නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

බසයෙන් උපන් මව

මා උදෑසන බසයට නැඟුණේ ‍අනෝරා වැස්සේ ය. එය සෙනඟින් පිරී තිබිණ. ඉදිරි පාපුවරුවට නැගුණු මම තෙරපීගෙන අමාරුවෙන් ඇතුළට රිංගීමි.

වැස්ස නිසා කවුළුවකුදු විවර කර ගැනීමට නොහැකි අධික පීඩනයකින් යුතු බසයක කිසියම් දවසක ඔබ ගමන් කර ඇත්නම් මා කියන මේ බැරෑරුම්කම ඔබට අවබෝධ වනු ඇත. බසය වේගයෙන් ඇදෙන්නේ නම් ඉක්මනින් බැස ගත හැකිය යන අපේක්ෂාව හෝ තිබේ. එහෙත් වැස්ස නිසා මග ඇහිරීමෙන් තදබදය දෙගුණ තෙගුණ වූ පාරක ටැග් ගැහෙන බසයක කොටුවුණු මගී ජන කොටසක ගේ තත්වය නම් සාතිශය කනගාටුදායක ය.

ඒ බසයේ මම හිටගෙන හිර වී සිටියෙමි. එබන්දක හිටගෙන සිටීම නොව අසුන්ගෙන සිටීම පවා අසීරුය. උණුසුමින් හා දාහයෙන් පීඩිත එතුළ අසුන් ගෙන සිටි බොහොමයක ගේ දෑස් පියැවී තිබුණේ නිදිමත නිසා ම නොවේ.

ඉතින් බසය කොට කොටා බත්තරමුල්ල හරියට ආවා පමණි. මා අසල මා බඳුව හිටගෙන සිටි එක්තරා යුවතියක් හිටිහැටියේ කලන්තය හැදී කඩා වැටුණා ය.

ඇය ඇද නොවැටුණේ අසල සිටියවුන් වහා ඇය අල්ලා ගත් බැවිනි. මම ද ඒ අතර වීමි.

කිසිවෙක් නැගිට ඇයට අසුන දුන්හ. අප ඇය එහි හි‍ඳෙව්ව ද ඇගේ සියොළඟ යළි යළිදු කඩා වැටුණේ ය. ඒ අසුනේ කවුළුව පැත්තේ හිඳ සිටියේ මහත්මියකි. ඇය මේ යුවතිය වහා සිය උකුලට බර කර ගත්තා ය.

එතැන් පටන් ඒ මහත්මිය, ඒ මව මේ යුවතිය ගේ මව බවට පත් වූවා ය.

‘පුතේ! පුතේ!’ මව යුවතිය ගේ ඇඟ සෙලෙව්වා ය. එහෙත් යුවතිය ලෙහා වැටුණු ලෙස ම සිටියා ය.

යුවතිය ගේ මුහුණ සුදුමැලි වී තිබිණ. දෙතොල ද එබඳු ම විය.

‘අනේ කවුරු හරි වතුර ටිකක් දෙන්ඩ!’ මව ආයාචනා කළා ය. වතුර බෝතලයක් ලැබිණ. ඇය ඉන් දිය සුඟක් ගෙන යුවතිය ගේ මුහුණට ඉස්සා ය.

‘පුතේ! පුතේ!’ මව දිගින් දිගට ම යුවතිය පුබුදන්නට යත්න දැරුවා ය.

‘පුතේ! පුතේ!’ ආමන්ත්‍රණය ආදරණීය ය.

‘පුතේ! පුතේ!’ වඩ වඩාත් දයාර්ද්‍ර ය.

‘පුතේ! පුතේ!’ මව බෝතලය යුවතිය ගේ මුවෙහි තබා දිය පොදක් පෙව්වා ය. එහෙත් යුවතිය සිටි අයුරින් ම නිසොල්මනේ සිටියා ය.

මව වඩාත් තීක්ෂණ ද, යුහුසුලු ද වූවා ය. ඇය යුවතිය ගේ නාඩි පිරික්සා බැලුවා ය. එසේ පිරික්සමින් ළඟ සිටි කිහිප දෙනකු ගේ මුහුණ දෙස බැරෑරුම් ව බැලුවා ය.

‘මෙයාගෙ හර්ද ස්පන්දනයෙ වෙනසක් තියනව වගේ’ මව සෙස්සන්ට කීවා ය.

මව වැස්ස නොතකා ම ඈ ළඟ කවුළුව හැරියා ය. සීතල සුළඟ බසයට කඩා වැදුණේ ය.

‘පුතේ, පුතේ!’ මව යළි යළිත් යුවතිය පුබුදන්නට වූවා ය. ඒ අතර ම මගීන් වෙත විමසුම් ඇස දිවෙව්වා ය.

‘මෙයා අඳුරන කවුරු හරි ඉන්නව ද?’ මව කිහිප වරක් මගීන් ගෙන් ඇසුවා ය. නිහඬතාවෙන් පෙනුණේ කිසිවකු නැති බව ය.

