහෙම දෙන්නට යෑමෙන් සිදු වන අගතිය පනතක් සම්මත කරගන්නට බැරි වෙනවාට වඩා භයානකය.

මොනවා කීවත් දැන් පක්ෂ දෙක එක් වෙලාය. හැබැයි මේක බලහත්කාරෙන් කළ විවාහයක්ය. ගැටගැසී තිබෙන්නේ ලියවිල්ලක් හින්දා වාගේය. එක්වූ දා සිටම කියන්නේ ‘මේක ටික කාලයයි. අපි වෙනම ඉල්ලලා අපේ ආණ්ඩුවක් ළඟදීම හදනවා’ කියලාය. ඒ කතා වෙන්ව ඉන්නවාට වඩා රිදෙන කතා ය.

මෛත්‍රී අද මුහුණ දී සිටින්නේ වක්කඩේ කැඩුවා වගේ ආව සියලු දෙනාම භාර ගැනීමේ අවුලටය. අරුන්දිකලා හිටියේ මහින්දගේ හිතෛශීවන්තයන් ලෙසය. ටීබීලා, සුසිල්ලා වගේ වැඩිදෙනෙක්ම මහින්දගේ අසාධාරණයට හෝ කැපිල්ලට ලක් වූ අය නොවේය. අද කකුලෙන් අදින්නේ ඒ අයය. ඔවුන්ට මහින්දගෙන් මිදෙන්න කිසිම හේතුවක් තිබ්බේ නැත. තිබ්බ එකම හිතුව පරාජය විතරය.

දැන් ශ්‍රීලනිපයට කොන්දේසි දමන්නේ මහින්දගේ පාර්ශ්වයය. අනෙක් සියලු ප්‍රශ්න අබිබවා ජනාධිපතිවරයාට පක්ෂය එකතු කිරීමේ කටයුත්ත සිදු කරන්නට දැන් සිදු වී තිබේ. තනිමංසලක ආ ජනපතිවරයාට දැන් දෙමංසලක් හමු වී තිබේ. එකක් එක්සත් ජාතික පක්ෂය හා එක්ව යන මංසලය. අනෙක මහින්ද හා එක්ව යන මංසලය.

රාමායණයේ අයෝධ්‍යාය කාණ්‌ඩයේ 63.7හි මෙසේ සටහන් වේ:

‘යම් ක්‍රියාවක්‌ ආරම්භයේදීම, එහි බරපතළ බව හෝ සැහැල්ලු බව හෝ යමෙක්‌ නොදනීද, එසේම එහි ගුණ හෝ දොස්‌ හෝ යමෙක්‌ නොදනීද හේ අඥානයෙකැයි කියනු ලැබේ.’

අනුරාධ මහඋල්පත

Comments