හාල්මැස්සෝ, ලූනූ බික්, අමුමිරිස් සභා ගැබේ පා වෙයි! | සිළුමිණ

හාල්මැස්සෝ, ලූනූ බික්, අමුමිරිස් සභා ගැබේ පා වෙයි!

 යහපාලන රජයේ තෙවැනි අය-වැය කාරකසභා විවාදයේ තෙවැනි සතියද ගෙවී ගියේය. වරාය, ආපදා කළමනාකරණ, ප්‍රවාහන, විදේශ රැකියා, විදේශ කටයුතු, කම්කරු මෙන්ම කාන්තා හා ළමා කටයුතු ඇතුළු තවත් වැදගත් අමාත්‍යාංශ ගණනාවක් විවාදයට ගැනුණු සතියක් වුවද අයවැය කාරකසභා අවස්ථා වැඩසටහනේ නොවූ තවත් කාරණා-කාරණ රැසක් මේ අතර විවාදයන්ට භාජනය වීම සුවිශේෂ දෙයකි. විශේෂයෙන්ම සතියේ කතා-බහ වූ පළාත් පාලන ඡන්දය පිළිබඳ උණුසුම රට තුළ පමණක් නොව, පාර්ලිමේන්තුව තුළද උණුසුම් ආකාරයෙන් අදහස් එහා-මෙහා හුවමාරු වූයේ අසන්නන්ටද හාස්‍ය උපදවමිනි. අය-වැය කාරකසභා විවාදයන්ට ආරම්භයක් සැපයූ අවස්ථාවේ පටන්ම විපක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඇතැම් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ චෝදනාවක් වූයේ පෙරුම් පුරමින් පැවැති පළාත් පාලන මැතිවරණය කල් යෑමත් එයට හේතු වූයේයැයි සිතන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විදේශගත වීමත්ය. එහෙත් සතිය ආරම්භයේ ඇමැතිවරයා ලංකාවට පැමිණ සිටියෙන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ පළාත් පාලන ඡන්දය පිළිබඳ තම නිර්දෝෂිභාවය ප්‍රකාශ කරමින් විපක්ෂයේ මතවාදයන්ට වග-උත්තර බඳින්නටද විය. විටක මේ වග-උත්තර බැඳීම සභාවේ මහා ගාලගෝට්ටියකට හේතුවක් විය.

මිස්ටර් බාලගිරි

මෝල්ටාවේ ගොස් සිටි ඇමැති ෆයිසර් පාර්ලිමේන්තුවට ආවේ කාන්තා ඇමැතිනියන් දෙදෙනකුගේ අමාත්‍යාංශ වැය ශීර්ෂය දාය. ඒ අනුව කාන්තා කටයුතු ඇමැතිනිය මෙන්ම විදේශ රැකියා ඇමැතිනිය වේලාසනින්ම සභාගැබේ සිටියේ තම අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට වුවද මෙදා උණුසුම් මාතෘකාව වූයේ ෆයිසර් ඇමැතිගේ පැමිණීමය.

“මම මෝල්ටාවට ගියේ පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව 2019දී ලංකාවට ගෙන්වා ගැනීමට. රාජකාරි ගමනක් ගියේ. ජනාධිපතිතුමාගේ අවසරය පිට.” ඇමැතිවරයා සිය ගමන සාධාරණීකරණය කරන්නට උත්සහ කළද විපක්ෂයෙන් මතුවූයේ බාධාමය. “මෝල්ටාවේ ඡන්දය තියන්න කලින් මෙහේ ඡන්දය තියලා ඉන්න එපෑයැ...” ඒ සිසිර ජයකොඩි මහතාගෙන්ය.

විපක්ෂයෙන් ආ බාධා ඇමැති ෆයිසර්ගේ කේන්තිය ඉහවහා ගියේය. “මම නීතිඥයෙක්. මට විරුද්ධව නඩුවක් දාලා, මාව පාර්ශ්වකරුවෙක් කරලා. මම මගේ තනතුර හෑල්ලු කරන්නේ නැහැ. හැම දේටම වඩා මට මගේ ජනාධිපති නීතිඥ තනතුර වටිනවා. සමහරු මාව බිලිබෝයි කරන්න හදනවා...” ෆයිසර්ගේ කතාවට එවර නැගී සිටයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාය.

