වියපත් නොවන තුරුණු ස්වරය | සිළුමිණ

වියපත් නොවන තුරුණු ස්වරය

පාන්දර පහට සේවයට යා යුතු නම් මා පාන්දර දෙක හමාරට අවදි වී දරුවන්ට - සැමියට කෑම සකස් කැර ඒවා පිළියෙල කැර තමයි රාජකාරියට එළියට බැස්සේ. මගේ අම්මාඋදව් කළා. ඒ වගේ ම මට මගේ ම අම්මා වගේ මහත්තයගේ අම්මා සිටියා. මා ලේලිය ලෙස නොවෙයි ඈ මා දෙස බැලුවේ. ඇගේ දුවක ලෙසයි. මා ඇය වෙනු‍ෙවන් ම ගීතයක් ද රචනා කළා.

70’ දශකය අප ජන සමාජයට සුවිශේෂ වන්නේ අපේ බොහෝ කලාංගයන් ස්ථානගතවීම සිදුවන කාලවකවානුව නිසාත් මෙරටේ තිබූ එකම විද්‍යුත් මාධ්‍යයේ ස්වර්ණමය යුගය සනිටුහන් කරන යුගය නිසාත් යැයි කිවහොත් සාවද්‍ය නොවේ. ගුවන් විදුලියේ මේ ස්වර්ණමය යුගය ආලෝකමත් කළ ජ්‍යෙෂ්ඨ ශිල්පිනියකට අද අපි ‘පැහැසර හමුව’ ට ආරාධනය කළෙමු. නිවේදිකාවක හඬ ශිල්පිනියක මෙන් ම ගීත රචිකාවියක මෙන් ම සිය මියුරු හඬින් ගුවන් විදුලි වංශ කතාව ඔපවත් කළ ඇය කුසුම් පීරිස් වන්නීය.

 

උපන් දිනය?

1948 පෙබරවාරි 27

* උපන් ගම?

වත්තල ගොංගිතොට

* උප්පැන්නයේ නම?

ජුවන්පේලිගේ කුසුම් පියසීලි ජයලත්

* දෙමවුපියන්?

මව කරලැයින්, පියා ඇල්මේරිස්

* සහෝදර, සහෝදරියන්?

පහයි! අයියා නැතිවුණා. ලොකු නංගි චන්ද්‍රා.‍ පොඩි නංගි ශ්‍රියානි. මල්ලිලා විජිත් සහ සරත්.

* මුලින් ම අකුරු කළේ?

කැලණිය, ගුරුකුල විද්‍යාලය. උසස් පෙළ කළෙත් එහිමයි.

* ඔබ පාසල් කාලයේ කොයි වගේ චරිතයක්ද?

කථික, ගීත ගායනයට මෙන් ම නෙට්බෝල් ක්‍රීඩාවටත් මා යොමුවී සිටියා. කථික තරගවලින් නොයෙක්වර මා ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා.

* ඔබේ පාසල් මිතුරු - මිතුරියන් වුණේ?

මාලිනි ෆොන්සේකා, විමල් කුමාර ද කොස්තා, පතිරාජ එල්.එස්., එච්.ඩී‍. ප්‍රේමරත්න වගේ අය අපට ඉහළ පන්තිවල නෙතලි නානායක්කාර හිටියා.

* මේ සඳහන් කළ සියලු දෙනා මේ රටේ කලා ක්ෂේත්‍රයේ පසුව දැවැන්තයන් බවට පත් වෙනවා පාසල් කාලයේදී ඔබට ඒ බව දැනුනද?

නෑ. එහෙම විශේෂ හැඟීමක් තිබුණෙ නෑ. අපි අධ්‍යාපන කටයුතු වගේ ම අනෙක් කලා කටයුතුත් දැඩි ඇල්මෙන් යුතුව කළා.

* දැන් මා ඔබෙන් ඇසිය යුතු ම ප්‍රධානම ප්‍රශ්නයට එන්නම්! ඔබේ ගුවන් විදුලි සම්ප්‍රාප්තිය සිදුවන්නේ?

1965 දී.

* ඒ කතාව?

පාසල් මිතුරියක් දවසක් මට කිව්වා ගුවන් විදුලි ආධුනික නාට්‍ය ශිල්පීන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබෙනව කියා.

* ඔබ ඒ අනුව අයැදුම්පතක් යොමු කරනවා?

ඔව්! මා එය සමත් වෙනවා.

* දැන් ඔබ ආධුනික නාට්‍ය ශිල්පිනියක්? ඒ කාලයේ නාට්‍යයක රඟපෑම වෙනුවෙන් කීයක් ලැබුණද?

අනේ මට ගණන් හිලව් මතක නෑ!

එදිනෙදා වියදම්වලට ප්‍රමාණවත් වුණා කියා මතකයක් තිබෙනවද?

