ශ්‍රී ලංකාවේ කාන්තාව දේශපාලනයට සූදානම් නෑ? | සිළුමිණ

ශ්‍රී ලංකාවේ කාන්තාව දේශපාලනයට සූදානම් නෑ?

 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී තම දරුවාට කිරි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලොවම දැක්කේය; ඇයට ප්‍රශංසා ක‍ළේය; එරට ප්‍රජාත්‍රාන්ත්‍රීය බවේ සංකේතය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව ලෝකයට කීවේය. ළමා රැකවරණ මධ්‍යස්ථානයන්හි පවත්නා පහසුකම් දරුවන්ට ප්‍රමාණවත් නැතැයි කියන්නට තම දරුවා සමග පැමිණි නාගරික මන්ත්‍රි යකුඔගාටාට සභාවෙන් ඉවත් වන්නැයි ජපානයේ කුමාමොටො නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිවරයා අණ කළේය. මේ රටවල් දෙකට අලගු තියන්න වත් බැරි ශ්‍රී ලංකාවේ මේ වන විට පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කර, පළාත්පාලන පනත සංශෝධනය කර තිබීම හේතුවෙන් තීන්දු තීරණ ගන්නා ස්ථානයන්හි කාන්තා නියෝජනය ඉහළ යෑමට නියමිතය.

කාන්තාව දේශපාලනය කොරෙහි යොමු වීම පිළිබඳ කතා කිරීමේදී කාන්තාව කෙරෙහි බල පවත්නා වෙනස් සමාජතත්වය, ස්වභාවයෙන්ම කාන්තාව සතු ගුණාත්මක බව, දේශපාලන සංවේදීතාව අඩු බව, වියපත් වෙද්දී සෞඛ්‍ය අතින් ම දුර්වල වීම කෙරෙහි අවධානය යොමු වේ. මේ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකොට කාන්තා නියෝජනය තීන්දු-තීරණ ගන්නා ස්ථානයන්හි ඉහළ දැමීමට අප සූදානම්ය. දේශපාලනයට කාන්තාව සුදුසු නැත යන මතය ශ්‍රී ලංකා දේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රබලව පවතී. එත් ‍ලෝක ඉතිහාස‍යෙ රැජනන්ගේ නම් කියැවෙද්දී ලංකාව පාලනය කළ රැජනන් රැසක නම් කියැවේ. මෑත ඉතිහාසය විමසුවද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ක්‍රමයේ ප්‍රථම අගමැතිනිය බිහි වූයේ ලංකාවෙනි. ඇය ශ්‍රී ලංකා නාමය ලෝකයේ නොමැකෙන සේ සිත්තම් කළාය.

එසේ වූවද ශ්‍රී ලාංකේය කාන්තාව දේශපාලන කරළියට එමට සූදානම්ද යන්න විමසිම වටී. ලෝකයේ බොහෝ රටවල් දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නි‍යෝජනය 33% දක්වා ඉහළ නංවා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු ලෝක සංවිධාන දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නි‍යෝජනය ඉහළ නැංවීමට අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ. ගිවිසුම් හා බැඳි රටක් ලෙස ලංකාවේද තීන්දු-තීරණ ගන්නා ස්ථානයන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම බලයේ පවත්නා රජයේ වගකීම වී ඇත. ඇතැමුන්ගේ මතය වී ඇත්තේ ‘ශ්‍රී ලංකාවේ කාන්තාව දේශපාලනයට සූදානම් නෑ, ඇයට සදුසුකම් නෑ, බලහත්කාරයෙන් ඇදදාන්න හදනවා’ යන්නයි. මේ ඒ පිළිබඳ සිළුමිණ කළ වීමසීමකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය කමලා ලියනගේ පවසන්නේ එය වැරැදි අදහසක් බවයි. ‘කාන්තාවන් තම අයිතිවාසිකමක් ලෙස දේශපාලනයේ කාන්තා නියෝජනය ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ ඇය දේශපාලනයට පිවිසෙන්න සූදානම් නිසයි. දේශපාලන පක්ෂවල වගකීම වන්නේ දේශපාලනයට සම්බන්ධ පවුල්වල කාන්තාවන් පත් කිරීමෙන් වැළකී ග්‍රාමිය සමාජ ක්‍රියාකාරීන් පත් කිරීමයි. කාන්තාවන් දේශපාලනයට යොමු කිරීමේ ප්‍රබල කැමැත්තක් ‍දේශපාලන පක්ෂ තුළ තිබිය යුතුයි. එසේ නොමැතිව විසිල් එකක් ගහලා නාම යොජනා දෙන්න කාන්තාවන් කැඳවිය යුතු නැහැ. කාන්තාව දේශපාලනයට යොමු කරද්දී අපහාස අවමා‍න පිරුණු ශ්‍රී ලාංකේය දේශපාලනයේ නව ප්‍රවනතාවක් ගොඩනංවා ගෞරවයෙන් යුතුව කාන්තාවට දේශපාලනයට පිවිසීමට ඉඩ ලබා දිය යුතුයි. ඇය යම් මට්ටමකට පැමිණි පසුවද ඉදිරියට යෑමට ඇයට අවස්ථාව සැලැසිය යුතුයි. පුරුෂාධිපත්‍ය ගෙදරට, රටට හොඳ නෑ.