මව යුවතිය ගේ බෑගය විවර කළා ය. එහි තිබූ ජංගම දුරකථනය ගත් ඇය එහි අංක පිරික්සුවා ය.

‘අම්ම කියල එකක් තියනව. ඒකට ගම්මු බලන්ඩ!’

ඇමතුමක් ගත් ඇය දුරකථනය කනට ළං කර ගත්තා ය.

‘හලෝ! හ‍ලෝ! හලෝ!’

යමකු ඊට පිළිතුරු දෙනු පෙනිණ.

‘මේ අම්ම ද? ඔයාගෙ දුවට සනීප නෑ. බස් එකේ ඉන්නෙ? මොකද කරන්නෙ?’

‘.............’

‘ආ ඇත්ත ද?’ ඇය දුරකථනය විසන්ධි කොට යළිත් මගීන් දෙස බැලුවා ය.

‘හරි වැ‍ඩේනෙ! ළමයගෙ අම්ම ඉන්නෙ බදුල්ලෙ!’ කමක් නෑ. මට මෙයාව ඩොක්ටර් කෙ‍නෙකුට පෙන්නන්ඩ පුළුවං’ මව තිර හඬින් කීවා ය.

‘ඔයාට තනිය ම බෑනෙ. මාත් එන්නම්’ එතැන ම හිටගෙන සිටි මහත්මිය කීවා ය . යුවතියට අසුන පිරිනැමුවේ ඇය විය යුතු ය.

දෙදෙනා කතා කර ගත් හ. ඉන් පෙනී ගියේ ඔවුන් දන්නා කියන අය බව ය.

‘මේ ළමය උදේට කන්නෙ නැතුව එන්ඩ ඇති!’ ඇය යළිත් යුවතිය සෙලෙව්වා ය. ‘පුතේ! පුතේ!’

පුදුමයකට මෙන් එවර යුවතිය දෑස විවර කළා ය. අවට බැලුවා ය.

මවගේ මුහුණ පිබිදිණ.

‘ආ පුතේ, ඔයාට හොඳයි ද? ඔයාට කලන්තෙ ඇල්ලුවෙ බඩගින්නෙ හිටිය නිසා නේද? ඔහොම ඉන්ඩකො. අපි පොඩ්ඩක් කමු.’

මව සිය බෑගයෙන් දිවා අහර බඳුන පිටතට ගත්තා ය. ඉන් අහර ‍හැන්දක් යුවතියට කැව්වා ය. වතුර ද පෙව්වා ය.

යුවතිය හිස එසෙව්වා ය. අලුත උපන් දැරියක සේ ඔබ්බොදුව සිටියා ය.

‘පුතේ, මං ඔයාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්නං! ඔයාට වෙනදත් මේ විදිහට කලන්තෙ අල්ලනවද?’ මව යුවතිය ගේ මුහුණට එබී ඇසුවා ය. යුවතිය නැතැයි කියන්නට හිස දෙපසට සැලුවා ය.

ටිකකින් යුවතිය මවට යමක් මිමිණුවා ය. ඒ අනුව ඇය රැකියාව කරන්නට අගනුවරට එන්නීය. තැනක නවාතැන්ගෙන සිටින්නීය. අප මෙන් ම දිවි සටනට උරදෙන්නී ය.

‘මං බහින තැන ළඟයි, ඊළඟ හෝල්ට් එකේ මං බහිනව’ යුවතිය මවටත්, සෙසු අයටත් කළ ගුණ දක්වන බැල්මක් හෙළුවා ය.

‘පුතේ, ඔයා ත්‍රීවීල් එකකින් පරිස්සමට යන්ඩ! ඔයාට සල්ලි තියනවද?’ මව වඩ වඩාත් කාරුණික වූවා ය.

යුවතිය ‘ඔව්’ යැයි නොකියා හිස සැලුවා ය.

‘පුතේ ඔයාට බේත් ගන්ඩ වුවමනා වුණොත් මාව හම්බ වෙන්ඩ!’ මව යුවතියට සිය අනන්‍යතාව හෙළි කළා ය.

‘මං දැන් බහින්නං!’ යුවතියට හැඬුම් ආයේ ය. ඇය සිය හදවත විදාහළේ ඒ කඳුළින් ය.

‘පුතේ, ඔයා අඬන්ඩ එපා! හොඳයි බැහැගන්ඩ! පරිස්සමට යන්ඩ!’

යුවතිය බැස ගියා ය. මව ඉස්පාසුවක් ලද්දා ය. බසය ඉදිරියට ඇදුණේ ය.

මට තේරුණු හැටියට බසයේ සිටි ඒ උතුම් මව සේවය කරන්නේ ජාතික රෝහලේ ය. ඇය හා දෙඩූ මහත්මිය සේවය කරන්නේ ළමා රෝහලේ ය.

රටේ දරුවනට ද මවු සෙනෙහස පාන උතුම් මවුවරුනි, ඔබ දෙපළට නිදුක් නිරෝගි සුව, සියලු යහපත පතමි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, අනෝමා දමයන්ති රත්නායක මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.