ඔව්!

* ඔබට මංගල සීනු හැඬවෙන්නෙත් ගුවන් විදුලියෙන්?

මගේ මහත්තයත් ගුවන් විදුලියේ හඬ ශිල්පියෙක්. ඔහු නෙල්සන් පීරිස්.

* පෙම් සබඳතාවක්?

ඔව්!

* ගෙවල්වලින් බාධා ආවේ නැද්ද?

මුලදී අපේ තාත්තා කැමැති වුණේ නෑ. පසුව ඔහු පිළිබඳ සොයා බලන කොට ඔහු ඉතා හොඳ කෙනෙක් කියා වැටහුණාට පසුව තාත්තා කැමැති වුණා.

* විවාහ වෙන්නේ?

1970 මාර්තු මාසේ! අපි විවාහ වී නාවින්නේ පදිංචි වුණා.

* පසුවයි ඔබ නිවේදක වෘත්තියට පිවිසෙන්නේ.

ඒ 1972 වසරයි! මගේ ලොකු දුව ඉපදුන මේ වසරේම මා ගුවන් විදුලියේ සහන නිවේදිකාවක ලෙස පත්වුණා.

* ස්ථිර නිවේදිකාවක් වෙන්නේ?

1976

* ඊට අමතරව ඔබ ඉතාමත් ජනප්‍රිය ගීත ගණනාවක රචිකාවියක් වගේ ම ගුවන් විදුලි නාට්‍ය කීපයක රචිකාවියක්.

මගේ මුල් ම ගීතය ගායනා කළේ ප්‍රවීණ ශිල්පීන් යුවළක් වෙන නිරංජලා ස‍රෝජනී සහ අබේවර්ධන බාලසූරිය.

* මේ ගීත රචනා ගමනේ ආරම්භය දැනගන්න කැමතියි?

දිනක් මා ගුවන් විදුලියේ නිවේදකයන් සඳහා ඇති විවේක කාමරයේ ඉන්න කොට කඩදාසි කෑල්ලක ‘නිසංසලේ මා තනියෙන් තනියට ඔබේ සිත ළඟටම ඇවිදින් කියන පද පේළි දෙක ලියවුණා.

* පසුව?

පසුව මා මෙය අනෙක් වචන දමා සකස් කළා. මෙය දුටු නිරංජලා අනේ මේ ගීතය ලස්සනයි. මට දෙන්න කියා ඉල්ලාගෙන ‍අබේ සමඟ ගායනා කළා.

* ඔබ ගුවන් විදුලි නාට්‍ය රචනය කළා?

ඔව්! තුනක් පමණ. පළමු නාට්‍ය වුණේ ‘පහන් තරුව’ යි. රත්නා ලංකා අබේවික්‍රම කළ කාන්තා කළඹ වැඩසටහනටයි ලිව්වේ. එහි ‘අචලා’ කියන ප්‍රධාන චරිතය කළේ මමයි‍.

* ‍ඔබ සුරතින් ලියවුණු ගීත සංඛ්‍යාව?

පණහක් පමණ!

* එදා ගුවන් විදුලිය ගැන යමක් කියන්න?

හරිම සුන්දරයි මගේ ජීවිතයෙන් හරි අඩක් ම ගෙවුණේ ගුවන් විදුලියේ.

* මේ කාලය තුළ බොහෝ අමතක නොවන සිදුවීම් ඇති?

බොහෝමයි!

* එකක් කියන්න?

මගේ මහත්තයා දිනක් රිය අනතුරකට මුහුණ දුන්නා. ඒ රාත්‍රි දහයට පමණ පසුදා පාන්දර පහට ගුවන් විදුලිය ආරම්භ කිරීමට තිබුණේ මට.

* ඉතිං?

එදා අද වගෙ දුරකතන පහසුකම් නෑ. මහත්තයාට අසාධ්‍යයි. නමුත් මා නිවැරැදි වෙලාවට මැදිරියට ගිහින් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනය කරමින් රාජකාරි ඇරැඹුවා. නමුත් මගේ හදවතේ ගිනි ගොඩක්

* තවත් සිදුවීම් ඇති?

අවුරුදු දහයක් පමණ මගේ ගෙදර දරුවො - සැමියා සමඟ මා සිංහල අවුරුදු දවසේ කිරි උතුරුවල නෑ‍.‍

* ඇයි ඒ?

සජීවි අලුත් අවුරුදු වැඩසටහන ඉදිරිපත් කිරීමට මා සිටියේ ගුවන් විදුලියේ නිසා.

* එතරම් කැපවීමෙන් රාජකාරි කළා?

ඔව්! එදා සිටි සියලු දෙනා තුළ ඒ ගුණය තිබුණා කිව්වොත් නිවැරැදියි.

* අද ක්ෂේත්‍රයේ තරුණ පරපුර ගැන යමක් කියන්න?

