අතේ පච්චය හා සදාචාර ප්‍රශ්නය | සිළුමිණ

අතේ පච්චය හා සදාචාර ප්‍රශ්නය

 ඕනෑම රටකට අදාළව බලාත්මක නීති තිබේ. නීතියේ ප්‍රභවය හෙවත් නීති පනවන්නන් වෙනස් විය හැකි වුවත් රටක බලාත්මක වන නීතිය තුළ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නා කරුණු කිහිපයක් තිබේ. රාජ්‍යයේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව, ජනසමාජයේ පැවැත්ම හා පුරවැසියාගේ අයිතිවාසිකම් හා නිදහසද ඇතුළුව මනුෂ්‍ය අයිතිවාසිකම් එහි දී මූලික වශයෙන් අවධානයට යොමු කරයි.

ඒ අනුව රටක ජීවත් වන සියලු පුරවැසියන්ද ඇතුළු එහි වෙසෙන සියලු දෙනා අත්‍යන්තයෙන්ම බැඳී සිටින්නේ එකී නීතියටය. ඒ සමඟ ආගමික, සදාචාරාත්මක මිනුම්දඬු අනුව පිළිගත් සදාචාරාත්මක පිළිගැනීම් මෙන්ම සම්ප්‍රදායන්ද ඒ ඒ ජනසමාජ තුළ මුල් බැසගෙන පැවතිය හැකි බව අප පිළිගත යුතුය. එහෙත් එහි දී වැදගත්ම කාරණය වන්නේ ඒ කිසිවකට රටේ පවත්නා නීතිය ඉක්මවා කටයුතු කළ නොහැකි බවයි; සමාජයේ නිස්සාර පුරුෂාර්ථ නීතියට පටහැණි ආකාරයට අභ්‍යාස කළ නොහැකි බවයි. බොහෝ විට මෙහි දී ගැටලු ඇති කරවනු ඇත්තේ ඒ ඒ ජනසමාජයන්හි මුල් බැසගත් සංස්කෘතික හා සදාචාර ආකල්ප මුල් කරගෙනය.

පච්චය හා මස්කඩය

ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය විසින් පසුගිය සතියේ දී ඇති ඉතා වැදගත් නඩු තීන්දුවක් හා මේ රටේ පුරවැසි සමාජය නියෝජනය කරන සමාජ බලයක් සහිත එක්තරා භික්ෂූන් වහන්සේ නමක ගෙන ඇති ක්‍රියාමාර්ගයක් පිළිබඳ සලකා බැලීමේ දී පුරවැසි නිදහස හා මහජන සුබසෙතද මුල් කරගත් රටේ මූලික නීතිය හා සමාජ ආකල්ප අතර මතු වන ගැටුම තේරුම්ගත හැකිය. සංස්කෘතික හා සදාචාර හැඟීම් මුල් කරගනිමින් ඇති විය හැකි අනිටු විපාක හඳුනාගත හැකිය. එහි දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ සිදුවීම වී ඇත්තේ මෙයට වසර හතරකට පමණ පෙරය. එනම් 2014 වසරේදීය. එය එකළ මේ රටේ මෙන්ම විදේශීය ජනමාධ්‍යයන්හි ප්‍රමුඛ අවධානයට යොමු කළ කරුණක් විය. එනම් සිය එක් අතක බාහුවේ බුදුරුව සහිත පච්චයක් කොටාගෙන තිබීම නිසා ශ්‍රී ලංකාවට පැමිණ සිටි විදේශීය කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමය.

අද අපගේ අවධානයට බඳුන් වන දෙවන සිදුවීම වාර්තා වන්නේ මතුගම ප්‍රදේශයෙනි. මතුගම නගරයේ පවත්වාගෙන යන ගව මස් වෙළෙඳසලක් සඳහා ඉදිරි වසරට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවා තිබූ අවස්ථාවේ දී ඉහළම ලංසුව ඉදිරිපත් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් එකී ටෙන්ඩරය මිල දී ගැනීම හේතුවෙන් මතු විය හැකි තත්ත්වය පෙර සිදුවීමටත් වඩා සංකීර්ණ වන අතර ඒ තුළ ඇති විය හැකි ගැටලු ඇතැම්විට වඩා බරපතළද විය හැකිය. ඒ අන් කිසිවක් නිසා නොව එකී ටෙන්ඩරය මිල දී ගත් භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට ඉහළම ලංසුවක් ඉදිරිපත් කරමින් උන් වහන්සේ එකී ටෙන්ඩරය මිල දී ගෙන ඇත්තේ මස් කඩය පවත්වාගෙන යෑමට නොව, එය වසාදැමීමේ අදහසින් වන නිසාය.

