පසුගිය තෙවසර තුළ රටේ දිළිඳු බව අඩු වෙලා | සිළුමිණ

පසුගිය තෙවසර තුළ රටේ දිළිඳු බව අඩු වෙලා

ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු

2017 ඔක්තෝබර් මාසය දිළිඳුකම (Poverty) සම්බන්ධයෙන් කරුණු දෙකක් නිසා වැදගත් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතාගේ අදහසයි. එයින් පළමු කරුණ වනුයේ අලුත්ම “කුටුම්බ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේ නිකුත් වීම හා ඒ අනුව 2002 වර්ෂයේ 22.7%ක් වූ ශ්‍රි ලංකාවේ දරිද්‍රතා දර්ශකය ක්‍රමයෙන් අඩු වී ගොස් දරිද්‍රතා දර්ශකය 2016 දී 4.1%ක් තරම් ඉතාම අඩු මට්ටමකට අඩුවීමය. දෙවැනි කරුණ දිළිඳුකමින් මිදීමේ වර්ෂය ලෙස 2017 වර්ෂය නම්කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම දැක්මට අනුව 2017 ඔක්තෝබර් මාසයේදීම “ග්‍රාමශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීමය.

දරිද්‍රතාව ආර්ථික විද්‍යාත්මකව අර්ථ දක්වා ඇත්තේ කොහොමද?

ලෝක බැංකුව දරිද්‍රතාව අර්ථ දක්වන්නේ “හොඳින් ජීවත්වීමේ අවස්ථාව පැහැදිලි ලෙස අහිමි වීම” ලෙසයි. මේ හොඳින් ජීවත්වීම යන්න පුළුල් ලෙස අර්ථ දක්වන‍ රොබට් චේම්බර්ස් පෙන්වා දෙන්නේ දරිද්‍රතාවය අවාසි පොකුරක් බවයි. මෙම අවාසි පොකුරට කරුණු 5ක් ඇතුළත් කරනවා. ආදායම් දරිද්‍රතාවය බලරහිත භාවය, හුදෙකලා වීම, කායික දුබලතාව, නියඟය හා ගංවතුරෙන් පීඩාවට ගොදුරු වීම එම කරුණු 5 යි.

දරිද්‍රතාව කො‍හොමද මනින්නේ

රටක දරිද්‍රතාව මනිනු ලබන්නේ “දරිද්‍රතා ඉමක්” (Poverty line) යොදා ගෙනයි. දරිද්‍රතා ඉමක් කියන්නේ පුද්ගලයකුට හෝ කුටුම්බයකට තම මූලික අවශ්‍යතා සපුරා ගැන්මට මසකට අවශ්‍ය කරන අවම මූර්ත ආදායම් ප්‍රශ්නය යි. මෙය අවම ආහාර හා ආහාර නොවන පරිභෝජන අවශ්‍යතා මත තීරණය කරන එකක්. පුද්ගලයකුගේ දෛනික පෝෂණ මට්ටම සඳහා අවශ්‍ය එම ආහාර ප්‍රමාණය පරිභෝජනය කිරීමට වැය වන මාසික වියදම ආහාර දරිද්‍රතා ඉමේ වටිනාකමයි. මුළු දරිද්‍රතා ඉම ගණනය කිරීමට ආහාර නොවන පාරිභෝජන වියදමක් සැලකිල්ලට ගන්නවා.

මෑතකාලයේ ශ්‍රී ලංකාවේ පුද්ගලයකුගේ දුප්පත්කම මනින දරිද්‍රතා ඉමේ අගයත් කොහොමද?

දැනට වසර 15කට පෙර එනම් 2002 දී අගය රුපියල් 1423ක්. අද වන විට එය රුපියල් 4,166/=ක්. මේ අගය මූර්ත අගයක්. ඒ කියන්නේ උද්ධමනයට ගැලපූ පසු අගයක්. මේ අගය යොදාගෙන ඉට පහළින් ආදායම් ලබන ජනගහනයේ ප්‍රමාණය, මුළු ජනගහනයෙන් බෙදලා 100න් වැඩි කොට “ජනගහනයේ දරිද්‍රතා දර්ශකය (Poverty Headcount Index) සකස් කරනවා. 1990 සිට මෙම දර්ශකය ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් “ගෘහඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ” (Household INome and Expenditure Survey - HIES) ඇසුරින් වසර 3කට වරක් ප්‍රකාශයට පත් කරනවා.