ඉතාමත් දක්ෂයින් සිටිනවා. ඇතැම් අවස්ථාවල මා දුරකතනයෙන් පවා සුබ පතනවා.

* එතෙක් - මෙතෙක් රඟපෑ නාට්‍ය සංඛ්‍යාව?

සියයකට වැඩියි! ඇයි මා තවමත් රඟපානවනේ. (සිනා) ඒ විතරක්ද තවමත් මා අනුග්‍රාහක වෙළෙඳ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 2001 වසරේ ස්ථිර සේවයෙන් ඉවත් වුණත් ඒ කටයුතු තවමත් මා කරනවා.

* ඔබ රඟපෑ ගුවන් විදුලි නාට්‍ය කීපයක් පසු කාලයේ සිනමාවටත් නැඟුණා.

ඇයි මුවන්පැලැස්ස, මොනරතැන්න.

* රාජකාරි බහුල වූ ඔබ කොහොමද ගෙදර - දොර කටයුතු කළමනාකරණය කැර ගත්තේ?

පාන්දර පහට සේවයට යා යුතු නම් මා පාන්දර දෙක හමාරට අවදි වී දරුවන්ට - සැමියට කෑම සකස් කැර ඒවා පිළියෙල කැර තමයි රාජකාරියට එළියට බැස්සේ.

* උදව්වට කවුරුවත් ගත්තේ නෑ!

නෑ! මගේ අම්මා උදව් කළා. ඒ වගේ ම මට මගේ ම අම්මා වගේ මහත්තයගේ අම්මා සිටියා.

ඒ කියන්නේ?

මා ලේලිය ලෙස නොවෙයි ඈ මා දෙස බැලුවේ. ඇගේ දුවක ලෙසයි. මා ඇය වෙනු‍ෙවන් ම ගීතයක් ද රචනා කළා. එය ඉන්ද්‍රානි බෝගොඩ ගායනය කළා.

* ගුවන් විදුලි වංශ කතාවේ කුසුම් පීරිස් සලකුණ සුවිශේෂයි. ඒ වෙනුවෙන් ඔබ ලබා ඇති ඇගයීම් දැන ගන්න කැමැතියි?

1995 දී ගුවන් විදුලි සංස්ථාවෙන් සංවිධානය කළ ගුවන් විදුලි සම්මාන උලෙළෙහිදී ජනප්‍රියම නිවේදිකාව හිමි සම්මානය ලැබුවා.

* එපමණ ද?

නෑ! 2008 ශ්‍රී ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමය මඟින් පිරිනැමෙන ‘මැකෝ’ සම්මානයත්, 2010 ගුරුකුල රත්න විභූෂණ සම්මානයත් 2015 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය පිරිනැමූ ‘ලියවර්ණ’ සම්මානයත් ලැබුවා.

* තවත් තියෙනවද?

ඔව්! 2016 කලා භූෂණ රාජ්‍ය සම්මානයත් 2016 ම සවන රැදි ගීත රචක සංසදය මඟින් පිරිනැමුණු ගීත ප්‍රසාදිනී සම්මානයත් ලැබුවා.

* 2001 වසරේ ඔබ ස්ථිර සේවයෙන් ඉවත් වෙනවිට එහි ඔබ කවුරු වශයෙන් ද කටයුතු කළේ?

මා ඒ වෙන විට ජ්‍යෙෂ්ඨ නිවේදිකාව ලෙස කටයුතු කළා.

* ඉවත් වීමෙන් පසුව?

ශ්‍රී එෆ්.එම්. ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ නියාමන නිලධාරිනිය ලෙස කටයුතු කළා.

* අද?

මා ඔබට කලින් කිව්වා වගේ නිවේදිකාවක්. හඬ කැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.

* ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න කැමැතියි?

මට දරුවො තිදෙනයි. වගීෂා ලොකු දුව, පොඩි දුව තමාලි, පුතා රජිත්.

* මේ අය දැන් විවාහකයි?

ඔව්! මුනුපුරන් 4 යි. එක් මිනිබිරියකගෙයි අත්තම්මා කෙනෙක් මම. ඒ වගේ ම මගේ බෑණලා දෙන්නා අනූෂ සහ අනුර ලේලි නයෝමි මගේම දරුවො වගේ.

* ජීවිතය දෙස ආපසු හැරී බලද්දී.

විශාල සතුටක් ලැ‍ෙබනවා. මගේ පාසලටත් ගුවන් විදුලියටත් සදා ණය ගැතියි.

* එදාට සාපේක්ෂව අද සමාජය ගැන යමක් කියන්න?

අනේ! ඒ ප්‍රශ්නය අසන්න එපා මා මොනවා හරි කිව්වහම කාගේ හරි හිත රිදුනොත් මම ඒකට බයයි. 

Comments