ශ්‍රද්ධාවක මහිමය!

බැලූ-බැල්මටම පෙනී යන්නේ මෙකී සිදුවීම් දෙකටම මුල් වී ඇත්තේ සමාජයේ මුල් බැසගෙන ඇති හෝ එසේ නැත හොත් සමාජය තුළ යම් කැපී-පෙනෙන බලයක් අත්පත් කරගෙන ඇති සමාජ කණ්ඩායම් විසින් පිළිගන්නා සදාචාරාත්මක මිනුම්දඬු අනුව මතු වූ ගැටලුකාරී තත්ත්වයක් වන බවයි. ප්‍රථම සිදුවීමට අදාළ වන බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියකු වන නයෝමි කෝල්මන් නම් කාන්තාව සිය එක් අතක බාහුවේ බුදු රුව සහිත පච්චයක් කොටාගෙන ඇත්තේ බුදුන් වහන්සේ කෙරෙහි ඇය තුළ පවත්නා භක්තිය හා ගෞරවය හේතුවෙනි.

වාර්තා වන ආකාරයට ඇය බුදු දහම වැලඳගෙන ඇති කාන්තාවක වන අතර, බුදුදහමේ ගැඹුරු හරය අවබෝධ කරගැනීමටද ආගමික වශයෙන් සිදු කරන්නා වූ වන්දනා-මාන කටයුතු සඳහාද තායිලන්තය හා නේපාලය යන රටවල් වෙතද කිහිපවරක් ගමන් කර තිබේ. එමෙන්ම ඇය ශ්‍රී ලංකාවටද වාර දෙකක් පැමිණ ඇති බව ද සඳහන්ය. එහෙත් අවසන් වරට -එනම් 2014 වසරේ- ඇය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදීම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඇය මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටාගෙන තිබීම හේතුවෙන් අප රටේ මහජනතාව කුපිත වීමට ඇති හැකියාව අනුව ඇයට රටට ඇතුළු වීමට ඉඩක් දිය නොහැකි බවය. ඒ අනුව අධිකරණ නියෝගයක් ලබාගනිමින් ඇය අප රටෙන් පිටුවහල් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

පච්ච බලා හොරුන් හැඹීම

එහි දී ඉතා පැහැදිලි වන්නේ එකී සිදුවීම් දාමයට පැහැදිලිවම මුල් වී ඇත්තේ පොලීසිය විශ්වාස කරන සදාචාරාත්මක වටිනාකම් වන බවයි. එනම් පච්චයක් කොටාගෙන සිටීම සදාචාරාත්මක නොවන පුද්ගල ක්‍රියාවක්ය යන ආකල්පයයි. ”මරුවා සමඟ වාසේ” - ”අම්මා බුදුවේවා” වැනි ජනප්‍රිය තේමාවන්ද සර්පයකු වෙළාගෙන සිටින කිණිස්සක්, ගොරවා කඩා පනින්නට බලා සිටින කොටි හිසක් වැනි පච්ච පිළිබඳවද ඒවා කොටාගෙන සිටින පුද්ගලයන්ගේ ගති-ස්වභාවයන් ගැන පමණක් අවබෝධයක් සහිත අපේ පොලිස් නිලධාරීන් හට කොටි මුහුණ සහ නෙළුම් මලක් මත වැඩ හිඳින බුදු රුව වෙන් කර හඳුනාගැනීමට නොහැකි වූවා විය හැකිය.

එමෙන්ම රටේ බලාත්මක නීතිය හා ඇතැම් අය තුළ මුල් බැසගෙන තිබිය හැකි අවර ගණයේ සදාචාරාත්මක ආකල්ප වෙන් කර හඳුනාගැනීමටද නොහැකි වූවා විය හැකිය. එසේ කියන්නේ පච්චයේ නිරූපිත සංකේත මුල් කරගනිමින්ම නොවේ.

ඇතැම් විට අප රටට ආගන්තුක විය හැකි වුවද අප ජීවත් වන ආසියානු කලාපයේ ඇතැම් රටවල පමණක් නොව, ලොව බොහෝ රටවල පච්චා යනු ජනප්‍රිය කලාංගයක් බව අප රටේ බොහෝ දෙනකු නොදැන සිටීම තුළය. එය අප රටට ආගන්තුක විය හැකි වුවත් ලොව බොහෝ රටවල් තුළ පච්චා යනු ජනප්‍රිය සංස්කෘතියේ කොටසකි. ඒ අනුව ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් ගැහැනු, පිරිමි හෝ වයස් භේදයන්ගෙන් තොරව සිය සිරුර මත පච්චා කොටාගෙන තිබීම සුලබ දෙයකි. ඒ කිසිදු රටක පොලීසියක් අපරාධකරුවන් සොයායෑමේ දී නීතිවිරෝධි හා සදාචාර විරෝධී පුද්ගලයන් පසුපස හඹා යන්නේ වුවද එහි දී සලකා බලන්නේ එක් එක් සිරුරු මත සටහන්ව ඇති පච්චා ලකුණු දෙස නොව, එක් එක් පුද්ගලයන්ට අදාළව සටහන් වී ඇති තොරතුරු හා වාර්තාවන් පිළිබඳවය.

