මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ආචාර්ය උපාධිය හිමිකරගනී | සිළුමිණ

මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ආචාර්ය උපාධිය හිමිකරගනී

 ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හිමිකර ගත් පළමු නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඉතිහාසයට එක් විය.

සිය යුද හමුදා දිවියේ වසර 36 ක් සේවය සම්පූර්ණ කර මේජර් ජෙනරාල්වරයා ඉන් වසර 28 ක්ම රාජකාරි කර ඇත්තේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවලය. ඔහු විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද කැපකිරීම් මත ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය හිමි කර ගන්නා ලදී.

යුද පිටියේ දී සතුරා ඉදිරියේ දක්වන නිර්භීත භාවය උදෙසා පිරිනමන රණශූර පදක්කම හා රණවික්‍රම පදක්කමද, උසස් විනය පැවැත්ම වෙනුවෙන් පිදෙන උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් දොළහකින්ද ඔහු පිදුම් ලබා ඇත. එසේම මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව, උසස් ආරක්‍ෂක කළමණාකරණ ඩිප්ලෝමාව, යුද හමුදා මාණ්ඩලික විද්‍යාලීය චිජ උපාධිය සහ චීනයේ ජාතික ආරක්‍ෂක උපාධිය ඉහළින් සමත්වී ඇත.

ඔහු විසින් වන්නියේ පල්ලි, පන්සල් කෝවිල් 200 කට වැඩි ප්‍රමාණයක් පිළිසකර කරමින් ආගමික සහජීවනයට මඟ පාදන ලද අතර ජාති, ආගම්, කුල භේදයකින් තොරව සිදුකරන ලද එකී ජාතික, ආගමික හා සාමාජීය සේවය අගයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් 2016 වසරේ දී ”දේශකීර්ති ලංකාපුත්‍ර” සම්මානය ඔහුට පුදන ලදී. එය යුද හමුදා නිලධාරියකු එදා මෙදා තුර ලද විශේෂිතම සම්මානයකි. මෙහි විශේෂත්වය වන්නේ මේජර් ජෙනරාල්වරයා බෞද්ධ ආගමිකයකු නොවීමයි.

2012 වසරේ දී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙසින්ද උතුරේ අවතැන්වූවන් සඳහා වන නිසි බලධාරි ලෙසින්ද පත්වූ මේජර් ජෙනරාල්වරයා උතුරේ වැසියන්ට සහ වන්නියේ ජනතාව මිනිසුන් දියත් කළ සංවර්ධන ව්‍යාපෘතින් රැසක් වන අතර එකී සියලු කාර්යයන් හරහා ජන ජීවිතය නගා සිටුවීමටද ප්‍රදේශයේ ග්‍රාමීය සංවර්ධනයටද, නැවත පදිංචි කළ ජනතාව අතර ආගමික පුනර්ජීවනයටද, ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීමට ද, ලැබුණේ නොමද පිටුවහලකි.

අවතැන් වී ඇති සිංහල ජනතාව පිළිබද කරන ලද අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙසින් පාරම්පරික ගම්මාන හඳුනා ගැනීමට එතුමා සමත්විය. ඒ අනුව වන්නි දකුණු ප්‍රදේශයේ පිහිටි කොක්එළිය, අග්බෝපුර, නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම, බෝගස්වැව, වෙහෙරතැන්න, කම්බිලිවැව හා සම්පත්නුවර යන පාරම්පරික ගම්මාන දහයක් යළි ස්ථාපිත කර අවතැන් වූ පවුල් 3154 ක සමාජිකයින් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් නැවත පදිංචි කරවීමට රජයට හැකි විය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.