සුරූපිනියගේ මාරයා ආවේ විදුලි වයරය දිගේ ද? | සිළුමිණ

සුරූපිනියගේ මාරයා ආවේ විදුලි වයරය දිගේ ද?

 ජීවිතය තණ අග රැඳි පිනි බිඳුවක් වැන්න. එය කවරදා කොයි මොහොතේ අතැර යාමට සිදුවේදෝයි කාටවත් කියන්නට බැරිය.

මීරිගම කිතලවලාන මුත්තෑවත්තේ පදිංචිකාරියක වූ එක් විසි වියේ පසුවූ රූමත් තරුණිය ‘බියුටි සැලෝන්’ එකකදි මිය ගිය පුවත ඉකුත් සතියේ රට හෙල්ලූ කම්පනීය සිද්ධියක් විය.

ඇය නම්වර ලබන්නේ දිනේෂා චතුරංගනී නමිනි. ගිරිඋල්ල වික්‍රමසිංහ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ ඇය රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා මේ ‘බියුටි සැලොන්’ එකට රැකියාවට ආවේ තම පියාට හා මවගේ ජීවන අත්වැලට සහායක් ලබාදෙන අරමුණිනි.

අද අපේ නාඹර ගැටිස්සියන්ට ගැටයන්ට ‘බියුටි සැලොන්’ නැතිව ම බැරි ගානය. ඔවුහු මුහුණ ඇඟ පත සුදු වන්නට කියා කිසියම් මැළියම් වර්ගයක් ගෙන ඇඟ උලති. බියුටි සැලොන් මතු නොව ඒ ආකාරයේ ඒ හැඩයේ වෙනත් ආයතන ද මේ “සුදු වන බෙහෙත්’ ගජරාමෙට විකුණති. එහෙත් නූතන වෛද්‍ය විශේෂඥයන් කියන්නේ මේ බෙහෙත් උලන විට සුදුපැහැයක් මතු වුවද, එය කාලයක් යන විට ශරීරයේ ඇතුළත මහත් ව්‍යසනයක් කළ හැකි බවයි. අපේ වෛද්‍ය සභාවලින් කළ යුත්තේ මෙවැනි විකෘති ආලේපන විකුණන තැන් ගැන බැරි නම් එම ආලේපන ගැන නිවැරැදි විද්‍යාත්මක විවරණයක් කිරීමය. පාරිභෝගික කමිටු පිහිටෙව්වාට මදිය. ඒවායින් මේ වැරැදි බෙහෙත් විකුණන තැන් වටලා නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. රූපලාවන්‍යාගාරයකට ගොස් ජීවිතය බිලිදුන් නෝනාවරුන් ගැන මම මීට පෙර අසා ඇත්තෙමි. තම ස්වාමි පුරුෂයා බළලුන්ට ආසා බැවින් තමන්ට ද ‘කැට් මුහුණක්’ ලබා ගැනීමට ගොස් අමාරුවේ වැටුණු කාන්තාවක් සීදුව පැත්තේ සිටී. ඒ පවුල දැන් විනාශ වී අහවරය. මේ බියුටි සැලෝන්වලින් සිදුවන අනවශ්‍ය සමාජ හිරිහැරය ගැන කොතෙකුත් ලීවත් ඒ ව්‍යසනය සමාජයෙන් ඈත් නොවන්නේ ගැටිස්සියන්ගේ ම අමනෝඥකම නිසාමය. විද්‍යාත්මකව හදන එවැනි බෙහෙත් ගැනත් එවැනි ආයතන ගැනත් මේ කතාවන් විෂය නොවුණත් එහෙම කාකනිල්පාට යුවතියන් සුදු පාට නෝනලා කරන ක්‍රමයක් නම් තවමත් විමර්ශනවලින් පැහැදිලි වී නැත. ඒ නිසා මෙය අමූලික බොරුවකි.