“ප්‍රශ්නය තියෙන්නේ මැතිවරණ පනත සංශෝධනය කිරීම ගැන නෙවේ; ගැසට්-එක ගැනයි. දුබලතාවක් තියෙනවා නම් ඇයි මුලින් දැනගෙන හිටියේ නැත්තේ. ඒකනේ මම මේකට මුස්තාපා vs මුස්තාපා නඩුවක් කිව්වේ. නැති නම් මේකට ෆයිසර් vs ෆයිසර් නඩුවක් කියලා කියන්නත් පුළුවන්...” අනුර කුමාර කියාගෙන යද්දී නැවතත් ඇමැතිවරයාට කේන්ති යනු පෙනිණි. කථානායකවරයා මේ ප්‍රශ්නයට මැදිහත් වන්නට උත්සාහ කළද ඔහුගේ ඒ ප්‍රයත්නය අසාර්ථක වූයේ කතා-බහ වඩාත් උණුසුම් ආකාරයෙන් පැවැති නිසාය.

“ඕනෑම කෙනකුට අධිකරණයට යෑමේ අයිතියක් තියෙනවා. මම චේතනාවෙන් කිසි දෙයක් කළේ නැහැ. මුස්තාපා vs මුස්තාපා කිව්වත් මම වගකීමෙන් කියනවා මම මේ මෙයට සම්බන්ධ නැහැ කියලා.”

මේ විවාදයට අනතුරුව එකතු වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණවර්ධනලාය. ඒ රෝහිත අබේගුණවර්ධන මෙන්ම දිනේෂ් ගුණවර්ධනය. එහෙත් ඊට කථානායකවරයාගේ අවසරය ලැබුණේ නැත. ඒත් දිනේශ් ගුණවර්ධනද සිය මැදිහත්වීමද අතහැරියේ නැත.

“අනේ පොඩ්ඩක් ඉන්නකෝ. මටත් කතා කරන්න දෙන්නකෝ. ඔයා මෝල්ටාවට ගියාට අපි පලි නැහැනේ. දැන් ඉන්නේ ලංකාවෙනේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය මැරෙමින් පවතිනවා. මම කලබල නැහැ. ඔබතුමානේ කලබල වෙලා ඉන්නේ... මෙයා මෝල්ටාවට ගියාට ඒ රටේ ජනාධිපතිවරයාගේ නමවත් දන්නවද දන්නැහැ...” දිනේශ්ගේ චෝදනාව එල්ල වූයේ කථානායකවරයාට හා ෆයිසර් ඇමැතිවරයාටය.

කොමඩි ස්ටාර්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අඹේගුණවර්ධන මහතාටද සිය අදහස් දක්වන්නට සුළු කාලයක් වෙන්ව තිබුණත් ඔහුගේ මාතෘකාව දිව ගියේ රටේ බඩුමිල ඉහළ යෑම ගැනයි. ඔහු එදා මැති සබයට ආවේ අමුමිරිස් කරලක්, හාල්මැස්සෙක් හා රතුලූනු බිකක් අතැතිවය. එහෙත් එදා වැය ශීර්ෂය යෙදී තිබුණේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයකටය. ඒත් සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය තිබුණද ඊට අදාළ ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති හෝ සභාවේ සිටියේ නැත.

“අද සමාජ සවිබල ගැන්වීම් ඇමැතිත් නැහැ නියෝජ්‍ය ඇමැතිත් නැහැ...” ඔහු කීවේ ඇමැති එස්බී දිසානායකට හා නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායකටය. “ඊයේ කොමඩි ස්ටාර්නේ. ඒ නිසා නියෝජ්‍ය ඇමැති නැහැ. නිදි ඇති. ඇමැතිතුමා කොහොමත් කොමඩිනේ. කොමඩිත් නැහැ.කොමඩි ස්ටාර්ත් නැහැ. අද මේ රටේ 80%කට විතර සමෘද්ධිය දෙන්න වෙලා. මම අද උදේ අමුමිරිස් ග්රෑම් 100ක් ගත්තා. ගාන කීයද? රුපියල් 100යි. මම එක කරලක ගාන බැලුවා. කරලක් 8.33 යි. (ඔහු මැති සබේට පෙන්වූයේ අමුමිරිස් කරලකි. දෙවැනිව දික්කළේ හාල්මැස්සෙකි) මේ ඉන්නේ හාල්මැස්සෙක්. හාල්මැස්සෝ ග්රෑම් 100ක ගාන රුපියල් 150යි. මේකගේ ගණන රුපියල් 2.14යි. මහේශ්වරන් මහත්මිය මේ හාල්මැස්සා දිහා බලන්න. ඔබතුමිය වගේ නෙවේ. අපේ කාලේ ඔයා හොඳට කෑවා...” විපක්ෂයේ බාධා මෙන්ම සිනා හඬ මධ්‍යයේ රෝහිත මන්ත්‍රීවරයා අනතුරුව එසවූයේ රතුලූනු බිකකි.

