මේ දුකෙන් ගලවා ගන්න මඟක් නැද්ද | සිළුමිණ

මේ දුකෙන් ගලවා ගන්න මඟක් නැද්ද

 ඇතුගල්පුර පමණක් නොව රටම මවිත කරවන පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණි. ඒ මැල්සිරිපුර හැවනතැන්න ගම්මානයෙනි. මෙහි විශේෂත්වය වන්නේ එකම පවුලේ ඥාතීන් වයස අවුරුදු 33 එළඹෙද්දී ජීවිතයෙන් සමු ගැනීමේ දුර්ලභ සිදුවීමයි.

අප මෙම ගම්මානයට ගියේ දෙමවුපියන් හදිසි අනතුරකින් මිය යෑමෙන් අසරණ වූ කුඩා දරුවන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු සෙවීමටය. මෙම කුඩා දරුවන් හදා වඩා ගන්නා නිවෙසට ගොස් දරුවන් සමඟ කතා කරමින් සිටියදී එම නිවැසියන්ගේ අසන්නට ලැබුණේ වෙනත් කතා පුවතකි.

එනම් එම පවුල්වල දෙමවුපියන් මෙන්ම වැඩිහිටියන් මිය යෑම නිසා ජීවතුන් අතර සිටින්නන් මේ වනවිට අසරණව ජීවත්වීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවකි. ඔවුන් ඒ බව අප හා පැවසුවේ හඬා වැටෙමිනි.

මෙම ඛේදවාචකය පිළිබඳ ඉන්පසුව අපි වැඩිදුරටත් සොයා බලන්නට සිතුවෙමු. මන්ද මෙවැනි සිද්ධියක් අප මින් පෙර අසා නොතිබුණු නිසාය. එමෙන්ම මෙම දරු පැටවුන්ගේ හෙට දවස මිලින වීමට ඉඩ ඇත්තේ දැනට ජීවතුන් අතර සිටින පිරිස ද මැරි මැරී උපදින දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බැවිනි. බොහෝවිට මෙම හෙළිදරව් කිරීමත් සමග කවුරුන් හෝ මෙම පවුලේ අයට උදව් උපකාර කොට ඔවුන්ගේ මනස සුවපත් කර යම් සහනයක් ගෙන එනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.

මේ සිද්ධියට මුහුණ දී සිටින පවුලේ අය අපට පැවසූ අන්දමට ඔවුන්ගේ කතාව මෙසේය.

මෙම ගම්මානයේ අක්කා නගෝ දෙදෙනෙක් සිටියහ. ඔවුන් දෙදෙනාට දරුවෝ තිදෙනෙක් වූහ. වයස අවුරුදු 32 හා 33 වෙද්දී හඳුනා නොගත් රෝගයකින් එම අක්කා නගෝ දෙදෙනා අකාලයේ මිය යද්දී දරුවන් පසුවූයේ වසස අවුරුදු දහයට වඩා අඩු කුඩා අවදියේය. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද මියගොස් ඇත්තේ 33 හා 32 වයසේ පසු වෙද්දී වීම විශේෂයකි.