1990 ඉඳලා මෙම දර්ශකය කොයි විදියට ද වෙනස් වෙලා තිබෙන්නේ.

1990 මෙම දර්ශකය 26.1ක්. එය 1995 වන විට 28. 8%කට වැඩි වුණා. ශ්‍රී ලංකාවේ ඉහළම දරිද්‍රතාව වාර්තා වන්නේ 1995 දී . පසුව පැවැත්වූ සමීක්ෂණවලදී එම ප්‍රතිශතය අඩු වුණා. එය මෙසේ දක්වන්න පුළුවන්.

වර්ෂය - දර්ශකය

2002 22.7

2006/7 15.2

2009 /10 8.9

2012/13 6.7

2016 4.1

මෙම දර්ශකවලින් පෙන්නුම් කරනුයේ 2002 සිට 2016 දක්වා වසර 14ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව 23%කට 4% දක්වා 19%ක ප්‍රතිශත අංක ප්‍රමාණයක් එනම් විශාල අඩුවීමක් ජාතික මට්ටමෙන් සිදුවී තිබෙන බවයි.

ජාතික මට්ටමෙන් ර‍ටේ දුප්පත් අයගේ සංඛ්‍යාව පුද්ගලයන් වශයෙන් කොපමණ අඩු වෙලාද?

අලුත්ම වාර්තාවේ දැක්වෙන ආකාරයට 2013 දී ශ්‍රී ලංකාවේ දුප්පත් අය ලක්ෂ 13 ක් ඉඳලා තිබෙනවා. එය 2016 වනවිට ලක්ෂ 8.4කට එනම් ලක්ෂ 4.6කින් වර්ෂ 3ක් තුළ අඩුවෙලා තිබෙනවා. මෙම අඩුවීම අපට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද වැදගත්.

මොකක්ද ජාත්‍යන්තර වැදගත්කම

ලෝකයේ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය විටින් විට ඉදිරිපත් කරන සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමට නියමිතයි. එම සංවිධානය 2000 – 2015ට ඉලක්ක 8 ඉදිරිපත් කළා. ප්‍රධානතම ඉලක්කය තමයි රටක 1990 පැවැති දුප්පත්කම 2015 වන විට 50%කින් අඩුකර ගන්න යන ඉලක්කය. ඒ අනුව ශ්‍රී ලංකාව 1990 පැවැති 26% දුප්පත්ම 13%කට අඩුකර ගැනීමේ ඉලක්කයක් තිබුණා. නමුත් අපි 2015ට පෙර ම ඒ කියන්නේ 2009 /2010 වන විට 8.9 %ක මට්ටමට දුප්පත්කම අඩුකරලා එම ඉලක්කයට ළඟා වුණා. දැන් තවත් ඉලක්කයක් දීලා තිබෙනවා. ඒ තමයි 2015 – 2030 කාලය තුළ ඉලක්ක. එයින් ප්‍රධාන ඉලක්කය තමයි 2030 වන විට දුප්පත්කම සාගින්න මුළුමනින්ම ඉවත්කරගන්න යන ඉලක්කය.ඒ ඉලක්කයටත් අප දැන් ළඟා වෙමින් පවතිනවා. 2016 දී අපේ දරිද්‍රතා දර්ශකය 4. 1%කට අඩු කරගත්තා. ඉදිරි වසර 14 ක කාලය තුළ එය 0%ට අඩුකර ගැනීම අපට එතරම් අමාරු වේ යැයි කියලා හිතන්නේ නැහැ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ දුප්පත්කම 0ට බැස්සුවත් දුප්පත් අය ප්‍රාදේශීය වශයෙන්, පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් දැඩි විෂමතාවකට පත් වී තිබීමයි.

ඔබතුමා කියන ඔය විෂමතාව ගැන අවබෝධයක් ගන්න අවශ්‍ය සංඛ්‍යා ඉදිරිපත් කරන්න පුළුවන්ද?