කොහොම නමුත් මා බියුටි සැලොන් බොහොමයක යථාර්ථය මෙසේ හෙළි කරමින් සිටියේ දිනේෂා නමැති සුරූපිනියගේ ඇත්ත කතාව ලිවීමට පෙරවදනක් ලෙසිනි.

පොලිස් නිලධාරියකු වන ලැනී අමරතුංග දිනේෂාගේ පියාය. ඔහු මේ වන විට මීරිගම පොලිසියේ සේවය කරයි. තවමත් අභිරහසක්ව පවතින මේ මරණය පිළිබඳ ආරංචිය තටු ලබා විදුලි වේගයෙන් පළාතේ සැරිසරන්ට ව‍‍ූ‍ෙය් ඉකුත් 13 දා පස්වරු කාලයේය.

බියුටි සැලොන් එකේ කවුද මරා දාලා... කාටද කරන්ට් එක වැදිලා... සැලුන් එකට ආ කෙනෙකුට බෙහෙත් විස වෙලා... මැරිලා ඉන්නේ ඒකේ වැඩ කරපු කෙල්ල... එයාගේ තාත්තා - පොලිසියේලු... කෙල්ල ඉඳලා තියෙන්නෙ තනිවම... පිටුපස්ස දොර විතරයි ඇරලා තිබිලා තිබෙන්නේ... මෙවැනි කතා බොහොමයක් ඒ විදුලි වේගයෙන් ගලා යන පුවත් අතර නින්නාද විය. මිනිස්සු වැල නොකැඩී මහා ජනකායක් ලෙස බියුටි සැලොන් එක ළඟට රොද බැන්දහ.

මේ ආයතනය පිහිටා තිබෙන්නේ ද තමන්ගේ පියා සේවය කරන මීරිගම පොලිසිය අසල වීම දිනේෂාට සතුටක් විය. එම බියුටි සැලොනයේ සිට බලද්දී ‍ෙපාලිසියේ රථවාහන අංශය පවා පැහැදිලිව පෙනෙයි.

‍ෙම් ආයතනයට ඇතුළුවන දොරටුව පිහිටියේ ඒ අසල පිහිටි “සතොස” ප්‍රධාන දොරටුව ඉදිරිපසින්ය. මේ ප්‍රදේශය නිතරම ජනාකීර්ණය. මේ නිසාම ඇය එහි සේවය ක‍ෙළ් කිසිදු තැති ගැන්මකින් නොවේ.

ඉකුත් 13 වැනිදා උදේ ඇය සේවයට ආවේ වෙනදා මෙන් සතුටු සිතිනි. අන් අයට සේවය සලසන අතරේ තමන්ගේ රූ සපුව ගැනද ඇය සැලකිලිමත් වූයේ තරුණ වියේදි ඒ සඳහා තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. ඇය හිමිදිරියේ පිපුණු පින්න මලක් මෙන් සුන්දර වූවාය. දිනෙන් දින ම ඇගේ රූ සපුව වැඩී එන්නට විය. දිනෙන් දින ඇය වෙනදාට වඩා දකින්නන්ට ප්‍රියමනාප වූවාය. සොළොස් කලා පිහිටි චන්ද්‍රයා මෙන් ඇය බැබැළුණාය. සිරිත් පරිදි එදා උදේ වරුවේ ඇය සිය සේවාවන් සලසමින් කටයුතු කළේ හිමිකාරිය එනතුරු ඇඟිලි ගනිමිනි. හිමිකාරිය ඉදිරි අවශ්‍යතා සඳහා අවශ්‍ය දේ මිලට ගෙන ඒමට යන බවද කියා තිබුණු නිසා ඇය ලහි ලහියේ කටයුතු කරමින් සිටියාය.