මියගිය දෙසොහොයුරියන්ගේ කුඩා දරුවන් හදා වඩා ගැනීම ඔවුන්ගේ ඥාති පවුලක් විසින් සිදුකර තිබේ. කාලයාගේ ඇවෑමෙන් එම දරුවන් වැඩී තිදෙනාම විවාහ දිවියට ඇතුළත් වූහ. ඒ සෑම දරුවකුටම දරු තිදෙනා බැගින් වූහ. ඔවුන් අතරින් එක් සහෝදරියක ගේ පුතා හරියටම අවුරුදු 33 දී හදිසි අනතුරකින් මිය ගියෙන් දරුවන් තිදෙනෙකු සමඟින් එම බිරිය අසරණව සිටින්නීය. එසේ මිය ගිය පුද්ගලයාගේ නැගණිය පසුගියදා සිය සැමියා සමඟ දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා පිටත්ව යද්දී රිය අනතුරකට භාජනය වී එම ස්ථානයේම මිය යෑමත් සමඟ කුඩා දරු තිදෙනා මෙලොව තනි වූහ. එමෙන්ම ඔවුන්ගේ සහෝදරියගේ දියණියගේ සැමියා ද වයස හරියටම අවුරුදු 33 පසුවනවා සමඟ රෝගාබාධයක් හේතුවෙන් මිය යෑම පුදුමයට කරුණකි. එම පවුලද දරුවන් තිදෙනෙකු සමඟ තනිව වීම දෛවයේ සරදමකි.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග අප මුලින්ම ගියේ මවත් පියාත් එකට අවසන් ගමන් ගිය පුංචි දරුවන් දැක ගැනීමටය. ඔවුන් පදිංචි කුඩා නිවෙස මේ වන විට දිරාපත් වෙමින් පවතී. ඥාති කිරි අම්මාකෙනෙකුගේ නිවෙසක මෙම දරු තිදෙනා ජීවත් වෙති. ඔවුන්ගේ මිය ගිය පියා ඩී .එම් . දිසානායක බණ්ඩාර ය. මව එච් .ඒ. එස්. ඒ. නිලනිකා ගයානි ය. මවත් පියාත් නොමැතිව අසරණ වූ දරුවන් තිදෙනා නිලංක දේශප්‍රිය (10), දෙව්මි සමල්කා (07) සහ නෙතුලි සේහන්සා (02) ය. මේ දරු තිදෙනා සිය මවත් පියාත් නැති සොවින් අසරණව සිටිති.

“මේ දරුවන්ට ඉන්න හිටින්න තැනක් නෑ. අඩුම ගානේ මේ දරුවන්ට ඉන්න ගෙයක් තියෙනවානම් මට ඔවුන් බලා කියා ගෙන අනාගතය හදන්න පුළුවන්.” ඔවුන් රැක බලා ගන්නා ඥාති කිරි අම්මා අප හා පැවසුවාය. සිය මවගේ සහ පියාගේ ඡායාරූප පෙන්වමින් මෙම පුංචි නොදරුවන් හඬා වැටෙන ආකාරය ද කඩා වැටෙන නිවස ද දුටු සැමගේ හද පාරයි.

එම නිවෙසට පේන දුරින් තවත් පුංචි නිවෙසක් වෙයි. කටුමැටි ගැසූ මෙම නිවහනේ ජීවත්ව සිට ඇත්තේ රිය අනතුරින් මියගිය නිලනිකා ගයානිගේ සොහොයුරායි. එම පවුල ද ලක්ව ඇත්තේ එකම ඉරණමටය. ඒ පවුලේ පියා සංජිව ප්‍රසන්න කුමාර (33) හදිසි අනතුරකින් මිය ගියේ පසුගිය වසරේ අගෝස්තු මාසයේය.

ඔහුගේ බිරිය දමයන්ති අයිරා කුමාරි (32 ) දියණියන් දෙදෙනා වන සකුණි චේතනා (14), ලිහිණි විහංගා (7) සහ මිහින්දි කුමාරි (වයස අවරුදු දෙකහමාරයි) දැන් අසරණ ව සිටිති.

ඒ පවුලේ වැඩිමහල් දියණිය ඉගෙනීමට දක්ෂය. ඇයට උවමනා ඉහළට ඉගෙන තව සොහොයුරියන්ට ද ඉහළට ඉගැන්වීමටය. මේ පවුලේ එක් දියණියක් හෘද රෝගයකින් ද පෙළෙන්නීය. මව වන දමයන්ති සිය දරුවන් තිදෙනා ජීවත් කරවීමට මහත් වෙහෙසක් දරමින් සිටින්නීය.