ආංශික ආදායම් විෂමතාව නව සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කුටුම්බයක මධ්‍ය මාසික ආදායම 2016 දී රුපියල් 62, 237කි. මෙය 2012/13 සමීක්ෂණයේ වාර්තාවූ ආදායමට වඩා 35.7%ක වැඩිවීමකි. උද්ධමනයට ගැලපූ විට මෙම වැඩිවීම 15.8%කි. මෙම ආදායම් නාගරික අංශයේ කුටුම්භයක් සඳහා රුපියල් 88.692/=ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර ග්‍රාමීය අංශයේ කුටම්බයක හා වතුකරයේ කුටුම්භයක පිළිවෙළින් රුපියල් 58.137/= ක් සහ 34,804/-ක් බවට පත්වෙමින් ආංශික වශයෙන් දැඩි විෂමතාවයක් පෙන්නුම් කර ඇත.

ආදායම් ව්‍යාප්තියේ දැඩි විෂමතාව

ජනගහනයෙන් පොහොසත්ම 20% කුටුම්බයන්ගේ මසක ආදායම = රු.158,072/=

ජනගහනයෙන් දුප්පත්ම 20% කුටුම්බයක ආදායම = රු 14,843/=

ජනගහනයෙන් දුප්පත්ම 40% කුටුම්බයක ආදායම = රු. 22.423/=

මද්‍යම ආදායම් ලබන 60% කුටුම්බයක ආදායම = රු. 46,097/=

මෙයින් පෙන්නුම් කරන්නේ දුප්පත්ම 20% කෙනකුගේ ආදායම මෙන් පොහොසත් 20% කෙනකුගේ ආදායම 10 ගුණයකට වඩා විශාල බවයි.

ප්‍රාදේශීය දරිද්‍රතා දර්ශක විෂමතාවට

ප්‍රාදේශීය වශයෙන් ගත් කළ නාගරික අංශයේ දරිද්‍රතා දර්ශකය 1.9%කට අඩුවී 67649ක් දුප්පත්ව සිටියදී ග්‍රාමීය අංශයේ දරිද්‍රතා දර්ශකය 4.3%ක් බවට පත්වී 693.956ක් දුප්පත්ව සිටී. වතුකරයේ දර්ශකය 8.8%ක් වී තිබෙන අතර 82308ක් දුප්පත් කමෙන් පෙළේ. “කොළඹට කිරි ගමට කැකිරි” යනුවෙන් දශක කිහිපයකට පෙර කියූ කියමන ද අදටත් වලංගුවන බවක් එයින් පෙනේ.

පළාත් විෂමතාව

පළාත් වශයෙන් ගත් විට අඩුම දරිද්‍රතා දර්ශකයක් පෙන්නුම් කරනුයේ බස්නාහිර පළාතේය. එහි දර්ශකය 1.7%කි. දුප්පත් ජන සංඛ්‍යාව 101.342කි. වැඩිම දරිද්‍රතා දර්ශකයක් උතුරු පළාතේ පෙන්නුම් කරන අතර එම ප්‍රතිශතය 7.7%කි. දිළිඳු ජන පිරිස 83.834කි. අනිකුත් පළාත්වල දර්ශකය අඩු මට්ටමේ සිට වැඩි මට්ටම දක්වා පිළිවෙළින් මෙසේය.

දරිද්‍රතා දර්ශකයෙන් උතුරු පළාත වැඩිම දුප්පත්කමක් පෙන්නුම් කළත් (7.7%) දුප්පත් ජනසංඛ්‍යාව අතින් පළමු තැනට පත්ව තිබෙන්නේ මධ්‍යම පළාතයි. එහි දුප්පතුන් සංඛ්‍යාව 142,044කි. අඩුම දරිද්‍රතා දර්ශකය බස්නාහිර පළාත (1.7%) පෙන්නුම් කළත් දුප්පත් අය අඩුම පළාත උතුරු මැද පළාත (42.191) යි.

