ජංගම දුරකතන කුලුනු අවශ්‍යද? | සිළුමිණ

ජංගම දුරකතන කුලුනු අවශ්‍යද?

 ජංගම දුරකතන සේවා පහසුකම් ලබාදීම සඳහා ඉදි කෙරුණු සම්ප්‍රේෂණ කුලුනු පිළිබඳ මාතෘකාව මේ දිනවල කා අතරත් ප්‍රකටය. එයට හේතුව ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු පිළිබඳව මෙවර අය වැය තුළ පවා සඳහන්ව තිබීමයි. මේ පසුබිම තුළ ඇතැම් අයගේ මතය වී තිබෙන්නේ ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු රටට මහා විනාශයක් සිදු කරන බවය. තාක්ෂණය දියුණු වන වේගයට ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු ඉදි කරන්නේ නැතිව කෙසේදැයි කියා තවත් සමහරු ප්‍රශ්න කරති. මේ දෙපැත්ත ගැන කතාකරන්නට අපට සිදුවන්නේ තාක්ෂණික සහ ආර්ථික කාරණා පමණක් නොව තවත් බොහෝ සාධක කෙරෙහි ද අවධානය යොමු කරමිනි.

ජංගම දුරකතන කුලුනු සංඛ්‍යාව ඉහළ යෑමෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍යය උවදුරු ද ඇතිවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අය වැය කතාවෙන් පෙන්වා දුන්නේය. මේ නිසා එවැනි කුලුනු ව්‍යාප්තිය අධෛර්යමත් කිරීම පිණිස එක කුලුනකට එක් මාසයක් සඳහා රුපියල් ලක්ෂ දෙකක ගාස්තුවක් පනවනු ලබන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු ව්‍යාප්තිය අධෛර්යමත් කිරීම ගැන අය වැයෙහි කරුණු සඳහන් වන්නේ හුදෙක් ආර්ථිකමය කාරණා පමණක් මුල් කරගෙන නොවන බව මෙයින් පැහැදිලි වේ. මිනිසාගේ සෞඛ්‍යයට සහ අප ජීවත්වන පරිසරයට හානිදායක යැයි කියා පිළිගැනෙන ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු මෙරට ඉදිකෙරුණේ කවර කාරණයක් නිසාද යන්න පළමුව සොයා බැලිය යුතුව ඇත.

ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු මෙරට පමණක් නොව ලෝකයේ සෙසු රටවලත් ඉදි කෙරුණේ තාක්ෂණික දියුණුවත් සමඟය. මේ ආකාරයේ කුලුනු භාවිතයට ගැනෙන්නට පළමුව - එනම් මෙයට දශක දෙක තුනකට පමණ පළමුව - මෙරට දක්නට ලැබුණේ මෙයට හාත්පසින්ම වෙනස් තාක්ෂණයකි. එකල දුරකතන සම්ප්‍රේෂණ කුලුනු ඉදි කෙරුණේ උස් කඳු මුදුන්වලය. සූරියකන්ද ආදී කඳු මුදුන්වල ස්ථාපනය කර තිබුණු ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු ඔබට අදටත් අමතක නැතිවාට සැකයක් නැත. නමුත්, ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු විශාල සංඛ්‍යාවක් අද අප අවටම ස්ථාපනය කර තිබෙනු දක්නට පුළුවන. වෙනත් වචනවලින් කිවහොත් අඩියෙන් අඩියට දුරකතන කුලුනුය. කුලුනු මේ විධියට සිටුවා තිබෙන්නේ ආවාට ගියාට ද නොවේ. භූමිය අෂ්ඨාශ්‍රාකාර ඒකකවලට බෙදා එම ඒකකයක් මධ්‍යයෙහි කුලුනුක් සිටුවීම (Cell Site) සාමාන්‍ය පදනමයි. අවශ්‍යතාව අනුව අෂ්ඨාශ්‍රාකාර ඒකකය කුඩා කරන්නට සිදුවීම නිසා ස්ථාපනය කෙරෙන කුලුනු සංඛ්‍යාවත් වැඩි විණ. මේ අන්දමට ස්ථාපනය කළ කුලුනුවල භාවිතයට ගැනෙන්නේ, උස කඳු මුදුන්වල එදා ස්ථාපනය කළ කුලුනුවල භාවිතයට ගැනුණාට වඩා අඩු වෝල්ටීයතාවයකි. එනිසා අද අප දකින දුරකතන සම්ප්‍රේෂණ කුලුනුවල ක්‍රියාකාරිත්වයට අඩු බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය බව පැහැදිලිය. නමුත් දුරකතන සේවා සපයන ආයතන රාශියක් රට තුළ ක්‍රියාත්මක වන විටදී ගැටලුවක් මතු වේ. එම ගැටලුව පැන නැඟෙන්නේ ඒ සෑම සමාගමක්ම තම සේවා දායකයන්ට වඩාත් හොඳ සේවාවක් සැපයීම සඳහා යටකී පදනමෙහි පිහිටා කුලුනු ඉදිකිරීමේදීය. එවිට අෂ්ඨාශ්‍රාකාර ඒකකයකට යටත්වන ප්‍රදේශයක් තුළ කුලුනු රාශියක් ස්ථාපනය කෙරේ.