පාපය සහ ශික්ෂාව

එදා අප රටේ පොලීසියද පොලීසියේ ඉල්ලීම මත මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව වගකිව යුතු ඇතැම් ආයතනද සිදු කර ඇති වරදකට මේ වන විට වන්දි ගෙවා ඇත්තේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් කිහිපදෙනා පමණක්ම නොවේ.

මුළුමහත් ශ්‍රී ලංකා රාජ්‍යයට ද ඒ සඳහා වන්දි ගෙවීමට සිදුව තිබේ. ඒ අදාළ ක්‍රියාව මඟින් ශ්‍රී ලංකාවේ මූලික නීතිය මෙන්ම තමන්ගේ මානව අයිතිවාසිකම්ද කඩ වූ බවට සඳහන් කරමින් අදාළ කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද පෙත්සම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ලබා දී ඇති නඩු තීන්දුව මගිනි. එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ ඇය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම නීතිවිරෝධී වන වගය. ඒ අනුව ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ගෙන් එක් අයකුට රුපියල් 50, 000 බැගින් වන ආකාරයට ඇයට වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියෝග කර ඇති අතර, රටක් ලෙස ශ්‍රී ලංකාවද ඇය වෙත වන්දි ගෙවිය යුතු බව නිගමනය කර තිබේ.

දැන් අප සලකා බැලිය යුත්තේ සිද්ධිමය වශයෙන් එකිනෙකට සපුරා වෙනස් වුවද ආකල්පමය වශයෙන් එක හා සමානත්වයක් ගන්නා මතුගම මස් කඩේ සිද්ධියය. මා දන්නා ආකාරයට බුද්ධ දේශනාව අනුව සතුන් මැරීම බලවත් පාපයක් වුවත් මස් මාංස ආහාරයට ගැනීම පවක් ලෙස සලකා නැත.

මස් මාංස ආහාරයට ගැනීම වළකා-ලමින් ශික්ෂාපද පනවාත් නැත. ඒ සමඟම ශ්‍රී ලංකාවේ පැරණි සංස්කෘතිය තුළ මස් මාංස අනුභවය පිළිකෙව් කිරීමක් හෝ ඉන් වැළකී සිටි ආකාරයක්ද දකින්නට නොලැබේ.

එහෙත් පසුකාලීනව සමාජ, දේශපාලනික හා ආර්ථික වුවමනාවන් පෙරටු කරගත් සමාජ ව්‍යාපාරයන්ට අනුව තම ප්‍රතිවාදියාට එරෙහිව ඔසවන ප්‍රබල අවියක් ලෙස ඔවුන්ගේ ආර්ථිකය හා සංස්කෘතික ගති-ස්වභාව පිටුදැකීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් තුළ ඇතැම් අදහස් සමාජගත කර තිබේ.

ගවමස් කෑමට එරෙහිව මතු වූ හඬද අමද්‍යප විරෝධය තුළද ඇත්තේ එවැනි තත්ත්වයකි.

අද පවා සමාජය තුළ මතු වන ඇතැම් සදාචාරාත්මක හා සංස්කෘතික අදහස් මුල් කරගනිමින් විටින් විට නැ‍ඟෙන රැළි පිළිබඳ විමසුම් නුවණින් සලකා බැලීමේ දී ඒ බව තේරුම්ගත හැකිය. මේ වන විට ඉතිහාසයේ අන් කවර දාටත් වඩා බලවත් උනන්දුවකින් හඬ නඟන ගව ඝාතන විරෝධය හා ගවමස් කෑමට එරෙහිව මතු කරන්නට යන උත්සාහයද සැලකිල්ලට ගත යුත්තේ පෙරකී තත්ත්වයන් පිළිබඳවද අවධානයට ගනිමිනි.