දිස්ත්‍රික්ක විෂමතාව

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ දරිද්‍රතා දර්ශකය අඩුම දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයයි (0.9%) වැඩිම දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කයයි (18.2%) අනිකුත් දිස්ත්‍රික්කවල දරිද්‍රතා දර්ශකයන් වනුයේ මන්නාරම (1%) හම්බන්තොට (1.2%), ගම්පහ (2%), වව්නියාව (2%) පුත්තලම (2.1%) පොළොන්නරුව (2.2%) , අම්පාර (2. 6%) , කළුතර (2.9%) ගාල්ල (2. 9%) කුරුණෑගල (2.9%) අනුරාධපුරය (3.8%) මාතලේ (3.9%) මාතර (4.4%), මහනුවර (5.5%) මොනරාගල (5.8%) නුවරඑළිය (6.3%) රත්නපුර (6.8%) කෑගල්ල (7.1%) යාපනය (7.7%), ත්‍රිකුණාමලය (10%) මඩකළපුව (11.3%) මුලතිව් (12. 7%) කිළිනොච්චිය (18.2%) දුප්පත් ජන සංඛ්‍යාව අතින් බලන විට වැඩිම දුප්පත් පිරිසක් සිටින්නේ මහනුවර (76.429) දිස්ත්‍රික්කයේය. අඩුම දුප්පතුන් සංඛ්‍යාවක් සිටින්නේ මන්නාරම් (1005) දිස්ත්‍රික්කයේ ය.

සමස්තයක් ලෙස ගත් කල ආංශික , පළාත් හා දිස්ත්‍රික් වශයෙන් දැඩි විෂමතා දක්නට ලැබුණත් ජාතික මට්ටමෙන් දරිද්‍රතාව අඩු කොට ලෝක දර්ශකවල ඉලක්කයන් වෙත ළඟාවීටම වසර 10ක් තුළ දරිද්‍රතා දර්ශකය 10% ක් අඩු කිරීමට සමත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් වසර දෙකක් තුළ එම දර්ශකය 2%ක් අඩුකළ යහපාලන ආණ්ඩුවටත් අපේ ප්‍රශංසාව හිමිවන අතර පවතින විෂමතාව අවම කිරීමේ අවශ්‍යතව ද අවධාරණය කරමු.

දරිද්‍රතා දර්ශකය 0%කට අඩුකිරීමට ඉලක්කයක් තිබෙනවා. නමුත් ප්‍රාදේශීය පළාත් හා දිස්ත්‍රික් විෂමතා දැඩිවෙලා. ඒ විෂමතාව අඩුකිරීමටත් රජයට ලොකු වගකීමක් තිබෙනවා. ඒ දෙකම කරන්න ජනපතිතුමාගේ ග්‍රාමශක්ති වැඩපිළිවෙළ ඉවහල් වෙයි ද?

මෙම වැඩපිළිවෙළේ පළමු අදියරේදී, ශ්‍රී ලංකාව පුරා තෝරාගත් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාස 5000ක් ආවරණය කරමින් දිරිමත්ව සවිමත්ව විධිමත්ව සංවිධානය වී දිළිඳුකමින් මිදී දියුණුවේ මාවතට පිළිගත් ජනතා සමාගම් බිහිකර ඒවාට වෙළෙඳපොළ ජයගැනීමේ අවස්ථාව සලසා දීමට කටයුතු කරන නිසාත්, කාන්තාවන්ට, තරුණයන්ට එහි වැඩි දායකත්වයක් ලබාදී ගමත්, ප්‍රාදේශීය හා පළාත් සංවර්ධනය කිරීමේ සැලසුම් ඒ යටතේ බිහිකරන නිසාත්, ඒක පුද්ගල ආයෝජනය රු. 8000/=ක් ලෙස ගණනය කළ රාජ්‍ය ආයෝජනයක් කිරීමට ග්‍රාමීය ඉතුරු ක්‍රමයක් මගින් ග්‍රාමීය ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම එම වැඩපිළිවෙළ් අරමුණු නිසාත් දැනට තිබෙන දරිද්‍රතා විෂමතාව මග හරවා ගෙන දරිද්‍රතාදර්ශකය 0%කට අඩු කිරීමට ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ හොඳ පිළියමක්

ජයසිරි මුණසිංහ

Comments