ක්‍රීඩාවේ ජීව ගුණය ගරුත්වය සහ ආරක්ෂාව මුල් විය යුතුයි... | සිළුමිණ

ක්‍රීඩාවේ ජීව ගුණය ගරුත්වය සහ ආරක්ෂාව මුල් විය යුතුයි...

තරගයක ඇත්තේ ජය සහ පරාජයයි. මෙහි අතර මැදි ගනුදෙනුවට බොහෝ දෙනා අකැමැතිය. ඒ අනෙකාට දෙවැනිවන්නට ඇති අකැමැත්තය. මෙකී කතාබහ ක්‍රීඩා පිටියේදී වඩා තිව්‍රවනවිට අනෙක් තැන්වලදී තරගයට ඇත්තේ තවත් තරගයකි.

විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය මෙවර ඉවතට විසි වීම ක්‍රීඩා ලොව වඩාත් කතාබහට ලක්වූ සහ තවමත් ඒ ගැන කතාබහවන මාතෘකාවක් වී තිබේ. සිවුවතාවක් පාපන්දු ලෝක ශූරයන් වූ ඉතාලිය ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන තරගාවලියෙන් මේ අනුව ඉවතට විසි විය. ඉතාලි ක්‍රීඩකයෝ පමණක් නොව සමස්ත ඉතාලිය ද හැඬූ කඳුලින් සෝසුසුම් මැදින් මෙකී පරාජය බාර ගත්හ. ක්‍රීඩාවේ ජීව ගුණය, ක්‍රීඩාවේ ගරුත්වය සහ ක්‍රීඩාවේ ආරක්ෂාව ද තහවුරු විය යුත්තේ ඒ ආකාරයෙනි.

ලාංකේය රග්බි පිටියේ ප්‍රධානම තරගාවලිය වන ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මේ එළැඹෙන්නේ සිවුවැනි සති අන්තයයි. මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලිය ආරම්භ වූයේ ම ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකර සිදුවීම් රැසක් ද සමගින්ය. මේ අනුව ක්‍රීඩකයන් කිහිප දෙනකුට ම ඉදිරි තරග රැසක් ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසා තරග තහනම්වලට ලක්වීමට සිදුවීම කණගාටුදායකය. මෙවර තරගාවලිය ආරම්භ වූයේ මහනුවර සහ සී. එච්. - එෆ්. සී. අතර තරගයේදී සී. එච්. ක්‍රීඩකයකු මහනුවර ක්‍රීඩකයන්ට චේතාන්විතම පහර දුන් බවට තරග තීරකවරයා සහ නිරීක්ෂණය කර තිබේ. ඒ අතර මහනුවර ක්‍රීඩකයකු එකී තරගයේදී ම අනතුරුදායක ලෙස ක්‍රීඩා කිරීම කෙළවරවූයේ සී. එච්. ක්‍රීඩකයකුගේ හිසට හා මුහුණට එල්ල වූ ප්‍රහාරයකින් රෝහල් ගත කිරීමට පවා සිදුවීමෙනි. සී. එච්. ක්‍රීඩකයා පන්දුව ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මහනුවර ක්‍රීඩකයා එල්ල කළ පාපහරින් සී. එච්. ක්‍රීඩකයාගේ මුඛයට මැහුම් තිහකට අධික සංඛ්‍යාවක් දැමීමට තරම් එකී පාපහර දරුණු විය. මේ තරගයේදී පමණක් නොව තවත් තරගයකදී ද නීතිවිරෝධී ආකාරයෙන් ක්‍රීඩා කිරීම නිසා තරග තහනම් ලක්වීමට නායකයකුට ද සිදුවිය. ප්‍රශ්නය වන්නේ නීති විරෝධී ආකාරයෙන් ක්‍රීඩා කිරීම නිසා කහ - රතු කාඩ් පෙන්වමින් තරග තහනම් කිරීම හෝ පිටියෙන් ඉවත් කිරීම් පමණක් නොව, ක්‍රීඩකයන් තුළ ස්වයං වාරණයක්, පාලනයක් ඇති කරගතයුතුය. රග්බි තරග නිරීක්ෂණ ක්‍රමවේදය මෙරටට අලුත් දෙයක් විය හැකිය. නමුත් ජාත්‍යන්තර තරග අත්දැකීම් පවා ඇති ලාංකේය රග්බි ක්‍රීඩකයන්ට මේවා අලුත් අත්දැකීම් නොවේ. හිතාමතා ක්‍රීඩකයකුට මැහුම් තිහකට අධික ප්‍රමාණයක් දැමීමට පා පහරක් එල්ල නොකළා විය හැකියි. නමුත් මෙවැනි අවදානම් ප්‍රහාර තුළින් ක්‍රීඩකයකුට ජීවිතයකින් වන්දි ගෙවීමට සිදු වුවහොත් එය කෙතරම් බැරෑරම් ද යන වග පැහැදිලි කළ යුතු නොවේ.

මීට වසර තුනකට පෙර රග්බි තරග නිරීක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දෙමින් එහි අරමුණු ලෙස පෙන්වා දුන්නේ නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා අවම කරමින් ඒ හරහා ක්‍රීඩාවේ ඇති සැබෑ ජීව ගුණය ඉස්මතු කිරීමේ අවශ්‍යතාවයි. ක්‍රීඩාවේ ජීව ගුණය, ගරුත්වය සහ ආරක්ෂාව සෑම දෙයකටම වඩා ප්‍රමුඛ විය යුතු බව සැම දෙනාම සිත්හි තබාගෙන ක්‍රීඩා පිටියට අවතීරණ විය යුතුය. ගහ මරා ගෙන ලේ පෙරාගෙන ලබන ජයග්‍රහණයකින් සතුටු විය හැකිද යන්න ප්‍රශ්නයකි. කෙසේ වෙතත් මේ පිළිබඳ මීට වඩා සමාජ කතිකාවක් නම් ගොඩනැගිය යුතුය.

Comments