හාල් මැස්සයි, ලූනු බිකයි

“අද රතුලූනු ග්රෑම් 100 කීයද? රුපියල් පනහයි. මේ ලූනු බික කීයද? රුපියල් 2.50යි. අපි පොළේ ගියත් පොළොවට පය ගහලා ඉන්නේ. ඔයාලා හිතන් ඉන්නේ රටේ මිනිස්සු සන්තෝසෙන් ගිටාර් ගගහ ඉන්නවා කියලද? මහේශ්වරන් මන්ත්‍රීතුමිය නම් ඉන්නේ සන්තෝසෙන්. ඒ මහවිරු දිනය නිසා. මහවිරු දිනය සමරන්න ගිහින් 2009ට කලින් තිබුණු තත්ත්වය ඇති කරන්න එපා...” රෝහිත මන්ත්‍රීවරයාගේ මේ කොමඩි ස්ටාර් කතාව අවසන් වන්නට පෙර සභා ගැබට පිවිසියේ එස්බී දිසානායක ඇමැතිවරයාය. පැමිණෙන්නට පෙර තමන්ට චෝදනා එල්ල වූ බව එස්බී ඇමැතිවරයාට කල් තියාම ආරංචි වි තිබිණි. “මගේ නම කියවුණා. මම සබාවේ නැති බව කිව්වා. මගේ අමාත්‍යාංශය තියෙන්නේ හවසනේ...” ඔහු තමාව සාධාරණීකරණය කරගත්තේය.

කෝච්චියට නමක්

ප්‍රවාහන අමාත්‍යාංශ වැය ශීර්ෂය දා කෝච්චි ගැන උණුසුම් කතාබහක් ඇති වූයේ හිටපු ඇමැති හා වත්මන් ඇමැති අතරය. “අතීතයේ කාන්තාවන් පිරිසක් දුම්රිය සේවයේ බර වැඩට අරගෙන තිබුණා. ඒ අය ගත්තේ සිල්පර කොට උත්සන්නද? නැති නම් වෙන වැඩකටද..?” සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඇසුවේ මන්ත්‍රී කුමාර වෙල්ගම දෙස බලමිනි.” “ඇයි ඔබතුමා කාන්තාවන් ඉන්නවට අකැමැතිද? අපි ඡන්දයේදිත් කාන්තාවන්ට මුල් තැන දුන්නා...” ඒ කුමාර වෙල්ගමය.

“ඇයි ඔබතුමා කාන්තාවන්ගේ නමින් කෝච්චියකුත් නම් කළේ...” ඒ නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහය. “ඇයි ඔබතුමාට ඊර්ෂ්‍යාද? මම ඒකට මක් කරන්නද? ඔබතුමාත් කෝච්චියකට නමක් දාගන්නකෝ. කෝච්චි නම් කරන්නේ කොහොමත් ගෑනූ නම්වලින්නේ... ඒත් මේ ආණ්ඩුවට දානවා නම් දාන්න වෙන්නේ පිරිමි නම් තමයි!” මන්ත්‍රී වෙල්ගම පිළිතුරු දුන්නේ ඇඟට නොදැනීමය.