ඒ අන්දමට ඉදි කෙරෙන ජංගම දුරකතන කුලුනු සංඛ්‍යාව අඩු කිරීමට නම් ජංගම දුරකතන සේවා සපයන ආයතන සංඛ්‍යාව අඩු කිරීම විකල්පයක් නොවේදැයි කියා කෙනෙකුට තර්ක කළ හැකිය. ජංගම දුරකතන සේවා පහසුකම් සපයන ආයතන පහක් දැනට මෙරට වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වේ. එක් සේවා සැපයුම්කරුවකු නිසා ඇතිවන වෙළඳපොළ ඒකාධිකාරියට වඩා තරගකාරී සේවා සැපයුමක් ඇති වී තිබීමේ වාසිය සමහරවිට මේ වනවිටත් ඔබ අත්විඳ ඇතිවාට සැකයක් නැත. එනිසා ජංගම දුරකතන සේවා සැපයුම හුදෙක් සමාගමක් මත පැටවීමට වඩා සමාගම් කිහිපයක් අතර බෙදී පැවතීම මැනවැයි කියා නිශ්චය කිරීම අසාධාරණයක් හෝ වරදක් හෝ නොවේ.

එවැනි පසුබිමක, ජංගම දුරකතන කුලුනු සංඛ්‍යාව අඩු කරන්නේ කෙසේද යන ගැටලුව පැන නැඟේ.

ජංගම දුරකතන සේවාවන් සපයන සමාගම් සියල්ලම එක කුලුනක් හරහා සම්ප්‍රේෂණ කටයුතු කිරීමට නැඹුරුවීම එහිලා ඇති හොඳම විකල්පයක් බව කෙනෙකුට පෙනී යන්නට පුළුවන. ජංගම දුරකතන කුලුනක් පවත්වාගෙන යෑම සඳහා සමාගමක් දැරිය යුතු වියදම අඩු කර ගැනීමටත් එය අගනා මඟකි.

ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව අනුව එවැනි විසඳුමකට යෑමේ අපහසුතාවක් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැහැදිලි කරයි. ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාවේ න්‍යායන්ට අනුව යම්කිසි ව්‍යුහයකට දැරිය හැකි බර ප්‍රමාණයක් තිබෙන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ජංගම දුරකතන කුලුනකටත් දැරිය හැකි ඇන්ටෙනා සංඛ්‍යාවක් ඇත. කුලුනකට සවි කෙරෙන ඇන්ටෙනා සංඛ්‍යාව කෙතෙක්ද යන්න තීරණය වන්නේ තාක්ෂණික කාරණා පදනම් කරගෙන බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා වැඩි දුරටත් පවසයි. යකඩින් නිම කර ඇති අධික බරක් සහිත ජංගම දුරකතන කුලුනක් ගොඩනැඟිල්ලක කොන්ක්‍රීට් එකක් මත ඉදිකරන්නට සිදු වුවහොත් කුලුන මත ඇටවිය හැකි ඇන්ටෙනා සංඛ්‍යාව තීරණය කළ හැකි වන්නේ ඉංජිනේරු තාක්ෂණය මත බව ඒ මහතාගේ අදහස වේ. ආර්ථිකමය කාරණාවන් පදනම් කරගෙන කෙරෙන දිරිගැන්වීම් අනුව ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනු සංඛ්‍යාව අඩු කිරීම අසීරු බව මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ නිගමනයයි.

දැනට තිබෙන කුලුනු ඉවත් කර ජංගම දුරකතන සේවා සැපයුම් ආයතන පහටම පහසුකම් සැපයිය හැකි කුලුනු ස්ථාපනය කිරීම ද ප්‍රයෝගික නොවේ. ඒ සඳහා වැයවන වියදම අති විශාල බැවිනුත් කුලුනු ස්ථාපනය කිරීමට දිගු කාලයක් ගතවන බැවිනුත් එකී පියවර ප්‍රායෝගික නොවන බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පෙන්වා දෙයි.

කුලුනුවලින් ලැබෙන අදායම සලකා බලා කුලුනු සංඛ්‍යාව අඩු කළ හැකි නොවේද යන්න මේ ගැටලුවේ තවත් පැත්තකි. එනම් අඩු ආදායමක් ලබාදෙන කුලුනු, භාවිතයෙන් ඉවත් කර ඒවායෙන් කෙරෙන කාර්යය වෙනත් කුලුනකට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියයි. රොහාන් සමරජීව මහතා පවසන අන්දමට ජංගම දුරකතන සමාගම් එවැනි පියවරකට එළඹියහොත් ග්‍රාහකයන්ට සපයන සේවාව දුර්වල මට්ටමකට පැමිණෙන්නට ඉඩ තිබේ. අන්තර්ජාල පහසුකම් ලබාගත් මෙරට ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 5.5ක් පමණ වේ. එයින් ග්‍රාහකයන් මිලියන 4.5ක් ම අන්තර්ජාල පහසුකම භුක්ති විඳින්නේ රැහැන් රහිත තාක්ෂණය හරහාය. යටකී පරිදි කුලුනු සංඛ්‍යාව අඩු කිරීමට ගියහොත් අන්තර්ජාල පහසුකම භුක්ති විඳින මෙරට ග්‍රාහකයන්ගෙන් 80%කට ආසන්න පිරිසකට දුර්වල සේවා පහසුකමක් ලබන්නට සිදුවනු ඇත. ඒ අනුව මෙරට ස්ථාපනය කර ඇතැයි සැලකෙන 8000 – 10,000 අතර වූ දුරකතන කුළුණු සංඛ්‍යාව අඩු කර ගැනීම අභියෝගාත්මක තත්ත්වයකි.

