ආචාර්ය එඩ්වින් ආරියදාස 96 වියට පා තබයි | සිළුමිණ

ආචාර්ය එඩ්වින් ආරියදාස 96 වියට පා තබයි

 “එඩ්වින් සර්”මේ ඔහු ගැන දන්නා හඳුනන කවුරුත් ඔහු ආමන්ත්‍රණය කරන ආදරණීය නාමයයි. ඇවිදින විශ්ව කෝෂයක් බඳු මාධ්‍ය ලෝකයේ දැවන්තයකු වන කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අනූ හයවැනි ජන්ම දිනය අදට යෙදී ඇත්තේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුගේ ගුරුවරයකු උපදේශකයකු වූ එඩ්වින් ආරියදාස සූරීන් උපත ලබන්නේ 1922 දෙසැම්බර් 03 වැනිදාය. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා වූ එඩ්වින් ආරියදාස සිසුවා ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය සඳහා සිංහල විෂය හදාරන ඔහු අනු විෂය ලෙස ඉංග්‍රීසි විෂය තෝරා ගන්තේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු කෙටි කාලයක් රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැළෙන ඔහු 1949 වස‍රේදී ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත් පතට බැදෙන්නේය. එතුමා දිනමිණ පුවත් පතට සම්බන්ධ වන යුගයේ එහි කතු පදවිය ලබන්නේ පියසේන නිශ්ශංක මහතාය. දිනමිණ කතු වැකිය ලෙස පළ වූයේ ඩේලිනිව්ස් පුවත් පතේ පළ වන කතු වැකියේම සිංහල පරිවර්තනයකි. නමුදු තරුණ එඩ්වින් කතුවරයාට යෝජනාවක් ගෙන ආවේය. එනම් දිනමිණටම ආවේණික ලෙස කතුවැකියක් ලියන ලෙසය. එය එලෙසින්ම ක්‍රියාත්මක වූයේය.

පොත පත කියවීම කෙරෙහි මෙන්ම ලෝකයේ එදිනෙදා සිදුවන දේ පිළිබඳ අවධානයෙන් සිටි ඔහු නිතරම ලෝක ප්‍රවණතා පිළිබඳ දැනුවත් වුයේය. ඒ පිළිබඳ විමසිලිමත් වූයේය. අපේ රටට රුපවාහිනිය ඒමටත් පෙර සිටම ඔහු ලංකාවේ ජනතාව රූපවාහිනිය ගැන දැනුවත් කර තිබුණි. ලෝක සිනමාව නව විද්‍යාව තාක්ෂණය, අභ්‍යවකාශය ගැන ඔහු පුවත්පතට ලිපි ලියමින් පාඨකයන් දැනුවත් කළේය. සිංහල පමණක් දැන සිටි සිනමා ලෝලීන් ලෝක කලාත්මක සිනමාව ගැන දැන ගත්තේ ඔහුගේ ලිපි මඟිනි.

ජනමාධ්‍ය උසස් අධ්‍යාපන විෂයක් ලෙස හඳුන්වා දෙනු ලැබූවේ එවකට අධ්‍යාපන ඇමතිව සිටි අයි එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසිනි. එම පාඨමාලාවේ නිර්දේශ පත්‍රිකාව සකස් කරන ලද්දේ එඩ්වින් ආරියදාස මහතාය. පසු කාලීනව කැලණිය, කොළඹ මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය පාඨමාලා ආරම්භයේ පුරෝගාමීයා වුයේද එඩ්වින් ආරියදාස මහතාය. වයස අවුරුදු අනූහයක් වූවද අදද ඔහු පොත පත කියවමින් ලෝකයේ නව ප්‍රවණතා ගැන විමසිලිමත් වෙමින් ඒ පිළිබඳ සොයමින් පාඨකයා දැනුවත් කරන්නේය. ඔහු තවමත් දැනුම් පිපාසයෙන් පෙළෙන්නේය. එතුමාගේ අනූවැනි ජන්ම සැමරුමේදී ඔහු පිළිබඳ කවියක් ලියමින් ප්‍රවීණ මාධ්‍යවේදි තිලකරත්න කුරුවිටබණ්ඩාර සූරීන් ආරියදාස සූරින්ව මෙලෙස හඳුන්වා ඇත්තේ “ මාධ්‍ය දිසාපාමොක්, ජාත්‍යන්තර ගැමියා, අනුවේ යෞවනයා,” ආදී ආදර නාමයන්ගෙනි.

ලොකු කුඩා, ප්‍රවිණ ආධුනික බේදයකින් තොරව දැනුම ලබාගැනීමට, යමක් තේරුමක් දැන ගැනීමට ඔහුගේ සහාය පතන ඕනැම කෙනෙකුට තම අවශතාව ඉටුකර දීමට තරම් ඔහු නිහතමානීය.

දැනුමින්, ගුණ යහපත්කමින් නිහතමානි බවින් පිරිපුන් ආදරණීය ගුරුතුමනි, ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කරමු.

- ඉසවි 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.