ශ්‍රී ලංකාවේ කාන්තාව දේශපාලනයට පිවිසීමට සූදානම්. අවම වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වනිතා කටයුතු අමාත්‍යාංශය හා ස්වේච්ඡා සංවිධාන පසුගිය වසර කිහිපය තුළ අවම වශයෙන් දේශපාලනයේ නිරත වීමට අවශ්‍ය දැනුම ග්‍රාමීය මට්ටමේ කාන්තා සමාජ ක්‍රියාකාරීනියන් 3000 - 4000 අතර පිරිසකට ලබා දී තිබෙනවා. ඔවුන්ගෙන් 99%කම අවම වශයෙන් අපොස උසස් පෙළ සමත් වූවන් වීම විශේෂයි. ඇතැම් විට දැනට දේශපාලනයේ නිරත ක්‍රියාකාරීන්ට වඩා දේශපාලන සවිඥානකත්වයෙන් (සමාජගැටලු, දේශීය හා ලෝක දේශපාලනය පිළිබඳ) යුතු පිරිස් ඒ පුහුණුවීම්වලදී හමු වුණා. මේ හැරුණුවිට ප්‍රධාන දේශපාලන පක්ෂ සැම එකකටම කාන්තා සංවිධානයක් තියෙනවා. පුහුණු, පළපුරුදු, කැමැත්ත පළ කරන නියෝජිතයන් අපට නැත් නම් ඒ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමට පුළුවන්. ඔවුන් ඊට සූදානම්. වර්තමානයේ කාන්තා නියෝජනය අත්‍යවශ්‍ය කාරණයක්ව තිබියදී ක්‍රියාකාරිථ පුහුණුථ කැපවීමෙන් යුතු දේශපාලනයට කැමැත්ත දක්වන කාන්තාවන් නෑ කියන්නේ දේශපාලනයේ නිරත පවුලක කෙනෙක් ඊට යොමු කරගැනීමටයි,’ යන්න ඇගේ මතයයි.

‘කෝටා එකක් දීමම බලහත්කාරකමක්. දේශපාලන සංවේදීතාවක්, දේශපාලන සවිඥානක භාවයක් ඇති කාන්තාවක් දේශපාලනයට යොමු කරවීම හා නීතිගත වූ 25% කොටා එකක් වෙනුවෙන් කාන්තාවන් යොමු කිරීම කියන්නේ දෙකක්. කතා කරන්න හැකි වූ පමණින් කාන්තාව දේශපාලනයට සුදුසුයි කියන්න බැහැ. එත් මෙය ප්‍රමාද කිරීමෙන් කාන්තාවගේ අයිතිය තහවුරු කිරීම තවත් කල් යනවා. ලෝකය වෙනස් වෙලා. අනෙක ආසියාතික රටවල් අපව පසු කළා. අප ඉදිරියට යා යුතුයි.

වර්තමාන කාන්තාව අධ්‍යාපන මට්ටමින් උසස්, බලවත්, බුද්ධිමත්; ඒත් සමස්තයක් ලෙස ගත් විට දේශපාලන සවිඥානක භාවය අඩුයි. රටක් ලෙස තීරණ ගනිද්දී පුරුෂයන් සැම දෙනාම දේශපාලනිකව සවිඥානක නැහැ. පොදුවේ ගත් කල කාන්තාවන්ගේ ඒ තත්ත්වය තවත් අඩුයි,’ යනුවෙන් අදහස් දක්වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතී පීඨයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කෝකිලා ලංකාතිලක මහත්මියයි.