ජංගම දුරකතන කුළුණු නිසා සෞඛ්‍යය සහ පාරිසරික ගැටලු ඇතිවන්නේ යැයි කියා නැඟෙන තර්කය ද පසෙකට දැමිය නොහැකිය. විද්‍යුත් චුම්බක විකිරණ නිසා මනුෂ්‍ය ශරීරයට සිදුවන හානි ගැන කතාකරන බොහෝ බටහිර විද්වත්හු ජංගම දුරකතන කුලුනු කෙරෙහිත් අවධානය යොමු කරති. ඔවුන් කියමනට කියන්නේ අප, අපේ අත්තම්මලා සීයලාට වඩා මිලියන සියක් වාරයකින් විද්‍යුත් චුම්බක විකිරණයන්ට නිරාවරණය වන බවයි. වත්මන් පරපුර එපමණ වාර ගණනක් විද්‍යුත් චුම්බක විකිරණවලට නිරාවරණය වන්නේ ජංගම දුරකතන කුලුනු භාවිතය ද හේතු කරගෙනය. ඉහළ සංඛ්‍යාත ගුවන් විදුලි තරංග හෝ සූක්ෂ්ම තරංග හෝ ජංගම දුරකතන සම්ප්‍රේෂණ කුලුනුවලින් විමෝචනය වේ. එවැනි සූක්ෂ්ම තරංග නිසා හිසරදය, ස්මරණ ශක්තිය අඩුවීම, හෘත් වාහිනී ආශ්‍රිත ගැටලු මතුවීම, පිරිමින්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීම, මව් කුස තුළ ආබාධ සහිත දරුවන් වර්ධනය වීම, පිළිකා වර්ධනය වීම සිදුවිය හැකි බව පිළිගෙන තිබේ. නමුත් තවත් සමහර විද්‍යාඥයන් පවසන්නේ ජංගම දුරකතන කුලුනුවලින් විමෝචනය වන තරංග, මිනිස් සිරුරේ සෛල තුළ පවත්නා ඩී.එන්.ඒ.වල රසායනික බන්ධන බිඳ දමන්නට තරම් ප්‍රබල නොවන බවකි. එනිසා පිළිකා ඇතිවන්නට ඉඩක් නැති බව ඊට පක්ෂව කරුණු ගොනුකරන විද්‍යාඥයෝ පවසති.

ජංගම දුරකතන කුලුනු ඉදි කිරීම නිසා පරිසරය අවලස්සන වන බැව් සැබෑවකි. මෙරට ඇතැම් ස්ථානවල කුලුනු ඉදි කර තිබෙන්නේ එකී ස්ථානවල ඇති වැදගත්කම ගැන අල්ප මාත්‍රයක හෝ සැලකීමකින් තොරවයි. එහිලා නිදසුනක් හැටියට දැක්විය හැකි වන්නේ කුරුණෑගල ඇතුගල මත ස්ථාපනය කර ඇති ජංගම දුරකතන කුලුනුය. ඓතිහසික වශයෙන් වැදගත්කමක් ඇති එවැනි ස්ථානවල ජංගම දුරකතන කුලුනු ඉදි කරන්නට අවසරය ලබා නොදිය යුතුව තිබිණ. එසේ වී නම් ජංගම දුරකතන කුලුනු නිසා එහි පරිසරයට සිදුවන හානිය වලකා ගත හැකිව තිබුණේය. දුරකතන කුලුනු නිසා පරිසර අවලස්සන වීම වලක්වා ගන්නට ඇති අනෙක් පහසුම මඟ, ස්ථාපනය කෙරෙන පරිසරයට අනුව කුලුනු වෙස් ගැන්වීමයි. ගස් වැල් බහුල පරිසර පද්ධතිවල පිහිටුවා ඇති කුලුනු ශාක මෙන් වෙස් ගන්වා තිබෙනු දැකිය හැකිය. මෙය තවමත් අප රටෙහි සුලභව භාවිතයට ගැනෙන උපක්‍රමයක් නොවේ. කෙසේ වුවත් ජංගම දුරකතන කුලුනු භූ ගතව ස්ථාපනය කර පවත්වාගෙන යන්නට පියවර ගත් රටවල් ද නැතිවාම නොවේ. ජංගම දුරකතන කුලුනු භාවිතයෙන් වන පරිසර අවලස්සන වීම වළකා ගන්නට එම තාක්ෂණය භාවිතයට ගැනීමත් එක විසඳුමක් බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

(ලිපිය සකස් කෙරුණේ මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් ලබාගත් කරුණු ද ආශ්‍රය කරගෙනය)

මංජුලා විජයරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.