දහවල් දෙක පසුවී ඇත. මීරිගම ප්‍රදේශයේ කාන්තාවක පඩි පෙළ නැඟ දෙවැනි මහලට ගොඩවූයේ වෙනදා මෙන් සිය සේවාවන් සලසා ගන්නා අදහසිනි. ඇතුළුවන දොරටුව විවෘතව තිබිණ. ඇය ඇතුළට ගියාය. දෙපයට සීතලක් දැනිණ. විමසිලිමත්ව බලද්දි බිම පුරා ජලය විසිරී ඇති වග ඇයට තේරුම් ගියාය. ඇය එහි ඉදිරි කාමරය දෙසට නෙත් යොමද්දි දකින්නට ලැබුණේ ඇඟ කිළිපොළා යන දසුනකි. වෙනදා තමන් වෙනුවෙන් සේවය සලසන්නට සැදී පැහැදී සිටින යුවතිය පුටුවක් මත මුනින් අතට වැටී සිටිනු දුටු ඒ කාන්තාව දැඩි සේ බියට පත්වූවාය.

ඇය පහළට බැස්සේ කෙසේදැයි ඇයට තවමත් නිනව්වක් නැත. ඈ කෙළින්ම දිව ගියේ අසල පිහිටි සතොස ආයතනය වෙතය. “සැලුන් එකේ ළමයා පුටුවක් උඩ වැටිලා ඉන්නවා” ඇය පැවසුවේ වචන පටලවමිනි. සතොස සේවකයන් කළ විමසීමේදී ඇගේ කතාව සත්‍ය බව පසක් වූ නිසා වහාම පොලිසියට දැනුම් දෙනු ලැබිණ. පොලිසිය එද්දි 1990 ගිලන් රථයද පැමිණ තිබිණ. පොලිසිය එතැනදී හරිම කාර්යක්ෂමය.

පුටුවේ මුනින් අතට තරුණිය වැටී සිටියාය. මුහුණ වතුරේ ගෑවෙන සේ ඊට පිටුපසින්වූ වතුර බේසමේය. එහි කරාමයෙන් ජලය ගලා යමින් තිබිණි. හිස වේළීමට ගන්නා වියළුම් උපකරණයක් ද විදුලියට සම්බන්ධ කර ඊට ආසන්නයේ තිබිණි. එය තවමත් සක්‍රීයය. එයින් කියා පාන්නේ තරුණිය හිස සෝදා වියළාගන්නට ගිය බවද? ගිලන් රථයේ නිලධාරීහු තරුණිය රෝහල්ගත කරන්නට ගෙන යන්නට සැරසුණත් ඒ වනවිට ද ඇගේ ප්‍රාණය නිරුද්ධව ඇති වග තේරුම් ගියෙන් ඒ අදහස අත් හැර දමන්නට වූහ.

සිද්ධිය සැලවෙද්දී ජනතාව අතුරු සිදුරු නැතිව පිරෙන්නට විය. මියගිය තරුණිය පොලිස් නිලදරුවෙකුගේ දියණිය බවට ආරංචි පැතිර ගියේ ඉන් අනතුරුවය. පළමුවෙන්ම එහි ආ පොලිස් පිරිසවත් මියගිය අය තම සහෘදයාගේ දියණිය බව දැන සිටියේ නැත.

අනතුරුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය. සොකෝ නිලධාරින් ද කැඳවිණි. අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. දේහය වතුපිටිවල රෝහ‍ෙල්දී අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස නියෝග කරනු ලැබීය. මේ වනවිට හිමිකාරිය ද පැමිණ පොලිසියට ප්‍රකාශයක් දුන්නාය.

ඒ අනුව පසුදා 14 වතුපිටිවල අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව පශ්චාත් පරීක්ෂණය රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබිණ. එදින පස්වරුවේ ආරම්භ කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වූයේ රාත්‍රී අටට පමණය.

මහාචාර්ය ඩබ්ලියු.එන්.එස්. පෙරේරා මහත්මිය සමඟ අධිකරණ වෛද්‍ය නිලධාරින් තිදෙනෙකු මේ සඳහා එක්වූයේ දැඩි කැපවීමෙනි. අවසානයේ මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කිරීම අපහසු වූයෙන් තරුණියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට තීරණය කැරිණ.