පෝෂණයේ හිමිකම

මතුගම මස් කඩය බදු ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අරමුණද අප තේරුම්ගත යුතුව ඇත්තේ ඒ ආකාරයටමය. එහි දී අදාළ භික්ෂූන් වහන්සේ එකී මස් කඩය බදු ගැනීම තුළ කිසිදු නීතී විරෝධී කටයුත්තක් සිදු කර නැත. එහෙත් බෞද්ධ ශාසනික සම්ප්‍රදායට හා විනයට අනුව නම් එය ඉතා බලවත් වැරැද්දක් විය යුතුය.

එහෙත් එහි දී උන් වහන්සේ නිදහසට ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමේ දී පෙර සඳහන් කළ අතේ පච්චයක් කොටාගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කියා ඇති කාරණයට හරයාත්මක අතින් කිසි සේත් දෙවැනි වන්නේ නැත. එනම්: තමන් වහන්සේ අදාළ මස් කඩ ටෙන්ඩරය ලබාගත්තේ මස් කඩය වැසීමට මිස, විවෘත කිරීමට නොවන බවය. එනම්: උන් වහන්සේ විශ්වාස කරන ආකාරයට සදාචාරාත්මක පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා වන උන් වහන්සේගේ දායකත්වය ඒ තුළ ලබා දී තිබේ. සදාචාරය යනු කුමක්ද යන ප්‍රශ්නය මෙහි දී පැන නඟින්නේ එහිදීය.

එය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට පැවත එන, පුළුල් සංවාදයකට බඳුන් විය යුතු නොනිමි විවාදයක් විය හැකිය. වර්තමාන දාර්ශනික කථිකාව තුළ සදාචාරය යන විෂයපථය තුළ ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ හොඳ දේ කුමක්ද, නරක දේ කුමක්ද යන්න ගැනය.

හොඳ සහ නරක එකිනෙකින් වෙන් කිරීමට ඉවහල් වන නිර්ණායක ස්ථාපිත කිරීමට උත්සාහ කරන්නේ ඉන් පසුවය. එහි දී සදාචාරය යන්න ආගමික ඉගැන්වීම්වලට පමණක් කිසි සේත්ම සීමා කර නොගැනේ. නූතන ශිෂ්ට ලෝකය එහි දී ප්‍රමුඛ වශයෙන් අවධානය යොමු කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ නිදහස, පැවැත්ම හා ආරක්ෂාව ගැන වන කරුණු පිළිබඳවය.

අද වන විට පෘථිවි ගෝලයේ පැවැත්මට හා ආරක්ෂාවට අදාළව සලකා බලමින් පරිසර ආරක්ෂණය කෙරෙහිද එහි දී විශාල අවධානයක් යොමු කරයි.

එය සලකා බැලීමේ දී මතු වන පළමු ප්‍රශ්නය වන්නේ රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ලැබෙන හිමිකමක් මතුගම ප්‍රදේශයේ ජනතාවට අහිමි කිරීමට එක් පුද්ගලයකුට හැකියාවක් තිබේද යන්නය. එය ආගමික නිදහස, ආගමික ඉගැන්වීම් මෙන්ම ආගමික සහජීවනයට අදාළව සැලකීමේදීද බරපතළ වරදක් විය යුතුය.

එහෙත් රටක් ලෙස ඒ සමගම අවධානයක් යොමු කළ යුතු කරුණක් ද තිබේ. එනම්: රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවන්ට අදාළව ඒ තුළ ඇති කළ හැකි බලපෑමය. ආගමික වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් හෝ මවාගන්නා සංකල්ප තුළ සමාජ පැවැත්මට හා නිදහසට ඒ තුළ මතු කරන්නා වූ සැඟවුණ තර්ජනය පිළිබඳවය. ඒ සියල්ලටමත් වඩා රටේ පවත්නා පිළිගත් නීතියට අනුගත වන බවක් පෙන්වා-ලමින් නීති විරෝධී මහජන විරෝධී කටයුත්තකට ඒ තුළ යොමු වී තිබීමද සැලකිල්ලට ගත යුතුය. එතරම් සදාචාර විරෝධී ක්‍රියාවක් තවත් තිබිය නොහැකිය. එතරම් බෞද්ධ විරෝධී ක්‍රියාවක් තිබිය හැකිද? එහෙත් අවාසනාවකට මේ සිදුවීම් දෙක මඟින්ම පැහැදිලි වන්නේ එවැනි තත්ත්වයකි. ඒ ගැන ගැඹුරු හා පුළුල් මහජන කතිකාවක් ඇති නොවන්නේ නම් හා යථාර්ථවාදි ලෙස මෙවැනි ක්‍රියාවලට පිළිතුරු නොදෙන්නේ නම් රටට සිදු වන්නේ බරපතළ වන්දි ගෙවීමකට සූදානම් වන්නටය.

සුනිල් ජයසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.