කුරුණෑගල ඇත්තන්ගේ අය-වැය විවාදයට ගැනුණු දා අමාත්‍යාංශ තුනක් විවාදයට ගැනුණේ ය. ඒ අකිල ඇමැතිගේ අධ්‍යාපන අමාත්‍යාංශයත්, දයාසිරි ඇමැතිගේ ක්‍රීඩා අමාත්‍යාංශයත්, එස්බී නාවින්න ඇමැතිගේ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයත්ය. කුලියාපිටියට, පඬුවස්නුවරට මෙන්ම වාරියපොළටද එදා ගල් මෙන්ම මල්ද එල්ල විය. “නිමල්ට නිමල් වෙන්න දෙන්නේ නැති කමල්ට කමල් වෙන්න දෙන්නේ නැති අධ්‍යාපනයක් මේක. අද දරුවන්ට කෝම්පිට්ටු නැහ, අත්තාපන් මුත්තාපන් නැහැ, ඉරහඳ ගහකොළ දැනෙන්නේවත් නැහැ. මෙහෙම අධ්‍යාපනයක් මොකටද..?” කවදත් මැතිසබේ මහහඬින් කතා කරන විමලවීර දිසානායක පැවසුවේ අකිල ඇමැති දෙස බලාය. තමාට එල්ල වන විවිධ චෝදනාවන්ට අධ්‍යාපන ඇමැති අකිල විටින් විට නැඟිට පිළිතුරු දෙන්නට විය. මෙය විපක්ෂයේ ඇතැම් අයට රිස්සුවේ නැත. එහෙත් අධ්‍යාපන ඇමැතිවරයාට සිය කතාවට ලැබී තිබුණේ ඉතා අඩු කාලයක් හෙයින් කියන්නා වූ බොහෝ දෙයට ඔහු එවේලේම පිළිතුරු දෙන්නට විය. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍‍ෙවරයාට මෙය රතු කට්ට පැනීමට හේතුවක් විය. “ඔයාට අගමැති වෙන්න බැහැ. ඔයා අධ්‍යාපන ඇමැති. ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. නැතිනම් නායකයකේ වෙන්න බැහැ...” ඇමැති අකිලගේද රතු කට්ට පැන්නේය. “ඔයාගේ මට්ටමෙන් මාව මනින්න එන්න එපා. මට තර්ජනය කරන්නත් එන්න එපා...” අකිල පිළිතුරු දුන්නේය.

කවදත් පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහ මවන ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ වාද-විවාද සිදු වූයේ මේ සතියේය. ඇමැති කබීර් හෂිම් මහතා ඉදිරියේ විපක්ෂයේ බොහෝ දෙනා වාද-විවාද කෙරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලාභ පිළිබඳවය.

“කබීර් ඇමැතිතුමාව දාලා තියෙන්නේ මහ බරපතළ අමාත්‍යාංශවලට. එක්කෝ එතුමාට අමාත්‍යාංශ බේරගන්න වෙනවා. නැති නම් ඇමැතිකම බේරගන්න වෙනවා...” මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ 350 වර්ගයේ ගුවන්යානා අවලංගු කිරීම ගැන සභාවේ වේගවත්ව අදහස් දක්වද්දී මැතිසබේ ඇමැතිවරු කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අතර ඇමැති කබීර් හෂීම්, ඇමැති හැරිසන්, ඇමැති දයාසිරි, ඇමැති විජිත් විජයමුනිද වූහ. ඔහුගේ ප්‍රධාන චෝදනා එල්ල වූයේ අදාළ විෂයයභාර ඇමැතිවරයාට නොවූ අතර, විශාල අනුකම්පාවෙන් විෂයයභාර ඇමැතිවරයා ගැනද කතා කරන්නට විය. “ඔබතුමාලගේ කැබිනට් මණ්ඩලය මේ වෙන දේවල් ගැන හොයන්න. මම රිමාන්ඩ් කරපු වෙලාවේ ඔබතුමා ආවා මාව බලන්න (ඒ කබීර් හෂීම් ඇමැතිටය). ඔයාලා මේ ප්‍රශ්නෙදි රිමාන්ඩ් වුණොත් ඒ නිසා මටත් බලන්න එන්න වෙනවනේ. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රශ්නය විසඳන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න...” මන්ත්‍රීවරයා මහත් ආදරයෙන් කියාගෙන ගියේ ඇඟට නොදැනී ඇමැතිවරුන් සිව්දෙනාටමය.

මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද බඩු මිල ඉහළ යෑමට දුන්නේ අපූරු උදාහරණයකි. “අද නූල කැඩුණු සරුංගලය වගේ බඩු මිල ඉහළ යනවා. කාඩ් කුට්ටම පෙරළෙනවා වගේ බැංකු කඩා වැටෙනවා...” අනතුරුව මන්ත්‍රී බන්දුල කීවේ තමන් වෙළෙඳ ඇමැති කාලයේ බඩු මිල අඩු කළ ආකාරය පිළිබඳවය. එහෙත් ඔහුගේ කතාව සමහර ඇමැතිවරුන්ට රිස්සුවේ නැත. “මගේ මිත්‍රයාට ලැබෙන්න තිබුණේ මුදල් ඇමැතිකම. ඒක එතුමාගේ සිහිනයක්. ඒත් එතුමාගේ මේ සිහිනය ඉදිරියටත් සිහිනයක්. ඒ සිහිනය ඉටු කරගන්න ලැබෙයි කියලා හිතන්න බැහැ...” පී හැරිසන් ඇමැතිවරයා එසේ පැවැසුවේ සියුම් උපහාසයෙනි.

සුභාෂිණි ජයරත්න 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.