සිරීපාදෙ ; සංහිඳියාවේ තෝතැන්න | සිළුමිණ

සිරීපාදෙ ; සංහිඳියාවේ තෝතැන්න

 ලෝකෙ ම කැමැති කඳු තරණයක් වේ නම් ඒ ශ්‍රී ලංකාවේ පිහිටි සිරීපාදෙ වේ. ආගමකට, ජාතියකට කොටු නොවී මේ දුෂ්කර කඳු තරණයට ලොව නන් දෙසින් එන පිරිස අතර වැඩි දෙනා මෙහි එන්නේ, එක්කෝ සොබා දහමේ අසිරිය විඳ ගන්නට ය; නැති නම් සිරිපා කඳු මුදුනේ දී දිස් වන අසරිමත් ඉර උදාව දකින්නට ය. විදේශිකයන්ට මේ කඳු තරණයට විශේෂ කාලයක් නැත. ඔවුහු අවුරුද්ද පුරා මෙහි එති. එහෙත් මෙරට සංස්කෘතියට අනුව සිරිපා කරුණාවට කාලයක් තිබේ. ඒ සිරිපා වන්දනා වාරය ඇරඹෙන්නේ උඳුවප් පොහොයෙනි. මාස හයක් ගෙවී වෙසක් පොහොය දිනයෙන් මේ වන්දනා වාරය අවසන් වේ.

පුරාණ මුහුදු යාත්‍රිකයා පරක්-තෙරක් නැති සාගරයේ තම ගමන් රේඛාව ලකුණු කර ගන්නා විට සිරිපා කන්ද වැදගත් මං සලකුණක් ලෙස ගත් බව වාර්තා වේ. බුදු දහමට අනුව දුක නැති කිරීම පිණිස සසරින් එතෙර වීමටත් මිනිසා විවිධ මං සලකුණු හෝ කමටහන් උපයෝගි කර ගනී. ඒ කමටහන් ඔස්සේ සසරින් එතෙර වීමට ලකුණු කර ගන්නා පළමු ගමන් රේඛාව තම හිත සන්සුන් කර ගැනීම වේ. එසේ නැති නම් හිත සංහිඳියාවට යොමු කර ගැනීම වේ. දුෂ්කර ගමනකට පසුව සිරිපා කඳු මුදුනට පිවිසෙන බැතිමතා හෝ සංචාරකයා හෝ එක මොහොතකට වත් ඒ නිවීමට, හිත සන්සුන් වීමට, සංහිඳියාවට යොමු වෙයි. ඒ අනුව ගත් කල සිරීපාදෙ යනු සංහිඳියාවට ද කමටහනකි.

සියලු දෙනා මේ කඳු තරණය අරඹන්නේ මළුවට පිවිසෙන අරමුණ ඇතිව යි. ගමන් මාර්ග කිහිපයක් ඇතත් ළඟා වන්නේ එක ම මළුවට යි. එනම්: විවිධ මඟින් යොමු වන්නේ එක ගමනකට යි. ඒ අරමුණ හිතට ගත් කල ජාතිකව හෝ ආගමික ලෙස හෝ වෙන යම් කරුණු මත හෝ බෙදී සිටිය වග අමතක වෙයි. කඳු තරණයේ දී දැනෙන්නේ ගමන් වෙහෙසත් ඒ වෙහෙස නිවන මළුව දකින බලාපොරොත්තුවත් පමණි. කඳු තරණයට යොමු වූ අය අතර එතෙක් පැවති විවිධ භේද අමතකව යෑම ගමනේ ඇති දුෂ්කර බව විසින් දෙනු ලබන දුක වෙහෙස අඩු කරන්නට ද හේතු වෙයි. එකිනෙකාට බෙදීමත් තවත් දුකක් හෝ දුක ඇති කරන මාර්ගයක් හෝ වන බැවිනි.