දේහය ඥාතීන්ට බාර දීමෙන් පසු 15 අලුයම නිවසට ගෙන ආයේ සැවොම සිත් හඬා වැටෙද්දීය. පොලිසියේ සේවය කළත් අමරතුංග සිය දියණිය ගේ නිසල දේහය ඉදිරියේ සුසුම් හෙළුවේ කුඩා දරුවකු මෙනි. අම්මාත් මල්ලීත් සමඟ ඥාති හිතවතුන් හඬා වැටෙද්දී අතිවිශාල ජනකායකගේ ගෞරවයට පාත්‍රවූ දිනේෂා චතුරංගි අවසන් ගමන ගියේ තාරුණ්‍ය ජීවිතය අතරමඟ නවතා දමමිනි.

ඇය අවසන් ගමන් ගියේ සමාජයට පොලිසියට මෙන්ම පවුලේ උදවියට ප්‍රශ්නයක් ඉතිරි කරමිනි. ඒ දිනේෂා මැරුණේ කොහොමද? කෙසේද? කිසිවෙක් මේ මරණයට වගකිව යුතුද? නැතිනම් ඇගේ අත්වැරැද්දක් නිසාද? මේ ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරක් සැපයීම අනාගතයට බාරව පවතී යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.

එහෙත් නොසැලකිල්ලත්, තෙතමනය සහිත පරිසරයත් විදුලියට සක්‍රීයව තිබීමත් නිසා මේ අකල් මරණය විදුලි සැර වැදීම නිසා සිදුවූ බ ව වැඩිදෙනාගේ මතයයි.

එදා පැරැණි ලලනාවෝ රතු පාට වීමට ‘ලතු’ ගෑහ. ‘අංජන’ ඇඟ උලා ගත්හ. ‘වදකහ’ ගෑහ. ‘කොකුමගරා’ ගෑහ. කොකුම් පොත්තෙන් ශරීරයේ දූවිලි හා කැළැල් මැකී ගියේය. අඳුන් උලා ගත් යුවතියන් ගැන අපේ ප්‍රාචීන සාහිත්‍යයේ මොනවට කියා පායි.

ඔවුන් සුරූපිනියන් ව‍ූයේ නැත්ද? අලුත් තාක්ෂණය අපට අවශ්‍ය ය. ඒ අවශ්‍ය ආකාරයට ය. සුදුවන්නට ගාන බෙහෙත්වලින් වැනැසී ගිය යුවතියන් ගැන අපට අනන්තවත් අසන්නට ලැබේ.

“චන්දන ඇඟගාලා - කොණ්ඩෙ කඩා දාලා ටිකිරි මලී නාලා වගේ...”

එසේ කී යුග ගීයක කොටසකි.

“ඇයිද නෑවේ සීත සෑදෑ යාමේ
තෙත කොණ්ඩේ බේරෙයි දිය බිංදු පුරා.... නන්දා මාලිනිය ද එසේ කීවාය.

එදා සැන්දෑ කාලයේ වුවද අපේ ලලනාවන් තෙත කොණ්ඩේ දිය බිංදු ඉහිරවමින් නිසොල්මනේ සිටියාය. ඒත් ආරක්ෂාකාරීය. පනස් ගණන්වල සූර්යග්‍රහණය වෙලාවේ රට පුරා ගිය ‘සුරූපී වීමේ මිථ්‍යාව” නිසා වදකහ සුදියෙන් සමහරුන් බැට කෑවත් ඔවුහු තම ජීවිතය අවදානමට ලක් කැර රූපලාවන්‍ය කටයුතු නොකළහ.

මේ තරුණිය තෙත පසුබිමක විදුලිය ක්‍රියාත්මක කැර කොණ්ඩය වියළීමට ගොස් මරණයට පත්වූ බව නිසැක නම් අපේ පැරැණි ලලනාවන්ගෙන් අද තරුණ පරම්පරාවට ගත හැකි ආදර්ශය බොහෝය.

පාදක සටහන - එම්.පී. කුමාර (කොටදෙණියාව සමූහ)
උපාලි සමරසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.