‘කොටා එකක් දී කාන්තාව දේශපාලනයට යොමු කරනවාට වඩා වැදගත් වන්නේ ගැහැනු දරුවාට අධ්‍යාපනය දී ඇය ශක්තිමත් කොට දේශාලන දැනුම දී සමාජයට යවා දේශපාලන අත්දැකීම් ලබා දීමයි. ඇය තීන්දු-තීරණ ගන්නා ස්ථානයන්හි සිටිය යුතුද යන්න එවිට සමාජය තීරණය කරාවි. රූකඩ ටිකක් එම ස්ථානයන්ට ගියොත් තමන් මතයක් ගොඩනගනවා වෙනුවට වෙනත් කාගේ හෝ මතයක් ඉදිරියට ගෙනයාවි ඡන්දය ලබාගැනීම සඳහා පමණක්. එවන් දෙයක් ලංකාවේ සිදු විය යුතු නැහැ. දේශපාලනයට අවතීර්ණ වීමට ජාතික මට්ටමේ ගෝලීය මට්ටමේ දැනුම තිබිය යුතුයි. ලංකාවේද ඇතැම් විට කාන්තාවට පුරුෂයාගේ අවසරයෙන් තොරව දික්කසාද වෙන්න බෑ. කාන්තාවට ඉඩම් අයිතිය නෑ. නීතියෙන්ම කාන්තාව පහත් කොට සලකද්දී දේශපාලනයේ 25%ක කෝටාවක් විතරක් මොකටද? සියලු කාන්තාවන්ට නීතිය දිරියේ සමතැන හා සියලු මානව අයිතීන් හිමි විය යුතුයි. ආගමික සංස්කෘතික සමාජීය පරිචය ඇති කිරීම මගින් කාන්තාවගේ අයිතිය සුරක්ෂිත කළ යුතුයි. එසේ නොමැතිව දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමෙන් පලක් නෑ. සියල්ල පසෙක තබා ඇයට තම අයිතිවාසිකම් වෙනුවෙන් ‍සටන් කිරීමට සිදු වෙනවා. තම රට වෙනුවෙන් අපේක්ෂිත කාර්යය ඉටු කරන්න ඇයට වෙලාව නැති වෙනවා. එබැවින් මම හිතනවා ශ්‍රී ලාංකේය කාන්තාව දේශපාලනයට එන්න තවම සූදානම් නෑ. කොහොමත් ඇය ලංකාවේ පවත්නා දේශපාලන මඩගො‍හොරුවට බහින්න සූදානම් නෑ. කන්තාව දේශපාලනයට යොමු කරගැනීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් පවත්නා දේශපාලනයේ යහපත් ප්‍රවණතා ගොඩනැංවිය යුතු වේවි. වත්මන් දේශපාලනඥයන් මහත්මා දේශපාලනය උගත යුතු වේවි. එසේ නොකොට ආත්මවිශ්වාසයෙන් හා පෞරුෂයෙන් හෙබි කාන්තාවන්ගේ අභිමානය බිඳ දැමීම යනු දේශපාලනයේ කාන්තා නි‍යෝජනය ලබා දීම නොවේ.

ගැහැනුද පිරිමිද යන්න අදාළ නෑ ජාතික මට්ටමෙ හා ගෝලීය මට්ටමේ දේශපාලනික දැනුම දේශපාලනඥයකුට අවශ්‍යයි. එබැවින් කාන්තාව දේශපාලනයේ නිරත වන්නේ නම් ඒ සුදුසුකම තිබිය යුතුයි. ලංකාවේ කාන්තාව පමණක් නොවේ, කාන්තා නියෝජනය තින්දු-තීරණ ගන්නා ස්ථානයන්හි වර්ධනය කිරීමට ලංකාව තවම සූදානම් නැහැයි,’ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතී පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කෝකිලා ලංකාතිලක මහත්මියයි පවසයි.

කාන්තාව දේශපාලනයට යොමු වීම රටට හිතකරය. රටේ පවත්නා කාන්තා, ළමා හා ජාතික ප්‍රශ්නය වැනි ගැටලු රැසකට සාධාරණ හා මධ්‍යස්ථ විසඳුම් ලබාගැනීමට අවස්ථාව සැලැසෙනු ඇතැයි විශ්වාස කෙරේ. එවන් අවස්ථාවක් උදා වන තුරු අපි අවධානයෙන් සිටිමු. අරගල කර ලබාගත් අයිතිය කාන්තාව අත්නොහරිනු ඇත.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සෙයාරූ - සුදම් ගුණසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.