සිරිපා ගමන තම ජීවිත ගමනට ද මහා පාඩමකි. පහසුවෙන් මළුවට ළඟා විය හැකි වන්නේ ඉවසීම, කරුණාව, මෛත්‍රිය පෙරදැරිව දුෂ්කර කඳු තරණයට මුහුණ දෙන තරමට යි. අනෙකා සමඟ සැසඳීමෙන්, අනෙකා නොඉවසීමෙන්, අනෙකා සමඟ බෙදීමෙන් යන ජීවිත ගමන සේ ම සිරිපා කරුණාව ද වැඩි වෙහෙසක් ගෙනෙයි. දුක වැඩි කර දනවයි. දුක වෙහෙස වැඩි වන තරමට මළුවේ දී දැනෙන නිවන අඩු වෙයි; සැනසීම දුර වෙයි. ජීවිතයේ බලාපොරොත්තු සුන් වන්නේ ද එලෙස යි. අනෙකා සමඟ ගැටෙන තරමට තමා තම හිත සමඟ ද ගැටෙයි. ඒ ගැටුම සිරිපා කරුණාවටත් ජීවිත ගමනටත් මහත් බාධාවක් වෙයි. එහෙත් සිරිපා කරුණාවට ලොව සැම දෙසින් ම ජනයා පෙළ ගස්වා අනෙකා සමඟ ගැටුම නැති කරන, මළුව දකින එක අරමුණකට යොමු කරන සංහිඳියාවට මඟක් සොබා දහම විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

සොබා දහම සාදන මේ මඟ වෙනුවෙන් කෘතගුණ සැලකීමෙන් ද මළුවේ දී හිතට දැනෙන සැහැල්ලුව සැනසීම වෙතට ළං විය හැකි යි. ඒ සොබා දහම සමඟ අපගේ ඇති ගැටීම අඩු කර ගෙන බැඳීම දෙස අවධානය යොමු කිරීමෙනි. සොබා දහම නොසලකා හැර, ඊට ඉහළින් සිට සොබා දහම කෙලෙසන්නට වූ විට සොබා දහම අපට එරෙහි වන බව නිතර අවධානයට ගත යුතු යි. ස්වාභාවික ආපදා විපත් අත්විඳින මෙකල ඒ ගැන කල්පනාවට ගැනීම තවත් වටී. සොබාදහමට ආදරේ දැක්වීම සිරිපා කරුණාවෙන් ම ආරම්භ කළ හැකි යි. ඒ සිරිපා වාරයේ දී සිරීපාද අඩවිය අපවිත්‍ර නො කිරීමෙනි. එහි වෙසෙන සතා-සීපාවා සිරිපා සමයට ඉඩ දී සැඟව නිහඬව බලා සිටින බව ද එහි සංචාරයට එක් වන අය සිහි තබා ගත යුතු යි. අප අපගේ හිත්වල සංහිඳියාව බිඳ නොගන්නට වග බලා ගත යුතු සේ ම සොබා දහමේ සංහිඳියාව බිඳින්නට ද කටයුතු නොකළ යුතු යි.

සිරිපා වන්දනාවේ දී දකින්නට හැකි මේ ආදර්ශය විසින් එකිනෙකාගේ හිත් තුළ සංහිඳියාව ඇති කරනු ලබන අතර, එය ම ජාතික සංහිඳියාවට මඟ පාදයි. සියලු දෙනා එක පවුලක සාමාජිකයන් ය යන සහජීවනයට හැරෙන්නේ තම හිතේ සංහිඳියාව යි. සංකේතාත්මක අරුතින් ගත් කල සිරීපාදෙ යනු සංහිඳියාවේ තෝතැන්න යි. සිරිපා අඩවියෙන් ගලන උල්පත් මහා ගංගා බවට පත් වී මිටියාවත් සරු කර, ජන ජීවිතය එළිය කරන්නේ මළුවට ළඟා වීමෙන් ඇති වන හිතේ පහන් සංවේගය හෙවත් සතුටු සුසුම සොබා දහම හා මුසු වීමේ තරම අනුව යි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.