“අපේ පවුල සමගියෙන් ආදරයෙන් ජීවත් වුණේ. මහත්තයා වයස අවුරුදු 33 දී ටිපර් රථයක හැප්පිලා මිය ගියා. හැබැයි මේ අනතුර පිළිබඳ තාමත් අපිට සාධාරණයක් ඉටු වෙලා නෑ. අද මගේ දරුවෝ තුන්දෙනත් එක්ක මම පුදුමාකාර දුකක් විඳින්නේ. දරුවන්ට කන්න දෙන්න උගන්නන්න. ඒ සියල්ලටම වඩා අපි කවුරුත් ඉන්නේ ලොකු මානසික පීඩනයක. මොකද අපේ පවුල්වල අය අවරුදු 33 වෙද්දී මිය යනවා. බැරිවෙලාවත් එහෙම දෙයක් වුණොත් මගේ දරු පැටවු තුන් දෙනාට මොකද වෙන්නේ කියලා හිතෙද්දි මං නොමැරී මැරෙනවා. අපේ පවුල්වලට මොන හෙණ ගෙඩියක් පත්වෙලාද කියලා තේරෙන්නේ නෑ. මගේ දුවගේ පපුවේ සිදුරක් තියෙනවා ඒකට බෙහෙත් කරගන්ඩවත් සල්ලි නෑ. කොහොමහරි කරලා මගේ දරුවන් ජීවත් කරවන්න උදව් වෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ”

එම නිවසට මඳ දුරකින් පිහිටා ඇත්තේ ඔවුන්ගේ මිය ගිය ලොකු අම්මාගේ දියණියගේ නිවෙසයි . ඇයගේ ස්වාමි පුරුෂයා වූ පුෂ්පකුමාර දිසානායක ( 32) විය පසුවෙද්දී 2016 නොවැම්බර් 02 දින හදිසි අසනීපයකින් මිය ගොස් තිබේ. දැන් බිරිය රෝශිනි (32) මලීශා දෙව්මිණි (10 ) නෙත්මල් මිහිරංග (7) සහ නිසල දිල්රංග ( 05) යන දරු පැටවු අසරණ ව සිටිති.

ඉතිරිව සිටින මෙම බිරියන් දෙදෙනාද පසුවන්නේ වයස අවුරුදු 32 හා 33 වයස්වලය. එනිසා ඔවුන් කල් ගෙවන්නේ තමන්ට කුමක් හෝ වුවහොත් තම කුඩා දරුවන්ට අත්වන්නේ කුමන ඉරණමක් ද යන බියෙනි.

මෙම පවුලේ වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක මේ සියලු දෙනා වෙනුවෙන් කැපවී සිටින බව පවුලේ අය අප සමග පැවසූහ.

එක් පවුලක දරුවන් හදාවඩා ගන්නා එම ගමේම පදිංචි ඥාතිවරියක වන සමන්තිකා කුමාරි මහත්මිය එහිදී අප හා කතාබහට එක් වූවාය.

“ඇත්තටම අපිට තේරෙන්නෙ නෑ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මමයි මගේ අයියායි කුඩා කල සිටම මේ දුක් කන්දරාව විඳිනවා. තවත් ඒ දුක අවසන් වීමක් නෑ. දවසින් දවස අපි දෙන්නත් මේ දරු පැටවුනුත් එක්ක මැරි මැරි උපදිනවා. මගේ සහෝදරියන් දෙදෙනෙකු ගේ දරුවෝ තමයි මේ විදිහට අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ දරුවනුත් දැන් අසරණ වුණා. මගේ සහෝදරියන් දෙදෙනා සහ එයාලා කසාද බැඳපු අය හරියටම අවුරුදු 33 වෙද්දී පුංචි දරු පැටවුන් දාල ගියා. මගේ අයියා බොහොම අමාරුවෙන් ඒ පුංචි දරුවො ටික ලොකු මහත් කළා. කසාද බන්දලා දුන්නා. හරියටම අවුරුදු 33, 32 වෙද්දී අම්මලාට තාත්තලාට වෙච්ච දේ සිදුවෙමින් එනවා. හය හතර නොදන්න අහිංසක දරුවන් නව දෙනෙක් අනාථ වෙලා. මේ සියලු දෙනාටම පුළුවන් විදියට අපි සලකනවා.

මේ පුංචි පැටවුන්ට කවුරු හරි උදව්වක් කරනවා නම් ලොකු දෙයක්. ඉන්න හිටින්න තැනක් නෑ. කන්න බොන්න දෙයක් නෑ. මේ පැටවුන්ට අඩුම තරමේ ගෙයක් දොරක් වත් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක්.”

කාංචන ආරියදාස
සීගිරිය විශේෂ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.